ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හලේ ඉතිහාසය

ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හලේ ඉතිහාසය

මහනුවර, අම්පිටිය ග්‍රාමයේ පිහිටි ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හලේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පෝර්ටිකෝව ඉදිරිපිටින් සවිකර ඇති කිරිගරුඬ සමරු පලකය කාගේත් නෙත ගැටෙන්නකි. ලතින් බසින් ලියැවී ඇති මෙම සමරු පලකයේ සදහන් කර තිබෙන්නේ "𝐅𝐢𝐥𝐢𝐢 𝐭𝐮𝐢 𝐈𝐧𝐝𝐢𝐚, 𝐚𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐢 𝐭𝐢𝐛𝐢 𝐬𝐚𝐥𝐮𝐭𝐢𝐬"  (අහෝ ඉන්දියාව, ඔබගේම පුතුන්, ඔබගේ ගැලවීමේ දූතයන් බවට පත් වනු ඇත) යන දහතුන්වන ලියෝ පාප්වහන්සේ (ක්‍රි:ව:𝟏𝟖𝟏𝟎-𝟏𝟗𝟎𝟑) විසින් ප්‍රකාශ කරන ලද වාක්‍ය කණ්ඩයයි. මෙම වාක්‍ය කණ්ඩයේ ඉතිහාසය දෙස බැලූ කල අපට පැහැදිලිවම ගම්‍ය වන කරුණ වන්නේ දහතුන් වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ආසියාතික මිශනාරි දේශයන්ගේ සංවර්ධන කෙරෙහි දැක්වූ විශේශිත වූ අවධානය පිළිබදවයි. එතුමන් තුළ මෙම සංකල්පය හෙවත් ස්වදේශීය පූජකයන් බිහිකිරීමේ සංකල්පය ඇතිවීමට බලපෑ ප්‍රධානතම හේතූන් බවට පත් වූයේ 𝟏𝟗 වන ශත වර්ශයේ අවසාන අදීරය වන විටත් ඉන්දියාව ඇතුළු අනෙකුත් ආසියාතික දේශයන් වැඩි වශයෙන් යුරෝපීය මිශනාරිවරුන්ගේ සේවය මත යැපෙමින් තිබීමත්, ආසියාතික රටවලින් බිහිවන පූජක සිසුන් හට තම උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා යුරෝපයට යාමට සිදුවීමත් යන කාරණාවන්ය.

මේ හේතුව නිසාවෙන් ඉන්දියාව, සිලෝන් (ශ්‍රී ලංකාව) සහ බුරුමය (මියෙන්මාරය) වැනි  රටවල ඉගනුම ලබනා පූජක සිසුන් හට ආසියාව තුළදීම උසස් අධ්‍යාපන ලබාදීමේ ආයතනයක් පිහිටුවීමට එතුමන් (දහතුන්වන ලියෝ පාප්තුමන්) අදහස් කරන ලදි. එය යථාර්ථයක් බවට පත් කිරීමේ අභියෝගාත්මක කාරයභාරය එවකට නැගෙනහිර ඉන්දියාවේ අපෝස්තොලික තානාපතිවරයෙකු (𝐀𝐩𝐨𝐬𝐭𝐨𝐥𝐢𝐜 𝐝𝐞𝐥𝐞𝐠𝐚𝐭𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐄𝐚𝐬𝐭 𝐈𝐧𝐝𝐢𝐞𝐬) ලෙස කටයුතු කල ලිතුවේනියා ජාතික අතිගරු ලදිස්ලාසුස් මයිකල් සෙලෙස්කි මාහිමිපාණන් (ක්‍රි:ව: 𝟏𝟖𝟓𝟐-𝟏𝟗𝟐𝟓) වෙතට පවරන ලදි.

නව ශුද්ධාසනීය දෙව්සත්හල පිහිටුවීමට සුදුසු ස්ථානයක් සොයා ඉන්දියාවේ පූනේ, බැන්ග්ලෝර් වැනි ස්ථානයන් නිරීක්ෂණයට ගිය සෙලෙස්කි හිමිපාණන් අවසානයේදී ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අඩි 𝟐𝟎𝟎𝟎 පමණ උසින් පිහිටි දුම්භර කදුවැටියට මුහුණලා තිබෙන අම්පිටිය නම් සුන්දර ග්‍රාමය ඒ සදහා තෝරාගන්නා ලදි. පසුව ශුද්ධාසනයේ පූර්ණ අනුමැතිය යටතේ ක්‍රි:ව: 𝟏𝟖𝟗𝟎 දී නව දෙව්සත්හල පිහිටුවීම ආරම්භ කල අතර වර්ශ 𝟏𝟖𝟗𝟑 වන විට එහි ප්‍රථම අදියර නිමකරන ලදි. නව ශුද්ධාසනයේ දෙව්සත්හල මිශනාරිවරුන්ගේ නාම සාන්තුවරයානන් වන "ශු. ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ" (𝐒𝐭. 𝐅𝐫𝐚𝐧𝐜𝐢𝐬 𝐗𝐚𝐯𝐢𝐞𝐫'𝐬 𝐏𝐚𝐩𝐚𝐥 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫𝐲) නමින් කැපකරන ලද අතර බෙල්ජියම් ජාතික ජේසු නිකායික පූජාප්‍රසාධීවරුන්ගේ අධීක්ෂණය යටතේ වර්ශ 𝟏𝟖𝟗𝟑දී ප්‍රථම අධ්‍යයන වර්ශය ආරම්භ කරන ලදි. දෙව්සත්හලේ පළමු අදියුරු පියතුමන් බවට පත් වූයේ ජේසු නිකායික ගරු සිල්වියාන් ග්ලොසිංජර් පියතුමන්ය.

