චිත්‍ර කලාවේ මූලිකාංග සහ සිබිල් වෙත්තසිංහගේ ළමා බයිබලයේ සිත්තම්

චිත්‍ර කලාවේ මූලිකාංග සහ සිබිල් වෙත්තසිංහගේ ළමා බයිබලයේ සිත්තම්

චිත්‍ර කලාව වූ කලි ඉමක් කොනක් නොපෙනෙන පතුලක් නොමැති මහා සාගරයක් බඳුය, එහෙයින් කිසිදු පුද්ගලයකුට චිත්‍ර කලාවේ අතුලාන්තයට කිමිදීමකින් තොරව මතුපිටින් බලා කිසිඳු අකාරයක විමර්ශනයකින් තොරව විවිධාකාර ලෙස අර්ථ නිරූපණයන් සැපයීම නොමනා යැයි මා හට හැඟෙන්නේය. මෙලෙසින් මා පූර්විකාවක් සපයා ගැනීමට හේතුකාරක වූයේ අප විසින් චිත්‍ර කලාව අරඹයා නානාප්‍රකාර අයුරින් ගෙන එන්නාවූ නිගමනයන් හා අර්ථකථනයන් නිසාවෙන් වැරදි මතයන් සමාජගතවීමේ අවදානමක් ඇති බැවිනි. තවද චිත්‍ර කලාව සම්බන්ධයෙන් එක් මතයක සිට නිර්වචනය කිරිම පහසු කටයුතක් නොවේ. එයට ප්‍රධානතම කරුණක් ලෙස ගෙනහැර දැක්විය හැකිවන්නේ අනේකවිධ කලා සම්ප්‍රදායන්, මාධ්‍ය සහ විෂයන් චිත්‍ර කලාව සමඟ බද්දව පවතින නිසාවෙනි.

අප කවුරුත් නින්දට ගිය පසු විවිධාකාරවූ සිහිනයන් දැක ඇත්තෙමු, මිනිසුන්හට පමනක් නොව සතුනටද සිහිනයන් දැකීමේ හැකියාව ඇත, එමෙන්ම මෙලොව සිටින සෑම සත්වයෙකු හටම පරිකල්පන කිරීමේ හැකියාවද ඇත. නමුත් තමන්ගේ පරිකල්පනයන් හෝ සිහිනයන් යම් අකාරයකට රූප මාධ්‍යයන්ට හරවා එමගින් තමන්ගේ චෛතසිකයෙහි ඇතිවන්නාවූ අදහස් සහ හැඟීම් ප්‍රකාශනය කිරීමේ කුසලතාව ඇත්තේ මනුෂ්‍යයන්ට පමණි.

ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පටන් නූතන යුගය දක්වාම මනුෂ්‍යයා විවිධත්වයෙන් යුතුවූ කලා නිර්මාණයන් මෙලොවට දායාද කර ඇත. මෙම සෑම කලා කෘතියක් තුලම දක්නට ලැබෙන ප්‍රධාන වශයෙන් මූලිකාංගයන් කිහිපයක් ඇත, ඒවා නම් පහත පරිදි වේ:

• වර්ණ

• රේඛාව

• හැඩතල

• රූප

• අවකාශය

• වස්තුවක ඇති මතුපිට ස්වභාවයන්

• වර්ණ ප්‍රභේද

මා ඉහත පැවසූ පරිදි, සමස්තය කලා නිර්මාණයන් තුල ගැබ් වී ඇති මෙම මූලිකාංගයන් තුලින් එම කලා කෘතියෙහි ස්වාධීන බව මෙන්ම, කලාකරුවාගේ අතුලාන්තයෙහි ඇති සිතිවිලි සමුදාය එක පෙළකට ගෙන එමගින් නවතාවයකින් යුතු ප්‍රකාශන මාධ්‍යයක් බිහි කිරීමට බෙහෙවින්ම ඉවහල්වී ඇත.

