පුනරුච්චාරණ යාච්ඤා (Repetition prayers) වල බයිබලානුකූල බව

පුනරුච්චාරණ යාච්ඤා (Repetition prayers) වල බයිබලානුකූල බව
Photo by Anuja Mary Tilj / Unsplash

මම අද කතා කිරීමට සූදානම් වෙන්නේ ජපමාලය, දේව දයාවේ බැතිය වැනි කතෝලික යාච්ඤා වල අන්තර්ගත වන වචන වල බයිබලානුකූල සන්දර්භය හෝ ඒවාට පසුම්බි වූ කවුරුත් දන්නා ඉතිහාස කතාන්දර ගැන නොවේ.මක්නිසාදයත් ඒ පිළිබඳව සාකච්ඡා කළ බොහෝ අන්තර්ජාල ලිපි ඕනෑතරම් තිබෙනවා.නමුත් මා විසින් මෙතෙක් දුටු එම ලිපි කිසිවක මේ වනතුරුම එම යාච්ඤා වල "පුනරුච්චාරණය" නමැති ගුණාංගය පිලිබඳව කිසිදු බයිබලානුකූල පැහැදිලි කිරීමක් දක්වා තිබුණේ නැහැ.උදාහරණ ලෙස ගතහොත් අපි ජපමාලය උච්චාරණය කිරීමේදී නමෝ මරිය යාච්ඤාව කට පාඩමින් එක දිගට උච්චාරණය කරනවා; ස්වාමි වාක් ආරාධනාව එක දිගට උච්චාරණය කරනවා; අහෝ මාගේ ජේසුනි යාච්ඤාව එක දිගට උච්චාරණය කරනවා.තවද දේව දයාවේ බැතිය වැනි භක්ති අභ්‍යාස වලදීද සාන්තුවරයන්ගේ ප්‍රාර්ථනා ආදිය උච්චාරණය කිරීමේදීද අපි එකම වගන්තිය බොහෝ වාරයක් උච්චාරණය කරනවා.අපි උච්චාරණය කරන මේ වගන්ති බයිබලානුකූල වුවද එම වගන්ති නැවත නැවත උච්චාරණය කිරීම බයිබලානුකූලද? නමෝ මරිය යාච්ඤාව බයිබලානුකූල වුවද නමෝ මරිය යාච්ඤාව එක දිගට උච්චාරණය කිරීම බයිබලානුකූලද? ස්වාමි වාක් ආරධනාව බයිබලානුකූල වුවද ස්වාමි වාක් ආරාධනාව එක දිගට උච්චාරණය කිරීම බයිබලානුකූලද?

🕳️ ප්‍රොතෙස්තන්ත්‍ර වාදයේ පුරෝගාමියෙකු වන මාටින් ලූතර් හටද මෙම ගැටළුව මතු විය.දෙවන වතිකානු කතිකාවට පෙර කතෝලික පූජකතුමා දේව ජනතාවට බලාගෙන සිටින දිශාවට පිටුපා පූජාව ඔප්පු කරන අතරතුර උන්වහන්සේට පිටුපසින් සිටින හා පූජකතුමා තෙපළන ලතින් භාෂාවේ වචන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි දේව ජනතාව, මරිය මෑණියන්ට ජපමාලය ඔප්පු කරමින් සිටියෝය.මෙය මහා ඛේදවාචකයක් ලෙස දුටු මාටින් ලූතර් මෙයට විසඳුමක් සොයනවා වෙනුවට ජපමාල යාච්ඤාවට පහර දීමට පටන් ගත්තේය.එක දිගට නමෝ මරිය යාච්ඤාව උච්චාරණය කිරීම බයිබලානුකූල නොවන බව පැවසූ ඔහු තමන්ගේ මතය සනාථ කිරීම සඳහා සාක්ෂි වශයෙන් ජේසුස් වහන්සේගේ පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කළේය;

"තවද යාච්ඤා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න.ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔහුන්ට කන්දෙනු ඇතැයි ඔව්හු සිතති.ඔහුන් හා සමාන නොවන්න.ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නා සේක" - ( ශු.මතෙව් 06:07-08 )

🕳️ නමුත් ජේසුස් වහන්සේ මෙමඟින් සියලුම වර්ගයේ පුනරුච්චාරණ යාච්ඤා ප්‍රතික්ෂේප කළ බවක් ඔප්පු කළ නොහැකිය.මක්නිසාදයත් ජේසුස් වහන්සේ මෙම ප්‍රකාශයට වහාම පසුව පුනරුච්චාරණය කළ යුතු යාච්ඤා ආකෘතියක් තම ශ්‍රාවකයන්ට හදුන්වා දුන්නේය;

"එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද එසේ ම වේවා.අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.”ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.” - ( ශු.මතෙව් 06:09-15 )

🕳️ තවද ජේසුස් වහන්සේ සියලුම වර්ගයේ පුනරුච්චාරණ යාච්ඤා ප්‍රතික්ෂේප නොකළ බව ඔප්පු කිරීමට හැකි හොඳම සාක්ෂිය වන්නේ උන්වහන්සේගේම පෞද්ගලික යාච්ඤා ජීවිතයයි. ජේසුස් වහන්සේගේ යාච්ඤා ජීවිතය දෙස බලන විට උන්වහන්සේද පුනරුච්චාරණය යාච්ඤා භාවිත කර ඇති ආකාරය දැකගත හැකිය.උන්වහන්සේ එකම යාච්ඤාව තෙවරක්ම පුනරුච්චාරණය කර ඇත;

උන්වහන්සේ මදක් ඉදිරියට ගොස් මුණින් වැටී, "අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව.එහෙත් මා කැමති ලෙස නොව, ඔබ කැමති ලෙස වේවා"යි යාච්ඤා කළ සේක... උන්වහන්සේ නැවත දෙවන වරටත් නික්ම ගොස්, "අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේවා"යි කියා යාච්ඤා කළ සේක... යළිත් උන්වහන්සේ ඔහුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. - ( ශු.මතෙව් 26:39,42 හා 44 )

🕳️ ශුද්ධවූ මතෙව් 06:07-08හි, "දිගින් දිගට හිස් වචන දෙඩීම" සඳහා මුල් ග්‍රීක පරිවර්තනයේ යෙදී ඇත්තේ නොබෙදුන එක් ග්‍රීක වචනයකි.එනම්, "බටලෝගේසෙට්" ( battalagesete ) යන්නයි.එහි අර්ථය වන්නේ දිගින් දිගටම ප්‍රතිඵලදායක නොවන හිස් වචන ඔල්මාදයෙන් මෙන් දෙඩවීම යන්නයි.ග්‍රීක භාෂාව තුළ මෙම වචනය අපට යොදා ගත හැක්කේ සැබවින්ම නොපවතිනා දෙයකින් යමක් දිගින් දිගටම ඉල්ලා සිටින විටය.

උදාහරණයක් ලෙස සැබවින්ම නොපවතිනා දෙවි කෙනෙකුගෙන් යමක් ඉල්ලා සිටින විටය.මක්නිසාද සැබවින්ම නොපවතිනා අයෙකුගෙන් යමක් ඉල්ලා සිටීම ප්‍රතිඵලදායක නොවේ; නිශ්ඵලය; හිස් වචනය.ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කළේ එවැනි පුනරුච්චාරණ යාච්ඤා පමණය.

🕳️ පුරාණ ගිවිසුමේ "කාර්මෙල් කන්ද මත පූජාව" ( 01 රාජාවලිය 18:21-40 ) විජාතීන්ගේ මෙවැනි දිගින් දිගට පවසන නිශ්ඵල හා හිස් යාච්ඤා සඳහා කදිම උදාහරණයක් සපයයි.මෙහිදී විජාතීන්ගේ බාල් දේවතාවාට අභියෝග කරන එලියා දිවැසිවරයා පවසා සිටියේ බාල් දේවතාවා සැබෑවූ දෙවියන් වහන්සේ නම්, කැබලි වලට කැපූ ගොනෙකු පුලුස්සා දැමීම සඳහා ගින්දර ඇති කර දෙන මෙන් බාල් දේවතාවාට පවසන ලෙසයි.බාල් දේවතාවාගේ දිවැසිවරුන්ද උදෑසන සිට මධ්‍යහන කාලය දක්වාම "අහෝ බාල් දේවතාවෙනි යැ"යි කෑ ගසමින් දිගින් දිගටම බාල් දේවතාවාගේ නම මතුරමින් ඔල්මාදෙන් නන් දොඩවමින් නැටුවෝය.නමුත් ඔහුන්ට ගවයා පිලිස්සීම සදහා ගින්දර ලබා දීමට බාල් දේවතාවට නොහැකි විය.ඔහුන්ගේ යාච්ඤා නිශ්ඵලය; ඔහුන්ගේ මන්ත්‍ර වල වචන හිස්ය.මක්නිසාද බාල් දේවතාවා සැබවින්ම නොපවතින කෙනෙකි.එවිට බාල් දේවතාවාට අපහාස කරන එලියා දිවැසිවරයා, සැබෑවූ එකම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කර ඔහුන්ට ගින්දර ලබා දුන්නේය.එවිට මුළු මහත් සෙනඟම දණින් වැටි, "සමිදාණන් වහන්සේම දෙවියන් වහන්සේය; සමිඳාණන් වහන්සේම දෙවියන් වහන්සේයැ"යි පුනරුච්චාරණය කළෝය.එය විජාතීන්ගේ දිගින් දිගටම පවසන හිස් වචන වලට වඩා වෙනස් විය. මක්නිසාද ඔහුන් දිගින් දිගට යාච්ඤා කළේ, ප්‍රශංසා කළේ සැබවින්ම පවතිනා කෙනෙකු වන ජීවමාන දෙවියන් වහන්සේටය.එබැවින් එම වචන ප්‍රතිඵලදායකය; පරිපූර්ණය; අර්ථාන්විතය.ජපමාල යාච්ඤාවද, දේව දයාවේ බැතියද ඇතුළු කතෝලික යාච්ඤා විජාතීන්ගේ යාච්ඤා වලින් වෙනස් වන්නේ මේ නිසයි.

