ගොන්සාල්වේස් පියතුමාගේ සිරි කුරුසිය

ගොන්සාල්වේස් පියතුමාගේ සිරි කුරුසිය

මෙරට කිතු දහම වර්ධනය සඳහා අති විශිෂ්ට සේවාවක් කළ තවත් වියත් පියතුමකු සිහිපත් කිරීම යුක්ති යුක්ත වන්නේ යැයි සිතමි. මෙසේ අප සිහිපත් කරනුයේ "හෙළ කිතුනු සාහිත්‍යයේ පියාණන්" යැයි විරුදාවලිය ලත් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාණන්‍ ය. ජුසේවාස් පියතුමන් ලංකාවට වැඩම කළේ ක්‍රි.ව.1687 දීය. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් මෙහි සැපත් වුයේ ක්‍රි.ව. 1705 දීය. පැමිණ විගස පෘතුගීසි, කොන්කනි, ස්පාඤ්ඤ සහ ලතින් භාෂාවන් හොඳින් දැන සිටි එතුමෝ සිංහල සහ දමිළ භාෂාවන්ද ඉගෙනිමේ යෙදුනාහ. දකුණු ඉන්දියාවේ දීම ප්‍රමාණයකින් දමිළ බස දැන සිටි එතුමා එය ලංකා උතුරුකරයේ දී තවදුරටත් හොඳින් හැදෑරුවේ ය.

ඉන් ඉක්බිති නුවරට පැමිණි එතුම හෙළ බස ඉගැනිමෙහි යෙදුනේ ය. මේ සඳහා තමන් මිත්‍ර භික්ෂූන් වහන්සේලාගෙන් මෙන්ම පේඩ්‍රෝ ගස්කොන් අධිකාරි තුමන්ගේද සහයෝගය ලබාගත් බව සඳහන් වන්නේ ය. ගස්කොන් අධිකාරි තුමා එවකට නරේන්ද්‍රසිංහ රජතුමාගේ අගමැති වශයෙන් ක්‍රියා කල වියත් පඬි රුවනකි.

මේ වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් පැවතියේ ඕලන්ද පාලනය යටතේය. ඕලන්ද පීඩනය නිසා දුක් විඳිමින් සිටි කතෝලිකයන් වැඩියක් වාසය කළේ ද මුහුදුබඩ පළාත්වලය. මොවුන් අතරට ගොස් සේවා කිරීම සඳහා ඕලන්ද භාෂාව ද උගැනීම වැදගත් කොට සැකැකු ගොන්සාල්වේස් පියතුමා ඒ සඳහා උද්යෝගයෙන් නිරත වුනේ ය. අවසානයේ දී භාෂා විශාරද පඬි රුවනක් බවට පත් වු එතුමෝ ජුසේවාස් පියතුමන්ගේ උපදෙස් පරිදි කතෝලික ධර්මය මෙරට තුළ ව්‍යාප්ත කිරිම සඳහා ග්‍රන්ථ රැසක් උත්පාදනය කළෝය. හෙළ බසින් ග්‍රන්ථ 22 ක් ද, 15 ක් දමිළ බසින්ද , පෘතුගීසි බසින් 4 ක් ද, ඕලන්ද බසින් 1 ක්ද මේ අනුව එතුමන්ගේ තෙලිතුඬින් නික්මිණි. මෙතුමන් සිංහල සාහිත්‍යය කෙරෙහි දක්වා ඇති දායකත්වය අප කතෝලික වියත් හු හොදින් දැන සිටිති. එසේම ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාණන් ද එතුමන්ගේ කෘතීන් අගය කරමින් ලියා ඇත්තේ " ඉතා ගැඹුරු සිත් බැඳගන්නා සුලු පොත් පෙළකි" කියාය. ඒ එසේ වුවත් අද අප හෙළ වියතුනට ඒ ගැන කිසිදු අවබෝධයක් ඇති වගක් නොපෙනේ.

ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්ගේ දායකත්වය බසට පමණක් සීමා වුයේ නැත. සංගීතය හා හෙළ නාට්‍යය ද එතුමන්ගෙන් පෝෂණය ලැබීය. අද දක්වා කතෝලික උත්සවයන්හි දී එතුමන්ගේ ගීතිකා ගැයෙන බව රහසක් නොවේ. එසේම මෙරට නාඩගම් කලාවේ උත්පාදකයාණන් ඔවුන් වහන්සේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේමය. එතුමන්ගේ විශිෂ්ටත්වය වුයේ ගද්‍යය මෙන්ම පද්‍යය කෙරෙහි ද එතුමන් පෑ දක්ෂතාවයකි. එසේම සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වාග් ව්‍යවහාර සම්ප්‍රදාය එතුමන් හොඳ හැටි දැන සිටි අතර උසස් සාහිත්‍යම මට්ටමේ කෘතීන්ද සකස් කිරීමේ හැකියාව එතුමන් සතුව තිබුණි. එතෙක් හෙළ බසට නුහුරුව තිබුණු කිතු දහම හෙළ බසට ගැලපෙන ආකාරයෙන් වදන් නිර්මාණය කොට ඉදිරිපත් කිරිම පහසු කාර්යයක් නොවීය. එසේම එවකට මුද්‍රණ මාධ්‍යය නොතිබුණු හෙයින් පත පොත අත් පිටපත් කොට ප්‍රචාරය කිරීම සම්ප්‍රදාය විය. මේ කාර්යය සඳහා එතුමනට සහය වු පිටපත්කරුවන් දොළොස් දෙනකු කම්මල ග්‍රාමයේ සේවය කළ බව සඳහන් වන්නේ ය.

