රෝම අධිරාජ්‍යයේ පැවති කිතුණු පීඩන සමය

රෝම අධිරාජ්‍යයේ පැවති කිතුණු පීඩන සමය

ශුද්ධවූ කතෝලික සභාව යනු ලෝකය පුරා විහිද පවතින බිලියන 1.3 අදික ජනකායක් අදහන උත්තරීතර ධර්මයකි. මේ මහා වෘක්ශයක් බදු වූ ශුද්ධ වූ කතෝලික සභාවේ ඉතිහාසය ගත් කල අපට පෙනී යන්නේ එය එක් දවසකින් බිහිවූවක් නොවන බවයි. ඒ මන්දයත් වසර ගණනාවක්  පුරා ශුද්ධාත්මයානන් වහන්සේගේ අනුහසින් පොහොනි වූ විවිධ පුද්ගලයන්ගේ කැපවීම තුළ ශුද්ධවූ සභාව ගොඩනැගී ඇති හෙයිනි. මේ පුද්ගලයන් ගත්කල අපට හමුවන ප්‍රධානම කොට්ඨාසයක් ලෙස "වේදසාක්ශිතවරුන්" හෙවත් "ප්‍රාණපරිත්‍යාගවරුන්" (Martys)  නම් කළ හැකිය.

ප්‍රාණ පරිත්‍යාගීවරුන්  නම් සත්‍ය විශ්වාසය නිසා තමන්ගේ ජීවිතය ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය තුල කැමැත්තෙන්ම පූජා කළ අයයි.

සභා පිය ටර්ටූලියන්තුමන් (ක්‍රි.ව. 155-220)  පවසන පරිදි " ප්‍රාණ පරිත්‍යාග වරුන්ගේ රුධිරය වනාහි  කිතුනු සභාවේ බීජයයි." එසේ පැවසීමට හේතුව නම් එදා (පලමු සියවස් 3දී) දහස් ගණන් කිතුනුවන් තම සත්‍ය විශ්වාසය නිසා මරණය වැලඳගත් හෙයිනි. මන්ද ඔවුන් එසේ මිය ගියද, ඔවුන්ගේ ඒ සාක්ෂි දැරීම දැක බොහෝ දෙනෙක් කිතුනු දහම වැළඳගන්නට උත්සුක වූ නිසාවෙනි.

මුල් කිතුනු සභාව තුල ප්‍රාණපරිත්‍යාගිවරයට සුවිශේෂී ස්ථානයක් හිමි වූ අතර ඔවුන් එය නම් කලේ දෙවන ප්‍රසාද ස්නාපන‍‍ය, ශ්‍රාවකත්වයේ  උත්තරීතරභාවය,  ස්වර්ගීය උපත (Natalium) යන අන්වර්ත නාමයන්ගෙනි. එදා කිතුනුවන් ප්‍රාණපරිත්‍යාගීවරුන් වාර්ෂිකව සැමරීමට කටයුතු කළ අතර  ඔවුන්ගේ සිරුරු තැන්පත් කර ඇති ස්ථානයන්හි දිව්‍ය පූජා පැවැත්වීමට ද, ඔවුන්ගේ ජීවිත කතා නැවත නැවතත්  කියවීමට ද  පටන් ගත්හ.  එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙක් තම විශ්වාසය නිසා දිවි පිදීමට උත්සුක වූහ.  එලෙස දිවිපිදූවන් අතර බව්තීස්ම-ස්නාපනය නොලබාම දිවිපිදූවන් සමහරෙක් ද විය.  

දේව ධර්මවේදී කාර්ල් රානර් (ජේ.නි)  පියතුමන් සඳහන් කරන ආකාරයට මේ බව්තීස්ම-ස්නාපනය නොලබා ප්‍රාණ පරිත්‍යාගය වූ  පිරිස්  "නිර්නාමික  කිතුනුවන්" (Anonymous Christians) ලෙස නම් කළ හැක.

