ශු.ජුසේවාස් මුනිදුන්ගේ ජීවිත කතාව - පළමු කොටස

ශු.ජුසේවාස් මුනිදුන්ගේ ජීවිත කතාව - පළමු කොටස

ගෝව පුරයේ සැල්සෙට් නම් පෙදෙසේ සන්කෝලේ නමැති කුඩා ග්‍රාමයේ වාසය කළ බ්‍රහ්මින් වංශික කොන්තනි පවුලක් විය. ශ්‍රද්ධාවෙන් පිරි මෙම කිතුනු පවුලේ ගෘහ මූලිකයා වාස් නමැත්තෙකි. ඔහුගේ භාර්යාව මරියා මිරැන්ඩායි. වැඩිමහල් ගැහැණු හා පිරිමි දරුවන් දෙදෙනෙකු වූ මෙම පවුලට 1651 අප්‍රේල් මාසයේ තුන්වැන්නෙක් එක් විය. මෙම දරුවාගේ උපත සිදු වූයේ බෙනවුලිම් නමින් හැඳින්වූ මවගේ උපන් ගමේ ඇගේ පාරම්පරික නිවසේදීය. දරුවකු බිහි කිරීම සඳහා මවගේ නිවසට යාම එදා චාරිත්‍රය විය.මේ නිසාම දරුවා ඉපදී දින හතකට පසු ප්‍රසාධ ස්නාපන පිළිවෙත සිදු වුයේද බෙනවුලිම් හි පිහිටි ශාන්ත ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ දේවස්ථානයේදීය. ජේසු නිකායික ගරු ජසින්තා පෙරේයිරා පියතුමන් විසින් ස්නාපනය දානය කළ අතර එම අවස්ථාවෙහි දරුවා නම් කරන ලද්දේ ජුසේ යනුවෙනි. වාස් යනු පිය උරුමයෙන් ලැබූ නමයි.

උපත මවගේ නිවසේ සිදු වුවද ජුසේ ළදරුවා හැදී වැඩුණේ සකෝලෙහි පිහිටි තම පියාගේ නිවසේදීය. ගරු බියෙන් පිරුණ මෙම නිවස තුළ ජුසේ ළදරුවාට තම අධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් තිබිණ. මේ හැරුණ කොට ජුසේ ද කුඩා කල සිටම සෞම්‍ය කාරුණික ගති පැවතුම් කෙනෙකු විය. දෙවියන් වහන්සේ වෙතම කැපවු ඔහුගේ අනාගත ජිවිතයේ පෙර නිමිති පහල වන්නට පටන්ගත්තේ කුඩා කල තම නිවසෙහි සිටි අවධියේදීමය. අන් අයට නොපෙනෙන්නට රහසේ යාච්ඤාවෙහි යෙදුණ ජුසේ දරුවා, රාත්‍රියෙහි කිසිවකුට නොදැනෙන්නට නිවසින් වී දේවස්ථානය වෙත ගොස් යාච්ඤා කළ අවස්ථා ගැනද සඳහන් වෙයි. දිනක් මධ්‍යම රාත්‍රියෙහි නැගිට යාච්ඤා කිරීම පිණිස සන්කෝලේ ග්‍රාමයට නුදුරු කොර්ටාලිම් නම් ගමේ පිහිටි ශු. පිලිප් හා සිමියොන් අපෝස්තුළුවරුන්ට කැප වූ දේවස්ථානය වෙත ගියද දොරවල් වසා තිබූ හෙයින් ජුසේට දේවස්ථානයට ඇතුළුවීමට නොහැකි එහෙත් එක්විටම දේවස්ථානයේ ප්‍රධාන දොරටුව ඔහු වෙනුවෙන් විවෘත බැවින් ජුසේට එයය ඇතුළු වීමට හැකි විය.මෙය සත්‍ය ලෙසම සිදුවූ සිදුවීමක් ලෙස දැක්විය හැක්කේ, එම සිද්ධිය සටහන් තබන්නේ ඔහුගේම පියා වන ක්‍රිස්ටෝපර් වාස් විසින් බැවිනි.

