එදා ගිය තලවිල වන්දනා ගමන

එදා ගිය තලවිල වන්දනා ගමන

අද අප තලවිල වන්දනාවේ යන ගමනත් මීට දෙසිය වසරකට පෙර අප ආදිවරයින් ගිය වන්දනා ගමනත් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව නම් නොරහසකි. මෙය සැම අතින්ම එසේමය. ගමන් ගත් වටපිටාව, ගමන් ගිය වාහනය මෙන්ම වන්දනාකරුවන් ගේ ශ්‍රද්ධාව ද අද එදා මෙන් නොවේ. එදා අප ගියේ වන්දනා ගමනකි. අද බොහෝ අයට එය විනෝද චාරිකාවකි. මේ අනුව බලන කල සියල්ලේ වෙනස සක්සුදක් සේ පැහැදිලි ය.

මීට පනස් වසරකට පෙර වුවද තලවිල හෝ වෙන යම් දුර වන්දනා ගමනක් වුවද, අප ආරම්භ කළේ පළමුව කණ්ඩායමක් වශයෙන් ගමේ දෙව් මැඳුරට ගොස් ඉටිපහන් දල්වා යාච්ඥා කොට ය. පෙරළා ගමට පැමිණි විටද ගමේ දෙව්මැඳුරට ගොස් සුළුවෙන් හෝ ආදිවරයෝ තුති පිදුහ. මීට වසර දෙසියයකට පෙර කොළඹ සිට තලවිල ගිය ගමනක විස්තරයක් මෙසේ සඳහන් වී තිබේ. කොළඹ පිටකොටුවෙන් ගමන් ආරම්භ කරන මේ පිරිස පළමුවෙන් මීගමුව ඉලක්ක කොටගෙන ගම් නියම්ගම් රැසක් හරහා මීගමුවට පැමිණෙති. දෙපස ගැමි ගෙවල් සහ වතුපිටි ද පිහිටියේ ය. මෙසේ කොළඹ දිසාවේ "කඩවතට" පැමිණ එහි රේන්ද බදු කුටියට ගොස් බදු ගෙවා ඉන් ඉතා සුළු දුරක පිහිටි "නාගලගම්" ගමට පිවිසෙන්නෝය. මෙය විශාල ජනකායක් විසු සශ්‍රීක වෙළෙද පොළක් වුයේ එය කොළඹ නගරයත් ගැමි පෙදෙසුත් අතර පිහිටි දොර කපොල්ලක් වු නිසාය.

මෙතැනින් කැළණි ගඟ හරහා එතෙර වන්නට සිදුවන්නේය. මේ සඳහා එකල විශාල පාරු සේවාවක් විය. මෙහි අශ්වයින් සිව් දෙනකු බඳිනා ලද කරත්තයක් වුවද එකවර ගෙන යෑමේ හැකියාව ඇති පාරුවක් තිබුණ බව සටහන් වේ. (Description of Ceylon - Rev.James Cordine, London 1807 Vol:P 347) මෙම තොටුපොළ අද "ග්‍රෑන්ඩ් පාස්" හෙවත් තොටළඟ නමින් හැදින්වේ.

මෙතැනින් වත්තලට එගොඩ වන වන්දනා පිරිස ජා-ඇල දක්වා ගමන් කරන්නේ සරු සාර පොල් වතු යායක් මැදින් ය. ඒ අතර විශාල ගස් කොළන් අතු පතර ද රැසක් විය. එසේම බහුල ජනගහනයක් මෙන්ම උළු සෙවිලි කළ විශාල ගෙවල් රැසක්ද මෙහි ඉදි කැර තිබුණි. තැනින් තැන ගෙවල් වටා සුදු පැහැ ඇති තාප්පද විය. එසේ වැඩියක් ම දකින්නට ලැබුණේ ක්‍රීඩා කරමින් දුව-පැන සිටි ළමා කණ්ඩායම් ය. ඔහුන් ඒ වතු යායයන්හි කෙළි සෙල්ලමෙහි යෙදි නිදැල්ලේ සතුටු වෙමින් සිටි ආකාරය ඉතා සිත් ගන්නා සුලු විය.

ඕලන්දයින් විසින් ඉදිකරන ලද විශාල තානායමක් ජා-ඇල පිහිටියේ ය. එය එකල ආදායම් බදු අයකරුගේ නිල නිවෙස විය  ජා-ඇලෙන් එගොඩ වුයේ විශාල පහුරකින්ය. එතැන් සිට මීගමුව දක්වා සමතලා මහා මාවතක් දිගේ පහසුවෙන් ගමන් කළ හැකිව තිබුණි. මඟ දෙපස වුයේ පොල් වගා කළ වතු මෙන්ම ගස් කොළන් පිරුණු පෙදෙස් ය. ජා-ඇල සිට මහ ඔය දක්වා වු පෙදෙස් ඉතා සෞන්දර්ය වුහ.