ඉහත සදහන් කල පරිදි ශුද්ධ වූ සභා ඉතිහාසයේ පලමු සියවස් 3 ගත් කල,  කිතුණුවන් විශාල පිරිසක් ප්‍රාණපරිත්‍යාගීවරය වැලද ගත්හ. එයට ප්‍රදානම හේතුව වූයේ රෝම අධිරාජය පාලනය කල ඇතැම් අධිරාජයවරුන් විසින් කිතුණුවන්ට විරුද්ධව ගෙන ගිය දැඩි මර්දනකාරී ප්‍රතිපත්ති නිසාවෙනි. සභා ඉතිහාසයේ සදහන් කර ඇති ලෙස ප්‍රදාන වශයෙන් රෝමයේ අධිරාජයවරුන් 10 කිතුණුවන්ට දැඩි ලෙස පීඩා කර තිබේ.

01.) නීරෝ අධිරාජ්‍යය සමය (ක්‍රි:ව: 64-68)

කිතුණු සභා ඉතිහාසයේ සදහන් වන ප්‍රථම පීඩන සමය ලෙස නීරෝ අධිරාජ්‍ය සමය නම් කල හැක. ක්‍රි:ව 58 රෝමයේ අධිරාජ්‍යවරයා බවට පත් වූ නීරෝ, තම පාලන සමය ආරම්භයේදී කිතුණු පීඩන ප්‍රතිපත්ති කිසිවක් අනුගමනය කල නොකලහ. නමුත් වර්ශ 64දී ඔහුගේ පූර්ණ අනුමැතිය මත රෝම නගරයේ කොටසක් ගිනිබත් කරන ලද නිසාවෙන් නීරෝ බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් විය. තමාට එල්ලවන චෝදනාවන්ගෙන් නිදොස්වීමට ඔහු අනුගමනය කල ක්‍රියා මාර්ගය වූයේ එවක රෝම අදිරාජ්‍යයේ නීත්‍යානුකූල නොවූ කණ්ඩායමක් වූ කිතුණුවන් වෙතට එහි වරද පැටවීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස වර්ශ 64 නීරෝ විසින් කිතුණුවන්ට පීඩා කිරීම අරඹන ලදි. ඉතා අමානුෂික අන්දමින් මෙම පීඩන දියත් කල අතර කිතුණු භක්තිකයන්ව රෝමයේ ක්‍රීඩා පිටි හා නගර ආලෝකමත් කරන පහන් කණු මෙන් පිලිස්සීමටද, සතුන්ගේ ගොදුරු බවට පත්කිරීමද සදහන් කල හැකිය. සංඛ්‍යා ලේඛන අනුව නීරෝගේ පීඩන සමයේදී කිතුණුවන් දහසකට ආසන්න පිරිසක් මරා දමා ඇති අතර, ශු. පේදුරු සහ පාවුලු මුනිවරුන් ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත් වූයේද මේ යුගයේදී ය.

02.) ඩොමීශියන් අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 81-96)

තම අධිරාජ්‍ය පාලනයට කිතුණුවන් භාධාවක් යැයි සැලකූ ඩොමීශියන් අධිරාජ්‍යයවරයා රෝම දෙවිවරුන්ට වන්දනා කරන ලෙස කිතුණුවන්ට බලපෑම් කරනු ලැබූ අතර එසේ නොකළ බොහෝ කිතුණු බැතිමත්හූ ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත්වූහ. එලෙසම ශු. ජුවාම් අපෝස්තුලුතුමන්ව ජීවිතාන්තය තෙක් පැට්මොස් දිවයිනට පිටුවහල් කරන ලද්දේද ඩොමීශියන් අධිරාජ්‍යය සමයේ වීම සුවිශේෂී කරුණකි.

03.) ට්‍රාජන් අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 98-117)

මෙම අවධියේද කිතුණු දහම තහනම් ඇදහිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කල අතර රෝම දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම අනිවාර්යය කරන ලදි. මෙම පාලන සමයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බිතිනියේ ආණ්ඩුකාරවරයා වූ ප්ලීනි (Pliny the Younger) විසින් කිතුණු ධර්මයේ නීත්‍යානුකූලභාවය පිළිබදව විමසමින් අධිරාජ්‍යයවරයා හට ගොනු කරනු ලැබූ ලිපිය සහ කිතුණුවන් විසින් තම දේව වන්දනාව සදහා කැටකුම්බ භාවිතය ඇරඹීම සදහන් කල හැකිය. එලෙසම ශු. ඉග්නාසියුස් තුමන්, ජෙරුසෙලමේ ශු. ඩේමියන් තුමන්, ශු. ඩොමිටිලා තුමිය වැන්නන් ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත් වූයේ මේ වකවානුවේදීය.