වර්ශ 𝟏𝟖𝟗𝟗 දී දෙව්සත්හලේ ප්‍රධාන ගොඩනැගිල්ලද සාදා නිමකරන ලද අතර ඒවන විටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියාතික රටවල පූජක සිසුන් රාශියක් එහිදී තම පූජක පුහුණුවට අවැසි දේවධාර්මික සහ දර්ශනවාදී අධ්‍යන කටයුතුවල නිරතවෙමින් සිටියහ. වර්ශ 𝟏𝟗𝟐𝟓දී දෙව්සත්හලේ නව දෙව්මැදුර ස්ථාපිත කළ අතර එය ශු. ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ නමින් කැපකරන ලදි. එලෙසම වර්ශ 𝟏𝟗𝟐𝟔දී දර්ශනවාදය සහ දේවධර්මය පිළිබද උපාධි නිකුත් කිරීමේ පූර්ණ බලය ශුද්ධාසනය විසින් දෙව්සත්හලට පිරිනමන ලදි. එලෙසම වර්ශ 𝟏𝟗𝟑𝟐 සිට දෙව්සත්හල විසින් ආචාර්ය උපාධි ප්‍රධානය කිරීමද ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ආචාර්ය උපාධිය ලබාගත්තේ පසුකාලීනව බොම්බායේ අගරදගුරු තුමන් ලෙස පත්වීම් ලද වැලේරියන් ග්‍රාසියාර් කාදිනල් හිමිපාණන්ය.

ක්‍රි:ව: 𝟏𝟗𝟒𝟖 පෙබරවාරි 𝟎𝟒 දිනදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයෙන් නිදහස ලැබූ අතර ඒත් සමගම ඉන්දියාව ඇතුලු අනෙකුත් දේශයන් සිට පැමිණෙන පූජක සිසුන්ට වීසා ලබා ගැනීමට සිදුවීම නිසා මුහුණ පෑමට  සිදුවූ දුශ්කරතා, ආර්ථික ගැටලු සහ වෙනත් ප්‍රායෝගික ගැටලු රාශියක් පදනම් කර ගනිමින් දෙව්සත්හල ඉන්දියාවේ පූනේ වෙත ගෙන යාමට ශුද්ධාසනය විසින් තීරණය කරන ලදි. එය යථාර්ථයක් කරමින් වර්ශ 𝟏𝟗𝟓𝟓 දී ශුද්ධාසනයේ දෙව්සත්හල ඉන්දියාවේ පූනේ වෙතට ගෙනයන ලදි.

ඒ වන විටත් වසර 𝟔𝟐 කාලයක් තුල (ක්‍රි:ව: 𝟏𝟖𝟗𝟑-𝟏𝟗𝟓𝟓) මහනුවර පිහිටි ශුද්ධාසනයේ දෙව්සත්හලේ පූජක තුමන්ලා 𝟕𝟓 සහ සහෝදරතුමන් 𝟏𝟖 සේවය කර තිබුනි. එලෙසම එහි ඉගෙනුම ලැබූ සිසුන් 𝟕𝟎𝟎 පූජකවරය ලබා තිබූ අතර ඒ අතරින් 𝟓𝟏දෙනෙක් රදගුරුවරුන් ලෙසද තිදෙනකු කාදිනල්වරුන් ලෙසද පත්වීම් ලැබීය. ඒ අතර ඉන්දියාවේ ප්‍රථම කාදිනල් හිමිපාණන් වන "අති උතුම් වැලේරියන් ග්‍රාසියාර් හිමිපාණන්" (ක්‍රි:ව:𝟏𝟗𝟎𝟎-𝟏𝟗𝟕𝟖) , දේව සේවක භාවයට ඔසවා සිටින "ගරු එම්මානුවෙල් ලෝපෙස් පියතුමන්" (ක්‍රි:ව:𝟏𝟗𝟎𝟖-𝟐𝟎𝟎𝟒)  සහ වර්ශ 𝟏𝟗𝟎𝟕 දී මහනුවරදීම පූජකවරය ලැබ අදවන විට දේවසේවක භාවයට ඔසවා සිටින "ගරු පයාපිල්ලි වර්ගීස් කතානර් පියතුමන්ද" (ක්‍රි:ව:𝟏𝟖𝟕𝟔-𝟏𝟗𝟐𝟗) සිටීම ඉතා සුවිශේෂී වේ.

