නත්තල් සීයා කියන්නේ කවුද?

නත්තල් සීයා කියන්නේ කවුද?

නත්තල් සීයා/Santa Claus හෙවත් SANTA යනු කවුරුන්දැයි කෙටි හෝ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. නත්තල් සීයා, නත්තල් පප්පා, සැන්ටා’ යන බොහෝ නම්වලින් හඳුන්වනු ලැබුවත් ඉංග‍්‍රීසියෙන් එන Santa Claus යන වචනය නිර්මාණය වී ඇත්තේ සාන්ත නිකුලස් යන පදයේ සෙන්ට් නිකුලස් යන්න කාලයට සාපේක්‍ෂාව වෙනස් වීමෙනි. Sent+Nicolus යන පදය ක‍්‍රමයෙන් උච්චාරණයේදී Santa Claus ලෙස පරිවර්තනය වී ඇත. නත්තල් සීයා ලෙස හඳුන්වන මේ සාන්ත නිකලස් කවුද?

නිකුලස් කියන්නේ කවුද?

ඔහු උපත ලැබුවේ තුර්කියේ, ලිසියා නම් නගරයේදීය. නමින් නිකුලස් වූ ඔහුගේ දෙමව්පියන් ඉතාමත් ධනවත් මෙන්ම බැතිමත් කතෝලිකයෝ වූහ. ඔවුන් පාරම්පරික කතෝලික සිරිත් විරිත් හා ආගමික වතාවත් පිළිපදින ලද පවුලක උදවිය වූ අතර ඔවුන් ඇසුරේ ඇති දැඩි වූ කුඩා නිකුලස් නම් දරුවාට ද ඔවුන්ගේ කිතුනු ගති පැවතුම් ක‍්‍රමයෙන් උරුම විය. එනිසාම කුඩා කළ සිටම නිකලස් නම් දරුවා බැතිමත් කිතුනු දරුවෙකු මෙන් වැඩෙන්නට විය. දෙමව්පියන්ගේ හුරුපුරුදුවෙන් ඔහුට ඉතා අපූරු පුරුද්දක් ලැබුණි. ඒ දිළිඳුන්ට උදව් උපකාර කිරීමේ හා දන්දීමේ පුරුද්දයි. ඔහු ළදරු අවදියේම තමන්ට අයත් බොහෝ දේ දිළිඳු, අසරණ දරුවන් වෙත බෙදා දෙන්නට විය.

එනිසා කුඩා කලදීම දන්දෙන්නට, උදව් කරන්නට කැමති ත්‍යාගීවන්ත දරුවකු ලෙස කුඩා නිකුලස් ජනතාව අතර ප‍්‍රසිද්ධියට පත් විය. හේ වැඩිවියට පැමිණෙත්ම වඩ වඩා දහමට නැඹුරු විය. වයසින් වැඩෙත්ම වඩ වඩා දන්දීමේ කටයුතු වැඩිවන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස යොවුන් වියේ වූ නිකුලස් පූජක දිවියට ඇතුළුවීම සඳහා නිවසින් පිටවිය. පසුව පැවිදි දිවියට ඇතුළු වන නිකුලස් කෙටි කලකින් ත්‍යාගිවන්ත වූ නිකලස් පියතුමා ලෙස ප‍්‍රචලිත විය.

පැවිදි දිවියට ඇතුළත් වූ පසු ඔහු වඩ වඩා වැඩියෙන් දන්දීමේ කටයුතුවල යෙදෙන්නට විය. මේ දන්දීමේ අසරණයින්ට උදව් උපකාර කිරීමේ ක‍්‍රියාව නිසාම ඔහු ජනතාව අතර වඩා ප‍්‍රචලිත වන්නට විය. වයසින් හා අත්දැකීමෙන් පොහොසත් වූ නිකුලස් පියතුමාව පසුව රදගුරුවරයෙකු ලෙස අභිෂේක කරනු ලැබූහ. බිෂොප්වරයෙකු වූ පසු ඔහු දිළින්ඳන් හා අසරණයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙන්නටත් කටයුතු කරන්නටත් විය. ඔහු අසරණයින් සොයාගොස් ඔවුන්ට මුදලින් ද කෑම,බීම, ඇඳුම් පැළැඳුමින්ද උදව් උපකාර කරන්නට වූහ. විශේෂයෙන් නත්තල් කාලය ලංවන විට නත්තල් සැමරීමට වත්කමක් නොවූ අසරණ දිළිඳු ජනයාටත්, කුඩා දරුවන්ට නිකුලස් රදගුරුවරයා උදව් උපකාර කරන්නට විය.

