දෙවියන් දැරූ තැනැත්තිය!

දෙවියන් දැරූ තැනැත්තිය!
Photo by Wonderlane / Unsplash

👉 කතෝලික සභාව විසින් මරියතුමිය හදුන්වා දීම සදහා විවිධ නාමයන් භාවිතා කරනු ලබයි.ඒ අතරින් සුවිශේශි ස්ථානයක් හිමි වන්නේ මෙම “දේව මාතාවන්” යන නාමයටය.”අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව” විසින් එතුමිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන “දේව ධාර්මීක සතය්‍යතාවයන්”4 කි.ඉන් පළමුවැන්න මෙම “දේවමාතාවන්” යන නාමයයි.

♦️1- එතුමිය දේවමාතාවන් වේ.

♦️2- එතුමිය සදා කන්‍යාවකි.

♦️3- එතුමියගේ නිර්මල පිළිසිදීම.

♦️4-එතුමියගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය.

👉 මෙම දේව මාතාවන් යන නාමය බිදී එන්නේ THEOTOkOS යන ග්‍රීක යෙදුමෙනි. THEO යනු දෙවියන් වහන්සේ ය. TOKOS යනු උත්පත්තිය ලැබදුන් යන්නයි.මෙය සභාව තුළ ඉතාමත් පැරණි විශ්වාසයකි.ඔරිගන් තුමන් ( ක්‍රි:ව 185 ), ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇතනේසියස් තුමා ( ක්‍රි:ව 330 ) මෙන්ම ශුද්ධ වු අගූස්තීනු මුනිතුමන් විසින්ද මෙම මතය තහවුරු කිරීම සදහා දේවධාර්මීක කරුණු ඉදිරිපත් කර ඇත.

👉 නමුත් මේ පිළිබදව සභාව තුළ විවාදයක් හට ගන්නේ සභාවේ 3 න් වන “ජගත් මන්ත්‍රණ සභාව” වන එෆීස් මන්ත්‍රණ සභාව තුළදීය.එය පවත්වන ලද්දේ ක්‍රි:ව 431 දී එෆීස නුවරදීය.එහිදී කොන්ස්තන්තිනෝපල් හී පීතෘ මුලිකයා වු නෙස්ටොරියස් විසින් ප්‍රකාශ කරන ලද්දේ ජේසුස් වහන්සේ තුළ දේවත්වයක් සහ මණුෂ්‍යත්වයක් ඇති නමුත් මරිය මාතාව විසින් මෙලොවට බිහි කරන ලද්දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මණුෂ්‍ය ස්භාවය පමණක් වන නිසා එතුමිය “දේව මාතාවන්” ලෙස නොව ක්‍රිස්තු මාතාව (Chirstotokos) ලෙස පමණක් හැදින්වීම යෝග්‍ය බවය.නමුත් මෙහිදී “දේව ධාර්මීකව” සහ “ශුද්ධ ලියවිල්ල” පදනම් කරගනිමින් නෙස්ටොරියස් හට පිළිතුරු ලබා දුන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමන් විසිනි. ( ක්‍රි:ව 376-444 )

👉 එහිදී එතුමන් විසින් යොදා ගනු ලැබුවේ ජොහාන් සුභාරංචියේ ආරම්භක පරිච්ඡේදයයි.

📕1 ආරම්භයේ දී, ධර්මයාණෝa සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
📕2 ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක. ( ජොහාන් 1:1-2 )

👉 එහිදී සිරිල් තුමන් විසින් ප්‍රකාශ කරන පරිදි ලෝකාරම්භයේ සිටම ක්‍රිස්තුන් වහන්සේ එකම භවත්වයක් ඇතිව පියාණන් වහන්සේ සමග එක්ව වැඩසිටි බවත් ඒ නිසා මරියතුමියගේ කුස තුළ පිළිසිද ගනිමින් මාංශ ගත වුයේ ඒ තැණැන්වහන්සේම වන බවය.

