"කිරි ගල්ගුහාවේ මාතාවෝ" - Our Lady of the Milk Grotto"

"කිරි ගල්ගුහාවේ මාතාවෝ" - Our Lady of the Milk Grotto"

ශුද්ධවු දේශයේ වන්දනා ගමන්හී නිරත වන සියලු දෙනා අනිවාර්යෙන්ම බැහැදකින ස්ථානයක් ලෙස 'කිරි ගල් ගුහාවේ දේවමාතාවන්ගේ දේවස්ථානය' හැඳින්විය හැක. පලස්තීනයේ, බෙත්ලෙහෙමේ, ජේසු බිළිඳුන් උපන් ස්ථානයේ ගොඩනැඟී ඇති බැසිලිකාව ට (Basilica of Nativity) මීටර් 500ක් පමණ දුරින් මෙම දේවස්ථානය පිහිටා ඇත.

මා දන්නා පරිදි ලෝකයේ මෙම නමින් ඇති එකම දෙව්මැදුර මෙය වන අතර මෙම නාමය එම ස්ථානයට ලැබී ඇත්තේ මරිය මාතාවන්ගේ ජීවිතයේ සිදුවූ එක්තරා විශේෂ සිද්ධියක් නිසා බව සම්ප්‍රදාය තුළ ප්‍රචලිත ය.

ජේසු සමිදාණන් බෙත්ලෙහෙමේ උපත ලැබූ බව ගව් ගණනාවක් ඈත සිටිය ශාස්ත්‍රවන්තයින් තිදෙනා අහසේ පෑයු තරුවක් තුළින් දැනගත් බව ශු. මතෙව් සුවිශේෂය තුළ සඳහන් වේ. ඔවුන් එම දරුවා උපන් තැන කොහේද? යන වගතුග සොයා පැමිණෙන්නේ හෙරොද්ගේ මාලිගාවටය. (ශු. මතෙව් 2: 1-12).

එලෙස ශාස්ත්‍රවන්තයින් ගේ පැමිණීමත් සමග රජෙක් උපන් ව ඇති බව දැනගන්නා හෙරෝද් රජු, අලුත උපන් එම දරුවා ඝාතනය කරනු සඳහා බෙත්ලෙහෙම හා ඒ අවට සිටි අවුරුදු දෙකක් හා ඊට බාල සියළුම පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කර ඇති බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය. (ශු. මතෙව් 2:16-18).

මෙම ආරංචිය දැනගත් ශුද්ධවූ ජුසේ තුමා ජේසු බිළිඳාණන් හෙරොද්ගේ කඩු පහරෙන් බේරා ගැනීම සඳහා මිසරයට පලා යන්නට තීරණය කළේය. (ශු. මතෙව් 2 :13-15). එලෙස මිසරයට පලා යන අතරතුර දරුවාට කිරි ලබා දීමට නතර වූ තැන මෙම ගල් ගුහාවයි.

මෙම ගල් ගුහාවේ නැවතී මරිය මාතාවන් දරුවාට කිරි ලබා දෙන අතරතුර, හෙරොද්ගේ හේවායන් ළඟ ළඟම එන බව ආරංචි වූ විට ඇතිවූ තිගැස්ම නිසා මරිය මාතාවන්ගේ පියයුරුවලින් මව්කිරි ඉහිරී ගිය බවත්, එම මව්කිරි බිම පතිත වූ බවත්, මෙම ස්ථානය හා බැඳුනු කතා පුවත තුළ ප්‍රකාශ වේ.

මරියාවන්ගේ එම මව්කිරි බිම පතිත වීමත් සමගම මුළු ගල්ගුහාව ම සුදු පාට වර්ණයෙන් වර්ණවත් වී ඇත. අදටත් එම ස්ථානයට ගිය විට අප දකින්නේ සුදු පාට වර්ණයෙන් යුත් ගල් ගුහාවක්ය. මෙම සිද්ධිය නිසා එම ස්ථානය "මරිය මාතාවන්ගේ කිරි ගල් ගුහාව" ලෙස නම් කෙරුණි.

