පාප් වහන්සේ නමක් පත් කරගන්නේ මෙහෙමයි

පාප් වහන්සේ නමක් පත් කරගන්නේ මෙහෙමයි

එදා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පේදුරු නුඹ පර්වතයක්‍ ය. මේ පර්වතය මත මාගේ සභාව ගොඩනගන්නෙමි යැයි පවසමින් ශුද්ධවු සභාවේ මුල් ශුද්ධෝත්තම පියතුමා පත්කල සේක. එතැන් සිට පැවත ආ සසුන් පරපුරේ වත් අතිඋතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් 266 වැනි සසුනිසුරාණන් වේ. සසුන් පිළිවෙතට අනුව ශුද්ධෝත්තම පියතුමෙකු සඟසුව දිනීමෙන් හෝ ඉසිඹු ලැබීමෙන් පසු දින 15 ක් ඇතුළත නව නායකයාණන් තෝරා පත්කර ගත යුතුය.

මේ තෝරා පත්කර ගැනීම හුදු පුද්ගලික මති මතාන්තර හෝ දේශපාලන බලපෑම් හෝ මනාප පොරයන් ලෙස අර්ථ දැක්විය නොහැකිය. ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ යැපෙමින් යැදුමෙන්, ධ්‍යානයෙන් අතිශයින් රහසිගතව, බාහිර ලෝකයෙන් මුළුමනින් වෙන්වී දේව හඬට අවනත වෙමින් සිදුකරන්නකි. එහෙත් අවාසනාවකට මෙන් සියල්ල වානිජකරණය වු මේ ලෝකයේ සසුන් පිය නිලවරණයද එවැන්නක් කර ගැනිමට බුකීකරුවන්, පැපරාසින්, ජනමාධ්‍ය ඇතුළු විවිධ අංශ වෑයම් කරනු දැකගත හැකිය. සසුන් පිය නිලවරණය කාලයෙන් කාලයට, යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවත ආවකි. මුල්ම යුගයේ දී සසුන් පියාටම තමන්ගේ අනුප්‍රාප්තිකයා එසේ නොවේනම් තමන්ගෙන් පසු පත්වන සසුන් පියා පත්කිරිමේ වරය තිබිණි. කාලයත් සමඟ ඇතිවු සමාජයීය ආර්ථික හා දේශපාලන වෙනස්කම් මත සසුන් පියා ජන්දයෙන් පත්කර ගැනිමේ ක්‍රමය ඇතිවිය.

වර්ෂ 1975 දී අතිඋත්තම සවැනි පාවුළු සසුන් පියා රොමානෝ පොන්ටිපිකෝ එළිගෙන්ඩෝන්(Romano Ponifico Eligendo) නම් අපෝස්තලික හසුන නිකුත් කරමින් සසුන් පිය නිලවරණය සඳහා නව නීතී රීති මාලාවක් ප්‍රකාශයට පත් කළේය. එම නීති රීති අතර වයස අවුරුදු 80ට වැඩි කාදිනල් හිමිපාණන්ට සසුන් පිය නිලවරණයකට සහභාගි වීමේ සහ ජන්දය පළකිරිමේ අවස්ථාව අහිමි කිරිම විශේෂ තැනක් ගත්තේය.

සසුන් පිය පදවියට කාදිනල් හිමිපාණන්ගේ ජන්දයෙන් පත්වීමේ අවකාශ ඇත්තේ කාදිනල් හිමිපාණන් නමකට පමණකැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් නීතිය පවතින්නේ ප්‍රසාද ස්නාපනය, පුජකවරය, රදගුරුවරය ලබාගැනිමට සුදානම් ඕනෑම කෙනෙකුව කාදිනල් හිමිපාණන්ට සිය ජන්දයෙන් පත්කරගත හැකිය. එසේම සසුනිසුරාණන් ලෙස පත්වන තැනැත්තා අනිවාර්යයෙන් සසුන් පිය නිළවරණයට සහභාගි විය යුතු බවටද නියමයක් නැත. එමෙන්ම සසුන් පිය නිළවරණයට සුදුසුකම් ලබන කාදිනල් හිමිපාණන් තෝරා ගැනෙන්නේ සසුන් පියා සඟසුව දිනු හෝ ඉසිඹු ලැබු දිනට වයස අවුරුදු 80 නොඉක්ම වු පදනම මත පිහිටාය.

