150 වන ජයන්තිය සමරන කොටිකාවත්තේ අවිලාහි ශු. තෙරේසා මුනිවරියගේ දේවස්ථානය

150 වන ජයන්තිය සමරන කොටිකාවත්තේ අවිලාහි ශු. තෙරේසා මුනිවරියගේ දේවස්ථානය

ශු. සභාවේ ධර්මාචාර්යවරියන්  අතුරින් ප්‍රබල ධර්මාචාර්යවරිය ලෙස හදුන්වනු ලබන අවිලාහි ශු. තෙරේසා මුනිවරිය නමින් කැපකරන ලද ලක්දිව පිහිටි එකම එක දේවස්ථානය වන්නේ කොටිකාවත්ත දේවස්ථානය වේ. එය කොළොම්පුර අග්‍රරාජගුරු පදවියේ මැද කොළඹ  දිසාවට සහ පිහිටීමෙන්  බස්නාහිර  පළාතේ හේවාගම් කෝරළයේ රයිගම් පත්තුවට අයත් ව පිහිටා ඇත. උතුරින් කල්‍යාණි නදියට  සහ කැළණිය ගුරුවසමටද , දකුණින් බත්තරමුල්ල  ගුරුවසමටද , නැගෙනහිරින් වැලිවිට  ගුරුවසමටද , බටහිරින් සේදවත්ත  සහ ග්‍රෑන්ඩ්පාස්  ගුරුවසම් වලටද , මායිම්ව  වටවූ කොටිකාවත්ත  ග්‍රාමයේ අනාදිමත්  කාලයක සිට ගොවි සහ වෙළෙඳ ජනප්‍රජාවකින් සමන්විත වූද, 16 වන සියවසේදී පෘතුගීසි ආගමනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රැන්සිස්කාන ධර්මදුතවරුන්ගේ ධර්මදානයට නතුවෙමින් කිතුනු විශ්වාසය රෝපිත වෙමින් ද,  ඕලන්ද රුදුරු පීඩන සමයේදී අභීත කිතුනු විශ්වාසයකට සාක්ෂි දරා , ලංකා අපෝස්තුළුවර ශු. ජුසේ වාස් මුනිතුමන් ප්‍රමුඛ ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන්ගේ අද්විතීය ධර්මදානීය මෙහෙවරට නතුවූ ප්‍රදේශයකි.

බ්‍රිතාන්‍ය යුගය තුළ ලද ආගමික නිදහස තුළින්  දිරිවඩා  මෙම දේවස්ථාන සංඝය ආරම්භ කරන ලද්දේ  ගෞ.  සැල්වදෝර් රිබයා ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේ විසිනි. එතුමෝ ක්‍රි.ව.1864-1867 දක්වා හේවාගම් කෝරළේ ධර්මදුතික මධ්‍යස්ථානය භාරව සිටි ධර්මදූතවරයාණන් වූ අතර එතුමන්ගෙන් පසුව ගෞ .  ෆ්‍රැන්සිස් සේල්ස් වඩූලිසන්  ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේ  ක්‍රි.ව. 1868-1869 දක්වා හේවාගම් කෝරළේ ධර්මදුතික මධ්‍යස්ථානය භාරව සේවය කර ඇත. අද පවතින දේවස්ථානය ක්‍රි.ව. 1870 දී එකල දකුණු අනුපදවියේ රදගුරු  සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික මාඨාධිපති අති උතුම් නීරෝ ගැස්පාර්  හිලේරියන් සිල්ලානි  හිමිපාණන්ගේ  මගපෙන්වීම සහ එඩේරිකත්වය තුළ  ත්‍රිත්තීය බෙනදිකාන තාපස ගෞ. පීටර් එලාරි පුජාප්‍රසාදීන් වහන්සේගේ    ධර්මදුතික මෙහෙවර තුළ ඉදිවුණු බව සදහන් වේ. එකල එනම් ක්‍රි.ව. 1870 සිට මෙම දේවස්ථාන සංඝය ග්‍රෑන්ඩ්පාස් ධර්මදූතික මධ්‍යස්ථානයට අයත් විය. මෙම දේවස්ථානය ආසිරි ගන්වා කැප කරන ලද්දේ ද එවකට දකුණු අනු පදවියේ රදගුරු අති උතුම් හිලේරියන් සිල්ලානි හිමිපාණන් විසිනි. එහිදී එතුමන් විසින්  අවිලාහි ශු. තෙරේසා මුනිවරියගේ කුඩා ප්‍රතිමාවක්  මෙම දේවස්ථාන සංඝයට ත්‍යාග කරන ලද බව සඳහන් වේ.

