ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම සභාව තුළ අඛණ්ඩව තහවුරු කිරීම.

ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම සභාව තුළ අඛණ්ඩව තහවුරු කිරීම.

♦️බොහෝ මුලධර්මවාදී සභාවන් විසින් “ශුද්ධ ලියවිල්ල” පමණක් ගැලවීම සදහා උපකාරී වන බවත් “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදායේ”කිසිම වැදගත්කමක් නොමැති බවත් ප්‍රකාශ කරති.නමුත් ශුද්ධ ලියවිල්ල බිහි වන්නේද “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය” තුළින්ම බව ඔවුහු නොදනිති.එමෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අඛණ්ඩව තහවුරු වන්නේද මෙම සම්ප්‍රදාය තුළින්ම බවද මෝවුහු නොදනිති.

📕15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න. ( 2 තෙසලානික 2:15 )

♦️මුල්ම සුභාරංචි කෘතිය වු මාක් සුභාරංචිය රචනා වන්නේ ක්‍රි:ව 64-66 යන කාලවකවානුව තුළදීය.නමුත් පෙන්තකෝසත දින අපෝස්තුළු වරුන් වෙතට “ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනයත්” සමගින් ශුද්ධ වු සභාවේ ආරම්භය සිදුවිණ.( ක්‍රියා 2:1-4 ) එතැන් පටන් සභාව තුළ ඉගැන්වීම, රොටී කැඩීම, සහභාගීකම සහ යාච්ඤාව සභාවේ ලක්ෂණයන් විය.( ක්‍රියා 2:42 ) ඒ නිසා සුභාරංචි කෘතින්, ශු.පාවුළු තුමන්ගේ හසුන් සහ අනිකුත් පොදු හසුන් බිහිවීමට ප්‍රථමයෙන් ඔවුන් රොටී කැඩීම මෙන්ම ඉගැන්වීමේ කාර්යෙහිද නිරත වෙමින් කල්ගත කලහ.ලිවීම හෝ කියවීම සභාවේ ලක්ෂණ අතර නොවුවත් ක්‍රිස්තුන් වහන්සේගේ සතය්‍ය ඉගැන්වීම් මෙන්ම අපෝස්තුළුවරුන්න්ගේ ඉගැන්වීමේ සම්ප්‍රදායන් තවදුරටත් අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සදහා අපෝස්තුළුවරුන් සහ ඔවුන්ගේ ශ්‍රාවකයන් විසින් සුභාරංචි කෘතින් රචනා කරන ලදී.( ලුක් 1:1-4 ) ප්‍රථමයෙන් රචනා වු මාක් සුභාරංචිය රචනා කරන ලද්දේද ශු.පේදුරු තුමන්ගේ ගෝලයෙකු වු ශු.මාක් තුමන් විසිනි.(1 පේදුරු 5:13 ) ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනයට ප්‍රථම ශුද්ධ වු සම්ප්‍රදායට ගෞරව කරමින් අපෝස්තුළුවරුන් වරුන් විසින් ජුදාස්ගෙන් හිස්වු අපෝස්තුළුවර දුරය සදහා ශු.මතියස් තුමන්ව තෝරාගත් බවට ශුද්ධ ලියවිල්ල සාක්ෂි දරයි.මේ සදහා මුලිකත්වය ගනු ලැබුවේ ශු.පේදුරු තුමන් විසිනි.( ක්‍රියා 1:15-23 ) ජෙරුසලම් මන්ත්‍රණ සභාව මගින් ජුදා වය්‍යවස්‍ථාව තුළ සුවිශේෂි කාරණාවක් වු චර්මජේදනය අහෝසිකරන ලදී.( ක්‍රියා 15 ) මේ සදහා මුලිකත්වය ගනු ලබනේද ශුද්ධ වු පේදුරු තුමන් විසිනි.මෙම කාරණාවන් ද්විත්වය තුළින්ම “සභාවේ එඩේරික නායකත්වය” ශු.පේදුරු තුමන් තුළ දෘශය්‍යමාන විය.