🕳️ පුනරුච්චාරණ කතෝලික යාච්ඤා සඳහා ඉතා දිගු බයිබලීය ඉතිහාසයක් ඇත.උදාහරණ ලෙස එදා දෙවියන් වහන්සේ විසින් යෙසායා දිවැසිවරයාව කැදවන විට දෙවියන් වහන්සේ සිසාරා සිටි සෙරාප්වරු ( යෙසායා 06:02-04 ) අදටත් ඉන් මතුවටත් කිසිදු විවේකයකින් තොරව දිගින් දිගටම, "දෙවියන් වහන්සේ සුවිශුද්ධ යැ"යි පවසමින් මොර ගසමින් සිටිති; ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි.ඔහුන් වටකරද ඇතුළතද ඇස් වලින් පිරී තිබුණේය.ඔව්හු, "වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධය, සුවිශුද්ධය, සුවිශුද්ධය"යි දිවා රෑ දෙකෙහි නොනැවතී ගයන්නාහ. - ( එළිදරව්ව 04:08 )

🕳️ ඊශ්‍රායෙල් දේශයේ දාවිත්ගේ රාජ්‍යත්වය, ක්‍රිස්තු රජාණන්ගේ රාජ්‍යත්වයේ පූර්ව හෙලිදරව්වකි.ජේසුස් වහන්සේ මෙන්ම දාවිත් මහ රජතුමාද දෙවියන් වහන්සේව වර්ණනා කිරීමට පුනරුච්චාරණ පද යොදාගෙන තිබේ.මෙහිදී, "තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය" යන පදය විසිපස් වතාවකට වඩා දාවිත් මහ රජතුමා විසින් නැවත නැවතත් උච්චාරණය කර ඇත;

සමිඳුන් හට තුති පුදන්න.එතුමාණෝ යහපත්ය.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
රාජාතිරජිඳුන්ට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
අසිරිමත් දේ කරන එකම තැනැන්වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
දවාල පාලනය කිරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ඔහුන් අතරෙන් ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ප්‍රබල බාහුවෙන්ද දිගු කළ හස්තයෙන්ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ඉශ්‍රායෙල්වරුන් මුහුද මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වා දැමූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
බලවත් රජුන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
බාෂාන්හි රජ වූ ඕග් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
ඔහුන්ගේ දේශය උරුම කොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
සිය මෙහෙකරු ඉශ්රායෙල්ට එය උරුම කොට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
අප පරාජයට පත්ව සිටියදී අප සිහි කළ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය.
සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න.එතුමන්ගේ තිර පෙම සදහටම පවත්නේය. - ( ගීතාවලිය 136:01-26 )

🕳️ ෂද්‍රක් ( හනනියා ), මේෂක් ( මිෂායෙල් ) හා අබෙද්නෙගෝ ( අසරියා ) යන තරුණයන් තිදෙනා බබිලෝනියේ රජුවූ II වැනි නෙබුකද්නෙශර් රජුගේ ප්‍රතිමාවකට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් රජු විසින් ඔහුන්ව ගිනි උදුනක පුලුස්සා දැමීමට නියෝග කළේය.නමුත් ගිනි උදුන මැද පවා නොදැවී සිටිමින් ඔහුන් තිදෙනා දෙවියන් වහන්සේගේ මහිමය වර්ණනා කළේද පුනරුච්චාරණ යාච්ඤා භාවිතයෙන්ය.මෙහිදී, "සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න" යන පදය තිස්වතාවකට වඩා ඔහුන් විසින් නැවත නැවත උච්චාරණය කර ඇත.;

