ජපමාලය උච්චාරණය බයිබලයට අනුකූලද?

ජපමාලය උච්චාරණය බයිබලයට අනුකූලද?
Photo by Isabella and Zsa Fischer / Unsplash

විශ්වාස ලක්ෂණය:

ජපමාලය ආරම්භ කරනුයේ විශ්වාස ලක්ෂණයෙනි. මෙය බයිබලය අනුකූලද කියා සැකයෙන් තර්ක කරන අයෙක් සිටී නම් ඔහු බයිබලයේ වචන පිලි නොගන්නෙක්. ඒ නිසා අප ඒ කොටස මග හැර යමු.

ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව:

මෙය බයිබල අනුකූලදැයි ප්‍රශ්න අහන අය පිලිබඳ කතා කොට තේරුමක් නැත.

නමෝ මරිය යාච්ඤාව:

නමෝ

ජපමාලයට පහර ගසන්නන් පලමු පහර ගසන්නේ "නමෝ" යන ආමන්ත්‍රණයටයි. බොහෝ මූළධර්මවාදී කිතුණුවන් - 'නමෝ' යන වචනය නමස්කාරය - වන්දනාව යන අර්ථයක් දෙන වචනයක් කියා පටලවා ගන්නවා. නමෝ, නැත්තම් ඉංග්‍රීසි භාෂාවේ Hail යන වචයනේ අර්ථය වන්නේ 'ආචාරය', 'greeting, salute' යන්නයි. බයිබලයේ සඳහන් වනුයේ ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමියට ආචාර කලා යැයි කියලා (ලූක් 1:29 - "මේ කෙබඳු ආචාරයක්"). එය එසේ වී නම් 'නමෝ' යන වචනයේ සත්‍ය තේරුම දැනගත් අයෙක් හට ඒ වචනවල ගැටලුවක් පැන නගින්නට හේතුවක් ඇත්තේ නෑ.

මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියෙනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දි ඔබවහන්සේ ය. ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය
ඉහත වචන ගාබ්‍රියෙල් දේවදූතයා විසින් මරිය තුමිය වෙත පවසන ලද පණිවුඩයෙන් සහ එලිසබෙත් තුමියගේ ආචාරයෙන් උපුටා ගෙන ඇති අතර ඒ පිලිබඳ ගැටලුවක් ඇති අයෙක් ක්‍රිස්තියානි විය නොහැක. ලූක් 1:2-31 සහ ලූක් 1:42 බලන්න.

සාන්ත මරියනි

"ක්‍රිස්තුස් වහන්සේ කරණ කොට ගෙන" "දමිටු කරන" (1 කොරෙන්ති 1:30) ලැබූ, එනම් සාන්තුවර කරන ලැබූ අයගේ ප්‍රථමයා මරියතුමියයි. දෙවියන්වහන්සේම තම ගැබය තුල "මාංශගතවීමට" (ශු. ජොහාන් 1:13-14) තරම් මරියතුමිය පිරිසිඳු, සාන්තුවර කන්‍යාවක්වූවාය. එලෙසම ජෙස්සු වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව පිලිගත් ප්‍රථමයා වූයේද ඇයයි. ක්‍රිස්තුස්වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය තුල දෙවියන්වහන්සේගේ අධිකාරී බලය ප්‍රසිද්ධියේ යොදා ගැනීමට ප්‍රථම, එතුමියගේ පුත් කෙබඳු කෙනෙක්දැයි මරියාවන් දැන සිටි බව කානා නුවර සරණ මංගල්ලය (ශු. ජොහාන් 2) සිද්ධියෙන් පැහැදිලි වනවා. එනිසා ඇය සාන්තුවරියක බව අවිවාදාත්මකයි.

දේව මෑණියනි

මරිය තුමියට දේව මෑණියන් ලෙස කල ආමන්ත්‍රණය ලූක් සුවිශේෂයේ මෙසේ සඳහන් කර තිබෙනවා. "මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද" (ලූක් 1: 43). එලිසබෙත් තුමිය "මාගේ සමිඳාණන්ගේ" - එනම් දෙවියන්වහන්සේ ගේ මෑණියන් (දේව මෑණියන්) ලෙස ආචාර කලේ මරියතුමියටයි. ඇය මෙසේ ආචාර කලේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුල මෙසියස් වහන්සේ ලෙස පිලිගැනීමට ප්‍රථමයි. මෙසියස්තුමාගේ පැමිණීමට ප්‍රථම ජුදා සමාජයේ එකම ස්වාමීන්වහන්සේ ලෙස හැඟවූයේ දෙවියන්වහන්සේවම පමණයි. එබැවින් ඇගේ ආචාරයේ අරුත වන්නේ මරිය තුමිය 'දෙවියන් වහන්සේගේ මෑණියන්' බවයි.