ශුද්ධාසනයේ දෙව්සත්හල ඉන්දියාවේ පූනේ වෙතට ගෙනයාමෙන් පසුව මහනුවර පිහිටි දෙව්සත්හලේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකා කතෝලික සභාව වෙත භාර කරන ලදි. පසුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ පූර්ණ අධීක්ෂණ යටතේ එම වසරේදීම (එනම් ක්‍රි:ව: 𝟏𝟗𝟓𝟓දී) සිරිලක පූජක පුතුන්ගේ පූජක පුහුණුව සදහා අවශ්‍යතාවක්ව පැවති ජාතික දෙව්සත්හල එම ස්ථානයේදී පිහිටුවනු ලදි. "ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ" නාමය යටතේ පිහිටවූ නව ජාතික දෙව්සත්හලේ පළමු අධ්‍යයන වර්ශය, වර්ශ 𝟏𝟗𝟓𝟓 සැප්තැම්බර් මස 𝟏𝟎 වන දිනදී ආරම්භ කරන ලද්දේ පදවි දෙව්සත්හල් සිසුන් 𝟔𝟔ක්ද, නිර්මල මරිය නිකායික සහ සිල්වෙස්ත්‍රෝ බෙනදිකයික නිකායික සිසුන් 𝟒𝟒 සමගිනි.

නව ජාතික දෙව්සත්හලේ අධීක්ෂණ කටයුතු එතෙක් කොළඹ ශු. බර්නාඩ් මුනිදුන්ගේ දෙව්සත්හලේ පරිපාලන අංශය භාරව සිටි නිර්මල මරිය නිකායික පියවරුන් යටතට භාර කල අතර ඇමරිකානු ජාතික ගරු ෆෙඩ්‍රික් සැක්ට් නි.ම.නි. පියතුමන් පළමු අදියුරු පියතුමන් ලෙස පත්කරන ලදි. වසර නවයකට ආසන්න කාලයක් (ක්‍රි:ව: 𝟏𝟗𝟓𝟓-𝟏𝟗𝟔𝟒) අදියුරු පිය තනතුර හෙබවූ එතුමන්ගේ පාලන කාලය තුල නව දෙව්සත්හල් ගොඩනැගිල්ල නිමවන ලදි. එතුමන්ට පසුව අදියුරු ධූරයට පත්වූ ඩල්ස්ටන් ෆෝබ්ස් නි.ම.නි. පියතුමන් වසර අටකට ආසන්න කාලයක් (ක්‍රි:ව: 𝟏𝟗𝟔𝟒-𝟏𝟗𝟕𝟐) එම තන්තුර හෙබවූ අතර දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේදී අනුමත කරන ලද නව ප්‍රතිසංස්කරණයන් දෙව්සත්හල් ව්‍යුහයට ඉතා සාර්ථක අන්දමින් ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි.

පසුව වර්ශ 𝟏𝟗𝟕𝟐දී ජාතික දෙව්සත්හල් පරිපාලනය ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය යටතට පවරාගත් අතර ජේම්ස් කුක් නි.ම.නි. පියතුමන් අදියුරු පියතුමන් ලෙස වැඩ භාරගන්නා ලදි. වසර දෙකක කාලයක් (ක්‍රි:ව: 𝟏𝟗𝟕𝟐-𝟏𝟗𝟕𝟒) අදියුරු පිය ධූරය හෙබවූ එතුමන්ට පසුව කොළඹ අගරදගුරු පදවි පූජක තුමෙකු වූ ගරු හැරල්ඩ් පණ්ඩිතරත්න පියතුමන් ජාතික දෙව්සත්හලේ සිව්වන අදියුරු පියතුමන් ලෙස පත්වීම් ලැබූහ. එතුමන් ජාතික දෙව්සත්හලේ අදියුරු පිය තනතුරට පත් වූ ප්‍රථම පදවි පූජක තුමන් වීමද සුවිශේෂී වේ. වසර සතකට ආසන්න කාලයක් අදියුරු පිය ධූරය හෙබවූ එතුමන්ගේ පාලන(ක්‍රි:ව:𝟏𝟗𝟕𝟒-𝟏𝟗𝟖𝟏) සමය තුලදී ජාතික දෙව්සත්හලේ දර්ශන පීඨය රෝමයේ උර්බානියානා දෙව්සත්හල වෙතට අනුබද්ධ කිරීම ඉතා සුවිශේශී කාරණයක් වේ.

