ජෝතිෂ්‍ය හා මිථ්‍යා ඇදහිලි කිතුනු ඇසින් -2 කොටස

ජෝතිෂ්‍ය හා මිථ්‍යා ඇදහිලි කිතුනු ඇසින් -2 කොටස

ජෝතිෂ්‍ය ශාස්ත්‍රය හා බැඳුණු හා ඉන් ඔබ්බට යන්නාවූ කිතුණු දහමේ සංකල්පයන්ට විරුද්ධ වූ බොහෝ ශාස්ත්‍රයන් බිහිවී ඇත. මෙම ලිපිය ඒ පිළිබඳවය.

Tarot reading

මෙය 14 වන සියවසේ හෝ 15වන සියවසේ අග භාගයේ දී ඉතාලියේදී බිහි වූ බව සැලකේ. මෙහි කාඩ් 78ක් ඇත. මෙම කාඩ් 78 ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම් ප්‍රධාන අභිරහස්(major mysteries/arcana)හා සුළු අභිරහස්(minor mysteries/arcana)යනුවෙනි. Major mysteries ඝනයට අයත් කාඩ් 22 ඇති අතර ඒවා ප්‍රධාන ජිවිත සිදුවීම් හා පුළුල් සිදුවීම් ලෙස හැඳින්විය හැකි රැකියාව,සබඳතා හා ආදරය වැනි සංකල්ප සංකේතවත් කරයි.minor mysteries ඝනයට අයත් කාඩ් 56 මගින් එදිනෙදා මුහුණ දීමට සිදුවන දුක් කරදර, අවස්ථාවන් හා හැඟීම් පිළිබඳව සංකේතවත් කරයි. Tarot කාඩ් පිළිබඳව ප්‍රථම වරට කෘතියක් රචනා කරන ලද මාර්ටියනෝ (Martiano da Tortona) විසින් ප්‍රකාශ කරන පරිදි මෙම කාඩ් සැකැස්මෙහි කාඩ් 16 හි සිතුවම් ග්‍රීක දෙවිවරුන්ගෙන් නිර්මිත බවයි.

උදා :- අධිරාජ්‍යයා(emperor)නිරූපණය කරන කාඩ් පත සියුස්(Zuse)දෙවියන් නිරූපණය කරයි.
එපමණක් නොව මෙම කාඩ් කුට්ටම නිර්මාණය සඳහා ඉපැරණි හේබ්‍රෙව් අක්ෂර මාලාව සහ අතීත ජුදා ජනතාව සැබෑ වූ එකම දෙවියන්ව වන්දනා කිරීමට පෙර භාවිතා කර සංකේත රටා මාලා භාවිත කර ඇති බවට සාක්ෂි ඇත.(ancient Hebrew alphabet and number of hieroglyphs that the ancient jews used before worshiping the true god).

එනිසා Tarot කාඩ් භාවිත කරන්නන් පවසනුයේ මෙහි මුළු විශ්වය තුළම පවතින්නාවූ සියලුම විද්‍යාවන්හි දැනුම සාරාංශකරණය කර ඇති බවයි. එනිසා මෙම  කාඩ් කුට්ටම භාවිතයෙන් යමකුගේ අනාගතය දැන ගැනීමට සහ ඔහු තුළ වූ ගැටළුකාරී ප්‍රශ්න විසඳීමට හැකියාව ඇති බවයි.

උදා :-රත්තරන් (gold)මගින් බුද්ධිමය දැනුම(intellect)නිරූපණය කරනා බව.
මෙහි ඉතිහාසය දෙස ද හැරී බැලූ විට පෙනී යනුයේ මෙහි පදනම ද කතෝලික ඉගැන්වීම්වලට විරුද්ධ බවය. දෙවියන් වහන්සේ ලෝක ආරම්භයේ සිටම අපට නිදහස් කැමැත්ත දී ඇත.සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනාමාන කරන අප ග්‍රීක මිථ්‍යා  දෙවිවරුන්ගෙන් නිර්මිත මෙවන් වත් පිළිවෙත් අනුගමනය කිරීම දස පනතෙහි පළමුවන පනත කඩ කිරීමකි. අප නොදන්නා අපට අපැහැදිලි අනාගතය දනුයේ දෙවියන් වහන්සේ පමණි. එනිසා උන්වහන්සේගේ  ව මැත්ත සෙවීම හා ඊට යටත් වීම සැබෑ දේව ගරු බිය වේ.