පාපිවූ අප උදෙසා දැනුත් අපගේ මරන වේලේදීත් යාච්ඤා කල මැනව.

5.1 - වෙන කෙනෙක්ට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න හැකිද?

ජාකොබ් තුමාගෙ ලිපියේ 5:16 මෙසේ සඳහන් කරනවා. "දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය". අප හට එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කිරීමේ හැකියාවක් තිබෙන බව ඕනෑම ක්‍රිස්තියානි කෙනෙක් පිලිගන්න අතර දැහැමි කෙනෙක්ගේ යාච්ඤාව බලගතු බවත් ඔවුන් අවිවාදයෙන් පිලිගන්නවා. ඉහත 5 වාකය ඔවුන් වැරදි කියා ඔවුන් කියන්නේ කතෝලිකයන් මිය ගිය කෙනෙක්ට (මරිය තුමියට) තමන් වෙනුවෙන් යාච්ඤා කරන්නට කරන ඇරයුමක් ලෙස ඔවුන් එය තේරුම්ගැනීමයි.

5.2 - මරියතුමිය ශරීරාකාරයෙන් මරණයට පත්වූවාද?

මරිය තුමියගේ මරණය පිලිබඳ සුවිශේෂ වල හෝ නව ගිවිසුමේ වෙන පොත් වල කිසි සඳහන් කිරීමක් ඇතුලත් වෙලා නෑ. මුල් සභා පියවරුන් සහ වෙනත් ලියකියවිලි සහ සම්ප්‍රදා අනුව මරියතුමියත් සාමාන්‍ය මිනිසකු පරිදි මරණයට පත්වූවා යැයි සඳහන් වනවා. මරිය තුමියගේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගෙනයාම වෙනම මාතෘකාවක් වන අතර ලිපියේ මේ කොටසින් ඒ පිලිබ්ඳ කිසිවක් අදාල නොකර ගෙන ඇය ජීවත් වන්නියක්ද, සදාකාල මරණයට (නින්දකට) පත් වූවාද යන්න පිලිබඳ පමණක් සලකා බලනු ලැබේ.

5.3 - ක්‍රිස්තුස්වහන්සේ තුල නොමැරෙන ජීවිතයක් තිබෙනවාද?

ක්‍රිස්තුස්වහන්සේ අදහා ගන්නවුන් හට උන්වහන්සේ සදාතන ජීවනයේ පොරොන්දුව කීප විටක්ම ලබාදී තිබෙනවා. ශු.ජොහාන් 11:26 දී "ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය." වදාලේ අප නොමග යවන්නට නොවේ - සත්‍යය එය වන නිසායි. උන්වහන්සේගෙන් "සදාතන ජීවනය" ලැබූවෝ "කිසි කලෙක විනාශ නොවෙති" (ශු. ජොහාන් 10:28) යැයි වදාරණ අතර උන්වහන්සේ "ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහරය මම ය.

යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහටම ජීවත් වන්නේය" කියා පවසන්නේ ඒ වචන අප පිලිගෙන ඒ ඇදහිල්ල තුල ගැලවීම ලබන පිණිසය. තමන් පිලිගන්නේ වචනය පමණමයි (sola scriptura) කියා තමන් හඳුන්වාගන්නා ප්‍රොතෙස්තන්තවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ මුවින්ම වදාල මෙම වචන එලෙසින්ම පිලිගැනීම පසෙක ලා, පාවුලුතුමා හෝ වෙන නව ගිවිසුම් කතුවරයකුගේ ලිපි පෙන්වමින් කතෝලිකයන් නොමග යැවීමට බොහෝ උත්සාහ කරනු ඔබ අනිවාර්‍යයෙන්ම දැක ඇතැයි සිතමි. මෙලෙස අර්ථ දෙකක් ඇති බයිබල් පාඨයක් මුන ගැසුනු විට අප කලයුත්තේ කුමක්ද? පාවුලු තුමාම ඒ සම්බන්ධයෙන් අපට මාර්ගෝපදේශයක් ලබා දී ඇත.