පසුව වර්ශ 𝟏𝟗𝟖𝟏දී කොළඹ අගරදගුරු පදවියේ ගරු ජෝ ඩි මෙල් පියතුමන් ජාතික දෙව්සත්හලේ පස්වන අදියුරු පියතුමන් ලෙස පත්වූ අතර එතුමන්ගේ පාලන සමය වසර දහයක් (ක්‍රි:ව: 𝟏𝟗𝟖𝟏-𝟏𝟗𝟗𝟏) විය. වර්ශ 𝟏𝟗𝟗𝟏 දී එම තනතුරට පත්වූයේ කොළඹ අගරදගුරු පදවියේ ගරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ය. වසර සතක ආසන්න  කාලයක් (ක්‍රි:ව: 𝟏𝟗𝟗𝟏-𝟏𝟗𝟗𝟖) අදියුරු පිය ධූරය හෙබවූ අතර වර්ශ 𝟏𝟗𝟗𝟖දී කොළඹ අගරදගුරු පදවියේ ගරු මේරියස් පීරිස් පියතුමන් එම තනතුරට පත්වීම් ලැබූහ. මෙතුමන්ගේ පාලන සමයේ සිදුවූ සුවිශේෂීම සිදුවීම වන්නේ ජාතික දෙව්සත්හලේ දර්ශන පීඨය දේවධර්ම පීඨයෙන් වෙන්කොට නව පීඨයක් බවට පත්කිරීම සදහන් කල හැකිය.

වර්ශ 𝟐𝟎𝟎𝟏 දී හලාවත රදගුරු පදවියේ ගරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් පියතුමන් ජාතික දෙව්සත්හලේ අටවන අදියුරු පියතුමන් ලෙස පත්වීම් ලැබූහ. වසර සතරකට ආසන්න කාලයක් එතුමන් එම ධූරය හොබවන ලදි.

වර්ශ 𝟐𝟎𝟎𝟓දී කොළඹ අගරදගුරු පදවියේ ගරු ජේ.ඩී. ඇන්තනී පියතුමන් ජාතික දෙව්සත්හලේ නමවන අදියුරු පියතුමන් ලෙස පත්කරනු ලැබීය. වසර සයකට සේවා කාලය අවසන් කල ජේ.ඩී. ඇන්තනී පියතුමන්ට පසුව වර්ශ 𝟐𝟎𝟏𝟏 දි කොළඹ අගරදගුරු පදවියේ ගරු එල්මෝ ඩයස් පියතුමන් එම ධූරයට පත්වීම් ලැබීය. ඉන්පසුව වර්ශ 𝟐𝟎𝟏𝟔දී කොළඹ අගරදගුරු පදවියේ ගරු එක්ස්පෙඩිටස් ජයකොඩි පියතුමන් ජාතික දෙව්සත්හලේ එකොළොස්වන අදියුරු පියතුමන් ලෙස වැඩ භාරගත් අතර වර්ශ 𝟐𝟎𝟐𝟑 දක්වා එතුමන් එම ධූරයේ වගකීම් හොබවන ලදි. වර්ශ 𝟐𝟎𝟐𝟑 ඔක්තෝබර් මස 𝟑𝟎 දින පත්වීම් ලද කොළඹ අගරදගුරු පදවියේ ගරු කුවින්ටස් ප්‍රනන්දු පියතුමන්ය වත්මන් අදියුරු පියතුමන් ලෙස කටයුතු කරනු ලබයි.

"පරිපූර්ණ මිනිසුන් සූදානම් කිරීම" (𝔓𝔞𝔯𝔞𝔯𝔢 𝔭𝔩𝔢𝔟𝔢𝔪 𝔭𝔢𝔯𝔣𝔢𝔠𝔱𝔞𝔪) යන තේමා පාඨය පෙරටුකොටගත් ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල් මාතාව ගෙවුණු වසර 𝟔𝟖 කාලය තුලදී (ක්‍රි:ව: 𝟏𝟗𝟓𝟓-𝟐𝟎𝟐𝟑) සිරිලක කිතුසසුනට රදගුරු තුමන්ලා සහ පූජාප්‍රසාධිතුමන්ලා රාශියක් දායාද කොට තිබේ. අද වන විට ජාතික දෙව්සත්හල තුළදී පදවි සහ පැවදි පූජක සිසුන් 𝟐𝟎𝟎 ආසන්න පිරිසක් තම ඉගනුම් කටයුතු සිදුකරනු ලබයි.

සටහන : ලියෝ මදුශාන් සහෝදරතුමන්