සසුන් පිය නිලවරණයේ රහස්‍ය භාවය සුරැකීම එදා මෙන් අදත් මුල්තැන්හිලා සැලකේ. අදාල කාල සිමාවේදි බාහිර ලෝකයෙන් මුළුමනින් ඈතව, කිසිදු ලෞකික, දේශපාලනික, මුල්‍ය හෝ රාජ්‍ය බලපෑම් වලින් වියුක්තව ස්වාධීනව, යැදුමෙන්, ධ්‍යානයට සමවැදී කටයුතු කිරීම සුවිශේෂී ලක්ෂණයකී. ලිපි හුවමාරුව, පුවත්පත්, දුරකථන ජංගම දුරකථන, රූපවාහිනී, ඊමේල්, පැක්ස්,  අන්තර්ජාලය ඇතුළු කිසිදු ලෞකික දෑ භාවිතයෙන් වියුක්තව කටයුතු කිරීමට නියමවී තිබේ.

ඉපැරැණි සිස්ටයින් දෙව්මැදුරේ සුප්‍රකට මයිකල් ආන්ජලෝගේ ලෝකය නිරූපණය වන චිත්‍ර දෙක මැදිකරගෙන කාදිනල් හිමිපාණන් රැස්වීම සිරිත විය. අතීතයේ සසුන් පිය නිලවරණය පැවැත්වෙන කාල සීමාවේදී කාදිනල් හිමිපාණන් නවාතැන් ගත්තේ අපෝස්තලික මන්දිරයේය. එහෙත් එම ස්ථානය කාර්‍යල සහ රැස්වීම් ආදියට නිමවන ලද්දක් මිස නවාතැන් සඳහා සැකසුවක් නොවුහෙයින් නවාතැන් ගැනීමට පහසුකම් නොවීය. කෙසේ වෙතත් මේ තත්ත්වය වෙත අවධානය යොමුකළ අතිඋතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා 1996 දී නිකුත්කළ අපෝස්තලික හසුන මඟින් මේ කාර්‍යයට "දෝමුස් සාන්ක්තේ මාර්තේ" (Domus Sanctae Marthae) නම්වු පූජක තුමන්ගේ නවාතැනක් වෙන් කර දෙන ලදී. කාමර 130 කින් පමණ සමන්විත මේ ගොඩනැගිල්ල යැදුමට හා භාවනාවට රුකුල් දෙන ස්ථානයකි.

සසුන් පිය නිළවරණයේ තොරතුරු පිටකිරිම හෝ හුවමාරු කර ගැනිම දේශපාලන බලයන්ට හෝ වෙනත් බලවේගවලට යටත්වීම. ජන්දය පිළිබඳව පූර්ව ගිවිසුම් වලට ඇතුළත් වීම ආදි කුමන හෝ කාරණාවකට වරදකරුවකු වන කාදිනල් හිමිපාණන් නමක සභාවෙන් නෙරපා හැරීම බඳු බරපතළ දඬුවම් වලට යටත්වීමට පවා සිදුවිය හැකිය. මිතුරුකම් හෝ සතුරුකම් මත, යම්කිසි පුද්ගලික හේතුන් මත, ජනමාධ්‍ය ඇතුලු විවිධ බලවේගවල බලපෑම් මත ජන්දය පාවිච්චි නොකරන ලෙසටද කාදිනල් හිමිපාණන්ට අවවාද කැර සිටී.