මෙතරම් උදාර සේවාවක් ඉටු කළ මෙම උතුමාණන්ගේ ශ්‍රී මෘත දේහය තැන්පත් කොට ඇත්තේ කොතැනදැ යි බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. ඒ බොලවත්තේ දෙව් මව් දෙව්මැඳුර තුළයි. අද දක්වා එතැන ආරක්ෂිතව තබා ඇති අතර එතුමන් පාවිච්චි කල ශ්‍රී කුරුසිය ද එහි වන්නේ ය. සලාපුර හිටපු රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් නි.ම.නි. හිමිපාණෝ මෙය තමන් සතු ඉතා වටිනා පුරා වස්තුවක් ලෙස සැලකුහ. ඔවුන් වහන්සේ ලියු මා සතු ලිපියක මෙසේ සඳහන් වන්නේ ය. " මාගේ විශ්වාසය අනුව මා භාරව පවතින ඉතා රුවිජනක ප්‍රදර්ශන භාණ්ඩය අප දිවයිනේ ක්‍රි.ව. 1698 (එසේම) සිට ක්‍රි.ව. 1742 දක්වා දහම් සේවාවෙහි යෙදි සිටි ඔරතෝරියාන ධර්මදුතවරුන් අතර ඉතා ශ්‍රේෂ්ඨ ගරු ජාකෝමේ ගොන්සාල්වේස් පියාගේ කුරුසිය යි. මෙරට සිංහල කතෝලිකයෝ තමන්ගේ යාච්ඥා , ගීතිකා සහ දේව ධර්මය හෙළ බසින් නිර්මාණය කොට සකස් කැර දීම ගැන හෘදයාංගමව ණයගැති වන්නහු ය. "

" ගෙන්සාල්වේස් පියතුමන් බෝල්වත්තේදී ස්වර්ගස්ථ වුයේ ක්‍රි.ව. 1742 ජුලි මස 17 වැනිදාය. එතුමන් භූමදාන කරන ලද්දේ එහි පැරණී දෙව්මැඳුර තුළයි. ඊට් අනු වසරකට පසු අද පවතින ස්වර්ගාරෝපිත අප ස්වාමි දු දෙව්මැඳුරේ ගොඩනැගිලි කටයුතු නිම කිරිමත් සමඟම එවකට එහි මීසම් භාර පියතුමා වශයෙන් ක්‍රියා කල ගරු ප්ලොරෙන්තීනු ගර්සියා පියතුමා එම නෂ්ටාවශේෂ නව දෙව්මැඳුරට ගෙනැවිත් යළි තැන්පත් කළේය. අද දක්වා එම නෂ්ටාවශේෂ එහි තැන්පත් කොට ඇත."

මෙම මාරු කිරිමේදී සොහොන් ගැබේ ශ්‍රී දේහය මත තබන ලද ගොන්සාල්වේස් පියතුමාගේ ශ්‍රී කුරුසිය ගර්සියා පියතුමා පිටතට ගෙන තබා ගත්තේ ය. ඉමහත් ගෞරවයෙන් යුතුව එතුමා මෙය තමන් සතුව තබා ගත්තේ ය. එතුමන් පරලෝ සැපත් වු පසුව ඒ ගැන දිගු කලක් කිසිදු හෝඩුවාවක් නොමැතිව තිබුණි. කලක් ගෙවී ගොස් එය යළි සොයා ගෙන ක්‍රි.ව. 1912 දී හෝ 1913 දී හෝ එය එවකට ලංකාවේ වාසය කළ අපෝස්තලික තානාපති අතිඋතුම් සැලෙස්තිකි හිමිපාණන් වෙත බාර කරන ලදි. ඉන් ඉක්බිති ඒ ගැන කිසිදු ආරංචියක් නොවීය. යලි වරක් එය සොයාගත් අතිඋතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණෝ එම කුරුසිය වීදුරු කොපුවක බහා ක්‍රි.ව. 1928 දෙසැම්බර් මස 29 වැනි දින බෝලවත්තේ දෙව්මැඳුරට එය බාර කළහ. මේ දක්වා එම ශ්‍රී කුරුසිය එහි තැන්පත් කොට තිබේ.

ඔරතෝරියාන සමයට අයත් තවත් කුරුසියක් යාපනයේ එක්තරා කතෝලික පවුලක් සතුව ඇතැයි කියනු ලැබේ. එහි එම පුජක කණ්ඩායමේ ශ්‍රේෂ්ඨාධිපතිවරයාගේ කුරුසිය ට සමානකම් ඇතැයිද කියැවේ. කවරදාක හෝ එයද සොයාගත යුතු වන්නේ ය. බෝලවත්තේ පැරණී දෙව්මැඳුර මේ වන විට සම්පුර්ණයෙන් ම ගලවා ඉවත් කොට තිබේ. ඒ වෙනුවට ඉතා විශාල හා අලංකාර ගොඩනැගිල්ලක් එතැනම ඉදිවෙමින් පවතියි. නව සැලසුම අනුව ගොන්සාල්වේස් පියතුමාගේ නෂ්ටාවශේෂ දෙව්මැදුරේ මධ්‍යම කොටස මැද තැන්පත් කිරීමට අපේක්ෂිතයි. අද මීසම් භාර පියතුමා ආරක්ෂිතව තබා ගෙන ඇති ශ්‍රී කුරුසිය ද ගොඩනැගිලි නිම කොට ප්‍රමුඛ ස්ථානයක පිහිටුවා තබනු ඇත. මෙවන් වැදගත් වස්තූන් සතු අප කතෝලික පිරිස ඒවා කිසිවක් ගැන නොදැන සිටීම අප දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ට අභියෝගයක් නොවන්නේද?

May be an image of text

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