ධාතුසේන රජ සමයේ කිතු දහම

ධාතුසේන රජ සමයේ කිතු දහම
Photo by Giammarco Boscaro / Unsplash

කිතුනුවන් ධාතුසේන රජ සමයේ ජීවත් වු බවට සීගිරි කථා පුවත පැහැදිළි සාක්ෂියකි. මෞර්‍ය වංශයේ ප්‍රථම රජ වන ධාතුසේන රජු තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට අන්ද්‍රා ප්‍රදේශයෙන් නැව් 75ක කණ්ඩායමක් ලංකාවට ගෙනා බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.
මේ නැව් වලින් පැමිණි පිරිස කිතුනුවන් වන අතර ඔවුන් හලාවත හා මීගමුව දක්වා ප්‍රදේශ වල පදිංචි විය. මෙම පිරිසව මුරණ්ඩ බටයන් ලෙස හැදින්විය.

පරණවිතාන මහතා විසින් රචිත ග්‍රීකයන් හා මෞරයන්, සීගිරි කථා පුවත. ග්‍රන්ථයේ ද එය පිළිබදව සාවිස්තරව සදහන්වේ. මෙම ග්‍රන්ථය ලියවෙන්නේ 16 වන ශත වර්ෂයේ ශිලා ලේඛන පාදක කරගෙනයි.

6 වන පැරකුම් රජ සමයේ (1412-1464) ලංකාවට පැමිණෙන ආනන්ද භික්ෂුන් වහන්සේ විසින් තබා ඇති සාක්ෂි ද මේ සදහා ඉතා වැදගත්ය. එතුමා ස්වර්ණ පුරයේ (සුමාත්‍රා) හා ලංකාවේ පුස්කොළ පොත් ඇසුරින් ලියු “පරම්පරා පුස්තකය” ඇසුරින් ‌ෙඑතිහාසික සාක්ෂි විශාල ප්‍රමාණයක් පෙන්වා දිය හැකිය.

ධාතුසේන රජුගේ පියා ධර්මස්ත්‍රනාම රජුය. ඔහු ඉන්දියාවේ මෞර්ය පෙළපතින් පැවත එන්නා වු රජේකි. වරක් ඔහු ලංකාව ආක්‍රමණයට සුදානම් වන විට යුද්ධයෙන් පරාජයවු මහනාම රජු තම දියණිය වන සංගා කුමරිය ධර්මස්ත්‍රනාම රජුට විවාහ කර දෙයි. ඔුවන් දෙදෙනාට දාව ධාතුසේන කුමරු උපදින අතර මෙම කුමරු තම තරුණ කාලය ගෙවන්නේ තම පියාගේ මිතුරෙකුවු සිංහවර්මන් රජු යටතේය. රජුට එරෙහිව පැමිණි කලාබර සේනාව පැරදවිම නිසා රජ තමන්ගේ නැගණිය වන පුර්ත්‍රා කුමරිය ධාතුසේන කුමරුට විවාහ කර දෙයි. ඔවුන් දෙදෙනාට දාව උපදින කුමරුවන් වන්නේ කාශ්‍යප කුමරුයි. තමන්ගේ මව් උරුමය සොයා ලංකාවට එන ධාතුසේන රජු ලංකාවට එන විට ලංකාව පවතින්නේ කලාබරයන් යටතේය. ඔවුන් පලවා හැරිමට හා රට තුළ නැවත රජුට රජ වීම සදහා ප්‍රබල සහයක් දෙන්නේ උන්දාවෙන් ගෙන්වන ලද මහා සේනාවයි. මෙම සේනාවේ ප්‍රධානිය වන්නේ මිගාර සේම්පතියයි.

මෙලෙස ධාතුසේන රජුට ලංකාව තුළ රජ විම සදහා සහය වන්නේ කිතුණුවන් වන බව පරණවිතාන මහතාගේ පැහැදිළි කිරිමයි.

මේ කාලයටත් පෙර කිතුනු සභාව පැවත එන්නට ඇති බවට හේතුවක් හා සාක්ෂියක් වන්නේ ශුද්ධවු තෝමස් තුමන්ය.  එයට පහත පැහැදිළි කිරිම ප්‍රයෝජනවත් වනු ඇත.
පේදුරු තුමන් හා පාවුළු තුමන්ලා රෝමයේ දී ප්‍රාණපරිත්‍යාගි වු කාලයේ දීම ඉන්දියාවෙදී තෝමස් අපෝස්තුළු තුමා ප්‍රාණ පරිත්‍යාගිවු බවට ‌ෙඑතිහාසික සාක්ෂි ඇත. තෝමස් තුමන් ඉන්දියාවට පැමිණෙන්නේ ක්‍රි.ව 52 දී ය ( ඇතැම් විට ඊට ආසන්න වර්ෂයක් තුළදී ). මෙතුමන් තම ධර්මදුත කටයුතු අරඹන්නේ ගොන්ඩා ෆෝරස් රජුගේ රාජධානියේ කාබුල් සිට තක්ෂිලා ප්‍රදේශ මෙම රාජධානියයි. නැගෙනහිර කොරමැන්ඩල් වෙරළත් බටහිර මලබාර් වෙරළත් අතර ධර්මදුත කටයුතු සදහා උන්වහන්සේ යොදා ගත් ප්‍රථම බිම් තීරයයි. මෙම බ්ම් ප්‍රදේශයේදී එතුමන් විසින් ඉදිකල බොහෝ දෙව්මැදුරු තිබු අතර එහි සිට කූලින ජනයා උන් වහන්සේගේ දහම වැලදගත් බව කියවේ. මේ කාලයේ බටහිර වෙරළේ ජුදා ජනපද රාශියක් තිබුණු බව පුරාවිද්‍යාඥ කරුණු වලින් එළිදරව් වී ඇති අතර තෝමස් තුමන් ඔවුන්ගේ ආගමික කටයුතු සදහා පැමිණි බව බොහෝ වියතුන්ගේ මතයයි.

4 වන ශත වසරේ (ක්‍රි.ව. 345) කානානිය තෝමස් තුමා මලබාර් පෙදෙසට පැමිණි බව කියවේ. එතුමා සමග සිරියාවේ රදගුරු ලෙස කෙනෙක්ද පැමිණ ඇත. පර්සියාවේ 2 වන ෆෙරෝස් රජුගේ පීඩනය නිසා ඉන්දියාවට පැමිණි මොවුන්ගෙන් කොටසක් ලංකාවටද පැමිණි බව කියවේ. අනුරාධපුර කුරුසිය මොවුන් ගෙන එන්නට හෝ සාදන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි.
ක්‍රි.ව. 535 මෙහි පැමිණි කොස්මස් ඉන්ඩිකෙෂල්‍යුටස් නැමැති ග්‍රීක දේශ ගවේශකයා තම ක්‍රිස්ටියන් ටෙෆොග්‍රපි නම් ග්‍රන්ථයේ පර්සියාවෙන් පැමිණි කිතුනුවන් මෙහි සිටි බවත් දේවස්ථානයක් හා දේව වන්දනාවන්ට අවශ්‍ය දේ හා පුජකයන් සිටි බව එහි දක්වා තිබේ.

සටහන : මිතුන් දිව්‍යාංග සිල්වා