අනපේක්ෂිත ලෙස මරණ සිදුවීමට දෙවියන් වහන්සේ ඉඩ හරින්නේ ඇයි?

අනපේක්ෂිත ලෙස මරණ සිදුවීමට දෙවියන් වහන්සේ ඉඩ හරින්නේ ඇයි?
Photo by Nik Shuliahin 💛💙 / Unsplash

ප්‍රශ්නය :- මම දරු දෙදෙනෙකුගේ මවක්මී. වැඩිමහල් පුතා දහමට ඉතා ලැදි ඉගෙනීමට ඉතා දක්ෂ දරුවෙකි. ඔහු වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර නිම කිරිමට මාස හයක් තිබියදි තමා විසින්ම පැද වු මෝටර් රථය අනතුරකට පත්වීමෙන් මිය ගියේය. මෙය මවක් හැටියට මට කිසිසේත් දරාගත නොහැක්කකි. දෙවියන් වහන්සේ මෙවැනි මරණ සිදුවීමට ඉඩ හරින්නේ මන්ද කියා මට කිසිසේත් තේරුම්ගත නොහැක. මා පමනක් නොව අප පවුලේ කිසිම කෙනෙක් දැන් අඩුම තරමේ ඉරිදා පුජාවටවත් සහභාගි වන්නේ නැත. සියල්ලන්ටම ආගම එපා වෙලාය. නමුත් මේ තත්ත්වය අපගේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව මම හොඳින් දනිමි. දිනෙන් දින වේදනාව අඩු වෙනවා වෙනුවට දැන් අපේ ගෙදර විවිධ ප්‍රශ්න ඇතිවෙමින් පවති. දෙවියන් වහන්සේ අපට මෙලෙස හිරිහැර කරන්නේ ඇයිදැයි පැහැදිලි කරදෙන මෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර :- ඔබ විසින් නගා ඇති ප්‍රශ්නයට එක එල්ලේම පැහැදිලි පිළිතුරක් සැපයීම කිසිසේත් කළ නොහැක්කකි. මන්ද එය පිළිතුරු සැපයීමට අතිශයින්ම දුෂ්කර ප්‍රශ්නයකි. ඔබ දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ දේව කැමත්ත නිසා යැයි සරලව පිළිතුරු දී ප්‍රශ්නය මගහැර යෑමට මම කිසිසේත් උත්සාහ නොකරමි. නමුත් මානුෂික මට්ටමින් තර්ක විතර්ක ඉදිරිපත් කොට මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු සොයා යෑම කිසිසේත් කළ නොහැකි නිසා එයට පිළිතුරක් සොයා යා යුත්තේ ධර්මානූකුල පසුබිමක් තුළ දෙවියන් වහන්සේ මුල් කරගෙනය. වසර 1971 දී හයවෙනි පාවුළු පාප්තුමන් කළ ප්‍රකාශයක් මෙම පිළිතුර සඳහා පාදක කරගනිමි. "කුරුසිය" කිතුනු දිවියේ අත්‍යවශ්‍යය අංගයකි. කිතුනුවන්ට කිසිසේත් කුරුසිය නොසලකා හරින්නට බැරිය. කුරුසිය ක්‍රිස්තුන් වහන්සේගේ දේව පණිවිඩයේ හා දූත සේවාවේ කේන්ද්‍රස්ථානයයි.

කුරුසිය අප ගැළවීමේ මුලාශ්‍රායයි. කුරුසිය ජිවිතයෙන් බැහැර කිරිමට උත්සාහ කිරිම භායනක දුර්පරීක්ෂාවයි. අද බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ පරිත්‍යාගයෙන් තොර, යුතුකම් නැති, වේදනාවන් නොමැති කිතු දහමකි. නැතහොත් කුරුසිය නොමැති කිතුනු ජිවිතයකි. නමුත් ක්‍රිස්තුන් වහන්සේ අපට පැවසුවේ "තිරිඟු බීජය පොළොවේ වැටී, නොමළොත් එය තනි බීජයක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස ඵල දරයි" යනුවෙනි. (ජුවාම් 12:24) නුතන මිනිසා හැමවිටම වේදනාවෙන් හා කරදරවලින් තොර ජිවිතයක් ගොඩ නගා ගන්නට උත්සා කළද, ඵල දරන්නට නම් වේදනාව අත්‍යවශ්‍ය බව කිතුනු ඉගැන්වීමයි.

