ඔබගේ ඉඟටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න

ඔබගේ ඉඟටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න

එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න.(එපීස 6 : 14)

සත්‍යවාදී වීම කොතරම් දුරට අත්‍යවශ්‍යද? සත්‍යවාදී නොවීමේ ප්‍රතිඵල කොතරම් දුරට දරුණුද?  බහුතර බලයකින් පත්වූ නායකයා සත්‍යවාදී නොවීම නිසා ඔහුට සිදුවූ අවමානය කොතරම්ද? ඉහත බයිබල් පාඨය දෙස බැලීමේදී සත්‍ය නමැති පටිය තුල සවිමත් නොවූ නිසා ඔහුගේ කලිසම ලිස්සා යාමක් නොවේද සිදුවූයේ?

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නො‍් ය" (ශු.ජොහන් 14 : 6)

ඉහත බයිබල් පාඨය ඔස්සේ ජේසු සමිදාණන් ප්‍රකාශිත කරන්නේ මාර්ගයද,සත්‍යද,ජීවනයද උන්වහන්සේ පමණක් බවයි. කෙසේද ජේසු සමිදාණන් "සත්‍ය" වන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ පමණක් සත්‍ය වන නිසාවෙනි. ඔබ ප්‍රේමය හදුනන්නේනම් සත්‍ය ඔබ තුල පිහිටා ඇත. මන්දයත් ප්‍රේමය නම් දෙවියන්වහන්සේයි.

ජේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ''යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.(ශු.ජොහන් 14 : 23)

ජේසුස් වහන්සේ හදුනාගැනීමට නැතහොත් සත්‍ය හදුනාගැනීමට උන්වහන්සේගේ ධර්මය පිලිපැදිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි. කුමක්ද උන්වහන්සේ වදාල ධර්මය? උන්වහන්සේ වදාල ධර්මය නම් ප්‍රේම කිරීමයි. උන්වහන්සේ ලබා දෙන්නාවූ මූලික නියෝගය නම් අප එකිනෙකාට අවංකව හා සැබෑ ලෙස ප්‍රේම කල යුතු බවයි. දෙවියන්වහන්සේ පුරාණ ගිවිසුමේ ආඥා මගින් උන්වහන්සේට කීකරුවන්නට උගන්වා ඇතිසේම, නව ගිවිසුමේ ආඥා දෙකක් මගින් දසපණත කැටිකර ඇත. මෙමගින් ජේසුස් වහන්සේ සත්‍යාණන් බවත් උන්වහන්සේ වදාළ ධර්මය තුලින් සත්‍ය නිරූපණය වන බවත් මනාව පැහැදිලිවෙයි.

'නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න'
(ශුද්ධවර මතෙව් 22 : 39)

ප්‍රේමය ඔබ තුල පවතින්නේ නම් ඔබට සත්‍යවාදී විය හැකිය.එසේම ප්‍රේමය ඔබ තුල නොපවතින්නේනම් ඔබ අවස්ථාවාදියෙකු වනු ඇත. අද වර්තමාන සමාජය තුල ඔබට දන්දිය හැකිද? ඔබට අසල්වැසියාගේ යහපත කෙරෙහි සතුටු වියහැකිද? උඩගුනොවී සමාජය තුල ජීවත් වියහැකිද?
ජේසුස් වහන්සේ මූලිකවම නියෝග කල "අසල්වැසියාට ප්‍රේම කරන්න" යන පණත තුල ඔබ ජීවත්වෙනවාද කියා මොහොතකට සිතා බලන්න.

සත්‍යවාදී වීම දුශ්කර කටයුත්තකි. එයින් සිදුවන්නේ අපට පාඩුවකි. සත්‍යවාදී වීම ඉතාමත් කටුක ස්වරූපයක් ගන්නා අතර, සත්‍යවාදී මිනිසාගෙන් බොහෝදෙනා ඈත්වීමට පටන් ගනියි .එයින් දුක, වේදනාව, කදුල නිරන්තරයෙන් ඔහුට උරුම වෙති. සැබවින්ම පැවසුවහොත් සත්‍යවාදී වීම බොහෝ සෙයින් අපට පාඩු ලබා දෙන කටයුත්තකි. එබැවින් සත්‍යවාදී වීම එතරම් පහසු කටයුත්තක් නොවන බව තරයේ මතක් කරන අතර, එසේ වන්නේ මනුශ්‍යයා වඩාත් ප්‍රිය වන්නේ සතුටට මිස දුකට නොවීම එයට ප්‍රධානතම හේතුව වන්නේය.

ජේසුස් වහන්සේ නමැති "සත්‍ය" ක්‍රිස්තියානින්ට පමණක් අයිති වූවක්ද? නැත. ජේසුස් වහන්සේව නොදන්නා මනුශ්‍යයා තුල පවා දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආඥා පිහිටුවා ඇත.

ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි.(රෝම 2 : 16)

ඔබ කාමමිත්‍යාචාරය නොකරනවානම්, සොරකම් නොකරනවානම්, ලෝභ නොවන්නේනම්, අසල්වැසියාට ප්‍රේමකරනවානම්, අසල්වැසියාට නපුරක් නොකරනවානම්, ඔබගේ හෘදසාක්ෂිය තුල ඔබ එකග නම්, ව්‍යවස්ථාව නමැති ප්‍රේමය ඔබතුල සම්පූර්ණ වනු ඇත. එනම් ජේසුස්වහන්සේව නොදන්නා අන්‍යාගමිකයන් පවා තමාගේ හෘදසාක්ෂියට එකගව, අවංක ලෙස ජීවත්වීම තුලින් දෙවියන්වහන්සේ මනුශ්‍යයාගේ සිත තුල නිදන් කර තිබෙන ප්‍රේමය නමැති නියමය ඉස්මතු කර පෙන්වයි.

විශේශයෙන් කතෝලික සභාව ගත්කල විශ්වය පුරාම ව්‍යාප්ත වී ඇති, මිලියන ගණනක් අනුගාමිකයින් සතු ලෝකයේ විශාලතම සභාව වන්නේය. එනම් මිනිස්බව ගත් දේවපුත්‍රයාණෝ මෙලොවට පැමිණ උන්වහන්සේගේ ධර්මය ගැන කියාදුන් සේක. උන්වහන්සේ ඉකුත්වූ ඉක්බිතිද ඒ කාර්‍යය ලෝකාන්තය දක්වා ඉටුකරන පිණිස සභාවක් පිහිටවූ සේක.

ජේසුස්වහන්සේ වර්ෂ 2000 කට පෙරාතුව පිහිටවූ සභාව අද වනවිට විශ්වයේ විශාලතම සභාව බවට පත්වූයේ ශුධාත්මයාණන්ගේ ඉගැන්වීම් තුලින්ද ඒකත්වය තුලින්ද ඉදිරියටම පැමිණ ඇති නිසාවෙනි. එනම් කතෝලික සභාව ගබ්සාව හා සමලිංගික විවාහයන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය ඇමරිකාවේ කතෝලිකයන්ගෙද ශ්‍රී ලංකාවේද කතෝලිකයන්ගෙද එකම ඉගැන්වීමයි. විශ්වයේ කොතැනක සිටියද සභාවේ ඉගැන්වීම ඒකත්වයක් තුලා රදා පවතින බැවින් කිසිදා ඉගැන්වීම කිසිම අයුරකින් වෙනස් නොවන්නේය.

ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය.(1 ජොහන් 3 : 16)

කොන්දේසියකින් තොරව ප්‍රේමකරන ආකාරය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද උන්වහන්සේ පසක් කරදුන්හ. උන්වහන්සේ අපට ප්‍රේම කරමින් අප උදෙසා ජීවිතය පූජාකලේ නම්, අපද අපගේ සහෝදරයා උදෙසා ජීවිතය පූජාකල යුතු නොවේද?

ප්‍රථමයෙන් ඔබතුල අරගලයක් ඔබ දියත් කල යුතුය, ඔබේ නිවස තුලද, ඔබේ සමාජය තුලද එම අරගලය සත්‍යයට සාක්ෂි දරමින් දියත් කල යුතුය. එසේ අරගල කරන කල ඔබට බොහෝ නින්දා අවමානයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
(ශු.මතෙව් 16 : 24)

සත්‍යවාදී වීමට නම් ඔබට ඇති මාංශීක, ලෞකීක දෑ අතහැරිය යුතු බව ජේසු සමිදාණෝ අවධාරණය කරයි.එනම් ඔබ තුල ඇති බලය,මාන්නය,කෛරාටිකකම,වංකබව හා තමා බලවත් ලෙස සලකන "තමකම" හෙවත් ලෞකීක දෑ අතහැරිය යුතුබව උන්වහන්සේ පෙන්නුම් කරයි. එසේ අතහැරීම තුලින් ඔබතුල තිබූ මාංශීක දෑ පරදා අධාත්මික දෑ කෙමෙන් වර්ධනය වන්නට පටන් ගනියි.

