කතෝලික පූජකතුමෙකුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් හෝ ක්‍රියාවක් වාර්තා උණොත් මොකද කරන්නේ?

කතෝලික පූජකතුමෙකුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් හෝ ක්‍රියාවක් වාර්තා උණොත් මොකද කරන්නේ?
Photo by Romain Dancre / Unsplash

මේ දිනවල අපිට අහන්න දකින්න ලැබුණු , ගරුතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට , තවත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉතාමත් අශ්ශීල හා නින්දිත ලෙස බැන තර්ජනය කිරීමේ සිදුවීම සහ විශේෂයෙන්ම මෑත කාලීනව ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ ආකාරයේ අසංවර , අන්තවාදී  සහ ප්‍රචණ්ඩ හැසිරීම් වලට දිගින් දිගටම නැඹුරුවීමක් දක්නට ලැබීම පිළිබඳව , මා සමග ඉතාමත් සමීපව ඇසුරුකරන, විදේශගත,  විනයධර , ධර්මධර සහ උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පසුගිය දා සුහද කතාබහක නිරත උනා.

මෙවැනි තත්වයන් ඉදිරියේදී හෝ ඇතිනොවීමට / පාලනය කිරීමට නම්, ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා පිළිබඳව මෙහිදී අප සාකච්ඡා කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේ විශේෂයෙන්ම මතුකරපු කාරණයක් තමයි,

"ඇයි කතෝලික පියතුමන්ලා තුළ මෙවැනි දේ දකින්න නොලැබෙන්නේ සහ මෙවැනි තත්ත්වක් ඇතිවුවහොත් කතෝලික සභාව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද" කියන කාරණාව.

මෙම කාරණා ගැන අනෙකුත් අයවද දැනුවත් කරන ලෙස උන්වහන්සේ කළ ඉල්ලීම හා බොහෝ දෙනෙක් මේ දිනවල මේ ගැන උනන්දුවක් දක්වන නිසා , අද ලිපිය ඒ ගැන.

මෙහිදී, සාමාන්‍යයෙන් කතෝලික පූජකවරුන් අතර එවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිනොවීමට බලපාන හේතු සහ එසේ ඇතිවුවහොත් ගනුලබන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනු ලබනවා.

මතභේද , මතගැටුම් කියන එක සාමාන්‍යයි , ස්වභාවිකයි , එවැනි මතභේද සහ මතගැටුම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර පමණක් නොව කතෝලික පූජකතුමන්ලා අතරත් සාමාන්‍යයෙන් සිදුවෙන්න පුළුවන් දෙයක්. නමුත් ,

ඊයේ පෙරේදා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිදුකරන තර්ජනය සහ මෑතකාලීනව ප්‍රසිද්ධියේ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් දක්නට ලැබෙන ප්‍රචණ්ඩකාරී ප්‍රවණතාවයන් අසාමාන්‍යයි. එලෙස අසාමාන්‍ය තත්ත්වයන් කතෝලික පූජකතුමන්ලා අතර දක්නට නොලැබීමට මා දකින ප්‍රධානතම හේතූන් වන්නේ,

1 - අධ්‍යාත්මිකත්වය. Spirituality.

2 - අධ්‍යාපනය. Education.

3 - කීකරුකම. Obedient.

4 - සභා ව්‍යුහය. Church Structure.

5 - ගිහි ජනතාව බලවත් වීම. Empowering the Laity.

6 - සක්‍රමේන්තු සහ සාංගික ජීවිතය. Sacramental & Community Life.

1 - අධ්‍යාත්මිකත්වය. Spirituality.

