මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 01 පළමු කොටස

මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 01 පළමු කොටස

හැඳින්වීම

සුබ අස්න ලොව පුරා පතල කරමින් දේව රාජ්‍යය සඳහා දේව ජනතාවක් සුදානම් කිරිමේ කාර්‍ය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේ ස්ථාපිත කල එකම ශුද්ධවු සභාව වෙත පැවරූ සේක. නමුත් දේව වචනය විකෘති කරමින් ජනතාව මුලා කරන කිතුනු මුලධර්මවාදි කණ්ඩායම් විශාල සංබ්‍යාවක් අද බිහි වී ඇති අතර ඔවුහු බහුතරයක් කතෝලික සභාවේ ඉගැන්වීම්, සම්ප්‍රදාය සහ සභා අධිකාරියට එරෙහිව නොයෙකුත් පදනම් රහිත චෝදනා එල්ල කරති. මෙම කණගාටුදායක තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේගේ ආදරයේ සුබාරංචිය පැතිරවීම සඳහා බාධකයක් මෙන්ම වත්මන් ලොවට ඉමහත් අවාදර්ශයක් ද වී ඇත. මුලධර්මවාදි කණ්ඩායම් නගන සාවද්‍ය චෝදනා පිළිබඳව කතෝලික ජනතාව දැනුවත් කිරිම මෙම ලිපිය ඉදිරිපත් කිරිමේ අරමුණයි.

මුලධර්මවාදි කණ්ඩායම්වල ආරම්භය

බෙදි ගිය කිතුනු මුලධර්මවාදීන්ගේ ආරම්භය 19 වන ශත වර්ෂයේ දෙවන භාගයේ දී, ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදුවිය. මේ කාලයේ දී සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාව, යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවෝ, පෙන්තකොස්ත සභාව ආදී නව සභාවන් බිහිවන්නට විය. ක්‍රිස්තුන් වහන්සේ වර්ෂ 1844 දී ලෝක විනිශ්චය ආරම්භ කළ බව පවසමින්, වර්ෂ 1850 දී පමණ විලියම් මිලර් විසින් කිතුණු ව්‍යාපාරයක් 1860 දී ආරම්භ කරන ලදි. මේ ව්‍යාපාරය 1860 දී "සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්" යනුවෙන් නම් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණිම්ට ප්‍රමුඛත්වයක් දෙමින් සහ සතියේ සත්වන දවස ශුද්ධවු දිනය (සබත) බව තහවුරු කරමිනි. වර්ෂ 1852 දී ඈමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි උපත ලැබු ප්‍රොතෙස්තන්ත කොන්ග්‍රිගේෂන් සභාවට අයත් වු චාර්ල්ස් ටී රසල් විසින් යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවන් නමැති සභාව පිහිටුවන ලදි. පටන් ගැන්මේදි (වර්ෂ 1872) දී "මිලේනියල් ඩෝනිස්ට්ස්" යනුවෙන් නම් වු මෙම සංවිධානය ටික කලකට පසුව (වර්ෂ 1879 දී) මුරටැඹ සංවිධානය (වොච් ටවර්) ලෙස නම් වෙනස් කරගන්නා ලදි. 1916 දී රසල්ගේ මරණයෙන් පසු නායකත්වය දැරූ රදෆර්ඩ් විසින් සංවිධානයේ නම 1931 දී යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවන් යනුවෙන් වෙනස් කරන ලදි.

පෙන්තකොස්ත සභාව 1900 දී ප්රෑම් නමැති දේවගැතිවරයා විසින් අරඹන ලදි. පෙන්තකොස්ත සභාව තුළින් බිහිවු කිතුණු කණ්ඩායම් 30.000 ක් පමණ අද ලෝකය පුරා දක්නට ඇත. මෙම කණ්ඩායම් විවිධ නම් වලින් හඳුන්වන ලබන අතර ඇතැම් විට ඒවා එකිනෙකට වෙනස් වු පරස්පර විරෝධී සභාව මුලධර්මයන් ද ඉදිරිපත් කරති. දිගු කාලීන පැවැත්මක් ද, පැහැදිලි ඓතිහාසික පසුබිමක් ද, ඉගැන්විමේ නිල අධිකාරියක්ද, නැති මෙම කණ්ඩායම් ශුද්ධ ලියවිලි පාඨයන්ට තම තමන්ට රිසි අයුරින් විවිධාකාර අර්ථකථනයන් ඉදිරිපත් කරති. ලයිට් හවුස්, එසෙම්බිලි ඔෆ් ගෝඩ්, ස්මර්ණ, කල්වාරි, නව කල්වාරි, බෙත්ලෙහෙම්, ගෙත්සෙමනි, ජීවන ගංඟා සහ නව ජීවන ගංඟා වැනි සභාවන් පෙන්තකොස්ත සභාව යටතේ බිහි වී ඇති මුලධර්මවාදි කණ්ඩායම් රාශියකින් සමහරකි.