ජුසේ නිවසින් පිටවී යනු දුටු පියාද ජුසේ කරන්නේ කුමක් දැයි දැන ගැනීම පිණිස රහසේ ඔහු පසු පසින් ගියේය. ක්‍රිස්ටෝපර් වාස් ඔහු දුටු දෙයින් මහත් සේ පුදුමයට පත් විය. තම පුත්‍රයා වෙනුවෙන් දේවස්ථානයේ ප්‍රධාන දොරටුව ඉබේම ඇරෙන දුටු ඔහු වහා ආපසු නිවසට ගොස් එය තම දින පොතෙහි සටහන් කර තැබීය. පසු කලෙක මෙම සිද්ධිය දැන ගත්තේ ඔහුගේ දින පොතේ වූ මෙම සටහනෙනි.

පූජකවරම් පතා ජුසේ වාස් තම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ තම ගමේ වූ පාසලෙනි. පසුව ගෝවේ ශාන්ත පාවුලු ජේසු නිකායික විදුහලෙන් තම අධ්‍යාපනය සාර්ථක ලෙස අවසන් කළ ජුසේ වාස් තරුණයා, පූජකවරය පතා දර්ශන වාදය සහ දේව ධර්මය ඉගෙනීම සඳහා ඇතුළත් වූයේ දොමිනිකාන පියවරුන් විසින් පාලනය කළ ශාන්ත තෝමස් ඇක්වයිනස් සරසවියටය. එහි ඉගනුම ලබන අවධියේ අනෙකුත් පූජක සිසුන් සමග නැවතී සිටියේ ජපමාල දේව මාතාවනට කැපකර තිබූ සරසවි නේවාසිකාගාරයේය. ජුසේ වාස් තරුණයා හය වසරක් පුරා මෙහි ඉගැනීම ලැබීය. දෙව්සත්හල් ජීවිතය පුරාමද, තම ගැඹුරු අධ්‍යාත්මික ජීවිතය අත් නොහළ ඔහු, පුජකවරය පතා මහත් කැපවීමකින් යුතුව සූදානම් වූයේය.

විසි වන වියේ සිට පූජකවරයට අයත් සුළු නිල එකින් එක ලබාගත් ජුසේ වාස් වයස 23 දී උපතේවාචාර්ය පදවියත්, 24 වන වියේදී තේවාචාර්ය පදවියත් ලබා ගැනීමට සමත් වූයේය. ජුසේ වාස් තරුණායගේ තේවාචාර්ය පදවිය ලැබීමේ විශේෂත්වය වූයේ ඔහුට එය සැල්සෙට් ප්‍රදේශයේම වැසියකු වූ කොන්කති බ්‍රහ්මනික වංශික කස්ටෝඩියෝද පිනහෝ රදගුරුතුමන් අතින් ලබා ගැනීමට හැකි වීමයි. වසර 23 ක් තිස්සේ ගෝවේ අග්‍රරාජගුරු පදවිය හිස්ව තිබීම එයට හේතුව විය. 1675 දී පෘතුගීසි ජාතික සිස්ටර්ෂියන් තාපසතුමකු වූ අන්තෝනියෝද බ්‍රැන්ඩාවෝ ගෝවේ අග්‍ර රාජගුරු පදවියට පත්වීම නිසා, 1676 දී ජුසේ වාස් තේවාචාර්යතුමනට ගෝවේ ශාන්ත කතරිනා ආසන දෙව් මැඳුරේදී එතුමන් අතින් පූජකවරය ලබා ගැනීමට හැකි වූයේය. දෙව්සත්හලේදී සෙසු අධ්‍යාත්මික කටයුතු ද විශිෂ්ඨ ලෙස ඉටු කර තිබූ බවට වූ සහතිකය නිසා ගෝවේ ශාසනික බල ප්‍රදේශය තුළ ධර්ම දේශනා කිරීමේ හා සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කිරීමේ වරම් ලැබුව ද, එවකට සිටි පූජක සංඛ්‍යාව අති විශාල වූ හෙයින් සහායක මීසම් සේවක පියතුමකු ලෙස හෝ වෙනත් ශාසනික වගකීමක් හෝ එතුමා වෙත පවරනු නොලැබීය. එහෙයින් එතුමා පූජකවරයකු වශයෙන් ආපසු තම ගම වූ සෙන්කෝලේ වෙත පැමිණියේය.