සාමාන්‍යයෙන් කතෝලික පූජක වරයෙක් වීම යනු ඉතාමත් අසීරු දුෂ්කර කටයුත්තක්. පූජක වරයට ඇතුළු කර ගැනීම සඳහා නිසි වයස් ප්‍රමාණයක් සම්පූර්ණ කළයුතු වනවා. මෙම වයස ඇතැම් පදවි සහ නිකායන් අනුව සුළු සුළු වෙනස් වීම් වලට ලක්වුවත්, පාසැලේ 09 වන ශ්‍රේණියෙන් ඉහල වීම අනිවාර්ය වනවා. නියමිත වයස් සීමාව සම්පූර්ණ කර ඇති සහ අවශ්‍ය ගුණාංගයන්ගෙන් හෙබි , පිරිමි දරුවන්ට , දෙමාපිය අවසරය සහ මිසම්භාර පියතුමාගේ නිර්දේශය මත කුඩා දෙව්සත්හල් සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනවා. සම්මුඛ පරීක්ෂණ වලින් සමත්වන සිසුන් ව මූලිකව කුඩා දෙව්සත්හලට ඇතුලත් කර ගැනීම සිදු කරනවා. එතැන් සිට අඩුම වශයෙන් වසර 8ක සිට 10, 12 හෝ ඇතැම් විට ඊටත් එහා ගිය කාලසීමාවක පුහුණුවීමක් මෙම සිසුන්ට අනිවාර්ය වෙනවා. මෙම දීර්ඝ කාල පරාසයක් තුළ ඔවුන්ට ලැබෙන පෝෂණය,ජීවිතාවබෝධය,භක්ති අභ්‍යාස,යහපත් වටපිටාව සහ ඇසුර etc..., වැනි කාරණා නිසා ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයකට ඇතුළුවීමට අවස්ථාව හිමිවනවා.

විශේෂම කාරණයනම්, පූජක සිසුවෙකුට දෙව්සත්හලට ඇතුළත් කළ දිනයේ සිට පූජකවරය ලබන දින දක්වාත්, පූජකවරයෙක් වූ පසුත් , අධ්‍යාත්මික පියතුමෙකුගේ (Spiritual Director) මගපෙන්වීම හා මෙහෙයවීම හිමිවනවා. ඉතාම සමීප මිතුරෙකු / දෙමාපියෙකු , ලෙස අධ්‍යාත්මික පියතුමා සමඟ ජීවිතය බෙදා ගැනීමටත් , තමන්ගේ දුර්වල තැන් සහ අඩුපාඩු හදාගැනීමටත් පියතුමා සහය ලබාදෙනවා. පරීක්ෂාවලින් ගැලවී , අධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරගැනීමට මෙමගින් මනා පිටුවහලක් ලැබෙනවා.

2 - අධ්‍යාපනය. Education.

මා ඉහත සඳහන් කළ ආකාරයට කුඩා දෙව්සත්හල් තුළදී , පූජක සිසුන් අපොස

සා/පෙළ සහ උ/පෙළ විභාගයන් සම්පූර්ණ කිරීම අනිවාර්ය වනවා.

අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට ජාතික දෙව්සත්හලට ඇතුලත් වීමේ විභාගයට (NSEE - National Seminary Entrance Exam) පෙනී සිටීමට අවකාශ ලැබෙනවා. (ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම විභාගයෙන් සාමාන්‍යයෙන් සැලකිය යුතු පිරිසක් අසමත් වනවා)

මෙම විභාගයෙන් සමත්වන සිසුන් , සහෝදරතුමන්ලා (rev.brothers) ලෙස පිළිගැනෙන අතර, ඔවුන්ව කළුතර පිහිටි , "දහම් සෙවණ" , සහෝදර තුමන්ලාගේ දෙව්සත්හලේ වසරක පුහුණුවක් සඳහා යොමු කරනු ලබනවා.

මෙම පුහුණුව සම්පූර්ණ කරන සහෝදර තුමන්ලාගෙන් , කැමති අයෙකුට නැවතත් සුපුරුදු ගිහි ජීවිතය වෙත ගොස් , රැකියා අවස්ථාව ක යෙදීමට , මිල මුදල් හම්බ කිරීමට කාලසීමාවක් ලබාදෙනවා. (Desernment period) මෙය ලෞකික ජීවිතය සහ අධ්‍යාත්මික ජීවිතය තෝරා ගැනීමටත් , තමන්ට සැබවින්ම පූජක ජීවිතය ගැලපෙනවාද, එම භාරදූර වගකීම දැරීමට සුදුස්සෙක්ද යන්න ස්වයංව තක්සේරුකර බැලීමටත් ලැබෙන හොඳ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මෙම කාල සීමාව තුළ දී ඇතැමෙක් ප්‍රේම සබඳතා ආරම්භ කිරීම , මිල මුදල් හා අනෙකුත් සැප සම්පත් පසුපස හඹා යාම , දෙමාපියන් / සමීපතමයින්  සමග ඇති දැඩි බැඳීම , වැනි කාරණා නිසා පූජක ගමන අතරමඟ නවතා දමනවා.

