නූතන බාබෙල් කොත වූ ටයිටැනික් නැව

නූතන බාබෙල් කොත වූ ටයිටැනික් නැව
Photo by K. Mitch Hodge / Unsplash

"ටයිටැනික් නෞකාව” යනු නූතන මිනිස් ඉතිහාසයේ, ඉතාමත් ඛේදජනක අත්දැකීමක් මතක් කරවන මාතෘකාවකි. මේ වටා කේන්දරගත වූ කතා දහස් ගණනක් ඇති.නමුත් මෙහි සදහන්  කරන්නට යන්නේ ඉන් තුනක් පමණයි.

"Gentlemen it has been a privilege playing with you tonight"-
["මහත්වරුනි, අද රාත්‍රියේ ඔබ සමඟ වාදනය කිරීම මට භාග්‍යක්"]

⛔වොලස් හාර්ට්ලි ඇතුළු අට දෙනෙකුගෙන් යුත් වාද්‍යය වෘන්දයක් ටයිටැනික් නෞකාවේ ගමනේ යෙදී සිටියේය. ඔවුන්ගේ රාජකාරිය එම නෞකාව තුළ වාදනය කිරීම නොවුනත්, එදින නම් ඔවුන්ට එහි වාදනයේ යෙදීමට සිදුවිය. ටයිටැනික්  නෞකාව සම්පුර්ණයෙන්ම ගිලී යාමට මොහොතකට පෙරත්, ඔවුන් එහි වාදනයේ නිරත විය. හාර්ට්ලි අවසාන වශයෙන් වාදනය කලේ "Nearer my God to Thee, Nearer to Thee" නැමැති කිතුනු ගීතිකාවයි. වර්තමානයේ "පෙම්බර ජේසුනී" ලෙසින් ශ්‍රී ලාංකීක කතෝලික අවමඟුල් පිළිවෙත තුළ ගායනා කරන්නේද, එම ගීතයමයි.  උතුරු අත්ලාන්තික් සාගරයේ, හිම මිදෙන මහා ශීතල ජල කඳක් තුළ සදාකාලිකවම සන්තර්පණයට යාමට ආසන්නව සිටි ටයිටැනික් නෞකාවේ මඟීන් නොවැලැක්විය හැකි  කලබලයකින් එහා මෙහා දිව යද්දී, ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩවීමට තරඟ කරද්දී,  මඟීන්ගේ සිත් සතන් තුළ මේ ජීවිතයේ අවසානයත්, සමිඳාණන්වහන්සේගේ ශ්‍රී වත මඬල දැකීමට ආසන්න වීමත්, යන බලාපොරොත්තුව මහා සංයමයකින් කාවැද්දවීමට හාට්ලි ඇතුළු පිරිස නොනවත්වාම, "පෙම්බර  ජේසුනී”  ගීතයේ වඩාත් දුක්මුසු එහෙත් බලාපොරොත්තුව මුසුවූ තනුව වාදනය කළේය.අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවෙන්  දිවි ගළවාගත් මඟීන්ටද නෞකාවෙන් බොහෝ දුර යන තාක්, හාර්ට්ලිගේ, "පෙම්බර ජේසුනී" වයලීන වාදනය ඇසී ඇත.ජනප්‍රවාද වලට අනුව වොලස් හාර්ට්ලි විසින තම වාදනය නතර කරමින් සහෘද වාදකයන්ට මෙසේ පවසා ඇත.එනම්;

["Gentlemen it has been a privilege playing with you tonight"-🎻
"මහත්වරුනි, අද රාත්රියේ ඔබ සමඟ වාදනය කිරීම මට භාග්‍යයක්"]