සමිඳුන් මැවූ සියල්ලෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
සමිඳුන්ගේ සුරදූතයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
අහස් තලයෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
අහසට ඉහළින් ඇති ජලාශයෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
සමිඳුන්ගේ බලතාවයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
ඉර හඳ, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
අහසේ තාරකාවෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
වර්ෂාවෙනි, පින්නෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
සුළඟෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
ගින්න සහ උෂ්ණය, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
සීතල සහ උෂ්ණය, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
පින්න සහ හිම වැස්සෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
තුෂාරය සහ සීතලය, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මිදි දියකැට සහ හිමකැට, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
දිවා සහ රාත්‍රිය, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
ආලෝකය සහ අඳුර, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
විදුලිය සහ වළාකුලු, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මිහිතලය, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
කඳු සහ හෙල්, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මිහි පිට වැඩෙන සියල්ලෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
ජල උල්පතෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මුහුදු සහ ගංගාවෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මූදු සතුනි, ජලජ සතුනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
අහස් පක්ෂියෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
වන සතුනි, හීලෑ සතුනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මනුෂ්‍යය පුත්‍රයිනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
ඉශ්රායෙල්වරුනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
පූජකවරුනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
සමිඳුන්ගේ සේවකයිනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
අධ්‍යාත්මයෙනි, දැහැමියෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
බැතිමතුනි, බැහැපත් සිත් ඇත්තෙනි, සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
හනනියා, අසරියා සහ මිෂායෙල් සමිඳුන් පසසන්න.මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.මන්ද එතුමාණෝ පාතාලයෙන් අප පැහැරගත් සේක.මරණයෙන් අප මුදාගත් සේක. ගිනි උදුනෙන් අප ගළවාගත් සේක.ගිනිදලු මැදින් අප බේරාගත් සේක. - ( දිවැසිවර දානියෙල් 01:35-66 හෝ දානියෙල් 03:35-68 )

🕳️ ජුදෙව් සම්ප්‍රදාය දෙස බලන විටද අපට නව ගිවිසුමේ සඳහන් වචන පාදක කොට නිර්මාණය වී ඇති "නමෝ මරිය" වැනි පුනරුච්චාරණ යාච්ඤා බොහොමයක් හමුවේ."ෂෙමා ඊශ්රායෙල්" ( Shema Yisrael ) හෙවත් "ඉශ්රායෙල්වරුනි සවන් දෙන්න" නමැති ජුදෙව් යාච්ඤාව ඒ අතරින් ඉතා සුවිශේෂී වේ. පුරාණ ගිවිසුමේ සඳහන් දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආඥාව වන මෙය ජුදෙව්වරු විසින් කට පාඩම් කරගෙන දිනපතාම තම යාච්ඤා කටයුතු වලදී එය පුනරුච්චාරණය කරමින් මෙනෙහි කරති. එලෙසම මරණාසන්නව සිටින ජුදෙව්වරු තම අවසන් වචන ලෙස පුනරුච්චාරණය කරමින් මිය යාමට යොදා ගන්නේද මෙම යාච්ඥාවයි.තවද ජුදෙව් දෙමාපියන් විසින් තම දරුවන්ට මෙම යාච්ඥාව රාත්‍රියේ නින්දට යාමට පෙර උච්චාරණය කිරීම සඳහා කටපාඩම් කර උගන්වති.ෂෙමා යාච්ඤාව නැවත නැවත උච්චාරණය කරන විට දෙවියන් වහන්සේ හා තමන් අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවය නැවත නැවතත් ස්ථීර වන බව ජුදෙව්වරු විශ්වාස කරති.බොහෝ විට ජුදෙව්වරුන්ගේ වන්දනා කටයුතු වලදී මෙම යාච්ඤාව පුනරුච්චාරනය කරන විට ඒ සඳහා පුරාණ ගිවිසුමේ කොටස් තුනක් වන, "ද්විතීය නීති සංග්‍රහයේ 06:04-09, 11:13-21 හා ගණන් කතාවේ 15:37-41" යන වගන්ති ජුදෙව්වරු විසින් යොදා ගනිති.ඒ හැරුණුකොට සාමාන්‍යයෙන් එම යාච්ඤාවේ ශුද්ධ ආකෘතිය ලෙස ජුදෙව්වරුන් භාවිත කරන්නේ පුරාණ ගිවිසුමේ සඳහන් එක් සුවිශේෂී වගන්තියක් පමණකි;

"ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේම පමණක් දෙවියන් වහන්සේ වන සේක." - ( ද්විතීය නීති සංග්‍රහය 06:04 )

🕳️ තවද එකම දේ පවසමින් දිගින් දිගටම යාච්ඤා කිරීමේ ඇති ඵලදායක බව පිලිබඳව ජේසුස් වහන්සේ විසින් ඉතා හොඳින් "වැන්දඹුව හා විනිශ්චයකාරයා"ගේ උපමාව තුළින් අපට පැහැදිලි කරදී තිබේ;
තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන්වහන්සේ ඔහුන්ට මේ උපමාව වදාළ සේක: "එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වීය.එම නුවර වැන්දඹුවක්ද වූවාය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, 'මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ'යි කීවාය.ඔහු කළක් ඒ ඉල්ලීම නොසළකා හැරියේය.පසුව ඔහු තමාටම මෙසේ කියා ගත්තේය, 'මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරුසරු නොකළත්, මේ වැන්දඹුවගේ, කරදර නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි'යි කීයේය." තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, "මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න.දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙකෙහි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක්ද? උන්වහන්සේ ඔහුන් ගැන බොහෝ නොඉවසන සේක්ද? උන්වහන්සේ ඔහුන්ට වහාම යුක්තිය ඉටු කරන සේකැයි, මම ඔබට කියමි. - ( ශු.ලූක් 18:01-08 )

🕳️ සාරාංශය;
ජේසුස් වහන්සේ කිසි විටෙකත් සියලුම වර්ගයේ පුනරුච්චාරණ යාච්ඤා තහනම් කර නොමැත.අනෙක් අතට ජේසුස් වහන්සේ පවා පුනරුච්චාරණ යාච්ඤා භාවිත කර තිබේ.පුරාණ ගිවිසුමේ මෙන්ම නව ගිවිසුම තුළද බොහෝ දෙනෙක් පුනරුච්චාරණ යාච්ඤා භාවිත කර තිබේ.දෙවියන් වහන්සේගේ සුරදූතයෝ නොකඩවා, එනම් ඔබ මෙම සටහන කියවන අවස්ථාවේදී පවා එක දිගට එකම වචන පවසමින් දෙවියන් වහන්සේගේ මහිමය ගායනා කරමින් සිටිති.ජේසුස් වහන්සේ තහනම් කළේ ඵලදායක නොවන හිස් වචන වලින් සමන්විත පුනරුච්චාරණ යාච්ඤාය.මෙවැනි යාච්ඤා අදාළ වන්නේ සැබවින්ම නොපවතින දෙයකට යාච්ඤා කරන විටය. නමුත් කතෝලික පුනරුච්චාරණ යාච්ඤා ඵලදායක නොවන හිස් වචන වලින් සමන්විත නොවේ. මක්නිසාද ඒවා යොදා ගන්නේ සැබවින්ම පවතින පුද්ගලයන්ට ආමන්ත්‍රණය කිරීමටය.එලෙසම බොහෝ කතෝලික පුනරුච්චාරණය යාච්ඤා ශුද්ධවූ බයිබලයේ දේව වචනය මත ගොඩනැගුණු ආකෘති වේ.දේව වචනය හිස් හෝ ඵදලදායක නොවන හෝ දෙයක් නොවේ.එසේම ජේසුස් වහන්සේ විසින්ම ඉගැන්වූ ස්වර්ගයේ වැඩ සිටින වැනි යාච්ඤාද කතෝලික පුනරුච්චාරණ යාච්ඤා වලට අයත් වේ. ජුදෙව්වරුන්ගේ "ෂෙමා ඊශ්‍රායෙල්" වැනි පුනරුච්චාරණ යාච්ඤා, කතෝලික පුනරුච්චාරණ යාච්ඤා වල පූර්ව සළකුණකි.එලෙසම එකම දෙය පවසමින් අප යමෙකුට කරන ආයාචනය බොහෝ ඵලදායක බව ජේසුස් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

  • කිතුනු අපේ දේවධර්ම දිනපොත