♦️මුල් සභාව තුළ බව්තීස්ම ස්නාපනය දානය කරන ලද්දේ ජේසුස් වහන්සේගේ නාමයෙනි.( ක්‍රියා 2:38 ) නමුත් ශුද්ධ වු ත්‍රීත්වයේ නාමයෙන් බව්තීස්මය දානය කිරීම පිළිබදව කිසිදු සාක්ෂියක් ක්‍රියා පොත තුළ අපට හමු නොවේ.මේ පිළිබදව මුලක සාක්ෂි අපට හමු වන්නේ ක්‍රි:ව 70-150 කාලවකවානුව තුළ රචනා වු “ඩිඩාකේ” ග්‍රන්ථය තුළින් වීම තව දුරටත් “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය” තහවුරු කෙරෙන සාක්ෂියකි.එමෙන්ම මුල් සභාවේ සිටම ශුද්ධාත්ම ආලේපය දානය කරන ලද්දේ සභා නායකයන්ගේ “හස්තාලේපනය” තුළිනි. ( ක්‍රියා 8:16-17 ) මෙම සම්ප්‍රදාය වර්තමානය වන තෙක්ම සභාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.ශුද්ධ වු පාවුලු තුමන් හට ආලේපය දානය කරන ලද්දේද මෙම සම්ප්‍රදායට අනුව ශු.අනනියස් තුමන් විසිනි.( ක්‍රියා 9:17 ) පෙන්තකෝස්ත අත්දැකීමේ සිට අද වන තුරුම සභාව තුළ “ශුද්ධාත්මයාණන් වහන්සේ ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ජීවමානය.නමුත් මෙහි විමතියට පත් වන කාරණාව වන්නේ මුලධර්මවාදීන් විසින් “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය” ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.මෙහිදී ඔවුන් විසින් පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතු සතය්‍යතාවය වන්නේ ශුද්ධ ලියවිල්ල තුළ අන්තර්ගත වන්නේ ක්‍රි:ව 100 පමණ වන තෙක් කරුණු පමණක් වන බවය. නමුත් ඉන් අනතුරුව විවිධ මන්ත්‍රණ සභාවන් තුළින් ගත් තීන්දු තීරණ, සභා පිය යුගය මෙන්ම විවිධ ශුද්ධෝත්තම පියතුමන්ලාගේ ඉගැන්වීමේ සම්ප්‍රදාය තුළින්ද “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩසිටීම” “අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව” තුළින් පිළිඹිබු වු ආකාරය පහත සදහන් උදාහරණයන් තුළින් ඔබට පැහැදිලි වනු ඇත.

👉1- ක්‍රි:ව 297 හිප්පෝ මන්ත්‍රණ සභාව, ක්‍රි:ව 301 කාතේජ මන්ත්‍රණ සභාව මගින් ශුද්ධ ලියවිල්ලට අඩංගු විය යුතු මුළු ග්‍රන්ථ සංඛ්‍යාව තහවුරු කිරීම.
( 2 තිමොති 3:16 )

👉2- පලමු ජගත් මන්ත්‍රණ සභාව වු ක්‍රි:ව 325 “නිසියානු” මන්ත්‍රණ සභාව මගින් “එකම ඇදහිල්ල” තහවුරු කරමින් “නිසියානු විශ්වාස ලක්ෂණය” සකස් කරනු ලැබීම.( එපීස 4:5 ) දිව්‍ය පූජාව තුළ අදටත් මෙම විශ්වාස ලක්ෂණය භාවිත කරනු ලබයි.

👉3- ක්‍රි:ව 431 දී “එපීස මන්ත්‍රණ සභාව” මගින් නෙස්ටොරියස් නම් පුජකවරයාගේ දුර්මතය දුරලමින් මුල් සභා ඉගැන්වීමේ සම්ප්‍රදාය තහවුරු කරමින් මරියතුමිය “දේවමාතාවන් වහන්සේ” (“තියෝටොකස්” ) වන බව ප්‍රකාශ කිරීම.( ලුක් 1:43 ) ( ජොහාන් 1:14 )

👉4- ක්‍රි:ව 451 දී “කැල්සිඩෝන්” මන්ත්‍රණ සභාව මගින් එවට්කස් නැමැති තාපසයාගේ දුර්මතය බිද හෙලමින් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ දෙවියන්ද සැබෑ මණුෂ්‍යයාද වන බව ප්‍රකාශයට පත් කිරීම.( පිලිප්පි 2:6-7 )