මුලධර්මවාදීන් ප්‍රධාන කොටස් දෙකකි.

බෙදිගිය මුලධර්මවාදීන් ඔහුන්ගේ ඇදහිල්ල අනුව ප්‍රධාන කණ්ඩායම් දෙකකට වෙන කළ හැකිය.

i. ශුද්ධවු ත්‍රිත්වය, ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය, කන්‍යාවක් වු මරිය තුමියගෙන් එතුමන් උපත ලැබීම, එතුමන්ගේ ශ්‍රී රුධිරයෙහි ඇති ගැලවීමේ බලය, ශුද්ධාත්මයාණන්ගේ දේවත්වය, සභාව තුළ උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය සහ ක්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණීම. සමස්තයක් වශයෙන් පිළිගනිති.(උදා: පෙන්තකොස්ත සභාව සහ එම සභාව තුලින් බිහි වී ඇති කණ්ඩායම් )

ii. ශුද්ධවු ත්‍රිත්වය, ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය, ශුද්ධාත්මයාණන්ගේ දේවත්වය සහ කුරුසිය මත ක්‍රිස්තුන් වහන්සේගේ මරණය පිළිනොගනති. (උදා: යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවෝ)
බෙදී ගිය මුලධර්මවාදීන්, බයිබලය වචනාර්ථයෙන් පමණක් තේරුම් ගන්නා අතර, තමන් විශ්වාස කරන බොහෝ දේ පදනම් කර ඇත්තේ තම නායකයන්ගේ පෞද්ගලික මත අඩංගු ලියකියවිලි මතය. නමුත් මීට අමතරව ඉතාමත් භයංකාර සිදුවීමක් වන්නේ යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවන් තම සභා නායකයන්ගේ ව්‍යාජ ඉගැන්වීම් වලට එකඟ වන සේ බයිබලයේ නොයෙකුත් පාඨයන් විකෘති කර තමන්ගේ බයිබලයක් මුද්‍රණය කිරිමයි. (මුරටැඹ සංවිධානය විසින් 1950 දී පමණ සකස් කල "නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්" New World Translation of the Holy Scriptures)

ශ්‍රී ලංකාවේ දැනට පවතින මුලධර්මවාදී කණ්ඩායම්

මුලධර්මවාදි කණ්ඩායම් බොහෝමයක් ශ්‍රී ලංකාවේ ඇත. ඉන් සමහරක් මෙසේය:

  1. එසෙම්බිලි ඔෆ් ගෝඩ්,
  2. ලයිට් හවුස් සභාව,
  3. අපෝස්තලික සභාව,
  4. බෙතල් සභාව,
  5. කල්වාරි සභාව,
  6. නව කල්වාරි සභාව,
  7. ක්‍රිස්ටියන් එසෙම්බිලි ඔෆ් ලංකා,
  8. ඩිවයින් ලව් චර්ච්,
  9. ෆෝ ස්කොයාර් ගොස්පල් සභාව,
  10. ජීවන සභාව,
  11. නව ජීවන සභාව,
  12. යෙහෝවා වහන්සේගේ සාක්ෂිකරුවෝ,
  13. මයි සේවියර්,
  14. සයන් සභාව,
  15. ෆිලඩෙල්ෆියා සභාව,
  16. රොක් සභාව,
  17. සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්,
  18. ස්පිරිචුඅල් ක්‍රිස්ටියන් ෆෙලෝෂිප්,
  19. ලංකා පෙන්තකොස්ත සභාව,
  20. චර්ච් ඔෆ් ප්‍රෙයා,
  21. ඊස්ට් ලංකා ඉවැන්ජලිකල් මිෂන්,
  22. හවුස් ඔෆ් ප්‍රෙයා සභාව,
  23. ජීවන ගංඟා සභාව,
  24. නව ජීවන ගංඟා සභාව,
  25. ජීවන දිය සභාව,
  26. ජීසස් කම්ස් ඉවැන්ජලිකල් මිනිස්ට්‍රි,
  27. මොර්මොන්ස් සභාව,
  28. නිව් ලයිෆ් සභාව,
  29. පෙන්ටකොස්ටල් එසෙම්බිලි ඔෆ් ශ්‍රී ලංකා,
  30. ප්‍රෙයා ටැබර්නකල් සභාව,
  31. සැන්ක්චුවරි ෆෙලෝෂිප්,
  32. ස්මර්ණ සභාව,
  33. ට්‍රම්පට් සවුන්ඩ් මිනිස්ට්‍රිස්,
  34. බෙත්ලෙහෙම් සභාව,
  35. යුනයිටඩ් ක්‍රිස්ටියන් ෆෙලෝෂිප්,