මහ ඔයෙන් එගොඩ වුයේ පාරු, පාරුවලින් ය. එතැන් සිට මාරවිල දක්වා ගම් කිහිපයක් මැදින් ගමන් ගත් වන්දනා කරුවන් දුටුවේ වැඩියක්ම සත්ව ගොවිපොළවල් ය. ගවයන් ඇති කිරිමේ විශේෂයක් එහි දකින්නට ලැබිණි. එවකට මාරවිල විශාල ග්‍රාමයක් විය. මුහුදෙන් මයිල බාගයක් පමණ දුරින් පිහිටි මේ ග්‍රාමයේ ජනප්‍රිය අම්බලමක් පිහිටා තිබුණි. කලක් යන තුරු "අම්බලම පාර" නමින් හැදුන්වුණු මාවතට යාව මෙය පිහිටා තිබුණේ පළලට කපන ලද ඇළක් අසළය. මෙම ඇළ බොහෝ දුරට වියළී ගොස් තිබු හෙයින් බූටෑව සරුවට වැඩී තිබුණේ ය. මාරවිල ජනාවාස පෙදෙසත් මාදම්පේ ඝන වනාන්ට්ගරයත් වෙන් වී තිබුණේ මෙම ඇළ මාර්ගය මායිම් කොට ගෙනයි. මෙතැන් සිට ඉදිරියට ගමන් ගත් මැඟියනට වන සතුන් ගේ ඝෝරනාදය ඇසෙන්නට විය. මාරවිල සිට මාදම්පේ දක්වා වු මාර්ගය ඝන වනාන්තරයක් මැදින් විය. මෙහි අලි,ඇතුන්, වලසුන්,දිවියන් වැනි සතුන් රැසක් වුහ. මේ හේතුවෙන් හලාවත දක්වා ගමන් මඟ මුහුදු වෙරළ අද්දරින්ම සකස් වී තිබුණී. මෙයට "ලංසි පාර" යැයිද කියනු ලැබේ. අද දක්වා මේ පැරණී මාර්ගය දකින්නට තිබේ. දැන් එහි කොටස් බොහෝමයක් ප්‍රතිසංස්කරණය වී ඇත.

සලාපුර හෙවත් හලාවත පසු කළ ඉක්බිති දැදුරු ඔය තරණය කරන්නට සිදු විය. "ඒ කාරිය සඳහාම එහි යාත්‍රාවක් පිළියෙළකොට තිබුණු" බව වාර්තා වේ. දැදුරු ඔයෙන් එගොඩට වන්දනාකරුවෝ යළිත් මුහුදු බඩින් වෙරළ දිගේ කරුක්කුපොන්, උඩප්පුව, ආඬිකුනේ, කන්දතොඩුවාව, සිමන්තොඩුවාව, කුරවන්කුඩිල්, නාවට්කඩු හරහා පාලක්කුඩාවට පැමිණියහ. මේ මුළු ගමන් මඟ ම ඉතා බියකරු සහිත විය. ඊට හේතු වුයේ මාර්ගයට නැඟෙනහිර පෙදෙසේ පිහිටි වන සතුන් සුලබ වනාන්තරයයි. ඒ අතර දහවල් කාලයේ මුහුදු වෙරළ බඩ පිහිටි වැල්ල අධික ලෙස රත් වී ඇතිවන උග්‍ර තාපය නිසා පා ගමන අපහසු විය. බොහෝ විට ඔවුන් ගමන් කළේ අලුයම් කාලයේ දී හෝ මධ්‍යාහ්නයෙන් කලක් ගත වු පසුවය. පානය හෙවත් බීමට සුදුසු වතුර හිඟවීම බරපතල අපහසුවක්ම විය. ආහාර පාන සපයන අවන් හල් අද මෙන් එහි නොවීය. එසේම බඩු බාහිරාදිය ගෙන යාම සඳහා කරත්තයකටවත් මෙම මාර්ගයන්හි ගමන් කළ නොහැකි විය. මේ හේතුවෙන් පැවැත්මට අවශ්‍ය සියලු දේ කද බැඳ රැගෙන යා යුතුව තිබුණි. මෙසේ පා ගමනින් වන්දනාවේ ගිය පිරිසට වන ගත වී රැයක් දෙකක් ගත කරන්නට සිදු විය.