එම කාල සීමාවෙන් පසු , ගරු.සහෝදරතුමන්ලාට නුවර අම්පිටිය පිහිටි ජාතික දෙව්සත්හලේදී , Sexuality , Management and Administration , Counseling , Conflict Resolution , Psychology , Sociology , Public Administration , Economics ,  Politics , General Ethics , Logic , Buddhism , Islam , Hindu , Etc...., වැනි විෂය ක්ෂේත්‍ර  ගණනාවක් ඔස්සේ,

දර්ශන පීඨයේ (Faculty of Philosophy) වසර දෙකක අධ්‍යාපනයකුත්,

දේවධර්ම පීඨයේ (Faculty of Theology) වසර හතරක අධ්‍යාපනයකුත් හිමිවනවා.

(අදාළ අනෙකුත් විෂයන් පහත comments තුළ සඳහන් කර ඇත.)

අනතුරුව, ජාතික දෙව්සත්හල තුළදී ගත කළ කාලසීමාව පිළිබඳව එහි ගුරු. පියවරුන් විසින් මෙම එක් එක් සහෝදර තුමන්ලා පිළිබඳ වාර්තාවක් රදගුරුතුමන් වෙත ලබාදෙනු ලබනවා, එම වාර්තා අධ්‍යනය කිරීමෙන් පසු, සුදුසුකම් සපුරා ඇති සහෝදරතුමන්ලාට,  පූජකවරය දානය කිරීම සඳහා නිර්දේශ කරනු ලබනවා.

පූජකවරය ලැබීමෙන් පසුවද බොහෝ පියවරුන්ව විදේශයන් හි පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා යොමු කරනු ලබනවා.

විෂයානුබද්ධ අධ්‍යාපනයට අමතරව , මෙම දීර්ඝ කාල සීමාව තුළ ජීවිතයට වැදගත්වන ක්ෂේත්‍ර ගණනාවක පුහුණුවීම් හා අත්දැකීම් ලැබීමටද උන්වහන්සේලාට අවස්ථාව හිමිවනවා.

උදා : සාංගික ජීවිතය, පවුල් ජීවිතය, කෘෂිකර්මය , සත්ව පාලනය , බේකරි , පිරිසිදු කිරීම් , ජනමාධ්‍ය , මෝටර් කාර්මික, සංගීතය , ක්‍රීඩා ,  නාට්‍යය හා රංග කලාව etc.....

3 - කීකරුකම. Obedient.

පූජකවරුන් ප්‍රධාන වශයෙන්,

i - පදවි පූජක      ii - පැවදි පූජක

වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර,

මෙහි දී "පදවි පූජකවරුන්" , අදාළ පදවියේ රදගුරු හිමිපාණන් යටතේ,

* කීකරුකම.  * පූජක බඹසර. රකින බවටත්,

"පැවදි පූජකවරුන්", අදාළ පැවිදි නිකායේ ශ්‍රේෂ්ඨ පියවරුන් යටතේ,

*කීකරුකම.  *වෘත ශුද්ධිය.  *දිළිඳුකම.

රකින බවටත් , පූජකවරය ලබන අවස්ථාවේදී පොරොන්දු දෙනු ලබයි. එම පොරොන්දුව තමන් පූජකවරය දරනතාක් රැකීමට ද ඔවුන් බැඳී සිටියි.

4 - සභා ව්‍යුහය. Church Structure.

ලෝකයේ ඇති සංවිධිතම ව්‍යුහය ඇත්තේ කතෝලික සභාවට බව සැලකෙනවා.‍ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගතහොත් , එය පරිපාලනමය වශයෙන් පදවි 12 කට වෙන්කර ඇති අතර, ශු.පාප්වහන්සේ විසින් ඒ එක් එක් පදවිය සඳහා රදගුරු තුමෙකු බැගින් පත්කර ඇත. (ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු පදවිය සඳහා පමණක් , පරිපාලනමය පහසුව තකා ශු.පාප්වහන්සේ විසින් සහයක රදගුරුවරුන් තිදෙනකු පත්කර ඇත.) එම රදගුරුවරුන් විසින් , තම රදගුරු පදවියේ අවශ්‍යතාවය මත , රදගුරු පදවිය කලාප වලට (region) සහ එම කලාප , දිසාවලට (deanary) වෙන්කරනු ලබයි. අනතුරුව සහයක රදගුරුවරුන් යටතේ එම කලාප වලට කලාපීය නාහිමි පියතුමෙකු හා දිසා වන්ට, දිසා නායක පියවරුන් පත්කරනු ලබයි.