ගම් පියසෙහි දහම් සේවය

සහාය මීසම් සේවක පියතුමකු ලෙස යම් දේවස්ථානයක සේවය කිරීමට ආශාවෙන් පසු වුවද, එවැනි කිසිවක් නොලැබීම නිසා අධෛර්යයට පත් නොවූ තරුණ ජුසේ වාස් පියතුමා කළේ තමා සතුව තිබූ කාලයෙන් ප්‍රයෝජන ගනිමින් තමා හැදී වැඩුණු ගම වූ සෙන්කෝලෙහි, පුකජවරය ලැබීමට සුදානම්ව සිටි තරුණයනට ලතින් භාෂාව ඉගැන්වීමයි. තමාගේම සොහොයුරියගේ පුත්‍රාය වූ, ජෝශප් කර්වල්හෝ ජුසේ වාස් පියතුමන් ගෙන් ලතින් භාෂාව ඉගෙන ගත් මුල්ම ශිෂ්‍යයා විය. තම මයිලනුවන් අනුගමනය කරමින් පූජකවරය ලබා. ඔරතෝරියානු නිකායට ද බැඳි ශ්‍රී ලංකාවට ද පැමිණි කර්වල්ඩෝ පියතුමා, මහනුවරදී වසූරිය රෝගීනට උපස්ථාන කරමින් සිටියදී මරණයට පත් වුයේය. ජෝශප් මෙනසිස් ද තවත් එවැනි ලතින් භාෂාව හැදෑරූ මුල් ශිෂ්‍යයකු වූ අතර, එතුමා ද පුජකවරය ලබා ඔරතෝරියානු පියතුමකු ලෙස ලංකාවට පැමිණියා පමණක් නොවූ, ශ්‍රෙෂ්ඨ පියතුමා ලෙස ජුසේ වාස් පියතුමාගේ පළමු අනුප්‍රාප්තිකයා වීමටද භාග්‍යය ලැබීය.

අනාගත පැතුම් මෙනෙහි කරමින්

ජුසේ වාස් පියතුමාට ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ට සේවය කිරීම සඳහා යාමට දේව කැඳවිට ලැබුණේ කෙසේද  යන්න ගැන සවිස්තරව දැන ගැනීමට ඇති හැකියාව සීමා සහිතය.එයට එකම සාක්ෂිය වශයෙන් දියහැක්කේ ගෝවේ සේවය කළ දොමිනිකාන නිකායික පියතුමකු නිල කටයුත්තක් සඳහා මැකාවෝ නගරයට ගොස් ආපසු එන ගමනේදී, සුළු කාලයකට නැව කොළඹ වරායේ නතර කළ විට, නැවේ පියතුමකු සිටින බව අසා, ආගමික වතාවත් සඳහා නැවට රහසේ පැමිණි සැදැහැවතුන්ගේ දුක් අදෝනා ගෝවට ආපසු පැමිණි විය පැවසීමයි. ශ්‍රී ලංකාවේ කතෝලිකයන් විඳින අසීමිත දුක් පීඩනත්, ඔවුන්ට සම්පුර්ණයෙන්ම කතෝලික ආගමික ඇදහිල්ලෙන් වෙන් වී සිටීමට සිදුවී ඇති සැටිත් දැනගත් ජුසේ වාස් පියතුමා තුළ, ශ්‍රී ලංකාවට පැමිණ එම කතෝලිකයන් වෙනුවෙන් සේවය කිරීමට බලවත් ආශාවක් ඇති විය.