👉5- ක්‍රි:ව 1545 දී රෙප්‍රමාදු විප්ලවයට ප්‍රති උත්තර සැපයීම සදහා “ත්‍රිදෙන්තීණු මන්ත්‍රණ” සභාව පැවත්වීම. මෙහිදී ශුද්ධෝත්තම පියතුමන්ගේ නොවරදින සුළු භාවය තහවුරු කරනු ලැබීම. ( මතෙව් 16:19) , ශුද්ධ වු ලියවිල්ල මෙන්ම ශුද්ධ ජීවන සභා සම්ප්‍රදායද යන කාරණා ද්විත්වයම දේවධාර්මීක කාරණාවන් හී උල්පත වන බව ප්‍රකාශ කිරීම. ( 2 තෙසලානික 2:15 ),ශු.ලියවිල්ලට අඩංගු විය යුතු ග්‍රන්ථ සංඛ්‍යාව නැවතත් තහවුරු කරනු ලැබීම.

👉6- 1962 දී “දෙවන වතිකානු මන්ත්‍රණ සභාව” මගින් දේව වන්දනාව දේශානුරූපිකරණය කරනු ලැබීම ප්‍රධාන වේ.මේ දක්වා අඛණ්ඩව සභා ඉතිහාසය තුළ “ජගත් මන්ත්‍රණ සභාවන්” 22 ක් පවත්වා ඇති අතර මේවා “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩ සිටීම” තහවුරු කෙරෙන ප්‍රධාන සාධක ලෙසට පෙන්වා දිය හැකිය.

♦️එසේම සභා පියවරුන්ගේ යුගයද සභාව තුළ ස්වර්ණයම යුගයකි.එයට ප්‍රධානම හේතුව වන්නේ ඔවුන් තුළින් වඩාත් ගැඹුරු දේව ධර්මයක් බිහිවීමයි.මෙම යුගය බිහිවන්නේද ක්‍රි:ව 100 න් අනතුරුවයි.

👉1- ශු.ජස්ටින් තුමන් ( 100-165 )

රෝමයේ විසු “අපොලොජිස්ත” ලේඛකයකි.දේව වන්දනාව සහ සභා පීඩන සම්බන්ධ තොරතුරු මෙතුමන් විසින් ලේඛන ගත කොට ඇත.මෙතුමන් ක්‍රි:ව 165 දී ප්‍රාණපරිතය්‍යාගී කිරීටය දිනා ගන්නා ලදී.

👉2-ශු.අතානියුස් තුමා.

මෙතුමන් ක්‍රි:ව 295-373 කාලවකවානුව තුළ ජීවත් විය.ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු තුමන් වු මෙතුමන් “ඒරියන්” වේද භේදයට එරෙහිව එය පරාජයට පත් කිරීමට පුරෝගාමී විය.

👉3- ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමන්.

ක්‍රි:ව 431 දී එපීස මන්ත්‍රණ සභාව තුළ “නෙස්ටොරියස්ගේ” මරියතුමියගේ “දේවමාතෘත්වය” පිළිබද වේද භේදය පරාජය කිරීමට මුලිකත්වය ගනු ලැබුවේ මෙතුමන් වේ.

👉4- ශු.ජෙරම් තුමන්

මෙතුමන් ක්‍රි:ව 340-419 කාලවකවානුව තුළ ජීවත් වු අතර පළමු වරට ශුද්ධ ලියවිල්ල හේබ්‍ර්ව් සහ ග්‍රීක භාෂාවලින් වෙනත් භාෂාවකට පරිවර්තනය කරන ලද්දේ මෙතුමන් විසිනි.එනම් ලතින් භාෂාවටයි.”මාටින් ලුතර්” විසින් ජර්මන් භාෂාවට ශුද්ධ ලියවිල්ල පරිවර්තනය කරන විටදී ඔහු විසින් “ලතින් වල්ගේට්” පරිවර්තනය අනුසාර කරගත් බව මුලධර්මවාදීහු නොදනිති.

👉5- සාන්ත අගූස්තීනු තුමන්

මෙතුමන් ක්‍රි:ව 354-430 කාලවකවානුව තුළ ජීවත් වු අතර “ආත්ම චරිතය පාපොච්චාරණය” මෙතුමන් විසින් රචිත විශිෂ්ට කෘතියක් ලෙසට සැලකේ.

♦️එමෙන්ම විවිධ ශුද්ධෝත්තම පියතුමන්ලාගේ “විශ්ව ලේඛනයන්” සහ “අපෝස්තලික ප්‍රකාශණ” ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩ සිටීම පිළිබදව තවත් එක් උදාහරණයකි.