තම ප්‍රිය බිරිඳගෙන් තෑගි ලෙස ලද එම ඓතිහාසික වයලීනය ලෙදර් කවරයක බහා, එය තම වතට තුරුල් කර ගනිමින් වොලස් හාට්ලි මුහුදු පතුල සිපගෙන ඇති බව පසුව ඔප්පු විය.නමුත් ඔහුන් ඉතිරි කර ගිය ආදර්ශය අදටත් මේ ලොව ජීවමානව පවතී.ඒ කුමක්ද? මා පවසන්නේ ඔවුන් විසින් අවසානයේදී පැවසූ වදන් පෙළ පිළිබඳවයි. ඔවුන් කුමක් හෝ "භාග්යවන්තකමක්" ගැන පවසා ඇත.ඔහු පැවසූ එම භග්‍යවන්තකම කුමක්ද? ඒ මෙයයි. ජේසුස් වහන්සේ ඒ පිළිබදව අපට පවසා ඇත. අන්යන්ගේ දුක් වේදනා වලට සංවේදී විය යුතු බව පෙන්වා දීමට ජේසුස්වහන්සේ විසින් අපට යහපත් සමරිතානුවරයාගේ (He is a good Samaritan) උපමාව පවසා ඇත.එමෙන්ම "යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවතයෝය'යි පවසමින් ජේසුස් වහන්සේ විසින් දුක් පීඩාවන් සමඟ නිරායාසයෙන්ම ඇදී එන භාග්‍යවන්තකමක් පෙන්වාදුන් සේක. “භාග්‍යවන්ත යන වචනය සඳහා ජේසුස්වහන්සේ විසින්ම භාවිත කරන ලද "Macarious"යන වචනයට " බෘක්ලේ " නමැති බයිබල් විශාරදයා විසින් විශිෂ්ට අර්ථ දැක්වීමක් ලබාදී ඇත.එනම්,එය දිව්‍යමය (ස්වර්ගීය) සොම්නසකි; සම්පූර්ණ  සොම්නසකි; කිසිවෙකුට කිසිසේත්තේ පැහැර නොගත හැකි සොම්නසකි; සදා නොවෙනස්ව පවතින සොම්නසකි.ඒ අනුව එදා ටයිටැනික් නෞකාව තුළදී, තමන්ට මානසිකව හෝ ශාරීරිකව විඳ දරා ගැනීමට සිදුවූ දුක් වේදනා, වොලස් හාට්ලි විසින් එදා නෞකාව තුළ බලාපොරොත්තුව හීනව ජනතාවට, අනන්ත ජීවිතය කෙරෙහි බලාපොරොත්තුවක්  ඇති කරලීම සඳහා  යොමු කර තිබීමෙන්, ඔහු කෙතරම් භාග්‍යයක් අත්කරගෙන තිබේද? ඔහු විසින් මරණ මංචකයේදී පවා තම දුක් වේදනා වලින් මහගු ඵලනෙළාගෙන ඇත.

"Get off that Ship, - Provincial" - "ඔය නැවෙන් බහින්න,"(ප්‍රදේශාධිපති පියතුමා)