ශුද්ධවු බයිබලය බිහිවුයේ කෙසේද?

පැරණි ගිවිසුම (පොත් 46) - ජේසු සමිඳුන් මෙලොවට පැමිණෙන්නට පෙර
නව ගිවිසුම (පොත් 27) - ජේසු සමිඳුන් මොලොවට පැමිණුනාට පසුව

නව ගිවිසුමට අයත් ග්‍රන්ථ සියල්ලම ලියන ලද්දේ ශුද්ධවු සභාවට අයත් ගත්කරුවන් විසිනි. පැරණි ගිවිසුම තුළ නව ගිවිසුම සැඟවි ඇති අතර නව ගිවිසුම පැරණි ගිවිසුම එළිදරව් කරයි.

ක්‍රි.ව. 393 දී හිප්පොහි දි සහ ක්‍රි.ව. 397 හා 419 දී කාර්තේජ්හිදි පැවැත්වු ශුද්ධවු සභාවේ මන්ත්‍රණ සභාවන් විසින්, මෙම ග්‍රන්ථ 27 ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු නිර්වද්‍ය ග්‍රන්ථයන් ලෙස අනුමත කරන ලදි. ඉන්පසුව මෙම ග්‍රන්ථ 27 නව ගිවිසුම යනුවෙන් නම් කර, පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 46 ත් සමඟ සම්බන්ධ කොට, සම්පුර්ණ දේව වචනය බයිබලය නමින් ලොවට ඉදිරිපත් කළේ ශුද්ධවු කතෝලික සභාවයි.

හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවෙන් ලියැවී තිබුණු පුරාණ සහ නව ගිවිසුම් ග්‍රන්ථ සියල්ලම ලතින් භාෂාවට පරිවර්ථනය කිරිම සඳහා පළමුවන ඩැමසස් පාප් තුමන් විසින් වර්ෂ 382 දී සාන්ත ජෙරෝම් තාපස තුමන්ව පත් කරන ලදි. වර්ෂ 386 දී බෙත්ලෙහෙම් නගරයට ගිය එතුමා, අවුරුදු 20 ක් වැනි දිගු කාලයක් මුළුල්ලේ එහි නැවති සිට පරිවර්ථනය කල පුරාණ සහ නව ගිවිසුම් දෙක "වල්ගේට්" පරිවර්තනය ලෙස හැඳින්වේ. ලෝකයේ විවිධ භාෂාවන්ට ශුද්ධ බයිබලය පරිවර්තනය කිරිමේදි මුල් පිටපත ලෙස මෙම "වල්ගේට්" ලතින් පරිවර්තනය යොදා ගැනිම කතෝලික සභාවේ දායකත්වයේ විශේෂත්වයකි. තවද වර්ෂ 1227 දී (කැන්ටබරි හි අගරදගුරු ස්ටීවන් ලැන්ග්ටන් විසින්) සහ වර්ෂ 1248 දී (දොමිනිකාන කාර්දිනල් හියුගෝ විසින්) ශුද්ධ බයිබලය අංකනය කරන ලදි.

මුද්‍රණ ශිල්පය නොතිබුණු මුල් යුගයේ දී ශුද්ධවු බයිබලය පිටපත් කළේ කතෝලික සභාවයි. සියවස් ගණනාවක් පුරා එය විනාශ කිරීමට ඉඩ නොදී සතුරන්ගෙන් එය සුරැක්කේ කතෝලික සභාවයි. නව ගිවිසුම බිහිව නොතිබුණු කාලයේ දී සහ එය අතින් ලියැවුණු කාලයේදි දේව වචනය ජනතාවට පහදා දුන්නේ කතෝලික සභාවයි. 16 වන සියවසේදි කතෝලික සභාව හැරගිය මාටින් ලුතර් පවා මෙසේ කියයි. "අප දේව වචනය ලබාගෙන ඇත්තේ කතෝලිකයන්ගෙනි. එසේ නොවුයේ නම් අප ඒ පිළිබඳ කිසිවක් නොදැන සිටින්නට ඉඩ තිබුණි."