සුදුසු තැනක් මේ සඳහා තෝරාගත් පිරිස පළමුවෙන් ගිනි මැලයක් ගසා ගෙන, එය වටා රැස් වුයේ වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහාය. රෑ ගත වන තුරු එය වටා රැස් වී සිටි අතර කාලය ගෙවීම සඳහා කතාන්දර කීවෝ ය. ඔහුන් අනුන් ගැන ඕපාදුප කීම වෙනුවට නොලියැවුණු කතෝලික ඉතිහාස කතා එකිනෙකාට කියා දුන්නෝය. කොච්චිකඩේ දෙව්මැඳුර ඉදිකළ අන්තෝනි කොච්චියාල් පියතුමන්, සන්තුම්පිටියේ ශු. තෝමස් මුනිඳුන්, කැළණි මෙරායාණන්, වලෙන්ති ගුරුන්නාන්සේ, කුරුස කකුළුව ආදී පැරණි කන්කලු කතාන්දර ඔහුන් කියාදුන් එවා අතර විය. අතර මඟ වු සැම දෙව්මැඳුරකටම ගොඩනැගී අවසාන කොට තලවිල පුද බිමට පැමිණි මොහු කළ පළමු ක්‍රියාව සාන්ත ආනා මුනිවරියගේ ප්‍රතිමාව අභියසට පැමිණ තුති පුදා ඉටි පහන් දැල්වීමයි.

දසනව වැනි සත වසරේ මැද බාගය දක්වාත් මහ ඔය, දැදුරු ඔය, බත්තුලු ඔය ආදිය හරහා පාලම් ඉදිවී නොතිබුණි. කැලණි ගඟ හරහාද පිහිටියේ පාරු පාලමකි. එහෙත් මහා මාර්ග ප්‍රමාණයක් දියුණු වී තිබුණේය. පසු කාලයේ කොළඹ සිට මීගමුව දක්වා කරත්තවල ගමන් කළ වන්දනාකරුවෝ වෙරළ මාර්ග අත් හැර මෙතැන් සිට ගමන් කලෝ, නැඟෙනහිර දෙසින් වු කරත්ත ගමන් මඟ (කරත්ත පාර) දිගේය. එය හාල්ඳඩුවන, නාත්තන්ඩිය සහ වලහපිටිය හරහා ඇළ දිගේ ගොස් කඳුපිටි ඔය පාලම හරහා මාදම්පෙන් හලාවතට පිවිස ඇත. එතැන් සිට අද පවතින මහා මාර්ගය (එවකට සුළු ප්‍රමාණයෙන්) දිගේ පුත්තලම බලාගිය වන්දනාකරුවන් අතුරින් සමහරෙක් බත්තුලු ඔයේ සිට උඩප්පුවට ගොස් වෙරළ දිගේ තලවිල දක්වා පා ගමනේ යෙදුණු අතර තවත් සමහරු පුත්තලමෙන් ඔරුවල නැගී ඒතාලෙට එගොඩ වුහ. එතැන් සිට පයින් ගමන් කළහ.

එහෙත් මේ කාලය තුළ ඒ මයිල දෙක පමණ ප්‍රමාණය ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්‍යක් වුනේ එය පුලින තලාවක් වු නිසා ය. වැල්ල රත්වීම හේතුවෙන් පා ගමන අතිශයින් දුෂ්කර විය. මේ සඳහා එහි ගම් වැසියෝ තිරික්කල කරත්ත ධාවනයක් ආරම්භ කැර තිබුණි. තමන් ගේ බඩු බාහිරාදිය මෙන්ම වයස් ගත හෝ රෝගී වු පිරිස ඒවායේ නංවා යැවු අතර ළමයින් ඇතුළු සෙසු පිරිස් ගසෙන් ගසට තිබු සෙවන සොයා තට්ටු පනින ආකාරයට දිව ගියෝය. මේ අතර තුර කලෙක මීගමුවෙන්ද වඩාත්, කොළඹ මෝදර සිට ද, තලවිල වන්දනාකරුවෝ මුහුදෙන් ගමන් කළෝය. ඔහුන් තම ධීවර යාත්‍රාවන් උපයෝගී කැරගෙන මීගමුවෙන් සහ මෝදරින් දියත් කොට උතුරු දෙස බලා වෙරළට නුදුරින් තලවිල දක්වා යාත්‍රා කළෝය. මෙයින් බොහෝ දෙනා ගොඩ බැස ඇත්තේ ඒතාලෙන් ය. එතැන් සිට ඔහුන් ගොඩබිමෙන් ගමන් කර ඇත.

ක්‍රි.ව. 1926 දී පුත්තලම් දුම්රිය මාර්ගය විවෘත කරන ලදි. එදා සිට ගමන කඩිනම් විය. බොහෝ දෙනා පාලාවියෙන් බැස කල්පිටි පාරේ බසයකින් හෝ වෙනත් වාහනයකින් ගමන් කොට ඒතාලෙට හෝ පාලක්කුඩාවට හෝ පැමිණියහ. දුම්රියෙන් ගිය සමහරු පුත්තලමේ සිට ඔරුවලින් කළපුව හරහා ගමන් කළෝය. එතැන් සිට තලවිල දක්වා වු ගමන මෑතක් වන තුරුම අති දුෂ්කර විය.