04.) මාර්කුස් අවුරේලියුස් අධිරාජ්‍ය සමය්ස් (ක්‍රි:ව: 161-180)

ස්වාභාවික උවදුරු සහ ගෝත්‍රික ආක්‍රමන දිගින් දිගටම පැමිණි රෝම අධිරාජ්‍යය අස්තාවර වීමට ප්‍රධානතම හේතුව කිතුණුවන් බව සැලකූ මාර්කුස් අවුරේලියස් ඔවුනට දැඩි ලෙස හිරිහැර කරන්නට විය. විශේෂයෙන් වහල් සේවය සදහා යෙදවීම සහ මරණීය දන්ඩනය ඔවුනට නියම කිරීමට ඔහු කටයුතු කරන ලදි. ශු. සිසිලියා තුමිය, ශු. ජස්ටින් තුමන් සහ ශු. පොලික්‍රාප් තුමන් ප්‍රාණපරිත්‍යාගවරය වැලදගත්තේ මේ යුගයේදීය.

05.) සෙප්ටිමුස් සෙවරස් (ක්‍රි:ව: 202-211)

මෙම යුගයේදීද ක්‍රිස්තු ධර්මය වැලද ගැනීමට ජනතාට තහනම් කල අතර එසේ නොකරන සියල්ලන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කොට මරණ දඩුවම නියම කරන ලදි. ශු. ඉරේනියස් තුමන්, ශු. පර්පෙතුවා තුමිය සහ ශු.ෆෙලසිතාස් තුමිය මේ යුගයේදී ප්‍රාණපරිත්‍යාගවරය වැලදගෙන ඇත.

06.) මැක්ශිමියානු අධිරාජ්‍යය සමය (ක්‍රි:ව: 235-238)

මැක්ශිමියන්ගේ පාලන සමයේදී කිතුණුවන්ගේ විශ්වාසය අඩපන කිරීමට පිලිපදින ලද ප්‍රධාන ප්‍රතිපත්තිය වූයේ රදගුරුතුමන්ලා, පූජකතුමන්ලා ඇතුලු අනෙකුත් සභා නායකයන්ට පීඩා කිරීමයි. විශේෂයෙන් ඔවුන් වහලුන් ලෙස සර්ඩිනියාව වැනි පෙදෙසේ වල පිහිටි පතල්වල පිටුවහල් කල අතර පාප්තුමන්ද ඒ අතර වූ බව සදහන් වේ.

07.) ඩේශියස් අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 249-251)

රෝමයේ පිරිහීමට ප්‍රධානතම හේතුව කිතුණුවන් යැයි සැලකූ ඩේශියස් ඔවුන් මර්ධනයට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. විශේශයෙන් රෝම දෙවිවරුන්ට සහ අධිරාජ්‍යයවරයාට දුම් පූජා සිදුකල යුතු යැයි පවසමින් "Libellus" නම් නව නීතියක් හදුන්වාදුන් අතර එයට විරුද්ධත්වය පල කල සියල්ලන්ම රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර මරා දමන ලදි. මේ යුගයේදී බොහෝ කිතුණු බැතිමතුන් වනගතවී තපස් ජීවත ගත කිරීමට කටයුතු කල අතර ශු. ෆේබියන් තුමන්, ශු. අගතා තුමිය සහ ශු. ඇලෙක්සැන්ඩර් තුමන් වැන්නන් ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත්වයේද මෙම පීඩන සමයේදීය.

08.) වැලේරියන් අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 254-260)

මෙම පීඩන සමයේදීද කිතුණුවන්ට මිත්‍යා දෙවිවරුන් හට පුද පූජා පැවැත්වීමට අණ කල අතර එසේ නොකළ සියල්ලන්ට දැඩි සේ පීඩා කරන්නන්ට විය. විශේෂයෙන් මෙම යුගයේදී කිතුණුවන්ව රෝම අධිරාජ්‍යට අයත් නොවන කණ්ඩායමක් ලෙස සලකමින් ඔවුනට හිමිව තිබූ පුරවැසි අයිතීන් පැහැර හරින ලදි. එලෙසම රදගුරු තුමන්ලා සහ පූජක තුමන්ලා සිරගත කිරීම, දේවස්ථාන හා කිතුණු පොත පත විනාශ කිරීම වැනි දෑ තුලින් කිතුණු විශ්වාසය මහත් සේ බලපෑමට ලක්කල මෙම පීඩන සමයේදී ශු. ලෝරන්ස් තුමන්, ශු. ඇග්නස් තුමිය, දෙවන සික්ස්ටස් තුමන් වැන්නන් ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත්වූහ.

