කතෝලික සභාව විසින් "සබත" වෙනස් කරනු ලැබුවේද?

කතෝලික සභාව විසින් "සබත" වෙනස් කරනු ලැබුවේද?
Photo by Sander Crombach / Unsplash

• දස පණත තුළ සදහන් වන කිසිදු පණතක් කතෝලික සභාව විසින් වෙනස් කොට නොමැත.
"දස පණත" පමණක් නොව සමස්ථ ශුද්ධ ලියවිල්ලම අංකනය කරනු ලැබුවේද "අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව" විසින්ම බව මුලධර්මවාදීහු නොදනිති.දස පණත යන්නෙහි සාහිත්‍යමය අර්ථය වන්නේ "වචන දසය" යන්නයි.නික්මයාම 20 තුළ දස පණත ලෙස මෙම පණත්  වර්ග කර නොමැත.එය ද්ව්තීය නීති සංග්‍රහයේ 4:13 වගන්ති තුළ "දස පණත" ලෙසට සදහන් වේ.දේවානූභාවය ලැබු "ශුද්ධ ලියවිල්ලෙහි" කතුවරුන් විසින් පවා අංකනය නොකරන ලද "දස පණත" අංකනය කරනු ලැබුවේ තෙවන සියවස තුළ ජීවත් වූ මහා "දේවධර්මවාදියකු" වුද "සභා පීතෘ" වරයෙකුද වන සාන්ත අගූස්තීනු මුනිතුමන් විසිනි.ඉන් අනතුරුව සමස්ථ ශුද්ධ ලියවිල්ල පරිච්ඡේද වලට බෙදා වෙන් කරන ලද්දේ 13 වන සියවස තුළ ජීවත් වු "ලැන්ටන් සහ සන්ටො කාරෝ" යන කතෝලික රදගුරු වරුන් විසිනි.ඉන් අනතුරුව "සන්ටිස් පග්නීනෝ"තුමන් විසින් එය වාක්‍ය ඛන්ඩයන්ට බෙදා වෙන්කරන ලදී.

• සබත යන්නෙහි හෙබ්‍රව් වචනය වන්නේ "ශබට්" යන්නය.එහි අර්ථය නම්"වැඩ වලින් නිවාඩු ගැනීමයි."

• දෙවියන් වහන්සේ විසින් දින සයකින් කින් ලෝකය මවා සත්වන දින නිවාඩු ගත් සේක.( උත්පත්ති 2:3 ) ඊශ්‍රායෙල් සම්ප්‍රදායට අනුව මෙම සත්වන දිනය වන්නේ "සෙනසුරාදා" දිනයයි.මේ නිසා මූලධර්මවාදී සභාවන් අතරින් සභාවන් කිහිපයක් සබත් දිනය "සෙනසුරාදා" දිනය ලෙස සලකති."සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්ස්"මෙම ව්‍යාජ ඉගැන්වීම සිදු කරන සභාවන් අතරින් ප්‍රධාන තැනක් ගන්නා සභාවක් වෙයි.ක්‍රි:ව 1850 දී "විලියම් මිලර්" නැමැත්තෙකු විසින් මෙම සභාව ආරම්භ කරන ලදී.

දස පණත තුළ සදහන් වන "සබත"

📕11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

       ( නික්මයාම 20:11 )

• කිතු දහමේ මුල් බීජය ජුදා දහමයි.නමුත් කිතු දහම යනු ජුදා දහම නොවන බව සිහියේ තබා ගැනීම වැදගත්‍ වේ.ජුදා දහමේ සම්ප්‍රදායන් බොහොමයක් කිතු දහම තුළ වෙනස් වී ඇත.ජුදා ජාතිකයන්ගෙන් බොහොමයක් ක්‍රිස්තුන් වහන්සේව පිලිගත්තේද නැත.

• පුරාණ ගිවිසුම තුළ ඊශ්‍රායෙල් ජනතාව "චර්මජේදනය" තුළින් දෙවියන් වහන්සේ හා ඒකාබද්ධ විය.එය දෙවියන් වහන්සේ සහ ඊශ්‍රායෙල් පිරිමි දරුවන් අතර "සදාතන ගිවිසුමක්ද" විය.( උත්පත්ති 17:12-13 ) එය සැත්කමකින් සිදු කරනු ලැබු චර්මජේදනයකි.නමුත් ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ මාංසීක ක්ලේශයන් නැසීමේ චර්මජේදනය වන්නේ "බව්තිස්ම ස්නාපනයයි."මේ නිසා පුරාණ ගිවිසුම තුළ වු "චර්මජේදනය" අහෝසී වී ගියේය.

📕11 උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි.
📕14 අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.