👉1- 13 වන ලියෝ සුදතුම් පියතුමන්ගේ “වෙහෙසන මිනිස්සු” විශ්ව ලේඛනය. ( 1891 )

👉2- 11 වන පියුස් සුදතුම් පියතුමන්ගේ “සතලිස් වසර” නැමැති විශ්ව ලේඛනය.( 1931 )

👉3- 6 වන පාවුළු සුදතුම් පියතුමන්ගේ “ජනතා ප්‍රගතිය”
විශ්ව ලේඛනය. ( 1967 )

👉4- ක්‍රි:ව 1854 දී 9වන පියුස් ශුද්ධෝත්තම පියතුමන්ගේ (Ineffabillis Deus ) නැමැති “අපෝසතලික ප්‍රකාශණය” මගින් දේව මාතාවන්ගේ නිර්මල පිළිසිදීම පිළිබද වේද සතය්‍යතාවය ( dogmatic) ඉදිරිපත් කෙරිණ.

👉5- ක්‍රි: ව 1974 දී 6 වන පාවුළු ශුද්ධෝත්තම පියතුමන්ගේ (Marialis Cultus ) නැමැති “අපෝස්තලික ප්‍රකාශණය” මගින් මරියබැතියට සුවිශේෂි ස්ථානයක් හිමිවිය යුතු බව ප්‍රකාශයට පත් කරන ලදී.

♦️මේ අනුව විවිධ මන්ත්‍රණ සභාවන් තුළින්,සභා පිය යුගය තුළින් මෙන්ම ශුද්ධෝත්තම පියතුමන්ලාගේ ඉගැන්වීමේ සම්ප්‍රදායන් මගින් අපෝස්තුළු වරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව තුළ “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩසිටීම” අඛණ්ඩව ගලා ආ ආකාරය පැහැදිලිය.

♦️මේ අනුව ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය යනු ක්‍රි:ව 100 න් පසුව අවසන් වුවාක් නොවේ.එය අඛණ්ඩව සභාව තුළ අදවනතුරුත් ක්‍රියාත්මක වෙමින් පවතී.ක්‍රි:ව 100 දක්වා සභාවේ ඉතිහාසය පමණක් ශුද්ධ ලියවිල්ල තුළින් පෙන්වීමට උත්සහ කරන මුලධර්මවාදීන් විසින් මෙම සමස්ථ සභා ඉතිහාසයම අමතක කරන්නේ ඔවුන්ගේ සභාවන්ට එම ඉතිහාසය නොමැති කම නිසාවෙනි.ඔවුන්ගේ ආරම්භය සිදුවුයේ 19 වන සියවසෙන් පසුවය.ක්‍රි:ව 1844 දී ලෝක විනිශ්චය ආරම්භ වු බව පවසමින් ක්‍රි:ව 1850 දී විලියම් මිලර් විසින් කිතුනු ව්‍යාපරයක් ආරම්භ කරමින් එය ක්‍රි:ව 1860 දී සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්ස්” නමින් හැදින්වීම මූලධර්මවාදීන්ගේ ආරම්භයයි.ඔවුන්ට ක්‍රි:ව 33 සිට 19 වන සියවස දක්වාම ඉතිහාසයක් නොමැත.මේ නිසා “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අඛණ්ඩ වු ජීවමාන වැඩ සිටීම මොවුන්ගේ සභාවන් තුළ ක්‍රියාකාරී වන්නේ නැත.

♦️ මේ නිසා, “අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව” පමණක් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ස්ථාපිත කොට උන්වහන්සේ විසින්ම ශු.පේදුරු තුමන් හට පවරන ලද,

“ඔබ පේදුරුය මෙම පර්වතය මත මාගේ සභාව ගොඩනගන්නෙමි.”(මතෙව් 16:18 )

♦️එඩේරීක නායකත්වයේ අනුප්‍රාප්තිකයා වන ශුද්ධෝත්තම පියතුමන්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන එකම සභාව වන අතර එම සභාව තුළින් අඛණ්ඩව “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම” ක්‍රි:ව 33 සිට ක්‍රි:ව 2021 දක්වාම ක්‍රියාත්මක වෙමින් කාලයත් සමග නවතාවයකට පත් වෙමින් ඉදිරියටම ගමන් කරයි.

📕13 එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. ( ජොහාන් 16:13 )

සතුට යනු කතෝලිකයකු වීමයි!

✍️සාහිත පෙරේරා