මුලධර්මවාදීන්ගේ දුර්මත හා චෝදනා

(1) දුර්මතය

"ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ නොව, දේව මැවිල්ලක් පමණයි. ක්‍රිස්තුන් වහන්සේ ලෙසින් මෙලොව බිහිවුණේ මිඛායෙල් අග්‍රදුතයාය."

පිළිතුර : දෙවියන් වහන්සේ මිනිසත් බව ගෙන මොළොවට පැමිණෙන බව පැරණි ගිවිසුමේ බොහෝ තැන්වල සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය ගැන පැරණි ගිවිසුමේ සඳහන් වන පාඨයන් අතරින් සමහරක් මෙසේය:
යෙසායා 7:14 - " .... කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයකු බිහිකරනීය; එම්මානුවෙල් යන නම තබන්නීය."
යෙසායා - 9:5-6 -"..... අපට පුත්‍රයෙක් දෙන ලද්දේය;... ඒතුමාණන් අසිරිමත් උපදේශකයාණෝය; ප්‍රතාපවත් දෙවිතුමාණෝය; සදාතන පියාණෝය; සාමයේ කුමාරයාණෝ යයි කියනු ලබන සේක." ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය සනාථ කරන බව නව ගිවිසුමේ පාඨයන් බෝහෝමයක් අතරින් සමහරක් මෙසේය:-
මතෙව් 1:23 (මෙය යෙසායා 7:14 සමඟ සසඳන්න) මතෙව් 2:11 (ශාස්ත්‍රවන්තයින් තිදෙනා "ළදරුවා සහ මව..... දැක, උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ,.... පඬුරු උන්වහන්සේට පිදුහ.")
මාක් 2:4-5- ලූක් 5:20-26- ලූක් 7:36-50 - ලුක් 23:43 පව් කමා කළ හැකිවන්නේ දෙවියන් වහන්සේට පමණයි.
ජුවාම් 1:1-5/5:18/8:12-58 (මෙය නික්මයාම 3:14 සමඟ සසඳන්න) /10:22 - 42/ 14:8-11/ 17:5,11,20-22 / 20:28
මාක් 14:61-64 / මතෙව් 26:63-66/ ලුක් 22:67-71 ජුවාම් 19:7 - ක්‍රිස්තුන් වහන්සේ මරණයට පත් කිරිම සඳහා ජුදා නායකයන් පිලාත් ඉදිරියෙහි ඉදිරිපත් කළ ප්‍රධානම චෝදනාව වුයේ තමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි ප්‍රකාශ කිරිමය.

ශු. පාවුළු තුමන් ජේසු සමිඳුන්ගේ දේවත්වය බොහෝ අවස්ථාවන්වල සනාථ කර ඇත. මේවා අතරින් පාඨයන් 4ක් පමණක් මෙසේය:-

රෝම 9:5, පිලිප්පි 2:6-11 (පිලිප්පි 2: 10-11 සහ යෙසායා 45:23 සසඳන්න). කොලොස්සි 1: 15-16, තීතස් 2:11-14, තවද හෙබ්‍රෙව් 1:1-14, 2 පේදුරු 1:1, 1 ජූවාම් 5:20 සහ එළිදරව්ව 1:5-8/ 5:7-14 ද කියවන්න. (හෙබ්‍රෙව් 1:1-14 සහ 13:8 සමඟ එළිදරව්ව 1:5-8 සසඳන්න)
ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය පිළිනොගන්නා අයට, උන්වහන්සේ විසින්මන් පැවසු වචන උපුටා දක්වමින් අවවාද කිරිම උචිතය.
ජුවාම් 3:35-36 "...... යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවතියි.
ජුවාම් 8:24 " මම උන්වහන්සේ යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහිම ඔබ මැරෙන්නහුය"

(2) දුර්මතය

" ශුද්ධාත්මය යනු දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලයයි. ශුද්ධාත්මය පුද්ගලයකු නොව, බලයක් පමණී. එබැවින් ශුද්ධාත්මය දෙවියන් වහන්සේට සමාන නැත,"