මෙලෙස 1987 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ බයිබල් සමාගම මගින් මුද්‍රණය කරනු ලැබු “දීප්ත ළමා මග” නැමති ළමා බයිබලයේ කවර නිර්මාණය සහ අතුලත සිතුවම් ඇඳීමේ භාරදූර වගකීම පවරනු ලැබුණේ සිබිල් වෙත්තසිංහ වෙතටය. මෙම ළමා බයිබලයේ ඇති වැදගත් ලක්ෂණයක් වනුයේ ලාංකිය කුඩා ළමුන් වෙනුවෙන් සරල සුගම්‍ය බස්වහරකින් සංස්කරණය කොට ඉදිරිපත්කර ඇති අයුරුය.  තවද සිබිල් වෙත්තසිංහයන් විසින් “දීප්ත ළමා මග” බයිබලයේ නිර්මාණය කර ඇති සිතුවම් පූර්ණ ලෙස විමර්ශනයකට භාජනය කිරීමේදී පෙනී යන වැදගත්ම කරුණක් වනුයේ වර්ණ, රේඛාව, හැඩතල සිතුවම් තලය මත මනාව සංරචනය කර ඇති විලාසයයි. විශේෂයෙන්ම රේඛාව හැසිරීම්දී ශිල්පිනිය විසින් ඉතාමත් නිදහස් බවක් අනුගමනය කර ඇති සේයාවක් පෙන්නුම් කරන අතරම, මනා ඉවසිලිවන්තව නොයෙකුත් රේඛාවන් උපයෝගී කොටගෙන විවිධ වූ හැඩතලයන්ද නිර්මාණය කර ඇත.

ගංගාවක දිය රැලි කිසිඳු බාධාවකින් තොරව එකලෙස ඉදිරියට ගලායන්නේ යම්සේද, සිබිල්ගේ රේඛාවෙන් ධ්වනිත වන කාව්‍යයම සහ රිද්මයානූකූල ස්වරූපයන්ට සමගාමීව අනෙකුත් හැඩතල සහ රූපකායන් එකසේ ගමන් කිරීම ඉතාමත්ම සාධනීය ලක්ෂණයකි. මා සඳහන් කල යතෝක්ත කරුණ මැනවින් ශපතවන උදාහරණයක් ලෙස, බයිබලයේ පුරාණ ගිවිසුමට අයත් ඊශ්රායෙල් ජාතියෙහි වීර පුරුෂයින්ගේ පරිච්ඡේදයේ සඳහන් වන්නාවූ ගිදියොන්ගේ කතා පුවතේ එන සිතුවම ගත හැකිය.

මෙම සිත්තම දෙස බලන්නෙකු හට සිතුවමේ පහළ කොටසේ වම්පසින් දන නමස්කාර පූර්වකව හිදිනා ගිදියොන්ගේ රූපකායද, ඊට ඉහලින් දකුණුට වන්නට දේව දූතයෙකුද දිස්වෙන අතර, මෙහිදී ශිල්පිනිය විසින් ලියවැලක ඇති රිද්මයට සමාන වූ රේඛාවන් උපයෝගීකොට ගෙන දේව දූතයාව චිත්‍රණය කර ඇත. මෙපරිද්දෙන් සිතුවමේ ප්‍රධාන මාතෘකාවට හෝ සංරචනයට කිසිදු අයුරකින් අවහිරතාවයක් එල්ල නොවන ලෙස චිත්‍රනය කීරිම ඔස්සේ ස්ඵූට වන්නාවූ එක් දෙයක් ඇත එනම් සිබිල් වෙත්තසිංහයන් සතුව පැවති නිර්මාණාත්මක හැකියාවයි.

සිතුවම් තුල දක්නට ලැබෙන වර්ණ මාලාව පැතලි සහ දීප්තිමත් ස්වභාවයක් පෙනුම් කරන අතර, එම වර්ණයන්ගේ ඇති ඝණත්වය සහ ගුණාත්මක බව රඳවා ගැනීමට ශිල්පිනිය සමත්ව ඇත. මෙහිදී එක්තරා සුවිශේෂීවූ කරුණක් කිවයුතුව ඇත. එයනම්, සුමන දිසානායකගේ නිර්මාණයන්හි දක්නට ලැබෙන නොයෙකුත් වර්ණ ප්‍රභේද, ත්‍රිමාණ   හැඩතල සහ තාත්වික සම්ප්‍රදායෙන් බැහැරව ඉඳුරාම වෙනස් වු ආවේණික ශෛලී ගත සම්ප්‍රදායක් සිබිල්ගේ සිතුවම් තුලින් අපට දැකගත හැකිය. එමෙන්ම, සුමන දිසානායකගේ සිත්තම් තුලින් මානව ශරිරයේ ඇති විවිධාකාර හැඩතලයන් සහ උත්කෘෂ්ට ස්වභාවය ඉතාමත් දර්ශනීය ලෙස නිර්මාණය කර ඇති විලාසයෙන් ගම්‍ය වන්නේ, සුමන සහ සිබිල්ගේ සිතුවම් තුල ඇති චිත්‍ර කලාවේ මූලිකාංග භාවිතය එකිනෙකට ඉඳුරාම වෙනස්වූ අන්තයන් දෙකක සැරිසරන බවය.