පාවුලු තුමා සහ අනෙක් ධර්මදේශකයන්ගේ ඉගැන්වීම් එකිනෙක ඝට්ටනය වීම නිසා එතුමාගේ යුගයේදීම පැවති එවැනි මත භේදයන් නිරාකරණය කරන ක්‍රමය පිලිබඳව පාවුලු තුමා මෙසේ සඳහන් කරයි. "ඔබ අතර ඇතමෙක් 'මම පාවුලුගේ පැත්තට 'ය; ඇතමෙක් ;මම අපොල්ලොස්ගේ පැත්තට'ය; ඇතමෙක් 'මම කේපස්ගේ පැත්තට' ය; ඇතමෙක් 'මම ක්‍රිස්තුස් වහන්සේගේ පැත්තට ය'යි කියති." (1 කොරෙන්ති 1:12). "වැදගත් වන්නේ පැළ කල තැනැත්තාවත්, වතුර දැමූ තැනැත්තාවත් නොව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේය" (1 කොරෙන්ති 3:7).

එනිසා දෙවියන්වහන්සේගේ වචනය දැනගැනීමේදී අප ක්‍රිස්තුස්වහන්සේගේම වචන සහ ක්‍රියා ලෙස සහතික ඇති සුවිශේෂ හතරට මුල් තැනදිය යුතු අතර මෙය දේවානුභාවයෙන් මිනිසුන් විසින් ලියන ලද බයිබලයේ අනෙකුත් වචන හෑල්ලු කිරීමක් නොවන බවත් තේරුම් ගත යුතුයි. ක්‍රිස්තුස්වහන්සේගේ වචන අන් සෑම වචනයක්ම අබිභවා යන බව අප තේරුම්ගත යුතුයි.

5.4 - සාරාංශය?

ඉහත කරුනු මත දෙවියන්වහන්සේගේ මෙලොව උත්පත්තියට ශුද්ධවන්ත ගැබක් සැපයූ, දෙවියන්වහන්සේගේ වචනය මාංශවතවී කුස තුලට පිලිගෙන "හෙලි කරන්නට නියමිතව තිබුවාවූ".. "සිත් තුල ලියැවෙන" නව ගිවිසුමේ "ගිවිසුම් කරඬුව" වූ - ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයට පෙර උන්වහන්සේ දෙවියන්වහන්සේ ම යැයි අදහා ගත්, ඒ "ඇදහීම කරණ කොටගෙන" (එපීස 2:8) සියල්ලන්ටම ප්‍රථමයෙන් ගැලවීම අත්කර ගත් මරියතුමිය - ක්‍රිස්තුස්වහන්සේගේ උපතේ සිට මෙලොව විපත සහ උත්ථානය දක්වා නිරතුරුව උන්වහන්සේ සමග සිටියාවූ - ඒ ශ්‍රේෂ්ඨ උත්තමාවිය තවමත් ජීවමානව, ධර්මිෂ්ඨව සිටිනා බව අවංක ඕනෑම ක්‍රිස්තියානි අයෙකු කිසි සැකයකින් තොරව පිලිගන්නට නොහැකි නම් එය ක්‍රිස්තුස්වහන්සේගේ වචන ප්‍රතික්ෂේප කිරීමක් බව පැහැදිලි වේ.

මෙසේ ජීවමානව සිටිනා ධරිමිෂ්ඨ මරියතුමිය හට "පාපිවූ අප උදෙසා දැනුත් අපගේ මරන වේලේදීත් යාච්ඤා කල මැනව." ලෙස කියා සිටීම බොහෝ ඵලදරන ඉල්ලීමක් බව ශුද්ධ වචනයම සාක්ෂි දරා තිබේ.

ත්‍රීත්වීක ආරාධනාව යාච්ඤාව:

පිතා පුත්‍රයා ශුද්ධත්ම නම් ත්‍රීත්ව ඒක දේවෝත්තමයාණන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා! ආදී වූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයෙහිත් වේවා! ආමෙන්!

ක්‍රි.ව 325 දී බොරු ඉගැන්වීමක් බවට නයිසියානු මන්ත්‍රන සභාවේදී ස්ථීරයෙන් සාක්ෂි සහිතව තීරණය කොට වේදභේදයක් ලෙස සම්මත කොට ගත් ඒරියන් වාදය පිලිගනිමින් ශු.ත්‍රීත්වය ප්‍රතික්ෂේප කරනා අයට හැර කුමන සභාවකට අයිති වූවත් කිසි කිතුණුවකු හට බයිබලීය පදනම මත සිට ඉහත යාච්ඤාව කිසිවිටක ප්‍රතික්ෂේප කල නොහැකියි. එනිසා ඒ පිලිබඳව තව විස්තර නොලියමි.