කල්පිටි අර්ධද්වීපයේ ව්‍යාපාරිකයෝ මෙම දුෂ්කරතාව තමන්ගේ අයුතු ප්‍රයෝජනයට හරවා ගනිමින් මෙම සුළු දුර ප්‍රමාණය සඳහා ඉතා අසාධාරණ කුලි අයකරන්නට වුහ. යන්තමින් දෙදෙනෙකුට ගමන් කල හැකි  අබලන් වු එම තිරික්කලයකට එක් ගමනක් සඳහා රුපියල් පහක් අය කරන ලදි. (අද මුදලින් රු.5000ක් පමණ වන්නේය.) මෙයට පිළියම් වශයෙන් එවකට හලාවත රදගුරු තැන්පත්ව සිටි අතිඋතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණෝ එඩිතර පියවරක් ගත් හ. දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවුවත් සමඟම වියදම නොබලා යුද්ධයට පාවිච්චි කරන ලද විශාල ජීප් රථ දසයක් එතුමෝ මිලදි ලබා ගත් හ. මේ සඳහා මොරටුවේ දානපති මහතකු විශාල ලෙස ආධාර කැර ඇත. රෝද හය, දහය, සවි කරන ලද මෙම ජීප් රථ වලින් ක්‍රි.ව. 1947 මාර්තු මාසයේ සිට ඒ අන්තිම මයිල දෙක තුළ වන්දනාකරුවන් එම රථ වලින් ප්‍රවාහනය කරන ලදි.

මෙය තාවකාලික විසඳුමක් ම බව හොඳින් දැන සිටි රදගුරු හිමිපාණෝ ආදියේ (ක්‍රි.ව. 1876) සිට ක්‍රියාත්මක නොවු ඉල්ලීමක් යළි රජයට ඉදිරිපත් කරමින් මේ කොටසේ පාර ඉදිකැර දෙන ලෙස ඉල්ලා සිටියෝය. මෙම ඉල්ලීම පෞද්ගලිකව යොමු කරන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් වෙතයි. එවකට අග්‍රාමාත්‍යව සිටි එතුමා මෙම කාර්‍ය වහාමට ඉටුකැර දෙන පිණිස ශ්‍රීමත් ජෝන් කොතලාවල, එවකට මහා මාර්ග ඇමතිතුමන් වෙත පැවරුවේ ය. විගස ක්‍රියාත්මක වු ශ්‍රීමත් ජෝන් කොතලාවල ඇමති තුමා ධීවර අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව මෙම මාර්ගය ඉදිකොට ක්‍රි.ව. 1950 ජුනි මස 24 වැනිදා ජනතා අයිතියට පැවරුවේය. මේ පහසුකම් මැද ආරම්භයේ දී බර කරත්තෙන් තෙදිනකට වැඩි කාලයක් ගතවු පුත්තලම් ගමන ගව කෝචයෙන් පැය දහයකට පමණ කෙටි විය. එය අශ්ව කරත්තයෙන් පැය පහක් දක්වා සීමා වී අද තලවිල දක්වා ම පැය තුනක් හෝ හතරක් දක්වා කෙටි වී තිබේ. එහෙත් අවාසනාව වනුයේ කාලය සීමා වීමත් සමඟ "තාලයත්" සීමා වී තිබිමයි. එදා ඒ දුෂ්කරතා මැද විශ්වාසයත් භක්තියත් පෙරදැරිව ක්‍රියා කළ වන්දනාකරුවෝ ධර්ම විනය ගරුත්වයෙන් සැමවිට ක්‍රියාකාරී වුහ. අද එවැන්නක් දැක ගත හැක්කේද? තලවිල පමණක් නොව සෑම වන්දනා ස්ථානයක් පිළිබඳවම කිව යුත්තේ මෙයමැයි. එහෙත් සියල්ලෝ එසේ නොවෙති. වරදට හැසිරෙන්නෝ ස්වල්ප වෙති. සියල්ලෝ මේ ස්ථානවල ශෝභන, දැහැමි ගුණයෙන් හැසිර මහත් අනුසස් ලබා ගන්නට වෙර දරත් නම් එය සැමටම කොපමණ මහිමයක් වන්නේද?

(මෙම ලිපිය සඳහා අති උතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන්ගේ "St.Anne of Talawila"  ජේකබ් හාෆ්නර්ගේ "Travels on Foot Through the Island of Ceylon" සහ සී.එෆ්. අභය ගුණතිලක ගේ "සන්තානා වන්දනා ගමන" යන ග්‍රන්ථයන් ඇසුරෙන් දත්ත ලබා ගත් බව කෘතඥ පුර්වකව සඳහන් කරමි.)

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