⛔ පූජක හා පැවිදි දිවියේ තවත් එක් කුලුණකි, "ශුද්ධ වූ කීකරුකම” (Holy Obedience ). සභා ශ්රේෂ්ඨයන්ගේ අණට කීකරුවීම පූජක සිසුන්ගේ සිට කාදිනල් ධූරය දක්වා සෑම පූජක - පැවිදි තත්වයකටම අදාල වේ. සබාවේ උත්තරීතර සම කල නොහැකි බලය හිමි ශුද්ධෝත්තම පාප්වහන්සේද සෘජුවම ශුද්ධාත්මයාණන්ව වහන්සේගේ අණසකට යටත් වේ. මෙලෙස සභා ශ්රේෂ්ඨයන් විසින්  පවරා දෙන රුචි - අරුවි සියල්ලටම,"එසේය යැ"යි පැවසීම බොහෝවිට සැබෑම කුරුසියකි.  මමත්වය මරාදැමීම හේතුවන සිදුවීමකි. පොළෝ මට්ටමින්, ලෝක මිම්මෙන් ඒ දෙස බැලීමේදී එය වියගහක් මෙන් වුවද, ලෝක ඉතිහාසය තුළ ශුද්ධවූ කීකරුකම  නිසා ජීවිත ගැලවුන අවස්ථාද ඇත.ඒ සමයෙහි මානව නාවුක තාක්ෂණයේ මහා ජයග්‍රහණයක් ලෙසින් සලකා ටයිටැනික් නෞකාවේ මංගල ගමන පිළිබඳව මුලු ලොවම උදම් ඇනීය.එම නෞකාව දෙවියන් වහන්සේට වත් ගිල්වීමට නොහැකි බව පැවසූ මිනිසුන්ද සිටි බවද පැවසේ.මේ සිදුවීම අපට මතක් කරන්නේ ශුද්ධ වූ බයිබලය තුළ බාබෙල් කොත පිළිබඳව උදම් ඇනු මිනිසාවය. ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ඒ සමයෙහි  කතෝලික ඇදහිල්ල නැමැති තොටිල්ල  තුළ නැළවෙමින්  තිබුණද."අදේවවාදයේ කඩතුරාව" යම් යම් බලවතුන්ගේ දෑස් අන්ධ කිරීමට පටන් ගත් වකවානුව මෙයයි. එහෙත් එහි ආරම්භයම ඛේදජනක එකක් විය.එසේ නම් එහි අවසානයේදී එවැනි අයට සිදුවන දෙය කෙතරම් භයානක වේවිද? අදටත් ටයිටැනික් නෞකාවේ මුහුදු ගමනේ සැබෑ ඡායාරූප ඉතිරිව ඇත්තේ "ශුද්ධ වූ කීකරුකම" නිසා, ගමනේ අතරමඟදී අයර්ලන්ත වරායෙන් බැස ගිය ජේසු නිකායික පූජක සිසුවාගේ කැමරා කාචය නිසාය. අයර්ලන්ත ජාතික 21 හැවිරිදි ජේසු නිකායික පූජක සිසුවාට  ක්ලෝන් පදවියේ රදගුරුතුමා, මහප්පා විය.වයස අවුරුදු 08 ලබන විටම, මව සහ පියා යන දෙදෙනාම අහිමි වීම නිසා, ෆ්රැන්සිස් බ්‍රවුන් ඇති දැඩි වන්නේ ඔහුගේ මහප්පා වන රොබට් බ්‍රවුන් රදගුරුතුමාගේ ආධාරයෙනි.1912 දී එනම් පූජාත්වරය ලැබීමට වසර 03 ක් තිබියදී මුලු ලෝකයේම පැසසුමට ලක්වෙමින් තිබූ ටයිටැනික් නෞකාවේ මංගල සාගර තරණයට පළමු පංතියේ ටිකට්පතක් තිළිණ කරන්ද මහප්පා වූ රොබට් රදගුරුතුමාය.එංගලන්තයෙන් ආරම්භ කර, ප්‍රංශ වරායට ගොස්,නැවත අයර්ලන්ත වරායෙන් මගීන් නංවාගෙන අවසානයේදී අත්ලාන්තික් සාගරය හරහා "නව ලෝකය" හෙවත් ඇමරිකානු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වරාය කරා ටයිටැනික් නෞකාව සේන්දුවීමට සැලසුම් කර තිබුණි.

එහෙත් ෆ්‍රැන්සිස්ගේ ටිකට්පත වලංගු වූයේ එංගලන්තයේ සිට අයර්ලන්තය දක්වා පමණි. අයර්ලන්තයේ ඩබ්ලීනයේ තම දේව ධර්ම පීඨයට යාම ඔවුන්ගේ ගමනාන්තය විය. යුරෝපයේ ධන කුවේරයින් සේම අනෙකුත් රටවලින්ද පැමිණි බලවතුන් සමඟ තේජාන්විත ටයිටැනික් නෞකාවේ පළමු පංතියේ සිටි පූජක සිසුවාට මුහුදු ගමනේ වින්දනය ලැබීමට තිබුණේ දින දෙකක පමණ කාලයකි. එනම්, අප්රේල් 10 සහ 11 ය. ඔහු මුලු නෞකාවම ඡායාරූප ගත කළේය.ඔහු විසින් ගන්නා ලද ඡායාරූප වලට පිං සිදු වන්නට, ටයිටැනික් නෞකාව වටා ගොඩනැගුනු සිනමා සිත්තම් යථාර්ථගත කෙරුණි.මේ අතරතුරදී ධනවත් ඇමෙරිකානු යුවළකගේ ආදරයට පාත්රවන  පූජක සිසුවාට ඔවුන් දෙපළ විසින් ආරාධනයක් කෙරිණි. එනම්,නව ලොව හෙවත් ඇමරිකානු එක්සත් ජනපදය දක්වාම ඔහු හා ගමන් කිරීමට ඔවුන් කැමති බවත්, ඒ සඳහා වැයවන සියලුම මුදල්ද ඔවුන් විසින් ගෙවන බවත්ය.එසැනින්ම එය මහත් සතුටින් පිළිගත් ඔහු, "මාකෝනී රැහැන් රහිත සන්නිවේදන කුටිය" කරා දිව යන්නේ,ඩබ්ලීනයේ තම ජේසුනිකායික ප්‍රදේශාධිපති පියතුමාට පණිවිඩයක් යවා ඊට අවසර අයැදීමටයි. අප්‍රේල් 11 වන දිනයේදී, අයර්ලන්ත වරාය නැවතුමේදී එයට පිළිතුරු ටෙලිග්‍රෑමයක් ඔහුට ගෙනෙන්නේ නෞකාවේම කපිතාන් විසිනි.එහි සඳහන් වූයේ මෙයයි.එනම්;


["Get off that Ship - Provincial" - "ඔය නැවෙන් බහින්න!- ප්‍රදේශාධිපති.]

ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක් හා පුදුම සහගත ලෙස ධනවත් යුවළකගේ අනුග්‍රහයකට ලක්වීමට තිබූ අවස්ථාව, එක් මොහොතකින් ප්‍රතික්ෂේප කිරීමට ජේසු නිකායික පූජක සිසුවාට සිදුවිය.භද්‍ර යෞවනයේ සිටි ෆ්රැන්සිස් බ්‍රවුන්ගේ සිහින මාළිගය එක වරම කඩා වැටෙන්නට විය. එහෙත් එම ටෙලිග්රෑමය තමාගේ දිවි ගළවන්නට යන බවක් ඔහු දැන නොසිටින්නට ඇත. කෙසේ හෝ වේවා,"ශුද්ධවූ කීකරුකම" කරණකොටගෙන ඔහු මහා අනතුරකින් බේරී, අයර්ලන්ත බලා ගමන්කළේය.

ඉන් දින තුනකට පසුව,එනම් පාස්කුවෙන් පසු දෙවැනි ඉරුදින රාත්‍රී 1:39 ට පතාක අයිස් පරයක ගැටෙන ටයිටැනික් නෞකාව, 1912 අප්‍රේල් 15 වන දින පාන්දර 02:20 පමණ වනවිට ජීවිත 1500 ක් පමණ මළවුන්ගේ දේශයට ගෙන යමින්, මුහුදු පතුල සිප ගත්තාය.ශුද්ධවූ ෆවුස්තිනා තුමියගේ දේව දයාවේ ජේසු සමිදාණන්වහන්සේගේ ප්‍රාතිහාර්යාත්මක දර්ශන මාලාව ආරම්භ වන්නේ 1931 දීය.දීර්ඝ පරීක්ෂණ කාල පරිච්ඡේදයකින් පසුව දේව දයාවේ දර්ශනය සඳහා කතෝලික සභාවේ අනුමැතිය හිමිවූ අතර දෙදහස් ජයන්ති වසරේදී ශුද්ධවූ දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් "රෝමානු මිසෙල්" පොතේ, පාස්කුවෙන් පසුව එළැඹෙන දෙවැනි ඉරුදින,"දේව දයාවේ ඉරුදින” ලෙස නම් කරන ලදී.1912 දී ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය දෙවියන්වහන්සේන්ගේ සර්වබලධාරීත්වය නිගාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් බව බොහෝ දෙනා තර්ක කරති. එසේම "නූතන බාබෙල් කොත" වැනි ටයිටැනික් නෞකාව විනාශ වූ දිනය වන, පාස්කුවෙන් පසුව එළඹෙන දෙවැනි ඉරුදිනම, “දේව දයාවේ ඉරුදින” ලෙස නම් කිරීමට තරම් සමිඳාණන්වහන්සේ අභිප්‍රාය කළේ ඔවුන් වහන්සේගේ සර්වබලධාරීත්වය සේම,"දේව දයානුකම්පාවේ දිග-පළලද මැනිය නොහැකි බව" මිනිසාට අවබෝධ කරදීමට බව සිතිය හැක.