අතීතයේ යම් යම් කාලවකවානුවල දේවානුභාවයෙන් හෝ නම ප්‍රකාශ කිරිමෙන් සසුන් පිය පදවියට කෙනෙකු පත්කරගත හැකි වුවත් දැන් එය කළ හැකි වන්නේ ජන්දයෙන් පමණී. කාදිනල් හිමිපාණන්ගේ ජන්දයෙන් 2/3 කට වැඩි එක් ජන්දයක් ලැබෙනතෙක් සසුන් පිය නිළවරණය පැවැත්වේ.

සසුන් පිය නිළවරණය දින උදෑසන සාන්ත පීතර බැසිලිකාවේදි කාදිනල් හිමිපාණන් දිව්‍ය පුජා යාගයකට සහභාගි වේ. ඉන්පසු යාච්ඥා පෙරදැරිව අදාල ස්ථානය කරා සාන්ත සිතින් පියමං මනින කාදිනල් හිමිපාණන් ඇතුළු වු පසු අවසාන කාදිනල් හිමිපාණන් ඇතුළතින් අගුළු දමා දොර වසා දමනු ලැබේ. වතිකාන ආරක්ෂක බලකාය වෙනත් අයගේ කතාබහ පටිගත කරන හෝ බාහිර ස්ථානයක සිට සවන් දිය හැකි සංනිවේදන උපකරණ සඟවා තබා ඇතිදැයි සොයා ශාලාව පරීක්ෂාවට ලක් කරනුයේ රැස්වීමට පෙරාතුවමය.

එමෙන්ම එහි සේවක සේවිකාවන් විදුලි සෝපාන ක්‍රියාකරුවන්, රියැදුරන් ආදින් රහස්‍ය භාවය සුරකින බවට එකඟ කරවා ගැනේ. යම් රහසක් හෙළිවුවොත් තරාතිරම නොසලකා සභාවෙන් නෙරපා හරිනු ලබන තරමට දැඩි දඬුවම් ලබාදීමෙන්ම මේ කටයුත්තේදි සභාව රහස්‍ය භාවය සුරැකීම පිළිබඳව දරන ස්ථාවරය මැනවින් පැහැදිලිවේ.

සසුන් පිය නිලවරණය මෙහෙයවිම කාදිනල් සංසදයෙන් කාදිනල් හිමිපාණන් තෙනමක් අහඹු ලෙස තෝරාපත් කරගන්නා අතර එතුමන් හමුවේ නිළවරණය පැවැත්වේ. මේ සඳහා වන ජන්ද පත්‍රිකා ද විශේෂයෙන් සැලසුම් කර සකස් කරනු ලැබේ. එහි ලතින් බසින් මෙලෙස ලියා තිබේ. " Eligo in Summum Pontifican" යන්නෙන් අදහස් කරන්නේ පාප්තුමන්ගේ තනතුර සඳහා මම....... තෝරා ගන්නෙමි. යන්නයි. අතකුරින් තමන් තෝරා ගන්නා කාදිනල් හිමිපාණන්ගේ නම සටහන් කල පසු සිස්ටයින් දෙව්මැදුරේ අල්තායට මත තබා ඇති බඳුනට දමන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව එකිනෙකාය.