ෆාතිමා යාච්ඤාව

මෙයට ෆාතිමා යාච්ඤාව ලෙස හඳුන්වනුයේ ලුසියා, ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා යන දරුවන් තිදෙනාට පෘතුගාලයේ ෆාතිමා නුවරදී 1917 දී මරිය තුමිය දර්ශනය වී ලබාදුන්නා යැයි සැලකෙන යාච්ඤාව මෙය වන නිසායි. මෙහි මරියතුමියට විරුද්ධ ප්‍රෙත්සෙතන්ත ක්‍රිස්තියානීන්ට පවා විරුද්ධවිය නොහැකි දේව ධාර්මීක ඉගැන්වීම වලට අනුගත යාච්ඤාවක් වන අතර ප්‍රෙතෙස්තන්තයින් මීට එරෙහි වීමට හේතුව මෙම යාච්ඤාව ලැබුනේ මරිය තුමියගෙන්ම යැයි පවතින විශ්වාසය පමණි. ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ ලෙසම "සාතන් විසින් සාතන් දුරු කරනු ලැබේ නම්, ඔහු ඔහුටම විරෝධීව භේද වී සිටී" (මතෙව් 12:26) කියා සාතන්ට එරෙහි කිසි අවියක් සාතන්ගේ පාර්ශවයෙන් නොඑසවෙන බව පවසු බව සිහිකිරීම මෙම යාච්ඤාව දෙවියන්වහන්සේගේ පාර්ශවයෙන්ම පැමිණෙන්නක් බවට ඇති හොඳම සාක්ෂියයි.
මේ යාච්ඤාව වනුයේ:

"අහෝ මාගේ ජේසුනී, අපගේ පාප වලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද, විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයන්ද, ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව"

ජපමාලය උච්චාරණය:

ජපමාලය උච්චාරනය යනු ඉහත යාච්ඤා උච්චාරනය කරමින් මෙනෙහි කිරීමයි. ඉහත යාච්ඤා තුල දෙවියන්වහන්සේගේ බල පරාක්‍රමය නිග්‍රයහට හෝ අවතක්සේරුවට පත්වන කිසිවක් නොමැති නම්, එය උච්චාරණය බයිබලීය පදනමක් මත ඇත්නම්, සියල්ලන්ටම පිලිගත හැකි යාච්ඤා වලින් මෙය සමන්විත නම් - ජපමාලයට එරෙහි ප්‍රොතෙස්තන්ත තර්කයන් වල කිසි ඵලයක් නැති බව ඉතා පැහැදිලියි.

ජපමාලය උච්චාරණය පමණක් ඇත්ද?

ශු.කතෝලික සභාව කිසිවිටක ජපමාලය පමණක් උච්චාරණය ගැලවීම සඳහා ඇති බව කිසි විටක ප්‍රකාශ කොට නැත. එහෙත් ජපමාල යාච්ඤා පිලිබඳ ඉහත විස්තරය ඔබ කියෙව්වා නම් ජපමාලය ගැලවීම දානය කරනා ක්‍රිස්තුස්වහන්සේ වෙත අප ලං කරනා ස්ථීර මාර්ගයක් බව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි සත්‍යයක්.

කෙසේ වෙතත්, ජපමාලය භාවනාත්මකව නොමැතිව ඔහේ උච්චාරණය කිරීම කිසි ප්‍රත්ඵලයක් නැති කාල නාස්තියක් බව ඔබ වටහාගත යුතුයි. එලෙසම, ජපමාලය උච්චාරණයේදී ඒ ඒ දවසට අදාල අභිරහස් ශු.බයිබලය හරහා සහ සභා ශ්‍රේෂ්ඨයන්ගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් මෙනෙහි කිරීම ඔබේ ජපමාල උච්චාරණය තවත් අර්ථාන්විත කරනු ඇත. ඔබේ ඊලඟ ජපමාල පන්තිය ඉතා භක්තියෙන්, දෙවියන්වහන්සේ අනාවරණයන් හට ඉඩ දෙමින්, උන්වහන්සේ සමග ගත කරන පැයක මුල් විනාඩි 15 - 20 බවට පත් කර ගත හොත් ඔබ අමිල ඵල ලබා, ජපමාලය උච්චාරණයේ සැබෑ බලය දෙවියන්වහන්සේ තුල අත් විඳිනා බව නොඅනුමානය. ඔබට ජේසු පිහිටයි!

  • Kithunu LK