ලක්දිව වෙසෙන අප වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වනුයේ ඉන්ධන අර්බුදයයි. පෙර ඉන්ධන සැපයූ ප්‍රමාණයෙන්ම අද වනවිට ඉන්ධන සපයනු ලැබූවත්, තෙල් පෝලිම්වල අඩුවක් දක්නට නොමැත. අර්බුදය මුවාවෙන් ඉන්ධන ගබඩා කිරීම මෙයට හේතුව වන අතර එම ඉන්ධන වැඩි මුදලකට අලෙවි කිරීමටද ජනයා පුරුදු වී ඇත. එවැනි මනුශ්‍යයෙකුගේ සත්‍යතාවය පිලිබද විශාල ප්‍රශ්නාර්ථයක් මතු කරයි. සත්‍යවාදී වී සත්‍යයට සාක්ෂි දැරීමට නම් අප සතු සියලු දෑ අතහැරිය යුතුය. එම මිනිසාට සත්‍යවාදී ලෙස සිටීමට නොහැකි වනුයේ ඔහු එසේ ඉන්ධන ගබඩා කර නොගතහොත්, ඔහුට එය විශාල පාඩුවක්, අලාභයක්, එයින් විශාල දුශ්කරතාවයක් පැමිණෙන නිසාවෙනි. එවැනි මිනිසුන් තමාගේ වාසිය පතා හෘදසාක්ෂියට මුවාවී සත්‍යයෙන් සැගවී සිටියි.

ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේමයේ විප්ලවය කරන්නට අනන්ත අප්‍රමාණ ලෙස දුක්වින්දාහ. උන්වහන්සේ වරදක් නොකලත් අන් සියල්ලන්ගේ පවු වෙනුවෙන්, ආදරයේ උදාරත්වය ජනතාව අතර මාංශගත කරන්නට ජීවිතය පූජා කල සේක. එනම් සැබවින්ම සත්‍යයට සාක්ෂි දැරීම යනු අනෙකා වෙනුවෙන් තම ජීවිතයද පූජා කිරීමය.

ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි.(ශු.ජොහන් 12 : 24)

අහිමිවීම් තුලින්, දුක්වේදනා තුලින්, සත්‍යයට සාක්ෂි දරමින් ඔබේ හෘදසාක්ෂියට එකගව ඔබ ජීවත් වන්නේනම්, ඔබේ වේදනාව තුලින් අනෙකාට දක්වන ප්‍රේමය, දයාව ඔබට අවසානයේදී මහත් ඵල ලබා දෙන බව නොඅනුමානය. කතෝලික සභාවද මෙතරම් වර්ධනය වූයේ, ශ්‍රාවකයන්ගේ සිට ක්‍රිස්තු අනුගාමිකයින් අද වනතෙක් සත්‍යයට සාක්ෂි දරමින් තම ජීවිතය පූජා කල නිසාවෙනි.

අවසන් කොට, සත්‍යවෙනුවෙන් දුක්විදීම භාග්‍යයකි. අප සත්‍යයට සාක්ෂි දැරීම පිණිස ශාරීරික වශයෙන් දුක් විදීමට සූදානම් විය යුතුය. මන්ද ඒ අන්දමින් ශාරීරිකව දුක්වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්ව සිටියි. මේ ජීවිතයේ ඉතිරි කාලයේද තව දුරටත් මනුශ්‍ය තෘශ්ණා අනුව නොව දේව කැමත්ත ලෙස ජීවත් වීම, අප සමිදාණන් උදෙසා සාක්ෂි දැරීමත් එම සාක්ෂි දැරීම තුලින් නියම කතෝලිකත්වය පෙන්නුම් කිරීමටත් පුලුවන්කම ඇත.

✍️ අශේන් අරවින්ද