ඔහුගේ රතු පැහැති රදගුරු ලෝගුවත්, උසැති රත් පැහැති රදගුරු හිස් වැස්මත්, සීතලයට පළදින අත් වැස්මත් ඔහුටම ආවේණික පෙනුමක් එක් කළ අතර එය වඩාත් තීව‍්‍ර වූයේ ඔහුට හිමිව තිබූ දිගැති සුදු පුළුන්වන් රැුවුල සහ කෙස් වැටියත් රදගුරු සැරයටියත් නිසාය. අදද ‘නත්තල් සීයා ගේ බාහිර රූපයට එක්වී ඇත්තේ මේ ත්‍යාගවත් නිකුලස් රදගරුවරයාගේ ගති ලක්‍ෂණවේ. නිකුලස් රදගුරුවරයාගේ මරණින් පසු ද ඔහුව අනුකරණය කරමින් නත්තල් සමයේ දිළිඳු දරුවන්ට තෑගි බෝග බෙදා දීම, සම්ප‍්‍රදායක් ලෙස සිදු විය.

නත්තල් සීයා සාන්තුවරයෙකු වීම

මුලින්ම මෙය තුර්කිය පුරාත්, පසුව යුරෝපයේ, ඇමෙරිකාවේ ආසියාවේ වැනි මහද්වීප ගණනාවකත් ප‍්‍රබල ලෙස පැතිරගිය අතර පසුව නත්තල් සීයා යන සංකල්පය ලොව පුරා නත්තලේ අනන්‍ය වූ ලක්‍ෂණයක් විය. නිකුලස් රදගුරුවරයා පසුව සාන්තුවරයෙකු ලෙස නම්කර සාන්තුවර භාවයට ඔසවා ගරු බුහුමන් දැක්වීම සිදු විය. ඔහු දිළින්දන්ගේ, වෙළෙන්දන්ගේ අසරණ දරුවන්ගේ, නැවියන්ගේ, බැංකුකරුවන්ගේ, බලාපොරොත්තු සුන්ව ගිය අයගේ හා විවාහ නොවී සිටින තරුණ තරුණියන්ගේ සාන්තුවරයා ලෙසින්ද හඳුන්වනු ඔහුගේ මරණින් පසු ඔහුගේ දේහය නොදිරා නත්තල් සීයා වීම ගැන කාටත් අරුමයක් වීමට දෙයක් නැත.

නමුත් අරුමය නම් අදවන විට ඒ නත්තල් සීයා නත්තලට තෑගි බෙදන්නට එන රදගුරු නිකුලා නම් ‘නත්තල් සීයා’ නොවීමයි. අද වන විට රදගුරු නිකුලා මුනිතුමා පැමිණෙන්නේ නත්තල් කාලයට දිළිඳු අසරණ කුඩා දරුවන්ට තෑගි බෝග දීමට නොව දහස් ගණන් වූ වෙළෙඳ ප‍්‍රජාවට ලාභ උපයා දීමේ අතරමැදියකු ලෙසය. නත්තල ළං වන විට සෑම අලෙවි හළක් ඉදිරිපිටම නත්තල් සීයා ලෙස සරසා කවුරුන් හෝ තැබීමත්, නත්තල් සීයාගේ අනුරුවක් තනා සේල් බෝඞ් කැබැල්ලක් අතටදීමත්ය. අද වන විට අලූත්ම ප‍්‍රවණතාව වී තිබෙන්නේ නත්තල් කාලයේ කුමක් හෝ රතු ඇඳුමක් ඇඳගත්, සුදු රැුවුලක් දමා බැලූම් ටිකක් අතට ගත් නත්තල් සීයා කෙනෙකු සමඟ ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කර ගැනීමයි.

මෙය කතෝලික ජනයා වැඩිපුර වෙසෙන ප‍්‍රදේශවල අතිශය බහුල ලෙස දැකිය හැකි දර්ශනයකි. එසේම ඇතැම් කතෝලික මීසම් තුළ නත්තල් උත්සව, නත්තල් හමුවන්, නත්තල් සාද තුළද පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, කිතුනු දහම් ගුරුවරුන්ගේ මැදහත් වීමෙන්ම අද නත්තල් සීයාව ‘ජෝකර්’ කෙනෙකු කර බයිලා නැටවීම් ජයටම සිදු කිරීම ද දැකිය හැකිය