කොටිකාවත්ත  අවිලාහි ශු. තෙරේසා මුනිවරියගේ දේවස්ථානය ඉදිකරන්නට පුරෝගාමී වූ සහ දේවස්ථාන  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විශේෂ නිපුණතාවක් දැක්වූ  ගෞ. පීටර් ඉලාරි ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේ කොළඹ අනුපදවියේ බොහෝ දේවස්ථාන ඉදිකිරීමට පුරෝගාමී වූ බව සදහන් වේ. උදාහරණයක් ලෙස මෝදර ශා. ජෝන් , සේදවත්තේ ආරෝග්‍ය මාතා , වැලිවිට උත්පත්ති මාතා, මෝදර ශා. ජේම්ස්  සහ ඔබේ දේවස්ථානය ... එතුමන් විසින් ඉදිකරන ලද දේවස්ථාන කීපයකි. එතුමෝ  උපත ලැබුවේ ඉතාලියේ මොන්ටෙජෝජියෝ (මාර්චේ) හිදී ය. ක්‍රි.ව. 1858 දී දකුණු අනුපදවියේ ධර්මදුතික මෙහෙවරට සම්බන්ධ වූ මෙතුමෝ සිල්වෙස්ත්‍රෝ  තෘතියිකයෙකු බවට පත්විය. මෙරට  කතෝලික සිංහල පුවත්පත වන පත්‍රිකාව ඥානාර්ථ  ප්‍රදීපය ආරම්භ කිරීමට ද එතුමෝ දායක වූ බව කියනු ලැබේ. (Hyde. L, OSB., A Short Historical Review of the Sylvestro Benedictine Monks in Ceylon from 1845-1920, p. 21-22 & Perniola. V SJ., British Period IV, p. 403). ඊට අමතරව කාර්මෙල් සමාගම, නිර්මල දේවමාතා සමාගම ....වැනි දේ මෙරට තුළ ස්ථාපනය කළ අතර එතුමන්ගේ සුවිශේෂි මෙහෙවර තුළ එකම කාලවකවානුවක වැලිවිට සහ කොටිකාවත්ත යන දේවස්ථාන දෙකම ඉදිවුණි.
එතුමන්ගෙන් පසු ස්වදේශීය ගෞ. ලියෝ රත්නායක  ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේ  ක්‍රි.ව.1878 සිට 1879 දක්වා ග්‍රෑන්ඩ්පාස් ධර්මදුතික මධ්‍යස්ථානය භාරව ක්‍රියාකර ඇත.

ග්‍රෑන්ඩ්පාස් ධර්මදුතික මධ්‍යස්ථානයෙන් පසුව වැලිවිට මීසම් සංඝයට අයත් වූ කොටිකාවත්ත අවිලාහි ශා. තෙරේසා මුනිවරියගේ  දේවස්ථානය 1997 වසරේ දී සේදවත්ත මීසමට ද , 2004 වසරේ දී කොළොන්නාව මීසමට ද අයත් විය. සියවස් ස්වර්ණ ජයන්ති මහෝත්සවය  සදහා වත්මන් කොළොම්පුර අග්‍රරාජගුරුප්‍රසාදි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආශ්‍රිර්වාදය සහ මගපෙන්වීම තුළ මීසම් සේවක ජූඩ් ටෙනිසන්  පුජාප්‍රසාදීන් වහන්සේගේ ආරාධනයපරිදි අග්‍රරාජගුරු පදවියේ මැද කොළඹ දිසානායක ගෞ. නිහාල් අයිවන් පෙරේරා පුජාප්‍රසාදීන් වහන්සේ විසින්  2019 ක් වූ ඔක්තෝම්බර් මස 20 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ශු. සභාවේ ප්‍රබල ධර්මාචාර්යවරිය ලෙස විරුදාවලියෙන් පිදෙන අවිලාහි ශා. තෙරේසා මුනිවරිය නමින් කැපකරන ලද එකම දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මහෝත්සවය  මේ වසරේ සැමරීමට නියමිතය.

සටහන - අසේල දසනායක