පාපය, ශුද්ධගිනිස්ථානය සහ දේව දයාව

පාපය, ශුද්ධගිනිස්ථානය සහ දේව දයාව

මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ ශුද්දගිනිස්ථානය යනු කුමක්ද සහ දේව දයාව අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කිරීමයි.

බොහෝ කතෝලික නොවන සභාවලින් ශුද්දගිනිස්ථානය යන සංකල්පය කතෝලික නිර්මාණයක් බවත් එය ජේසුස් වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලියෙන් පිට ගැලවීම සොයා යන ආකාරයක් බවත් හඟවන්නට උත්සහ දරයි. මේ නිගමනයට ඔවුන් එළඹෙන්නේ ශුද්දගිනිස්ථානය යන සංකල්පය නොදැන සිටීම නිසා නොවෙයි . ඔවුන් ගැලවීම කියන සංකල්පය ගැන නිසි අවබෝධයක් නොමැති කමයි. ඔවුන් ගැලවීම විවිධ ආකාර වලින් අර්ථකතනය කරනු ලබයි.

  1. සමහර දෙනෙක් වරක් ගැලවීම ලබා ගත් පසු ඔවුන්ගේ ගැලවීම ස්ථීර බව විශ්වාස කරයි(once saved always saved)
  2. සමහර දෙනෙක් නිශ්චිත පිරිසක් පමණක් ගැලවීම සඳහා තෝරාගෙන ඇතිබව විශ්වාස කරයි (Jehovah witnesses)
  3. සමහරක් සබත රැකීමෙන් ගැලවීම ලැබෙන බව විශ්වාස කරයි (SDA)
  4. සමහර දෙනෙක් ජලයේ ගිල්වා කරන බෞතීස්මයෙන් පසු ජේසුස්වහන්සේ තමන්ගේ පුද්ගලික ගැලවුම්කාරයා ලෙස පිලිගත් පසු තමන් ගැලවී ඇති බවත්  තව දුරටත් ඔවුන් පාපයන් සිදු නොකරන බවත් ප්‍රකාශ කරයි (සමහර මූලධර්මවාදී සභා)

මේ කෙසේ වෙතත් ඔවුන් හට ගැලවීම යනු කුමක්දැයි ස්ථීර එක් අදහසක් නැත. බොහෝ විට ඔවුන් පොදුවේ විශ්වාස කරන්නේ කෙනෙකු ගැලවීම ලබා ගැනීමට නම් ජේසුස් වහන්සේව හඳුනාගෙන සිටිය යුතුය යන්නයි.

ගැලවීම

සරලව ගැලවීම යනු පාපයෙන් නිදහස් වී සිටීමයි.

ආදී මව්පියන්ගේ පාපය නිසා ලෝකයට පැමිණි පාපය දෙව් මිනිස් සබඳතාවය බිඳදැමීය.එබැවින් සියලු දෙනාට ජන්ම පාපය නැමැති පාප කිලිට උරුම විය. එමෙන්ම එම පාප කිලිට සියලු මිනිස් වර්ගයාටම නැවත දෙවියන් වහන්සේ සමඟ ඒකාබද්ධ වීමේ අවස්ථාව නැති කර දැමීය.

අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය.ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.
(එළිදරව්ව 21:28)

එබැවින් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරයේ මැදිහත්කම තුල  උන්වහන්සේ නැවත ලෝකය දෙවියන් වහන්සේ හා ඒකාබද්ධ කලේ ගැලවීමේ කාර්‍යයේ එකම මැදිහත්කරුවා ලෙසිනි.උන්වහන්සේ අප වෙනුවෙන් මනුශ්‍යත්වය වැලඳගෙන අපට හිමි ඉරණම උන්වහන්සේ දරාගත් සේක.

5 ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය.
6 සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක.
(1 තිමෝති  2 : 5-6)

දෙවියන් වහන්සේ කතෝලික සභා මාතාව හරහා වූ සක්‍රමේන්තු තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට අප ඒකාබද්ධ කර නවෝත්පාදනය නැමැති බෞතීස්මය තුලින් අපගේ පාප  දෝවනය කල සේක.

12 මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය.
(කොලොස්සි 2:12)
4 එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.
(රෝම 6:4)
26 උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,  27 එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.
(එපීස 5 : 26-27)

එමෙන්ම අත්ත මිදිවැලට යාවන්නා සේ  බෞතීස්මය තුලින් අප අතින්ද්‍රීය ක්‍රිස්තු දේහයේ සාමාජියන් බවට පත් වනු ලබයි.

13 මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.
(1 කොරින්ති 12:13)

මෙසේ බෞතීස්මය තුලින් පාප ක්ලේශයන් මුලුමනින් සෝදා හැර පාපයෙන් තොර නව ජීවන මග ආරම්භ කිරීම එපීස වරුන්ට ලියන ලද ලිපියේ මෙසේ සඳහන්ව ඇත.