හතර වන ශත වර්ෂයේ පටන් මෙම ස්ථානය ශුද්ධවත් ස්ථානයක් බවට පතල විය. ජුදා, කතෝලික, කිතුනු, හා මුස්ලිම් ජාතික මව්වරුන් මෙම ස්ථානයට එම කාලයේ පටන්ම එන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් බොහෝදෙනා තම ජීවිතයේ විශේෂ ප්‍රාතිහාර්යයන් අත්දැක ඇත.

විශේෂයෙන්ම සමහරක් මව්වරුන්ට දරුවන් බිහි කළ පසු තම දරුවන්ට දීමට ඇති තරම් මව්කිරි තම පියයුරුවල එරෙන්නේ නැති විට, මෙම ස්ථානයට ගොස් මරිය මාතාවන්ට කියූ පසු එම මව්වරුන්ගේ පියයුරු මව් කිරිවලින් පිරී ඉතිරී ගොස් ඇති බව කියවේ.

එසේම දරුවන් නැති බොහෝ දෙනෙක් මෙතැනට විත් බාරහාර වීමෙන් පසුව එම සොහොයුරියන්ට දරුවන් ලැබී ඇති බවට සාක්ෂි එමට ඇත. එලෙස දරුවන් ලැබූ එම මවුවරුන්ගේ සාක්ෂි දරුවන්ගේ පින්තූර ද සමග දහස් ගණනින් එම ස්ථානයට ගිය විට අපට දැක ගත හැක. සිහල හා දමිළ භාෂාවෙන් ද ලියැවුණු ස්තුති කිරීම් මාගේ දෑසින් ම මා දැක ඇත.

එසේම පියයුරු සම්බන්ධයෙන් මතුවන යම් යම් ආබාධ වලදීද, මෙම ස්ථානයට පැමිණ බාරහාර වන සොහොයුරියන්, තමන් ලැබූ සුවය පිළිබඳව ද සාක්ෂි එමට ඇත.

එබැවින් මෙම ශුද්ධ වූ ස්ථානයේ පළමු දෙව්මැදුර ගොඩනැඟී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 385 දී තරමය. 7 වන ශත වර්ෂයේ පටන් මෙම කිරි ගල් ගුහාවේ යම් යම් කොටස් ශුද්ධවූ වස්තූන් ලෙස සලකා යුරෝපයේ සමහර රටවලට ගෙන ගොස් ඇත. ක්‍රිස්තු වර්ෂ 1375 දී එකොළොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් මෙම ස්ථානය 'ශුද්ධවූ ස්ථානයක්' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.

ක්‍රිස්තු වර්ෂ 1872 දී ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් විසින් නව දෙව්මැදුරක් මෙම ස්ථානයේ ගොඩනැගූ අතර දැනටත් එම ස්ථානය භාරව සිටින්නේ ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් ය. කිරි ගල් ගුහාවේ මරිය මාතාවන්ගේ මංගල්‍යය ජනවාරි 2 වනදා සමරනු ලැබේ.

දරුවන් යනු දෙවියන් වහන්සේ තුළ ලබන මහා සම්පත් වේ. එනමුදු දරුවන් ලොවට බිහි වන්නට පෙර මවුකුසේ දී ම එම දරුවන් මරා දමන සමාජයක අපි වෙසෙන්නේමු. ධනවත් රටවල් බිලියන ගණනින් මුදල් යුධ අවි සඳහා වියදම් කරද්දී, කුසගින්න පුරවාගන්නට කිරි පොදක් නැතුව හඬන දරුවෝ අප අසලම සිටින්නෝය. මුළු ලෝකයම දරුවකුගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන, එම ජීවිත සුරකින්නට මුළු ලෝකයම යොමු වන විට මෙම ලෝකය ජීවත් වන්නට සුදුසු සුන්දර තැනක් වනු ඇත. "කිරි ගල් ගුහාවේ මාතාවනි, අප නිසා යාච්ඤා කළ මැනව".

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.

(29/05/2020).