උදා : කොළඹ අගරදගුරු පදවිය.

අගරදගුරු හිමිපාණන් > සහායක රදගුරුවරුන් > කලාපීය නාහිමිවරුන් > දිසා නායක පියවරුන් > මීසම් සේවක පියතුමන් > සහායක මීසම් සේවක පියතුමන්.

කොළඹ අගරදගුරු පදවිය , මීගමුව , කොළඹ සහ ධර්මදූත ලෙස කලාප තුනකටද, එම කලාප තුන,  දිසා 15 කටද බෙදා වෙන්කර ඇත.

පැවිදි පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රාදේශාධිපති (Provincial) පියතුමන් යටතේ සේවය කරන අතර, ප්‍රාදේශාධිපති පියතුමන් , අදාළ නිකායේ ශ්‍රේෂ්ඨාධිපති (General) පියතුමන්ගේ නියෝග අනුව ක්‍රියාකරනු ලබයි.

මෙම සභා ව්‍යුහය තුළ , ඒ ඒ පූජකවරුන්ට නිශ්චිත කාලසීමාවකට , අදාළ පදවියේ රදගුරුතුමන් / පැවිදි නිකායේ ප්‍රාදේශාඨාධිපති  පියතුමන් පවරන වැඩකොටසක් හෝ වගකීමක් ලැබෙන අතර එය ඉටුකිරීම වෙනුවෙන් සියළු පූජකවරුන් බැඳී සිටිනවා. සාමාන්‍යයෙන් උපරිමය වසර 05කට යටත්ව, ඒ ඒ වගකීම් පැවරෙන අතර, රදගුරුතුමන් / ප්‍රාදේශාධිපති පියතුමන් පවසන ඕනෑම අවස්ථාවක වෙනත් වගකීමක් වෙත මාරුවීමටද සිදුවනවා.

මෙහිදී පූජකතුමන්ලාට පුද්ගලික ධනය / දේපළ රැස්කීරීමට අවසර නොලැබෙන අතර, ඒවා සියල්ල රදගුරුතුමන් / ප්‍රාදේශාධිපති පියතුමන් යටතේ පවතිනවා.

5 - ගිහි ජනතාව බලවත් වීම. Empowering the Laity.

1962 වසරේ සිට 1965.12.08 එනම් අද වැනි දිනක් දක්වා පුරා වසර 03 ක කාලසීමාවක් තුළ, 23 වෙනි ජුවාම් පාප්වහන්සේ සහ පසුව 6වන පාවුළු පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දෙවන වතිකානු මන්ත්‍රණ සභාව (මෙය බොදුනුවන්ගේ ධර්ම සංගායනාවක් හා සමානයි) හේතුකොටගෙන, කතෝලික සභාවේ එතෙක් පැවති රාජකීය , අදිකාරී හා සංකීර්ණ , වත්පිළිවෙත් හා පාලන ක්‍රමයන් වෙනුවට සරල, සාමාන්‍ය හා ජනතාවට සමීප, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් හා පාලන ක්‍රමයක් ඇතිවීම ආරම්භ වුණා. මීසම් සභා ඇතිවීම මගින් , ගිහි ජනතාව මීසමේ පාලන කටයුතු වලට සෘජුවම සම්බන්ධවීම සිදුවූ අතර , ක්‍රම ක්‍රමයෙන් විවිධ සමිති සමාගම් හා සංවිධාන ද ගිහියන් මූලික කරගනිමින් ඇරඹීමත් සමග, වර්තමානය වන විට පාප්වහන්සේට පවා අභියෝග කිරීමට තරම් ශක්තිමත් ගිහියන් සහ කණ්ඩායම් කතෝලික සභාව තුළ නිර්මාණය වී ඇත.