09.) අවුරේලියස් අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 274-280)

රෝමයේ සෙනට්සභිකයන්ගේ සිත දිනාගැනීමේ අරමුණ ඇතිව කිතුණු පීඩන ඇරඹූ අවුරේලියස් විසින් කිතුණුවන් බොහෝ දෙනෙක්ව ප්‍රසිද්ධ රංග ශාලාවල සිටි වන සතුන්ගේ ගොදුරු බවට පත්කරන ලදි. විශේෂයෙන් ශු. ෆීලික්ස් තුමන, ශු. ඩෙනිස් තුමන් ප්‍රාණපරිත්‍යාගවරය වැලදගත්තේ මේ පීඩන සමයේදීය.

10.) දියොක්ලේසියානු අධිරාජ්‍ය සමය (ක්‍රි:ව: 284-305)

දියොක්ලේසියානු අධිරාජ්‍ය සමය රෝමයේ සිටි කිතුණුවන්ට සිදු වූ අවසානතම මෙන්ම දරුණුතම පීඩා සමය ලෙස නම් කළ හැක. ක්‍රි:ව: 303 දී,  දියොක්ලේසියානු අධිරාජ්‍යයා රෝම අදිරාජ්‍යය කොටස් සතරකට බෙදා, මැක්සිමියන්, ගැලේරියස් සහ කොන්ස්ටන්ටියස් නම් අයට එහි නායකත්වය පවරන ලදි. පසුව ඔවුන් හා එක්වෙමින් කිතුනුවන්ට එරෙහිව ඉතා දැඩි නීතිමාලාවක් හදුන්වා දීමටද දියොක්ලේසියානු කටයුතු කරන ලදි. එය දැඩි ක්‍රිස්තු විරෝධී නීති මාලාවක් වූ අතර එයට අවනත නොවූ සියල්ලන්ම ඉතා අමානුෂික ලෙස මරා දමන ලදි.

එලෙසම කිතුණුවන්ට අයත් ආගමික ස්ථානයන් විශාල සංඛ්‍යාවක් මෙම යුගයේදී විනාශ කර දැමීමටද ඔහු විසින් කටයුතුකරන ලදි. සංඛ්‍යා ලේඛනයෙන්ට අනුව මෙම යුගයේදී කිතුණුවන් 50,000 අධික පිරිසක් ප්‍රාණපරිත්‍යාගවරුන් බවට පත්ව ඇති අතර ශු. සෙබස්තියන් තුමන්, ශු. ලුසියා තුමිය, ශු. කැතිරින් තුමියද ඒ අතර විය.

දියොක්ලේසියානු අධිරාජ්‍ය සමය අවසන් වීමත් සමගම කිතුණු පීඩන ප්‍රතිපත්ති යම්තාක් දුරට අඩු වූ අතර ක්‍රිස්තු වර්ෂ 313 කොන්ස්තන්තීනු  අධිරාජයා (ක්‍රි:ව:280-337) විසින් ඉදිරිපත් කළ "මිලාන්  ආඥාව" (Edict of Milan) මගින් කිතුනුවන්ට තම දහම  රෝම අධිරාජ්‍යය තුළ ඇදහීමට නිදහස ලැබිණි. පසුව ක්‍රි:ව: 380  පලමුවන තියඩෝසියස් අධිරාජයයා  විසින් කිතුනු දහම  රෝමයේ ප්‍රධාන  ආගම ලෙසද නම් කරන ලදී. මේ නිසාවෙන් තිබූ පීඩනකාරී  සමය අවසන් වී රාජ්‍ය අනුග්‍රහය යටතේ දියුණුවීමට  ශුද්ධ වූ සභාවට අවසර හිමිවිය. මේ කාලයේදී බැසිලිකා, දෙව්මැදුරු විශාල වශයෙන් ඉදි වූ අතර නිසියානු, කොන්ස්තන්තිනෝපල් වැනි මන්ත්‍රන සභාද රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වන ලදි.

සැකසුම ~ ලියෝ මදුශාන් සහෝදරතුමන්