        ( කොලොස්සි 2:11-14 )

• පුරාණ ගිවිසුම තුළ "පාස්කු" මංගල්‍ය වුයේ ඊශ්‍රායෙල් ජනතාව ඊජීප්තු දේශයේ වහල් භාවයෙන් මිදී පොරොන්දු දේශය කරා පැමිණීමේ සිද්ධියයි."පාස්කු බැටළුවා පූජා කරමින් නුමුහුන් පුප සහ තිත්ත පලා අනුභව කිරීමේ පිළිවෙතත්" සමගින් ඔවුන් විසින් වසරක් පාසා මෙම සිදුවීම පරිස්මරණය කෙරිණ.( නික්මයාම 12:6-8 ) "මෙය සදහටම ඔබටත් ඔබේ දරුවන්ටත්  පිළිපැදිය යුතු නියෝගයක්" වන බව එහි සදහන් වේ. ( නික්මයාම 12:24 )

නමුත් නව ගිවිසුම තුළ ක්‍රිස්තුන් වහන්සේ විසින් පාස්කු භෝජනයට නව අර්ථ කතනයක් ලබා දෙන ලදී.උන්වහන්සේ විසින් "පූපය සහ මිදියුස" තමන්ගේ මාංශය සහ රුධීරයට හරවමින් උන්වහන්සේම "පාස්කු බැටළුවා සහ පුජකයා" බවට පත් විය.

📕19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ''ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ''යි වදාළ සේක.
📕20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ''මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.

        ( ලුක් 22:19-20 ) 

• මේ ආකාරයට පුරාණ ගිවිසුම තුළ "චර්මජේදන" පිළිවෙත අහෝසී වී ගිය අතර පාස්කු මංගල්‍ය "පරිස්මරණය" කිරීම සදහා ක්‍රිස්තුන් වහන්සේ විසින් නව ගිවිසුම තුළ නව අර්ථකථනයක් ලබාදෙන ලදී.වර්තමානයේදී "දිව්‍ය පුජාව" තුළ සිදුවන්නේද මෙම "පරිස්මරණයයි."

• පුරාණ ගිවිසුම තුළ ගැලවීමේ ක්‍රියාවලිය සම්පූර්ණත්වයට පත් වුයේ නැත.පුරාණ ගිවිසුම තුළ ගැලවීම ලැබු ආත්මයන්ට ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථාන‍ය දක්වා "හේදිසිය" තුළ රැදී සිටීමට සිදුවුයේ මේ නිසාය.

( මතෙව් 27:52 ) එබැවින් පුරාණ ගිවිසුම තුළ දවස් 6 ක් වෙහෙස වී වැඩ කොට සත් වන දිනය නිවාඩු ගත යුතුය.සතියේ පළමුවනදා ජේසුස් වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වී වදාල සේක.එදින සතියේ පළමුවනදා වු නිසාම පළමු මැවිල්ල සිහිගන්වනු ලබයි.සබත් දිනයට පසු දිනය අට වන දිනය වන නිසා එය ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය මගින් බිහි කරන ලද "නව මැවිල්ල" සංකේතවත් කරයි.ක්‍රිස්තියානින් හට මෙම දිනය සියළු දිනයන්ට ප්‍රථම දිනයයි.සියළු මංගල්‍යන් හී ප්‍රථම මංගල්‍යයයි. "සමිදාණන් වහන්සේගේ දිනයයි."

📕10 "සමිඳාණන් වහන්සේගේ දවසේ දී" මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.

      ( එලිදරව්ව 1:10 )

• ක්‍රිස්තුන් වහන්සේ විසින් "එම්මාවුස් ගමනේදී" අපෝස්තුළුවරුන් දෙදෙනා සමගින් "රොටී කැඩීම" සදහා සහභාගී වන්නේද තමන් වහන්සේ උත්ථාන වී වදාල සතියේ "පලමුවනදා"වු "ඉරිදා" දිනයේදීමය.එය නව සබත ස්ථාපිත කිරීමේ "පුර්ව ලකුණක්" ලෙස දැක්විය හැකිය.

📕13 "එම දවසෙහි" ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.
📕30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.

   ( ලුක් 24:13-30 )

• සබත පිළිබදව මුලික ඉගැන්වීමක් හේබ්‍ර්ව් ලිපිය තුළ ඇතුලත් වෙයි.සභා සම්ප්‍රදායට අනූව මෙම "හේබ්‍ර්ව් ලිපිය" ලියන ලද්දේ ශුද්ධ වු පාවුලු තුමන් විසින් බවට මතයක්ද පවතී.

📕4 උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, ''දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ''යි කියා තිබේ.
📕7 උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්:
''අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න,''
යන පාඨයෙහි 'අද' කියා එක්තරා දවසක් නියම කරන සේක.
📕8 මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.
📕9 එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත.
📕10 දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.
📕11 එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.

