ශ්‍රී ලංකා කතෝලික ධජය ගැන දැනගනිමු | Sri Lankan Catholic Flag

ශ්‍රී ලංකා කතෝලික ධජය ගැන දැනගනිමු | Sri Lankan Catholic Flag

මුල් කාලයේ අපි කතෝලික ධජය ලෙස භාවිතයට ගත්තේ වතිකානු රාජ්‍යයේ ශුද්ධෝත්තම පාප් තුමන්ගේ ධජය වුණත්, පසුව කතාවට ලක් වුණේ අප වෙනත් දේශයක ධජයක් භාවිතයට නොගෙන අපේම දේශිය කතෝලික උරුමය ඇතුළත් ශ්‍රී ලාංකික කතෝලික ධජයක් නිර්මාණය කිරීම සුදුසු බවත්ය. ශ්‍රී ලංකා කතෝලික කොඩියේ නිර්මාතෘවරයා වන්නේ විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ. එය ක්‍රිස්තු වර්ෂ 2000 දී නිර්මාණය කෙරුණි. ධජය මුල් වරට එළිදක්වා එය ඔසවනු ලබන්නේ මහනුවර අම්පිටිය ලංකා අප ස්වාමි දූ ජාතික දෙව්සත්හලේ දීය.

ධජය දෙස බලන විට අපට දැක ගත හැකි වන්නේ එහි වර්ණයන් වතිකානු ධජයේම ඇති කහ සහ සුදු වර්ණයන් භාවිතයට ගෙන ඇති බවයි. සුදු වර්ණයෙන් ශුද්ධවන්තකමත්, කහ පැහැති වර්ණයෙන් වතිකානු රාජ්‍යයේ ශුද්ධෝත්තම පාප් වහන්සේට ඇති පක්ෂපාතිත්වය පිළිබිඹු වෙනවා. මෙහි තිබෙන කුරුසය ශ්‍රී ලංකාවට පැමිණි ජේසුස් වහන්සේගේම ශ්‍රාවකයෙකු වන ශාන්ත තෝමස් අපොස්තුළු තුමන් විසින් නිර්මාණය කල ලාංකිකයන්ට හඳුන්වා දුන් අනුරාධපුර යුගයේ කැණිම් වලින් සොයාගත් ඒ ඓතිහාසික කුරුසයයි. එය නිල් පාට පැහැයෙන් අර්ථවත් කරන්නේ මෙරට වැසියන් තුළ පවතින දේවමාතා වහන්සේ කෙරෙහි තිබෙන භක්ති ආදරයයි.

සෑම කතෝලික නිවසකම තිබිය යුතු කතෝලික ධජය

කතෝලික උත්සවයන් වලදී අපට මෙම කොඩිය භාවිතයට ගන්නට පුළුවන්, එමෙන්ම අපගේ නත්තල පාස්කු මංගල්‍යය දේවස්ථානයේ මංගල්‍යය වැනි කතෝලික උත්සවයන් වලදී  භාවිතයට ගන මෙන් අප කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිමු. අපි සහෝදර බෞද්ධ ජනතාව ඔවුන්ගේ බෞද්ධ ආගමික උත්සව වලදී වෙසක් පොසොන් පොයන් ඔහුන්ගේ බෞද්ධ ආගමික වැඩසටහන් වලදි භාවිතයට ගන්නාක් මෙන් අපිද අපගේ කතෝලික උත්සවයන් වලදි කතෝලික ධජයට මුලික තැන දෙමු. මෙය ඔබට ප්‍රසිද්ධ කතෝලික පොත්හල්, සිද්ධස්ථානයන් වල මිලදි ගත හැක.

✒️ මනෝජ් දිවන්ක.