ජිවිතයේ සෑම සිද්ධියක් තුළින්ම දෙවියන් වහන්සේ අපට කතා කරන බව අප හැම විටම මතක තබාගත යුත්තෙමු. විශේෂයෙන්ම වේදනාවන් අපගේ හැඟිම් පිරිසිදු කරයි. ආවේගයන් හා ආශාවන් යහපත් කරයි. ලෞකිකත්වයට ඇති ලැදියාව වෙනස් කරයි. අනන්ත ජිවිතය ගැන මෙනෙහි කිරිමට යොමු කරයි.

මෙලොව ජිවිතයේ පරමාර්ථයන් තව තවත් අර්ථවත් කරවයි. එමනිසා මෙවැනි වේදනාකාරී ජීවිත අත්දැකිම් තුළින් දෙවියන් තව තවත් සමීපව හා පැහැදිලිව අත්දැකිම ඉතා වැදගත් වේ. මෙවැනි වේදනාකාරී අත්දැකීම් අපට අත්විඳීමට සිදුවන්නේ කිසිසේත්ම දෙවියන් වහන්සේ අපව අත්හැර දැමීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ උන්වහන්සේ අපට දඬුවම් පැමිණවීමේ මාර්ගයක් ලෙස නොව, උන්වහන්සේ අපට ඉතා ප්‍රබලව අනාවරණය වන අවස්ථාවන් ලෙස අවබෝධ කරගැනිම ඉතා වැදගත් වේ.

මිනිසුන්ට අයහපත් දේ සිදුවෙද්දී ඒවා වළක්වන්නට දෙවියන් වහන්සේ මැදිහත් නොවන්නේ මන්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. නමුත් අප මතක තබාගත යුතු මුලික සත්‍යතාවය නම් දෙවියන් වහන්සේ අප සැම කෙනෙක්වම පාපයෙන් ගලවා ගැනිම සඳහා ස්වකීය පුත්‍රයාණන් මෙලොවට එවීම තුළින් මුළු මිනිස් සංහතිය වෙනුවෙන් ම මැදිහත් වු බවයි. මෙලොව සිදුවන සෑම අයහපත්, නපුරු, අවාසනාවන්ත සිද්ධීන් වෙනුවෙන් ක්‍රිස්තුන් වහන්සේ දුක්විඳ මරණයට පත් වු සේක. එසේම උන්වහන්සේ අප එකිනෙකාගේ ජිවිතයේ විවිධ අවශ්‍යතාවයන්හිදි නැවත නැවතත් මැදිහත්වෙන සේක. නමුත් ඒ අවස්ථාවන් තීරණය වන්නේ දේව සැලැස්ම තුළ, දේව කැමැත්ත මත මිස අප එකිනෙකාගේ පුද්ගලික මතිමතාන්තරයන් අනුව නොවන බව ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණකි.

දේව සැලැස්ම කිසිවිටෙකත් මිනිසාට සම්පුර්ණව අවබෝධ කරගත නොහැක්කකි. කෙනෙකුගේ අතීතය, වර්තමානය හා අනාගතය රැඳී ඇත්තේ දේව සැලැස්ම තුළය. මේ දේව සැලැස්ම දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරන්නේ මිනිසාගේ නිදහස් කැමැත්ත තුළය. මේ නිදහස් කැමැත්ත අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම නිසාද ලොව පුරා වේදනාව, අසහනය හා අසාධාරණය රජකම් කරයි.
ඔබ මවක් ලෙස මේ මොහොතේදී අත් දකින වේදනවා ඔබගේ ජිවිතය තව තවත් දෙවියන් වහන්සේගේන් ඈත්වීම සඳහා නොව, උන්වහන්සේට ලඟා වීමට මාර්ගයක් කරගත යුතුය. ඔබත් ශුද්ධවු පාවුළු තුමා සමඟ, "මාගේ ශාරිරක දුක්විඳිම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ දුක්විඳිමේ ඌනතා සම්පුර්ණ කිරීමට මම සහාය වෙමියි" කිවහැකි අධ්‍යාත්මිකත්වයක් පැළඳ ගත යුතුය. එම නිසා මෙම වේදනාව තුනී කරගන්නට කිසිදා ඔබගේ ස්වඋත්සාහයෙන් හෝ ස්වශක්තියෙන් කළ නොහැක. මෙම මරණ මෙලෙස සිදුවුයේ ඇයිදැයි කියා ඔබට කිසිදා තේරුම්ගත නොහැක. මේ හැම දෙයක් තුළම දේව ආදරය අත්දැකීමට පමණක් උත්සාහ කරන්න.

සටහන - අතිගරු ප්‍රැන්සිස් සේනානායක පියතුමා
Copyright :- Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