පිළිතුර : ශුද්ධාත්මයාණන් වහන්සේ පුද්ගලයකු බවත්, එතුමාණන් දෙවියන් වහන්සේම බවත් ශු. ලියවිල්ල එළිදරව් කරයි. ශුද්ධාත්මයාණන් පුද්ගලයෙකු වන බව ජේසු සමිඳුන්ගේ වචන වලින්ම අපට වැටගේ:-

ජුවාම් 14:15-17, 25-26/15:26/16:7-15".... සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන්වහන්සේ මා ගැන් සාක්ෂි දරන සේක."
තවද පහත සඳහන් පාඨයන් තුළින් ද ශුද්ධාත්මයාණන් පුද්ගලයකු බව සනාථ වේ:- ක්‍රියා 13:2/ රෝම 8:26/ එපීස 4:30 ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේ වන බව ශු. පේදුරු තුමා පවසයි. ක්‍රියා 5:3-4 මීට අමතරව, ජුවාම් 4:24 සහ 2 කොරින්ති 3:17-18 ද කියවන්න. ශුද්ධාත්මයාණන් වහන්සේට අපහාස කරන අයට ජේසු සමිඳුන්ගේම වදනින්ම අවවාද කිරිම උචිතය:- මාක් 3:22-30 ".....  ශුද්ධාත්මයාණන්ට අපහාස කරන වූ ත්‍රිත්වය ධර්මය බයිබලය ධර්මයක් නොවේ සුදු ත්‍රිත්ව යනු යෙදුම බලයේ බයිබලේ කිසිදු තැනක දක්නට නැත

(3) දුර්මතය

" ශුද්ධවූ ත්‍රීත්වය ධර්මය බයිබලිය ධර්මයන් නොවේ. "ශුද්ධවු ත්‍රිත්වය" යනු යෙදුම බයිබලයේ කිසිදු තැනක දක්නට නැත".

පිළිතුර : "ශුද්ධ වූ ත්‍රිත්වය" යන යෙදුම ශුද්ධ බයිබලය සඳහන් වී නැතත් ඇත්තේ එකම දෙවියන් වහන්සේ බවත් (1 කොරෙන්ති 8:4); පිතා, පුත්‍රයා සහ ශුද්ධාත්ම යන තුන්දෙනා වහන්සේ එකම දෙවි කෙනෙකු බවත් ශුද්ධ වූ බයිබලය නිසැකව හෙළිදරව් කරයි. ක්‍රිස්තුන් වහන්සේගේ සහ ශුද්ධාත්මයන් වහන්සේගේ දේවත්වය සනාථ කරන ශුද්ධ ලියවිලි පාඨයන් බොහොමයක් මින් ඉහත ගෙනහැර දක්වා ඇත. පහත සඳහන් පාඨයන් ශුද්ධවු ත්‍රිත්වය සනාථ කරති.

ජුවාම් 6:27/ හෙබ්‍රෙව් 1:8/ ක්‍රියා 5:3-5 පියාණන් පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් යන තුන්දෙනා වහන්සේලාම දෙවියන් යන නමින් හඳුන්වනු ලබයි.
ජුවාම් 5:21/ රෝම8:11 - තුන් දෙනා වහන්සේලාම දෙවියන් වහන්සේ සතු ක්‍රියාවල යෙදෙති.
ජුවාම් 5:23/ 2 කොරින්ති 13:13 - තුන්දෙනා වහන්සේලාම දේව වන්දනා ගරු පැසසුම් සහ මහිමය ලබති.
ජුවාම් 15:26/ ජුවාම් 17:21-22 - තුන් දෙනා වහන්සේලා මේ ඒකත්වයක්ව සිටිති.

(4) දුර්මතය

"කතෝලිකයන් සිදු කරන දේව මෙහෙය දිව්‍ය පූජා පූජාවක් ලෙස හඳුන්වන්නේ ඇයි මෙය බයිබලයට අනුකුල ද? මෙහිදී පූප සහ මිදි යුෂ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරයට හැරෙද?