තම කාර්යය ඉටුකර ගැනීමේ අටියෙන් බලවත් හා ගැඹුරු යාච්ඥාවෙහි යෙදුණු ජුසේ වාස් පියතුමා. ඒ ගැන තමාට ඉතා සමීප මිතුරු පූජකතුමන්ලා කීප දෙනෙකු සමග පවසා ඔවුන්ගේ අදහස් ද විමසීය. එහෙත් ජුසේ වාස් පියතුමාට ඒ කිසිවකුගෙන් තමා බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණි. සියල්ලන්ම පැවසුයේ එය ඉතා අනතුරුදායක ගමනක් විය හැකි බවත්, ලන්දේසි හේවායන්ගේ උකුසු ඇසින් බේරි තම ධර්මදූත සේවා කිරීමට කිසිවිටකත් අවස්තාවක් නොලැබිය හැකි බවත්ය.

අන් කිසි පූජප්‍රසාදිතුමකු තමා සමග යාමට අකමැති වුව ද, තනිව හෝ ශ්‍රී ලංකාවට යාමේ අදහස අත් නොහළ ජුසේ වාස් පියතුමා ඒ ගැන අන්තෝනියෝ බ්‍රැන්ඩාවෝ අගරදගුරු හිමියන් ගෙන් විමසීය. එතුමාගේ අදහස අනුව තම පාලන ප්‍රදේශය තුළ පූජක කටයුතු ප්‍රතිසංවිධානය කිරීම පිණිස පවත්වන පුජක කාරක සභා රැස්වීමට පැමිණි විට එය අන් පියවරුනට දැන්වීමට අගරදගුරු තුමා ජුසේ වාස් පියතුමාට අවස්ථාවක් ලබා දුන්නේය. ජුසේ වාස් පියතුමන්ගේ අදහස ගැන මහත් සේ සතුටු වූ පූජක කාරක සභාව කළේ ශ්‍රී ලංකාවේ මෙන්ම එක්තරා අන්දමකට පීඩාවට ලක්ව සිටි කැනරාවේ කතෝලිකයන්ට සේවය කිරීම සඳහා ජුසේවාස් පියතුමන්ට යැවීමට තීරණය කිරීමය.

කැනරාවේ දහම් සේවයට

කැනරාවට යාම කිසිම අන්දමකින් තමාගේ අභිප්‍රාය නොවුවද, කවදත් ශ්‍රේෂ්ඨයන් වෙත දැක්වූ භක්තිය හා කීකරුකම නිසා මහත් බැහැපත් කමකින් යුතුව තමාට දුන් කාර්භාරය පිළිගත් ජුසේ වාස් පියතුමා කැනරා දේශයේ සේවය සඳහා පිටත්ව ගියේය. එතුමා නොදැන සිටියද සැබවින්ම එය ලංකාවේ සේවය සඳහා සූදානම් වීමේ පෙර හුරුවකට කැඳවූ දේව සැලැස්මේම කොටසක් බඳු විය.කැනරාවද, ශ්‍රී ලංකාවේ කොළඹ සිට පාලනය කළ, ලංදේසිනට නතු වූ පෙදෙසක් විය.