8 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය.
(එපීස 2:8)

බොහෝ දෙනෙක් මෙම පාඨය ගැලවීමේ අවසානය සේ අර්ථකතනය කරති.නමුත්  ජන්මපාපයේ ප්‍රථිඵලයලක් ලෙස අපි පාපය සඳහා යම් නැඹුරුවක් ඇති බව අප තේරුම් ගත යුතුය.

5 පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ;
කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.
(ගීතාවලිය 51:5)

අප පවු කරන විට අප දෙවියන් වහන්සේගෙන් ඈත්වේ . අපගේ ආත්මය තුල පාපය නැමති තුවාලය හටගන්නා නිසා අප අපවිත්‍ර වීම තුල  ගැලවීම ලැබීමට සුදුසුකම නැති කරගනී. තවද එකම ශරීරයක හවුල් කරුවන් වන අප ක්‍රිස්තු දේහයටද අපගේ පාප හරහා තුවාල සිදු කරන බව කිව යුතුමය.

එබැවින් අප නියමාකාරයෙන් ගැලවීම ලබාගන්නේ මරණයෙන් පසුවය. එතෙක් අපි යක්ශයා හා සටන් කරමින් තරඟයක් සේ ජීවිත ගමන අවසන් කල යුතු වෙමු.

1 මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,
2 ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
(හෙබ්‍රෙව් 12 : 1-2)

අපෙන් සිදුවන පාප ආකාර දෙකකි.

  1. මරණීය පාප.
  2. මරණීය නොවන පාප.

එය දේව වචනයේ මෙසේ සඳහන් වේ.

16 යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි.
17 සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.
(1 ජොහන්  5 : 16- 17)

මෙහි මරණය ලෙස හැඳින්වෙන්නේ දෙවියන් වහසේගෙන් සදාකාලිකව ඈත් වීමය..

අපට ඇත්තේ දයාවන්ත දෙවිසමිඳානන් කෙනෙක්ය.උන්වහන්සේ අපගේ දුබලතා දන්නා බැවින් අප නැවත පාපයට වැටුනත්  නැවත ඉන් මුදවා ගැනීම සඳහා පාපොච්චාරණ සක්‍රමේන්තුව දානය කල සේක.

කෙනෙකු මරණීය පාපයක් සිදු කල වහාම සැබෑ සිත් හැරීමක් තුල පාපොච්චාරණය සක්‍රමේන්තුව හරහා නැවත දෙවියන් වහන්සේ සමඟ සමගි විය යුතුය. කෙනෙක් මරණීය පාපයක් සහිතව මිය ගියහොත් ඔහුට අනිවාර්‍යෙන් ගැලවීම අහිමි වනු ඇත .

ශුද්දගිනිස්ථානය යන මාතෘකාව පැමිණෙන්නේ අනිත් පාප සොභාවය ගැන කතාකරන විටදීය. 1 ජොහාන් 5:17 තුල පැහැදිලිවම ඒ පාප මරණීය නොවන පාප ලෙස හඳුන්වා ඇත. නමුත් කිසිම පාප කිලිටක් ඇති කෙනෙක් ස්වර්ගය්ට නොයනබව අපි දනිමු(එලිදරව්ව 21:28)

එසේ නම් මරණීය නොවන පාපයක් ඇති කෙනෙක් මිය ගියහොත් ඔහුගේ ඉරණම කුමක්විය හැකිද?

දෙවියන් වහන්සේගේ දයාව බලපාන්නේ මෙතැනදීය. ශුද්දගිනිස්ථානය යනු දෙවියන් වහන්සේගේ දයාවේ ලකුණකි. ජේසුස් වහන්සේගේ ක්‍රිස්තු දේහයට දැනටමත් සම්බන්ධවි ඇති , නමුත් ස්වර්ගයට යෑමට තරම් පිරිසිඳු නොවූ ආත්ම එහි ඇත.එම ආත්ම දෙවියන් වහන්සේ වෙත ඇති ආදරය සහ බලාපොරොත්තුව යන ගින්නෙන් පිරිසිඳු වෙමින් පවතී.ඔවුන් ගැන පාවුලු තුමා 1 කොරින්ති 3:10 - 15 දක්වා පැහැදිලි කරයි.

මොහොතකට හිතා බලන්න. අප සුලු පාපයක් සහිතව  මිය යන මොහොතක ශුද්දගිනිස්ථානය නම් කරුණාවේ ගිනිදැල්ල නොතිබෙන්නට අප සියලු දෙනාට සදාකාලික සැනසීම අහිමි නොවනු ඇතිද?

සටහන ~ තරිඳු මල්ශාන්