“දෙවියන් වහන්සේගේ අණ පරිදි මොරියා දේශයේ උන්වහන්සේ විසින් පෙන්වන ලැබූ කන්දට ගිය අබ්‍රහම් සහ ඊසාක්, දෙවන පූජාවක් ඔප්පු කිරීම සඳහා පූජාසනයක් තනවා ඒ මත දර අතුරුවා; අවසන ඊසාක් බැඳ, ඔහු ඔසවා දර මත තබා; තම පුත්‍රයාව මරණු පිනිස, පිහිය අතට ගෙන සැරසෙත්ම, දේව දූතයෙකු කතා කොට දරුවා මරන්න එපා යැයි, අබ්‍රහම්ට පැවසීය”.

මා ඉහත සැකෙවින් සඳහන් කීරිමට යෙදුණේ උප්පත්ති කතාවේ “ඊසාක් පූජා කරන්නැයි දෙවියන් වහන්සේ අබ්‍රහම්ට අණ කරයි” නැමති පරිච්ඡේදයේ කොටසකි.  උක්ත පාඨයන් අලලා නිර්මාණය වු සිතුවම තුලින් භාව ප්‍රකාශනවාදී හැගීම් උද්දීපනය කිරීමට සිබිල් සමර්ථවී ඇති සෙයක් මා හට හැගෙතී. ඡායාරූප ශිල්පියෙකු විසින් තම කැමරාවට ක්ෂණිකව කිසියම් වූ මොහොතක් හසුකරගන්නේ යම් ලෙසකින්ද, එලෙසම සිබිල් විසින් අබ්‍රහම් සිය පුත්‍රයාව මරණු පිනිස, පිහිය අතට ගෙන සැරසී සිටින විටදී, “අබ්‍රහම්, අබ්‍රහම්,” යැයි දේව දූතයෙකු සිය නම කියා ආමන්ත්‍රණය කරන්නාවූ “මොහොත” ඉතාමත් ශූරලෙස සිය තෙලිතුඩට හසුකර ගෙන ඇත. එමෙන්ම සිය නම කියන හඬ ඇසෙත්ම, එම නිශ්චිත මොහතේදී අබ්‍රහම් ගේ මුහුණෙහි විද්‍යාමාන වන්නාවූ කැළඹිලි සහගත ස්වභාවයද   ඉතාමත් මනාව පිළිබිඹුව ඇති අතරම, සමස්ථ අවකාශයම ප්‍රාකාශනවාදී හැඟීම්වලට වලට අනුගතව වන වර්ණයන් සහ රේඛාවන් භාවිතය තුලින් සිතුවමේ ඇති ජීවීමය රසය රඳවාගැනීමට බෙහෙවින් ඉවහල්වී ඇත.

මෙම ලිපිය සම්පාදනය කරන මොහොත වනවිට සිබිල් වෙත්තසිංහයන් අප සැමගෙන්ම වෙන්වී ගොස් ඇත, ඇය විසින් නිර්මාණය කලාවූ විවිධාකාර සිතුවම් අතර මෙම “දීප්ත ළමා මග” නැමති ළමා බයිබලයේ සිතුවම් ලාංකීය රසය, එසේත් නොමතිනම් ලාංකික අනන්‍යතාව ගැන මොනවට කියාපාන කදිම උදාහරණයක් වන බවට නොවනුමානය. අවසන චිත්‍ර ශිල්පීන් ලෙස අප සැමටම සිතන්නට යමක් ඇය විසින්  ඉතිරි කර ගොස් ඇත, එයනම් චිත්‍ර කලාවේ මූලිකාංගයන්හි ඇති වැදගත්කම සහ තමන්ගේ අනන්‍යතාව රැකෙන පරිදි එය භාවිතයට ගන්නේ කෙසේද කියාය. එසේනම් සිබිල් වෙත්තසිංහ මැතිනියනි ඔබට සුභ ගමන්.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher