කිතුණු සභාධර්මධර නාමයෙන් පිදුම් ලැබූ සාන්තුවරියන් සිව්දෙනා

කිතුණු සභාධර්මධර නාමයෙන් පිදුම් ලැබූ සාන්තුවරියන් සිව්දෙනා

"සභා ධර්මධර" හෝ Doctor of the Church යන ගෞරව නාමය පිරිනමනු ලබන්නේ ශුද්ධවූ සභාව තුළ දේව වචනය, සභා සම්ප්‍රධාය සහ ඉගැන්වීම් මත පදනම් වෙමින් වාචිකව සහ ලිඛිතව ඉතා වැදගත් දේවධාර්මීක ඉගැන්වීම් ඉදිරිපත් කල සාන්තුවරයන්ය. එදා මෙදා තුර ශුද්ධවූ සභා මාතාව විසින් සාන්තුවරයන් 36නමක් සභාධර්මධරන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ අතුරින් සිව් දෙනෙක් කාන්තාවන් වීම ඉතා සුවිශේෂී වේ. ඔවුන් නම්,

🔅අවිල්ලාවේ ශු. තෙරේසා මුනිතුමිය (ක්‍රි:ව: 1515-1582)
🔅සියොන්නාවේ ශු. කැතරිනා මුනිතුමිය (ක්‍රි:ව: 1347-1378)
🔅ලීසියේ ශු. තෙරේසා මුනිතුමිය (ක්‍රි:ව:1873-1897)
🔅බින්ගෙන්හී ශු. හිල්ඩෙගාඩ් මුනිතුමිය (ක්‍රි:ව: 1098-1179)

වර්ශ 1970 සැප්තැම්බර් මස 27 වන දිනදී ශු. සයවන පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසින් සභා ධර්මධර යන නාමය අවිල්ලාවේ ශු. තෙරේසා තුමියට පිරිනමන ලද අතර එතුමිය සභා ඉතිහාසයට එක්වන්නේ සභාධර්මධර යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම කාන්තාව ලෙසටයි. වර්ශ 1515දී උපත ලැබූ අවිල්ලාවේ ශු. තෙරේසා මුනිතුමිය වයස අවුරුදු 20දී කාර්මේල් පැවිදි සොයුරියක් බවට පත් වූ අතර එම නිකාය ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා වැදගත් මෙහෙවරක් ඉටු කරන ලදි. විශේෂයෙන්ම ස්වාමින්වහන්සේගෙන් ලද ආධ්‍යාත්මික සහ අභිරස්මය අත්දැකීම් පදනම් කරගනිමින් එතුමිය තම ඉගැන්වීම් සිදුකල අතර එතුමිය විසින් රචිත "The Book of Her Life" (ස්වයං චරිතාපදානය), "The Way of Perfection" (පරිපූර්ණත්වයේ මාර්ගය) සහ "Interior Castle" (අභ්‍යන්තරන්තර බලකොටුව) යන ලේඛන ශුද්ධවූ සභාවේ දේවාධාර්මික ඉගැන්වීම් තුල ඉතා වැදගත් තැනක් හිමිකරනියි.

එලෙසම වර්ශ 1970 ඔක්තෝබර් මස 07 වන දින සයවන පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසින් සියොන්නාවේ ශු. කතරිනාතුමියටද සභාධර්මධර යන ගෞරව නාමය පිරිනමන ලදී. සියොන්නාවේ ශු. කතරිනාතුමිය ක්‍රි:ව: 1347 මාර්තු මස 25දින ඉතාලියේදී උපත ලැබීය. දොමිනිකානු නිකායේ කන්‍යා සොයුරියක් බවට පත්වූ එතුමිය තමා විසින් දෙවිදුන්ගෙන් ලද ආධ්‍යාත්මික සහ අභිරහස්මය අත්දැකීම් පදනම් කරගනිමින් සභාවේ උන්නතිය උදෙසා ලිපි ලේඛන රාශියක් දායාද කරන ලදි. ඒ අතුරින් එතුමිය විසින් රචිත "The Dialogue" වැනි ලිපි තුලින් අපට අධ්‍යාත්මිකත්වය, දේවධර්මය සහ කිතුණු ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. එලෙසම මෙතුමිය අවිග්නෝන්හී ස්ථාපිත කර තිබූ පාප්ධූරය නැවතත් වර්ශ 1378දී රෝමයේ ස්ථාපිත කිරීමෙහිලා වැදගත් මෙහෙවරක් ඉටු කරන ලද අතර ක්‍රි:ව: 1380 අප්‍රේල් මස 29දින ස්වර්ගස්ථ විය.

