125 වන ජුබිලි වසර සැමරූ කලහුගොඩ උත්පත්ති දේවමාතා දේවස්ථානය

125 වන ජුබිලි වසර සැමරූ කලහුගොඩ උත්පත්ති දේවමාතා දේවස්ථානය

උත්පත්ති දේවමාතාවන් නමින් කැපකරැති දේවස්ථාන අතර වඩා ප්‍රකට නොවූ පුදබිමක් ලෙස මිනුවන්ගොඩ නගරයට නුදුරුව මදක් අභ්‍යන්තරයට වන්නට පිහිටි කලහුගොඩ දේවස්ථානය හැදින්විය හැක. එම දේවස්ථානයේ 125 වන ජයන්තිය පසුගියදා සැමරිණි.

බහුතර බෞද්ධ වටපිටාවක පිහිටි මේ ගම්මානයේ කතෝලික වංශ කතාව පෘතුගීසි යුගයට පවා නෑකම් කියනවා ඇතැයි උපකල්පනය කළ හැක්කේ එම යුගයේ පවා මෙහි අසල්වැසි ගම වූ ගල්ලොලුවේ දේවස්ථානයක් තිබූ බව සදහන් වීම මගිනි.

වර්තමාන දේවස්ථානය පිහිටි භූමිය සැදැහැවත් කාන්තාවක් විසින් පිරිනමන ලද ඉඩමක් බවත් එහි 1890 ට පෙර පවා දේවස්ථානයක් තිබී ඇති බවත් කියැවේ. අද පවතින දේවස්ථානය ඉදිවූයේ 1898 දීය.

ප්‍රදේශයේ ගිහි සැදැහැවතුන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වයෙන් ඉදිවූ මේ දේවස්ථානය බෝලවලාන, කටුනායක , බුරුල්ලපිටිය ආදී මීසම් යටතේ තිබී අද යටියන මීසමේ උප දේවස්ථානයක් ලෙස පවතී.

වත්මන් දේවස්ථානයේ ආරම්භය හා වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවර කළෝ ගරු පීටර් ඇඩොල්ෆ් දවි , ගරු එව්ජින් මාරි පිලිප් කුමුල් හා ගරු අම්බ්‍රෝස් ඔයිලික් යන නිමල මරිය නිකායික පූජා ප්‍රසාදින් වහන්සේය.

1910 දේවස්ථානය බුරුලපිටිය මීසමට අයත් වූ විට ගරු ජෝසප් මාරි තබාර් (නිමනි) පියතුමා එහි පළමු මීසම් සේවක වූ අතර 1989 දී යටියන නව මීසම බිහිවීමත් සමග කලහුගොඩ ද යටියන මීසමට අයත් විය.

දේවස්ථානයේ අභිමානය කියාපාන ඉපැරැණි දේවමාතා ප්‍රතිමා දෙකක්ම දේවස්ථානය සතුවන අතර දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති වසර වෙනුවෙන් මීසම්වාසි අම්බ්‍රෝස් ප්‍රනාන්දු නිර්මාණය කළ ලෝකාරක්ෂක දෙව්මවුන්ගේ පිළිරුවද දේවස්ථානය අභියස දැකිය හැක. එම 50 වන සමරුව අගරදගුරු මසෝන් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර 1998 දී දේවස්ථානයේ සියවස් ජුබිලිය මහත් අභිමානවත්ව සමරා ඇත.

කලහුගොඩ වනාහි හැම අතින්ම ප්‍රධාන මාර්ගවලින් ඈත්ව පිහිටි වෙල් යායන්ගෙන් ගහන නිහඬ සුන්දර ගම්පියසකි. එහි කතෝලික ප්‍රජාවගේ අධ්‍යාත්මික තෝතැන්න ලෙස මේ දේවස්ථානයය මතුවටත් ඔවුන්ගේ ගමනට අත්වැලක් වනවා නොඅනුමානය.

St. Mary's church which is specially dedicated to Our Lady's Nativity located in a remote village called Kalahugoda closer to Minuwangoda city is a historic church constructed in 1898. But legends say about a church existed even prior to that in this serene atmosphere surrounded by the majority of Buddhists. Since history records about a church in Galloluwa the neighbouring village during the Portuguese era we can guess about the presence of Catholics even then.

Kalahugoda church is a successful work of the devoted lay Catholics of the area supported by the Oblates of Mary Immaculate priests as a substation of Bolawalana, Katunayaka, Burulapitiya and today under Yatiyana parish.

තතු හා සේයාරූ සැපයූ නවීන් පෙරේරා සොහොයුරාට ස්තුතිය.
(මාධව ජයකොඩි)