රාගමට ගුවන් පාලම ලැබීමට මැදිහත් වූ කාදිනල් කුරේ හිමිපාණන්

ලංකා ඉතිහාසයේ ප්‍රථම කාදිනල් ස්වාමිපාදයාණන් වශයෙන් රටට ඉමහත් කීර්තියක් ගෙන දී විශ්‍රාම ගිය කුරේ හිමියන් බැහැ දැකීමට අගමැති රණසිංහ ප්‍රේමදාස එක් දිනක් තේවත්තට පැමිණියේ ය.

තිස් වසරක් රටට සේවය කළ ආගමික නායකයකු වූ කුරේ හිමියන් ගේ විශ්‍රාම කාලය සැපවත් කිරීමට රජයෙන් කිසියම් අත්වැලක් සැපයීමට හැකි වේ දැයි විමසීමට අගමැති ප්‍රේමදාස කැමති විය.

කාදිනල් හිමි පාණන්ගේ සුවදුක් විමසමින් එම්මාවුස් ආරාමයේ නිසල විවේකී පරිසරය අගයමින් සෑහෙන වේලාවක් අගමැතිවරයා පිළිසඳරේ යෙදුණි.

රටට විශාල සේවාවක් සපුරා ලූ කතෝලික සසුන් නායකයාට උපහාර වශයෙන් එතුමාගේ විශ්‍රාම වියේ දී රජය වෙතින් කිසියම් පහසුකමක් සැලසිය හැකි නම් එය ගෞරවයක් වශයෙන් තමන් සළකන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව කාදිනල් තුමන් පිළිගත්තේ සුපුරුදු සිනහ මුහුණින් හා කෘතඥතාවයෙනි. මහලු වියේ දී තමනට වැඩි සැප පහසුකම් අනවශ්‍ය බව එතුමා කීවේ ය.

එ නමුත් ඒ වෙනුවට අසරණ ජනතාව ගේ සෙත පතා යමක් කළ හැකි නම් මැනවැ යි එතුමා පිළිතුරු දුන්නේ ය.

ජනාකීර්ණ රාගම නගරය හරහා දිවෙන මහබාගේ කඩවත පාරට හරස් වන දුම්රිය මාර්ගය නිසා ජනතාව ගේ ගමනාගමනයට අවහිර සිදුවන ආකාරය කාදිනල් හිමියන් විසින් අගමැතිට විස්තර කරන ලදි.

රාගම රජයේ රෝහලට අසාධ්‍ය රෝගීන් ගෙනයන අවස්ථාවේදී පොදු ජනතාවට මෙම අකරතැබ්බ මහත් මාරක අවහිරයක් වන බව කාදිනල් හිමි පෙන්වා දුන්නේ දැඩි සංවේගයෙනි. ජනතාවගේ සුබසෙතසඳහා රේල් පාරට උඩින් ගුවන් පාලමක් ඉදිකිරීම වෙත කොළඹ අගනුවරටත් කලින් රාගමට ගුවන් පාලමක් ලැබුණේ කාදිනල් හිමියන්ගේ එම යෝජනාව නිසා බව වැඩි දෙනෙක් දන්නේ නැත.

රජය මගින් තම පෞද්ගලික සුබසෙත සළසා ගන්නවා වෙනුවට ජනතා සුබසෙත වෙත ම රජයේ අවධානය යොමු කිරීමෙන් කාදිනල් හිමි කාටත් උදාර ආදර්ශයක් දැක්වීය.

වැඩි ප්‍රසිද්ධියකින් තොරව එදා එම්මාවුස්' ආරාමයේ දි සිදු වූ මෙම නායක හමුවට අනිවාර්යයෙන් ම හවුල් වූ තැනැත්තෙකි කාදිනල් හිමියන් ගේ ලේකම් ධුරය දැරූ ගරු ආනන්දප්පා පියනම.

කොළඹ අගරදගුර වසමේ නිල සේවා කටයුතු වලින් කාදිනල් තුමන් විශ්‍රාම ගිය දා සිට එතුමන් සමග තේවත්තේ පදිංචියට ගිය ආනන් දප්පා පියතුමා ලේකම් නිලයට අමතරව කාදිනල් හිමියන් ගේ ආවතේවකරු බවට ද පත් විය.

වතිකානයේ විවිධ ශාසනික කාර්ය අංශ සමග කෙරෙන ලිපි ගනුදෙනුවලට සහය වීමත් කාදිනල් හිමියන් ගේ සැපදුක් බලා ගැනීමටත් එම්මාවුස් ආරාමයේ ගෘහ පාලනයත් ඇතුළු සියලු කටයුතු පැවරුණේ දිවි හිමියෙන් කාදිනල් තුමනට ඇප කැපව සිටි ආනන්දප්පා පියතුමනට ය.

හෙක්ටර් වෙල්ගම්පල මහතාගේ "සුසිල්වත් අති උතුම් තෝමස් කුරේ කාදිනල් යුගපුරුෂයාණෝ" කෘතියෙන්

Read more

ඇයි දෙවියන් වහන්සේ ඔක්කොම අයව එකපාර ස්වර්ගයට ගන්නෙ නැත්තෙ?

දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ අසීමිත ප්‍රේමය පෙරදැරිවය. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප රොබෝවරුන් මෙන් හෝ යන්ත්‍ර මෙන් නොව, නිදහස් කැමැත්ත