වර්ෂ 1621 දී අතිඋතුම් 15 වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් මේ රහස් ජන්ද ක්‍රමය හඳුන්වා දෙන ලදි. ජන්දය පාවිච්චි කිරිමේදී කාදිනල් හිමිපාණෝ සිය හෘදසාක්ෂියට මිස අන් කිසිදු සමාජ, ආර්ථික හෝ දේශපාලනික බලපෑම් වලට නතු නොවෙති. කාදිනල් හිමිපාණන් තිදෙනකු ජන්දය ගණින අතර තවත් හිමිපාණන් තිදෙනකු එම සං‍බ්‍යාව නිවැරැදි දැයි නැවත පරීක්ෂා කර බලති.
දිනකට අවස්ථා හතරකදි ජන්ද විමසුම පවත්වනු ලැබේ. පූර්වභාගයේ දෙවරක් සහ හා අපරභාගයේ දෙවරක් වශයෙනි. එහිදි එක් තැනැත්තකුට සහභාගිවන කාදිනල් හිමිපාණන්ගේ 2/3 ට එක් ජන්දයක් වැඩිපුර ලද වහාම එම ජන්ද පත්‍රිකා පුළුස්සා දමන අතර සිස්ටයින් දෙව්මැදුරේ දුම්කවුළුවෙන් සුදු පැහැති දුම් නැගේ නම් සසුන් පියතුමකු පත්වී ඇති බව හැඟවෙයි. මේ සඳහා පුළුස්සන ජන්ද පත්‍රිකා වලට විශේෂ රසායන ද්‍රව්‍යයක් යොදනු ලැබේ. යම් හෙයකින් සසුන් පියතුමෙකු තෝරා නොගත්තේනම් දුම්කවුළුවෙන් කළු පැහැති දුම් නිකුත්වේ.

කෙසේ වෙතත් අවුල් සහගත තත්ත්වයන් මතුවීම වැලැක්වීම සඳහා නව ශුද්ධෝත්තම පියතුමකු පත්වු වහාම වතිකානයේ සියලු සීනු නාද කිරිමට දැන් පියවර ගෙන තිබේ. මෙසේ තුනෙන් දෙකකට වැඩි ජන්ද සංබ්‍යාවකින් ශුද්ධෝත්තම පියතුමකු පත්කිරිමෙන් පසු කාදිනල් සංසදයේ ප්‍රධානියා එතුමන්ගෙන් මේ තනතුර බාර ගැනීමට සුදානම් බව ප්‍රකාශ වුවහෝත් සසුන් පිය ධුරයට යොදා ගන්නා නම කුමක්දැයි විමසා සිටී. ඒ අවස්ථාවේ අදාළ නම ප්‍රකාශ කල යුතුවේ.

නව ශුද්ධෝත්තම පාප් වහන්සේ නමක් පත්කර ගැනීම සදහා පැවැත්වෙන සසුන් පිය නිළවරණයට පෙර සසුන් පිය ඇඳුම් ආයිත්තම් ප්‍රමාණයන් තුනකට සුදානම් කර තැබීම සාමාන්‍ය සිරිතවේ. නව සසුන් පියාව විශේෂයෙන් සුදානම් කර ඇති කාමරයට රැගෙන ගොස් කාදිනල්වරයේ ඇඳුම් ආයිත්තම් වෙනුවට ශුද්ධෝත්තම පිය ධුරයේ නව ඇඟළුම් පළඳනු ලැබේ.

සසුන් පියා පළඳනා පැළඳීමෙන් පසු කාදිනල් සංසදය සිය සුබ පැතුම් පිරිනමන්නේ නව සසුන් පියා වැළඳ ගැනීමෙනී. මේ අතර කාදිනල් සංසදයේ ප්‍රධානියා සාන්ත පීතර චතුරස්‍රයේ රැස්ව සිටින ලක්ෂ සංබ්‍යාත ජනතාව අමතන්නට සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන බැල්කනියට යන අතර එහිදී පත් වු කාදිනල් හිමිපාණන්ගේ නම සමඟ එතුමා සසුන් පිය පදවියට තෝරාගත් නමක් ප්‍රකාශ කරන්නේ " Habemus Papum" යැයි ජනතා ඔල්වරසන් මධ්‍යයේ කියයි. ඉන්පසු නව ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල් හිමිපාණන් සමඟ බැල්කනියට පැමිණ කෙටි දෙසුමක් පවත්වා සිය අපෝස්තලික ආශිර්වාදය දානය කිරිමෙන් සසුන් පිය නිලවරණය නිමාවේ. ඉන්පසු සසුන් පිය පදවි ප්‍රාප්තිය සිදුවේ.

සටහන -  ශිරාන් මෛත්‍රි
Copyright :-  Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