ඉහත හේතුව නිසාම තම පාලන බල ප්‍රදේශයට අයත් වුවද, කැනරා දේශයද ගෝවේ අගරදගුරු හිමියන් විසින් අතහැර දමා තිබූ පෙදෙසක් විය. අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යාත්මික කටයුතු සඳහා ප්‍රජාප්‍රසාදී තුමන්ලා නොලැබීම නිසා, බොහෝ කතෝලිකයෝ දීර්ඝ කාලයක් කිසිදු පූජාප්‍රසාදිකුමක නොදැක සිටියහ. එහෙයින් සමහරු පුජාප්‍රසාදී කුමකුගේ පැමිණීම ආසාවෙන් බලා සිටියදී තවත් සමහරු විශ්වාසය අතහැර දමා සිටියහ. ජුසේ වාස් පියතුමාගේ පැමිණීම කනරාහී කතෝලිකයනට මහත් අස්වැසිල්ලක් විය. එතුමා එතෙක් ප්‍රසාද ස්නාපනය ලබා නැති අයට ප්‍රසාද ස්නාපනය දානය කළ අතර, සතාව තුළ විවාහ වී නොසිටි අයගේ විවාහ ජීවිතය සකස් කළේය. සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කිරීම මගින් අලුත් ජීවිතයකට ඔවුන්ව යොමු කළ අතර රෝගීන් ආශිර්වාද කිරීමද රෝගින් ආලේපනයේ දේව ප්‍රසාද නිධානය දානය කිරීමද සිදු කළේය. කෙසේ වුවද විශ්වාසය අතහැර දමා සිටියවුන් ගෙන් බොහෝ දෙනා ආපසු විශ්වාසය කරා පැමිණීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව බොහෝවිට ජුසේ වාස් පියතුමන්ට තාඩන පීඩන කිරීමටද පෙළඹුනාහ. එතුමා මරා දැමීමට උත්සාහ කළ අවස්ථා ද ඒ අතර විය. ජුසේ වාස් පියතුමන්ට කැනරාවේදී මරා දැමීමට උත්සාහ කළ එක් අවස්ථාවක් එතුමන්ගේ ජීවිතය ගැන ලියැවෙන සැවිටම පහේ සඳහන් වන්නකි.

ආශ්චර්යමත් ජල උල්පත්

දිනක් ජුසේ වාස් පියතුමන්ගේ ධර්ම සේවාවට විරුද්ධ වු ආගම අත්හැර දමා සිටි පිරිසක් විසින් එවූ කීපදෙනෙකු මධ්‍යම රාත්‍රියේ පැමිණ රෝගින් ආලේපනය කිරීමේ දේව ප්‍රසාද නිධානය දානය කිරීම පිණිස යාමට එතුමා කැඳවූහ. එතුමනද පිරිස සමග පිටත් විය. ඔවුහු වාස් පියතුමාව කැලෑ පෙදෙසක් මැදින් බොහෝදුර පිහිටි කන්දක් වෙත ගෙන ගියහ.තමන්ව මරා දැමීමට එහි ගෙනැවිත් ඇති බව වටහාගත් ජුසේ වාස් පියතුමා ඊට පෙර තමන්ට යාච්ඤා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීය, ඊට අවසරය ලැබුණි.පියතුමා හැරමිටිය බිම ඇන, දණ ගසා මහත් භක්තියෙන් යාච්ඥා කිරීමට පටන් ගත්තේය. එවිට එක්විටම හැරමිටිය බිම ගසා තිබූ තැනින් හා දණගසා සිටි තැනින් ජල උල්පත් තුනක් මතුව ජලය ඉහළට විහිදෙන්නට විය. පිරිස බිය වී පලා ගියහ. මැංගලෝර්හි මුඩිප්පු යන ස්ථානයෙහි ඇති වූ මෙම ආශ්චර්යමත් ජල උල්පත් අද දක්වා නොසිඳී පවතියි. අද මෙම ස්ථානයෙහි ශුද්ධ වූ ජුසේ වාස් මුනිඳුන් නමින් සිද්ධස්ථානයක් ගොඩ නගා ඇත. (මෑතදී සිද්ධස්ථානයට මීටර් කීපයක් එපිටින් හින්දු කෝවිලක් ගොඩනගා ඇත. මෙය කිතුනු විශ්වාසයට බාධාවක් වීම වෙනුවට හින්දු භක්තිකයන් කිතුනු විශ්වාසය වෙත ඒමට හේතුවක් වීමට ද ඉඩ ඇත.)


• • • මතු සම්බන්ධයි • • •

[උපුටා ගැනීම සඟ ලොව කරා - ගරු.ජයලත් බලගල්ලේ පියතුමා]

~ විශේෂ ස්තූතිය සුපුන් පෙරේරා