පිළිතුර : කතෝලික ඇදහිල්ලේ හදවත සහ ක්‍රේන්ද්‍රය වන්නේ දිව්‍ය පූජාව යි .මෙය ශු. සභාව විසින් නිර්මාණය කරන ලද අලුත් ඉගැන්වීමක් නොව ශුද්ධ වූ සභාවේ පටන් පටන්ගැන්මේ සිට පැවත එන උත්තරීතර සත්‍යතාවයකි. සුවිශේෂකවරු සිව් දෙනාත්, ශු. පාවුළු තුමාත් ඉතාමත් පැහැදිලිව මෙම දිව්‍ය සප්‍රසාදීය පිළිවෙත සම්බන්ධව වාර්තා කරති.

ශුද්ධවූ ජුවාම් තුමාගේ සුවිශේෂයේ 6 වැනි පරිච්ඡේදය මුළුමනින්ම වෙන්කර ඇත්තේ "ජීවනදායක භෝජනය" ගැන විස්තර කරන්නටයි. "ජීවනදායක භෝජනය මමය... මේ භෝජනය වළඳන තැනත්තේ සදහට ම ජීවත් වන්නේ ය" (ජුවාම් 6:33, 48-51, 53-58)

සදාතන ජීවනය ගැන කපර්නාවුමේ ධර්මශාලාවේ දී ප්‍රකාශ කළ මෙම වදන් අන්තිම රාත්‍රී භෝජනයේ දී සම්පූර්ණත්වයට පත් කරමින් ක්‍රිස්තුන් වහන්සේ පුප සහ මිදියුෂ තමන්ගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය බවට පත් කළ සේක. (මතෙව් 26:26-29/ මාක් 14:22-24/ ලුක් 22:19-20/ 1 කොරින්ති 11:23-26)

දිව්‍ය පූජාව යනු කිතු සමිඳුන් කුරුසියේ මරණය තුළින් අප හට ලබාදුන් සැබෑ විමුක්තිය ලොව තුළ ජීවමාන කිරීමකි. එහි විපුල ඵල ලොවට බෙදා දීමකි.
ක්‍රියා 2:42-47 - ශුද්ධවු සභාව පටන් ගැන්මේදීම එනම් මුල් ක්‍රිස්තියානීන් විසින් ඔප්පු කරන ලද දිව්‍ය යාගය විස්තර කරයි.

වර්තමානයේ කතෝලික සභාව ඔප්පු කරන දිව්‍ය පූජා යාගය සිදු වන්නේත් එලෙසමයි. එනම් ;

  1. දේව වචනය බෙදාගැනීම
  2. පඬුරු ඔප්පු කිරීම
  3. පුප කැඩීම සහ බෙදා ගැනීම

දිව්‍ය සත්ප්‍රසාදීය පිලිවෙත - පුප ගෙන, තුති පුදා, එය කඩා, බෙදා දුන් සේක". ජුවාම් 6:11 සහ ලුක් 24:30 බලන්න.

කතෝලිකයන් ඔප්පු කරන දිව්‍ය පූජා යාගය අවුරුදු 2000 ක ඉතිහාසයක් ඇති උතුම් දේවමෙහෙයකි. දිව්‍ය පූජාව තුළින් අප ඉටු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම මරණයට පෙර දින (මහ බ්‍රහස්පතින්දා) රාත්‍රී භෝජනයේදී ගෝලයන්ට අණ කළ දෙයයි. "මා සිහි කිරීම පිණිස මෙය සිදුකරන්න." (ලුක් 22:19/ 1 කොරින්ති 11:25). තවද එම්මාවුස්හි ගෝලයන් දෙදෙනා උත්ථාන වූ කිතු සමිඳුන්ව හදුනාගත්තේ පූප කැඩීම තුළින්ය. (ලුක් 24:13-35)

එදා - උන්වහන්සේ පූපය සහ මිදි යුෂ තුළ තම ස්වභාවය සැබෑ ලෙස රැඳ වූ සේක.
අද - තමන් විසින් ස්ථාපිත කළ ශුද්ධ වූ සභාවේ පූජකතුමන් මගින් පූපසහ මිදි යුෂ ආසිරි ගන්වමින්