      ( හේබ්‍රව් 4:4-11 )

• පුරාණ ගිවිසුම තුළ "ජෝශුවා" යන නාමය ජේසුස් වහන්සේගේ නාමයට වඩාත් සමීපතම නාමයයි.ජෝශුවා විසින් ජෙරිකෝවේ තාප්පය බිද දමන විට ඊශ්‍රායෙල් ජනතාවට සත්වන දින නිවාඩු ලබාදුන්නේ නැත.එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතිරිව ඇති බව හේබ්‍ර්ව් කතුවරයා විසින් ප්‍රකාශ කරයි.මුල් සභාව තුළ මෙම දිනය ලෙස යොදා ගත්තේ සමිදාණන් වහන්සේගේ "උත්ථානය" සිදු වු ඉරිදා දිනයයි. මන්දයත් "ගැලවීමේ ක්‍රියාවලිය" සම්පුර්ණත්වයට පත් කරමින් ක්‍රිස්තුන් වහන්සේ විසින් සිය වැඩ කටයුතු වලින් "විශ්‍රාම" ගත්තේ එදිනය.

• එමෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනය සිදුවුයේද, ශුද්ධ වු සභාව ස්ථාපිත වුයේද "පෙන්තකෝස්ත" මංගල්‍ය දිනයි.එදිනද සතියේ "පලමුවනදා" හෙවත් ඉරිදා දිනයයි.එමෙන්ම එදින 3000 ක් පමණ දෙනා බව්තිස්මය ලැබු බවද සදහන් ය.

📕41 එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
📕42 ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.

     ( ක්‍රියා 2:41-42 )

• මේ නිසා මුල් සභාව විසින් සබත් දිනය වෙනුවට රොටී කැඩීම සදහා යොදාගනු ලැබුවේ සතියේ "පලමුවනදා" වු "ඉරිදා" දිනයයි.

📕7 c "සතියේ පළමු වැනි දා" අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;

          ( ක්‍රියා 20:7 )

• සතියේ පළමුවනදා දිළිදුන් වෙනුවෙන් සිදුකල යුතු සම්මාදම පිළිබදව පාවුළු තුමන් විසින් කොරින්ති සංඝයට පැහැදිලි කරනු ලබයි.

📕1 දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.
📕2 සෑම සතියක ම "පළමු වන දා"ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.

           ( 1 කොරින්ති 16:1-2 )

• නමුත් මුලධර්මවාදීන් විසින් පාවුළු තුමන් සබත් දින දේශනා සිදු කරන ලද අවස්ථාවන් බොහොමයක් උපුටා දක්වමින් මුල් සභාව විසින් "සබත් දිනය" වශයෙන් සුපුරුදු සෙනසුරාදා දිනයම යොදා ගත් බව පවසන්නට උත්සහ කරයි.පාවුළු තුමන් ජුදාවරුන්ගේ සබත සැමරීමට සහභාගී වන්නේ කෙසේද?ඔහු ඒ වන විටත් ක්‍රිස්තියානි දහම වැලදගෙන අවසන් ය.ජුදා සබත තුළ ක්‍රිස්තුන් වහන්සේගේ "පාස්කු අභිරහස" පරිස්මරණය කිරීමක් සිදු වුයේ නැත.නමුත් පාවුළු තුමන් විසින් සුභාරංචිය දේශනා කිරීමට පමණක් ඔවුන් හා සම්බන්ධ විය.

ඒ තුළින් ඔහු විසින් ජුදා ජාතිකයන් රාශියක් ක්‍රිස්තියානි දහම වෙත හරවා ගත්තේය.

📕44 ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ.
📕45 එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.

            ( ක්‍රියා 13:44-45 )

📕13 සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.
📕14 ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.
📕15 ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, ''මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ''යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.

         ( ක්‍රියා 16:13-15 )

📕8 පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.

           ( ක්‍රියා 19:8 )

• ශුද්ධ වු පාවුළු තුමන් විසින් "සබත් දවස්" පිලිබදව කිසිවෙකුට විනිශ්චය කිරීමට ඉඩ නොදෙන ලෙසට ප්‍රකාශ කරයි.මන්දයත් සියල්ලෙහිම යථා තත්වය "ක්‍රිස්තුන් වහන්සේ ය."අන් සියළු දේ පැමිණෙන්ට තිබුණු දේවල ඡායාවක් පමණි.

📕16 එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
📕17 ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්වය "ක්‍රිස්තුන් වහන්සේ ය."

    ( කොලොස්ස 2:16-17 )

• "ස්වාමින් වහන්සේගේ දිනය" වන ඉරුදින පවත්වන දිව්‍ය පුජාව "දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය" වන්නේය. සභාවේ "අපෝස්තලික සම්ප්‍රදායට" අනුව ඉන් ක්‍රිස්තුන් වහන්සේගේ "පාස්කු අභිරහස" "පරිස්මරණය" කරනු ලබයි.මේ නිසා විශ්වීය සභාව විසින් මෙම දිනය "ශුද්ධ වු දිනයක්" ලෙස සලකා එදින සෑම විශ්වාසකයෙකු හටම සම්පුර්ණ දිව්‍ය පූජාව අනිවාර්යය කර ඇත.

සතුට යනු කතෝලිකයකු වීමයි!

✍️ සාහිත පෙරේරා