ක්‍රි:ව: 1997දී ශු. දෙවන ජුවාම් පාවුලු මුනිතුමන් විසින් ලීසියේ ශු. තෙරේසා මුනිතුමියට සභාධර්මධර නාමය පිරිනමන ලද අතර එම ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ලාබාලතම සාන්තුවරිය වන්නේද එතුමියයි. ක්‍රි:ව: 1873 ජනවාරි මස 02 දින ප්‍රංශයේදී උපත ලැබූ මෙතුමිය දහතුන්වන ලියෝ පාප්තුමන්ගේ විශේෂ අවසරයක් ඇතිව වර්ශ 1888දී (වයස අවුරුදු 15දී) කාර්මේල් නිකායට එක්ව කන්‍යා සොයුරියක් බවට පත්විය. එතැන් පටන් එතුමිය තම ජීවිතය නිහඬව සහ යාඥායෝගීව කන්‍යාරාමය තුළ ගත කළේය. වර්ශ 1897දී  (වයස අවුරුදු 24දී) ක්ෂය රෝගය  වැළඳීම හේතුවෙන් ස්වර්ගස්ථ වූ මෙතුමියව ක්‍රි:ව: 1925 දී සාන්තුවරයට ඔසවනු ලැබූ අතර මිශනාරිවරුන්ගේ නාම සාන්තුවරිය ලෙසද නම් කරන ලදි. එතුමිය තුල තිබූ ආධ්‍යාත්මිකත්වය සහ දේව ගරුබිය එතුමිය විසින් රචිත ස්වයං චරිතාපදානය "The Story of a Soul" සහ අනෙකුත් ලේඛනයෙන් තුලින් මනාව පැහැදිලිවන අතර ඒ තුලින් ගැඹුරු දේවධාර්මීක පණිවුඩයක් ලොවට ප්‍රකාශ කිරීමට  එතුමියට හැකි විය.

වර්ශ 2012දී සොලොස්වන බෙනඩික්ට් පාප්තුමන් විසින් බින්ගෙන්හී ශු. හිල්ඩෙගාඩ් මුනිතුමියටද සභාධර්මධර යන ගෞරව නාමය පිරිනමන ලදි. බින්ගෙන්හී ශු. හිල්ඩෙගාඩ් මුනිතුමිය වර්ශ 1098 දී  ජර්මානියේදී උපත ලැබීය. කුඩා කල සිටම ගැඹුරු ආධ්‍යාත්මිකත්වයකට හිමිකම් කී ඇය තම දිවිය ජේසු සමිදුන්ට කැප කරමින් බෙනදිකානු තාපසවරියක් බවට පත් විය. පසුකාලීනව ජර්මනියේ හිල්ඩෙගාර්ඩ් හී තාපසාරාමයක් ආරම්භ කළ මෙතුමිය, ගීත රචනය තුලින් සහ "Liber Vitae Meritorum", "Liber Divinorum Operum" දේවධාර්මීක කෘති රචනා කිරීමෙන් කිතුණු සභාවේ උන්නතිය උදෙසා අමිල වූ මෙහෙවරක් ඉටු කරන ලදි. එතුමිය ක්‍රි:ව: 1179 දී ස්වර්ගස්ථ විය.

සැකසුම:
ලියෝ මදුශාන් සහෝදරතුමන්

මූලාශ්‍ර:
https://www.ewtnvatican.com/articles/empowering-women-in-holiness-the-4-female-doctors-of-the-church-2241
https://courses.augustineinstitute.org/courses/women-who-became-doctors-of-the-church