ඒවා තමන් වහන්සේගේම නියම ස්වභාවයට ජේසු සමිඳුන්ම ඔසවනු ලබන සේක. කතෝලික බැතිමතුන් සැබැවින්ම ලබාගන්නේ වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරයයි. ජුවාම් 6:33-58 හි සඳහන් වන වන උන්වහන්සේගේ පැතුමත් එයයි. ශුද්ධවු  බයිබලයේ අඩංගු බොහෝ දේ වචනාර්ථයෙන් පිළිගන්නාවුද, ශුද්ධවු  ත්‍රිත්ව, මාංශගතවීම , ස්වර්ගාරෝහණය වැනි මිනිස් මට්ටමින් තේරුම් ගැනීමට දුෂ්කර අනාවරණයන් පිළිගන්නා වූද, මූලධර්මවාදීන් දිව්‍ය සත්ප්‍රසාදය නමැති මහෝතුම් ප්‍රසාද නිධානය පිළිනොගන්නේ හුදෙක් කතෝලික සභාවට වඩා වෙනස් දහමක් ඉදිරිපත් කරන අටියෙන් සහ ශුද්ධ සභාවට නිගා කරන අටියෙන් බව පැහැදිලිය.

(5) චෝදනාව

"දෙවියන් වහන්සේ තමන් වහන්සේට හිමි වන්දනාව මහිමය ගෞරවය අන් කිසිවෙකුට නොදිය යුතුයැයි ප්‍රකාශ කළ ද, කතෝලිකයෝ මරියතුමියට වන්දනා කරති. ඇයට දේව මෑණියෝ කියා පවසති. මෙය ශුද්ධවු බයිබලයට පටහැනිය".

පිළිතුර : කතෝලික සභාවේ ආරම්භයේ පටන් අද දක්වාම කිසිදු අයුරක ම කිසිදු අයුරකින් කුමරි මරිමව් දේවත්වයෙහිලා සලකන්නේ නැත. නමුත් මරියතුමිය වැනි උත්තරීතර කන්‍යාවකට ගරු බුහුමන් දැක්වීමට අපි මැලි නොවෙමු.

ශුද්ධ ලියවිල්ලේ අග්‍ර ස්ථානයක් මරියතුමියට හිමි වී ඇත. (උදාහරණ : ලුක් 1:26-56)
ලුක් 1: 28 ...."විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ... " ලුක් 1:30-31 ( දේව පුත්‍රයා තම කුසින් බිහි කිරීමට තරම් කිසිදු ලදක් නොලත් ,නොලබන උතුම් වරමක් සහ ගෞරවයක් එතුමියට දෙවියන් වහන්සේගෙන් හිමිවේ)
ලුක් 1:33 (ක්‍රිස්තුන් වහන්සේ සදාකාලික රජකු බවට පත්වේ නම්, උන්වහන්සේගෙන් මවට "මරිය රැජිණිය" ලෙසින් ඇමැතීම වරදක්ද?) ලුක් 1:42/43 (එලිසබෙත් තුමිය ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව මරියතුමියට දැක්වූ ගෞරවය)
ලුක් 1:48 ".... හැම පරපුරක්ම මෙතැන්සිට භාග්‍යවන්තියක් මට කියනු ඇත."

ජේසු සමිඳුන් ශුද්ධවූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ ය. ධර්මයාණෝ දෙවියන් වහන්සේවම සිටි සේක. (ජුවාම් 1:1) එබැවින් ජේසු සමිඳුන් මෙලොවට බිහිකළ මව දේව මෑණියන් ලෙස ගෞරවාන්විතව ඇමතිය හැකිය. දේව මෑණියන් යන ගෞරවාන්විත නාමය ශුද්ධවූ සභාව නිල වශයෙන් ප්‍රකාශ කළේ වර්ෂ 431 දී එපීසිය සහ වර්ෂ 451දී චැල්සඩෝන් හි පැවැත්වූ මන්ත්‍රණ සභාවන්වලදිය.

මිනිසාගේ එකම ගැලවුම්කරුවානන්ද දේව පුත්‍රයාණන්ද වන ජේසු සමිඳුන් මෙලොවට බිහි කිරීමට තරම් අති උත්කෘෂ්ට දේව වරමක් ලැබූ එකම තැනැත්තියට කිතුනු අපගේ ගෞරවය අහිමි වන්නේ නම් ඊට හිමිකම් කියන වෙන කිසිවෙකු මෙලොව සිටිය හැකිද? සැබෑ ක්‍රිස්තු අනුගාමිකයා ජුවාම් තුමා මෙන් මරියතුමිය ව තම නිවෙසට ගෙන යා යුතුය. (ජුවාම් 19:27)

02 පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න :

මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 02 වන කොටස
01 පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න : මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 01 පළමු කොටසහැඳින්වීම සුබ අස්න ලො

✒️ මහනුවර වික්ටර් සිල්වා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