පූජක හා පැවිදි තත්වයට පමණක් නොව, ගිහි ජනතාවටද කීකරුකම රුවන්පහනකි. විශේෂාකාරයෙන් දේව වචනයේ හා සභා ඉගැන්වීමේ එන උපදෙස්, අවවාද හා අනුශාසනාවලට විශ්වාසවන්ත වීමට අප දරන උත්සාහයන්ට ස්වාමීන්වහන්සේ ආශිර්වාද කරන සේක.දේව නීතිය, ස්වභාවික නීතිය හා සභා නීතිය ඇත්තේද අප දිවි ගැළවීමටය.මෙලොවෙහිම සැබෑ රීතිය අත්දැක අවසානයේ මෝක්ෂානන්දය කරා අපව රැගෙන යාමටය.මරියනි, කීකරුකමේ මහා දර්පණයෙනි, අපි නිසා යදිනු මැනව! මෙම සත්‍යය සිදුවීම පාදක  කරගෙන නිමැවී ඇති සිනමා සිත්තම් තුනෙන්, එකක්වත් නැවත නරඹන ලෙස ඉල්ලා සිටිනවා.එහි ලෞකීක ද්ර්ශ්ටිය පසෙක ලා සමාජයීය හා කතෝලික පසුබිම දෙස එම දෘෂ්ටිකෝණයෙන්ම නැරඹුවහොත්,එම ඉතිහාසගත සිදුවීම නැවත අධ්‍යයනය කළහොත්,ඒහා බැඳී ඇති බොහෝ සංවේදී සිදුවීම් ඔබව ස්පර්ශ කරනු ඇත

Spiritual Shipwreck "ආත්මික දියබත් වීම"

මුහුදුබත් වන තේජාන්විත ටයිටැනික් නෞකාවේ සිය කැමැත්තෙන්ම ගිලී යන ප්‍රධාන කපිතාන් ඇතුළු නාවික කණ්ඩායම,නැවේ නිර්මාණකරු සහ සීමිත ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයකට හැකි තරම් ගැහැණුන්ව හා ළමයින්ව නංවන නාවිකයන් මෙන්ම මලවුන් වෙත යෑමට ඉතා ආසන්නව සිටි නෞකාවේ මිනිස්සුන්ව සැනසීමට,"පෙම්බර ජේසුනී, ස්වාමිනී" ගීතිකාව වාදනයේ යෙදෙන වොලස් හාර්ට්ලි හා වාද්‍යය වෘන්දය සමඟ, "සදි මරණය" නොහොත්, "සූදානම් රහිත මරණය","සූදානම සහිත මරණයක්" බවට පරිවර්තනය කිරීමට වෙහෙසුණු කතෝලික පියතුමන්ලා තිදෙනෙක්ද ටයිටැනික් නෞකාවේ වීරයන් ලෙස සදා අනුස්මරණය කළ යුතුය. කතෝලික පියතුමන්ලා තිදෙනාට අමතරව ප්‍රොතෙස්තන්ත්‍ර එඬේරුන් (Protestant clergymen) පස් දෙනෙක්ද ස්වකැමැත්තෙන්ම ජීවිතාරක්ෂක බෝට්ටු හා ජීවිතාරක්ෂක පැළඳුම් ප්‍රතික්ෂේප කරමින්, දියේ ගිලී මියයාමට නියමිත අසරණ 1500 කට අධික ප්‍රමාණයක් සමඟ ආත්මික අරගලයක යෙදී ඇත. ජීවිතාරක්ෂක බෝට්ටු හරහා දිවි ගළවා ගත් 706 ක් පමණ වූ මඟීන්ගේ ජීවිත සාක්ෂි හා ඔවුන් විසින් රචිත ග්‍රන්ථ හරහා, ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර කතෝලික පියතුමන්ලා හා අනෙකුත් කිතුනු දේවගැතිවරුන්ගේ අවසාන හෝරාවන් කිහිපය පිළිබඳව බොහෝ කරුණු කාරණා හෙළිවී ඇත.

ටයිටැනික් නෞකාවේ ඛේදාන්තය පාදක කර ගනිමින් නිර්මාණය වූ ලෝපතල සිනමා පටයන් එම සැබෑ සාක්ෂි වලින් ආලෝකමත් වී ඇත.මෙවැනි අවස්ථාවකදී දෙවරක් ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රතික්ෂේප කිරීම හා තෙවරක්ම තමන් ලද ජීවිතාරක්ෂක පළඳනා, කුඩා ළමුන්ට පැළඳවීම කළ හැක්කේ සැබෑම වීරයන්ට පමණි. ගරු තෝමස් බයිල්ස් පියතුමාද එවැනි වීරයෙකි.තම එකම සොහොයුරාගේ විවාහ මංගල්ලය පූජාව පුද දීමට ඇමරිකාව කරා නැව් නැගි බයිල්ස් පියතුමා, එය තම ආත්මික වගකීම් වලින් නිදහස්වීමේ නිවාඩුවක් කර නොගත්තේය. ටයිටැනික් නෞකාව ගිලී ගිය දිනට පෙර දින, එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින සන්ද්‍යාව උන්වහන්සේ ගෙවා නිම කර ඇත්තේ පාපොච්චාරණයේ දේව ප්‍රසාධ නිධානය දානය කරමින්ය.අප්‍රේල් 14 වන ඉරිදා (පාස්කුවෙන් පසුව එළඹෙන දෙවැනි ඉරුදින) උදෑසන බයිල්ස් පියතුමා විසින් ටයිටැනික් නෞකාවේ දෙවැනි හා තෙවැනි පංතියේ මඟීන් සඳහා කතෝලික දිව්‍ය පූජා යාගයන් දෙකක්ම පුදදී ඇත.තවද පළමු පංතියේ මඟින් බහුතරය ඇංග්ලිකානු සභාවේ කිතුනුවන් වූ බැවින්, ඔවුන් සඳහා නෞකාවේ ප්‍රධාන කපිතාන් විසින් උදෑසන ඉරුදින මෙහෙයක් පවත්වා
ඇත.