සියල්ලට එහෙයි, එහෙයි කියන පසුගාමී, වහල් සමාජක්‍රමයෙන් මිදී, විචාරශීලී , තාර්කික ගිහි සමාජයක් කතෝලික සභාව තුළ නිර්මාණය වී තිබීම නිසා, කතෝලික පූජකවරුන්ට රාමුවෙන් පිට පැනීමට ඇති අවස්ථා බොහොමයක් ඇහිරී ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ , විශේෂයෙන්ම පදවි පූජක සහ එයිනුත් කොළඹ , හලාවත, මන්නාරම යන පදවි තුළ මෙම රාජකීය සහ ඒකාධිකාරී, අදිකාරී ගෝත්‍රික ලක්ෂණ අදටත් සුළු වශයෙන් දක්නට හා අසන්නට ලැබෙන අතර , ශු.ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ වර්තමාන රැඩිකල් හා ප්‍රගතිශීලී තීන්දු , තීරණ නිසාවෙන් එම සම්ප්‍රදායික ඒකාධිපති , රාජකීය කදවුර , සීඝ්‍රයෙන් හායනය වෙමින් පවතී. එමෙන්ම 2023 පැවැත්වීමට නියමිත SYNOD ලෝක රදගුරු සමුළුව මගින්ද "ගිහි මූලික සභාවක්" නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමුව තිබීම මගිනුත් , ඉදිරියේදී මීටත් වඩා ගිහි ජනතාව සක්‍රීයව සභා ක්‍රියාදාමයන් ට මැදිහත්වීම් කරනු ඇත.

පාස්කු ඉරුදින සිදුවීමේදී ද  , එම සම්ප්‍රදායික කදවුර විසින් ගනු ලැබූ අදූරදර්ශී , දේශපාලනික තීන්දු තීරණ වලට අභියෝග කළ, ගිහි මූලික සිවිල් සංවිධාන අද වන විට , එම ඒකාධිකාරය පරාජයකරමින් , පාප්වහන්සේ සහ ලෝක නායකයින් දක්වා අරගලය ශක්තිමත්ව රැගෙන යාමට සමත්වී ඇත.

6 - සක්‍රමේන්තු සහ සාංගික ජීවිතය. Sacramental & Community Life

සක්‍රමේන්තු ලබාගැනීම කතෝලිකයන් ශුද්ධවූ දෙයක් ලෙස සලකනු ලබයි.

*ප්‍රසාද ස්නාපනය.

*පාපොච්චාරණය.

*දිව්‍ය සප්‍රසාදය.

*අභිවෘද්ධි ආලේපය.

*පූජකවරය.

*ආශිර්වාදකාර බන්ධනය.(විවාහය)

*රෝගීන්ගේ ආලේපය.

ලෙස සක්‍රමේන්තු හතක් පිළිබඳව කතෝලික සභාව විසින් අපට උගන්වයි.

සාමාන්‍යයෙන් කතෝලික පූජකතුමෙක් දිනපතාම දිව්‍ය පූජාවක් පැවැත්වීම හෝ දිව්‍ය පූජාවකට සහභාගීවීම සිදුකරයි. දිව්‍ය පූජාව තුළදී පූජකවර පොරොන්දු නැවත සිහිපත් කිරීම හා මෙනෙහි කිරීමත්, දිව්‍ය සප්‍රසාද සක්‍රමේන්තුව ලබාගැනීමත් මගින් , දෛනිකව සක්‍රමේන්තු ජීවිතය ශුද්ධ ලෙස ගතකිරීමටත්, අශුද්ධ හා වැරදි දෙයින් ඈත් වීමටත් මගපාදයි.

එමෙන්ම කතෝලික පූජකතුමෙකු සෑමවිටම සංගයක් නියෝජනය කරන බැවින්, තනි තීන්දු තීරණ වෙනුවට, සංගයත් සමග සාකච්ඡාකොට සාමූහිකව තීරණ වලට එළඹීමටත් , හුදෙකලා නොවී සංගයක් සමග ජීවත් වීමටත් ඔහුට අවකාශ සැලසේ.