📕ධර්මයාණෝ මාංශගතව අප සමග වැඩ විසු සේක.
( ජොහාන් 1:14 )

👉 නමුත් මෙහිදී අප තේරුම් ගත යුතු කාරණාව වන්නේ ජේසුස් වහන්සේ ලෝකාරම්භයේ පටන්ම දෙවියන් වහන්සේ වන නමුත් මරිය තුමිය දේවමාතාවන් බවට පත් වන්නේ ජේසුස් වහන්සේගේ මාංශගත වීමේ මොහොතේ පටන් බවය. ග්‍රාබියෙල් දේවදුතයා විසින් පවා එතුමියට සුවිශේශි ගෞරවයක් ලබා දුන්නේ මේ නිසාය.නමුත් එතුමිය තුළ කිසිදු දේවත්වයක් නොමැත.

📕වපුල ප්‍රසාද ලත් උත්තමිය ඔබට මංගල වේ.ස්වාමින් වහන්සේ ඔබ සමගය.
( ලුක් 1:28 )

👉 එෆීස මන්ත්‍රණ සභාව විසින් ලබාදුන් මෙම නාමය ( THEOTOKOS ) මරියමාතාව පිළිබදව “විශ්වාසයේ ප්‍රකාශණයක්” පමණක් නොවේ.

👉 එය ක්‍රිස්තුන් වහන්සේගේ එකට බද්ධව පවතින දේව ස්භාවය සහ මණුෂ්‍ය ස්භාවය පිළිබදව “විශ්වාසයේ ප්‍රකාශණයක් ද” වෙයි.

📕9 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.

( කොලොස්සි 2 : 9 )

👉 එමෙන්ම මරියතුමිය විසින් එළිසෙබෙත් තුමිය බැහැදැකීමට ගිය අවස්ථාවේදී ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පුර්ණ වු එළිසෙබෙත් තුමිය මරිමව් “සමිදාණන් වහන්සේගේ මෑණියන්” ලෙස ආමන්ත්‍රණය කරනු ලබයි.

📕41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව,
📕42 මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය.
📕43 මාගේ “සමිඳාණන් වහන්සේගේ මෑණියන්” මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද?
( ශුද්ධවර ලූක් 1 : 43 )

👉 මේ නිසා මරියමාතාවන් හට “සමිදාණන් වහන්සේගේ මෑණියන්” ලෙස ආමන්ත්‍රණය කල හැකි වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පුර්ණ වු සභාවක සාමාජිකයන්ට පමණි.මේ නිසා විශ්වීය සභාවේ සාමාජිකයන් වන අප සැම එතුමියට “දේවමාතාවන්” ලෙස ආමන්ත්‍රණය කිරීම සදහා කිසි විටකත් මැලි නොවෙමු.

👉 එමෙන්ම මෙම ඉගැන්වීම හුදෙක් කතෝලික සභාව විසින් පමණක් පිළිගත් “දේව ධාර්මීක සතය්‍යතාවයක්” නොවේ.ග්‍රීක ඔතඩෝක්ස් සභාව,ඇන්ග්ලිකන් සභාව සහ 16 වන සියවසේදී සභාවෙන් නෙරපා හරින ලද “මාටින් ලුතර්” විසින්ද පිළිගන්නා දේවධාර්මීක සතය්‍යතාවයකි.මේ නිසා සභා ඉතිහාසයක් සහ “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදායක්” නොමැති සභාවන් වල සාමාජිකයන් විසින් එතුමියට කොතෙකුත් අපහාසයන් සිදු කරනු ලැබුවද කතෝලික අපට නම් ඇය සැබවින්ම “දේවමාතාවන්ය.”

සතුට යනු කතෝලිකයකු වීමයි!

♦️ආශ්‍රිත ග්‍රන්ථ : මරිය මාතාවන්ට නම් තිහක්.

♦️ශාස්ත්‍රපති ගරු : ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා

✍️සාහිත පෙරේරා