නෞකාව දියබත් වූ දිනයේ උදෑසන දිව්‍ය පූජාවේ දේශනාව අතරතුරදී බයිල්ස් පියතුමා විසින්, "ආත්මික දියබත් වීමකදී" (Spiritual Shipwreck) ආරක්ශාව ලබා දෙන්නේ දේව ප්‍රසාධ නිධාන (සක්‍රමේන්තු) හා යාච්ඤාව බවයැ"යි පවසා ඇත.එදිනම මැදියම් රැයේදී සිදුවීමට නියමිතව තිබූ සියවසේ මහා ඛේදවාචකය පිළිබඳව එතුමන් හරහා එලෙස දෙවියන්වහන්සේ එම ජනතාවට යම් ඉඟියක් ලබා දුන්නා විය හැකිය. ටයිටැනික් නෞකාව අයිස් පරය හා ගැටුණු රාත්රී 11:40 යේ නිමේෂයේදී බයිල්ස් පියතුමා රැඳී සිට ඇත්තේ නැව් තට්ටුවේය. එතුමා තම"ඔෆිස්"පොතෙන් කතෝලික සභාවේ රාත්රී නිල යාම යැදුම (compline) අවසන් කිරීමත් සමඟම,මුලු නෞකාවම භයානක දෙදරවීමේ ශබ්දයක් නිසා සලිත වූ බව දිවි ගළවාගත් අයගේ සාක්ෂියයි.මහා විනාශයක ඉව දැනුන බයිල්ස් පියතුමා වහා දිව යන්නේ පහතම මාලයේ කොරිඩෝ හරහාය. නෞකාවේ සේවක පිරිසද සමඟ නින්දේ සිටියවුන් අවදි කරවමින් හා ඔවුන්ව සන්සුන් කරවමින් තම ජීවිතයේ අවසාන පැය දෙක උන්වහන්සේ ආරම්භ කළේය.2208 ක් පමණ වූ මගීන් ප්රමාණයකට ජීවිතාරක්ෂක බෝට්ටු පැවතියේ 20 ක් පමණි. ජීවිතාරක්ෂක බෝට්ටු 64 ක් පමණ ප්‍රමාණයක් නෞකාවේ ගෙන යාමට හැකි වුවද, පළමු පංතියේ මඟීන්ගේ මුහුදු දර්ශනයට එය බාධාවක් වූ නිසා එම ප්‍රමාණය අවම කර නෞකාව දියත් වී ඇත.ඉතිරි ජීවිතාරක්ෂක බෝට්ටු 20 න් තවත් දෙකක් පමණ,නෞකාවේ සිරස් ආනතිය නිසා මුහුදුබත් වී ඇත. සංඛ්‍යාලේඛන අනුව මඟින් 706 ක් පමණ දිවි බේරාගත් අතර, 1500 කට අධික මඟීන් ගණනක් ජීවිතක්ෂයට පත්වී ඇත.