සමිදාණන් වන මම මෙසේ පවසමි. "මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොව ;මාගේ මාර්ග නූබේ මාර්ග මෙන් නොව; අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.
(යෙසායා 55:8-9)

මෙහි ඇති අනිත් අඳුරු පැතිකඩ වනුයේ  මේ හරහා සාතන්ට ක්‍රියා කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව අප විසින්ම සලසා දීමයි. මෙම කාඩ් කුට්ටම හරහා අදාළ පුද්ගලයා  එම පණිවුඩය පවසනුයේ විශ්ව ශක්තිය(universal power) උපයෝගී කර ගනිමිනි. විශ්ව ශක්තිය තුළ යහපත් මෙන්ම අයහපත් බලවේග ද ඇත. එනිසා අදාල පුද්ගලයා විශ්ව ශක්තිය තුල වූ යහපත් බලවේග  වෙත ආරාධනා කළද අදාල පුද්ගලයා සාතන්වාදියෙකු (Satanist )වුවහොත් ඔහුට හැඟෙන පරිදි යහපත් බලවේගය නම් සාතන්ය. එවිට ඔබ මෙම පණිවුඩය යහපත් බලවේගයක් විසින් ලබා දෙනු ඇතැයි සිතුවද එය එසේ නොවනු ඇත.

නමුත් බොහෝ දෙනෙකුට මෙහි ගැටලුකාරී ස්වභාවය නම් මෙම tarot readings තුළ ඉතා යථාර්ථවාදී හා සත්‍යවාදී කරුණු ඉදිරිපත් වීමයි.

උදා :- පුද්ගලයෙකු විසින් තම මියගිය මුත්තනුවන් පිළිබඳව විස්තර දැනගැනීම සඳහා tarot reading සඳහා යොමු වෙයි. මෙහිදී tarot reader විසින් තම මුත්තණුවන්ගේ ස්වභාවය මෙසේ ඉදිරිපත් කරනු ඇත.

⭐මොහු පිරිමි පුද්ගලයෙක් විය හැකිය
⭐ මොහුගේ ප්‍රියතම අංකය13 විය හැක

මෙවන් කරුණු බොහොමයක් ඉදිරිපත් කරන අතර පුද්ගලයකු ලෙස ඔබට මෙම කරුණු සත්‍ය ලෙස වැටහෙනු ඇත.මන්ද මෙම කරුණු මියගිය පුද්ගලයාගේ සමීපතයකු ලෙස ඔබ දන්නා බැවින්. එනමුදු  ඔබ මතකයෙහි තබාගන්න!සාතන් වුවද පෙර කලක දේවදූතයෙකු විය. ඔහු දේව දූතයෙකු ලෙස නිර්මාණය කළ දිනයේ පටන් මෙලොව තුළ වූ සියලුම බුද්ධිය ඔහු තුළ ගබඩාවී ඇත. එනිසා ඔහු අනුමාන කිරීමෙහිලා දක්ෂයෙකි. එමෙන්ම අපනොසිතනවාට අයහපත් බලවේගයන් නිතරම තම ගොදුර ළඟා කර ගැනීමට මාන බලමින් සිටි. මෙවැනි ඉතා සුළු කරුණු කිහිපයක් හරහා ඔබගේ විශ්වාසනීයත්වය ගොඩනගා ගනිමින් අයහපත් බලවේග ඔබව නොමගට රැගෙන යනු ඇත.

උදා :- ඔබගේ මුත්තණුවන් ශුද්ධගිනිස්ථානයේ සිටින අතර ඔහුට යාඥා අවශ්‍යව ඇත.  නමුත් tarot reading හරහා ඔබගේ මුත්තණුවන් ඉතාමත් සතුටින් හා සාමයෙන් සිටින බව පවසයි. එනිසා ඔබ යාඥා කිරීම් සහ මියගිය මුතුණුවන්ට දිව්‍ය පූජාවන් පැවැත්වීම මගහරි.

කිතුනුවන් ලෙස අප වගකීම නම් කිතු ඇදහිල්ල තුළ ස්ථීරසාරව පැවතීමයි. එනිසා මෙවැනි මිථ්‍යා ඇදහිලි වලින් මිදී අන් අයද නිවැරදි මඟට යොමු කරමු.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්