මෙතරම් අධ්‍යාපනයක් , පෝෂණයක් හා පුහුණුවීමක් ලැබුවමත්, මෙවැනි වටපිටාවක් යටතේ ගොඩනැගුනමත් , කෙනෙකුට හිතෙන්න පුළුවන් , කතෝලික සභාවෙ සුදු ලෝගු ඇඳගෙන ඉන්න ඔක්කොම ශුද්ධවන්තයින් කියලා. නෑ එහෙම වෙන්නෙ නෑ , ඒ අයත් මිනිසුන් 😊,

කාලෙන් කාලෙට පරීක්ෂා වලට ලක්වෙන, ලෞකික වස්තූන් ගේ ගොදුරු බවට පත්වෙන, විනය විරෝධී කටයුතු සිදුකරන , රදගුරුතුමන්ට හා ශ්‍රේෂ්ඨ පියතුමන්ලට අකීකරුවන පූජකවරුන්ව මේ අතරින් ඕනෙ තරම් අපිට වාර්තා වෙනවා. හැබැයි කතෝලික සභා යාන්ත්‍රණය ඇතුලෙ ඒ අයට සැඟව සිටීමට හෝ දිගු කලක් එලෙස පැවතීමට අවකාශ ලැබෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් පූජකවරයෙක් සම්බන්ධයෙන්  එවැනි විනය විරෝධී හෝ අකටයුතු දෙයක් වාර්තා වූ පසු , රදගුරුතුමන් / ප්‍රාදේශාධිපති  පියතුමන් විසින් චෝදනා පත්‍රයක් සකස්කරනු ලබයි. අනතුරුව එම චෝදනාවන්ගේ ස්වභාවය හා බරපතළතාව මත, පරීක්ෂණයක් සිදුකරන තුරු වහාම අදාළ පූජකවරයාගේ, පූජක භාවය තාවකාලිකව අත්හිටවනු ලබයි. (Suspension of Faculty).

පසුව රදගුරුතුමා / ප්‍රාදේශාධිපති පියතුමන් මෙම චෝදනා පත්‍රය , පරීක්ෂණ සිදු කිරීම සඳහා විනය කමිටුවකට යොමුකරන අතර, එම කමිටුවේ සභා නීතිය සම්බන්ධයෙන් විශාරද (Canon Law) පියතුමෙකු මගින්, සභා නීතිය උල්ලංඝනය කර ඇති ද යන්න සලකා බලයි. ඒවා සැලකිල්ලට ගෙන අදාළ කමිටුව විසින් , චෝදනා පත්‍රය පිළිබඳව රදගුරුතුමන්ට / ප්‍රාදේශාධිපති පියතුමන්ට නිර්දේශ ලබාදෙන අතර , ඔවුන් ඒ අනුව නියමිත දඬුවම් නිශ්චය කරනු ලබයි.

වරදේ ස්වභාවය මත ,

පූර්ණකාලීනව පූජකවරයෙන් ඉවත් කිරීම , පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම , මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම , දුෂ්කර සේවාවන්වලට යොමුකිරීම , බලතල සීමා කිරීම..etc, වැනි දඬුවම් ඔවුන්ට නියම කරයි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ මගින් තමන්ට අසාධාරණයක් සිදුවූ බවට , පූජකතුමෙකුට හැඟී ගියහොත් ,  සභා නීතිය උපුටා දක්වමින් රදගුරුතුමාව අභියෝගයට ලක් කිරීමට හා අභියාචනයක් ඉදිරිපත් කිරීමට , එම පියතුමාට අවස්ථාව පවතී.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ නිර්මාතෘ. ගරු.තිස්ස බාලසූරිය පියතුමන්ට කොළඹ අගරදගුරු හිමිපාණන් චෝදනා එල්ල කළ අවස්ථාවේ , ගරු.තිස්ස බාලසූරිය පියතුමන් අගරදගුරු හිමිපාණන් ව අභියෝගයට ලක් කිරීමේ සිද්ධිය මීට කදිම නිදසුනකි.

තවද , ගරු.පූජකතුමෙකු රටේ පවතින සිවිල් නීතිය උල්ලංඝනය කළහොත් , එම නීතිය යටතේ ප්‍රථමයෙන්ම දඬුවමට ලක්කරන අතර, පසුව සභා නීතිය යටතේ ද දඬුවම් හිමි වේ .

-ශෙහාන් මාලක ගමගේ-

08.12.2021