ජපමාලය සහ දයාධික මනස්ථාපනය උච්චාරණය කරමින්ද, හැකි තරම් මඟීන් ප්‍රමාණයකින් පාපොච්චාරණය අසමින්ද, අවසානයේ කතෝලික සභාවේ "පොදු ක්ෂමා ආශිර්වාදය" (General Absolution) සහ මරණාසන්න වූවන්ට "අපෝස්තලික ක්ෂමාව" (Apostolic Pardon) නොහොත් පුර්ණඵල දානය කරමින් බයිල්ස් පියතුමා ප්‍රමුඛ අනෙකුත් කතෝලික පියතුමන්ලා, කතෝලිකයන්ට පමණක් නොව, උන්වහන්සේලා වටා එක්රැක් වූ ප්‍රොතෙස්තන්ත්‍ර හා ජුදෙව් ආගමිකයන්වද ස්වර්ගීය ගමනට සූදානම් කළ බව දිවි බේරාගත් ටයිටැනික් නෞකාවේ මඟීන්ගේ සටහන්වල සදහන් වේ.වෘකයන් තමන්ව ඩැහැ ගැනීමට යන විට එඬේරෙකු වටා බැටළුවන් රොක් වන්නා සේ, මේ අභීත කතෝලික පියවරුන් වටා ජනතාව දණ ගසමින්, මනස්ථාපන කඳුළු වගුරුවමින් කළ ආත්මීක සටන නිසා බොහෝ ආත්ම ප්‍රමාණයක් එම රාත්‍රියෙහිදීම පාරාදීසය දිනාගත් බව අපට සුපැහැදිලිය.නෞකාව සිරස් අතට හැරී, මධ්‍යයම කොටසින් දෙකඩවී,නැවත තට්ටුව හරහා ලිස්සා යමින් මුහුදුබත් වූ බැටළුවන් සමඟ මේ එඩේරා තම ජීවිත පූජාව, තම එදින උදෑසන පැවැත්වූ කල්වාරි පූජාවට හවුල් විය.

නෞකාවෙන් ඈතට යන බෝට්ටු වල සිටින්නන්ට අවසානය දක්වාම ඇසී ඇත්තේ ගරු බයිල්ස් පියතුමාගේ යාච්ඤාවලට මහ හඬි පිළිතුරු දෙන ජනතා හඬක්, වොලස් හාට්ලි ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ,"පෙමිබර ජේසුනී" වයලීන වාදනයත් අවසන් වශයෙන් නෞකාව දෙකඩ වූ භයංකාර ගිඟුම් හඬත්ය. එලෙසම බයිල්ස් පියතුමා විසින් මරණ බියෙන් සිටින තම බැටළුවන්ට මහා බලාපොරොත්තුවේ දේව වාක්‍යක් උච්චාරණය  කරන සැටි එම කතාව අළලා ගොඩනැඟුණු සිනමා සිත්තමෙහි දැක්වේ.එනම්;


🚫[උන්වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිස දමන සේක.මරණය තවත් නැත.වැළපීමද හැඩීමද, වේදනාවද තවත් නැත.මක්නිසාද, පළමු පිළිවෙළ පහව ගියේ යැයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය.]
[එළිදරව්ව 21:04]🚫


⛔දසවැනි පියුස් පාප්වහන්සේ විසින් ගරු තෝමස් බයිල්ස් පියතුමාව, "විශ්වාසයේ ප්‍රාණ පරිත්‍යාගියා” ලෙසින්  හැදින්වූ අතර,මේ වනවිට උන්වහන්සේව ශුද්ධවරයට එසවීමේ මාර්ගයේ ගමන් කරමින් සිටියි.ටයිටැනික් නෞකාවේ වීරෝදාර පියතුමන්ලාගේ දේහ මුහුදු පතුලෙන් අනාවරණය කරගත නොහැකි වුවත්, එතුමන්ලාගේ ආත්ම ශුද්ධවූ ත්‍රීත්වය ඉදිරියෙහි, තමන් දිනාදුන් ආත්ම‍යද සමඟ සදා ආනන්දය භුක්ති විඳින බව නම් නියතය✝️.

☢️ ⚠️️ දෙවියන් වහන්සේටවත් ගිල්ලන්න බැරි යැයි උදම් ඇනූ  නූතන බාබෙල් කොත බඳු ටයිටැනික් නෞකාව තම මංගල ගමනේදීම අවසන් ගමනත් යාම දෛවයේ සරදමද නැතහොත් අතීශයින් අවතක්සේරු නොකල යුතු දෙයක් අවතක්සේරු කිරීමේ ප්‍රතිපලයක්ද යන්න සිතීම ඔබට බාරය ⚠️️☢️

⭕සටහන - R.M.A.
⛔Credits goes to respective resource providers 🙏(Dilshan Diyawadanage )