මාතර අප ස්වාමිදු

මාතර අප ස්වාමිදු

තෙවරක් මුහුද තරණය කළ මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව

(සැප්තැම්බර් මස 08 වන දිනට යෙදෙන දේව මාතාවන්ගේ උපන් මංගල්‍යය අරඹයා පවත්වන මාතර අප සුවාමිදූගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් තබන සටහනකි.)

වසර 400 කට වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව අප සුන්දර මව්බිමට දෙවිඳුන්ගෙන් ලද අපූර්වතම තිළිණයකි.

ලක්දිව ඇති ඉපැරණි දේව මාතා වහන්සේගේ ප්‍රතිමා අතරින් ඉතා අලංකාර වූ මෙම ප්‍රතිමාව උස අඟල් 25 කට නොවැඩි වේ. ඈශ්වුඩ් නමැති වටිනා සහ ශක්තිමත් දැවයෙන් මෙම ප්‍රතිමාව තනා ඇත. මෙම ප්‍රතිමාවේ දේව මාතාවන් වහන්සේ සහ කුඩා ජේසු බිලිඳුන් ප්‍රකාශිත වේ. රක්ත සහ නීල වර්ණ සළුපිළියෙන් දේව මාතාවන් සැරසී සිටින අතර රන් පැහැති මල් රටාවකින් එකී සළුව අලංකාරවත් වී ඇත. දේව මාතාවන් දකුණතින් යෂ්ඨියක් දරා සිටින අතර රන් පැහැති සළුවෙන් සැරසුණු ජේසු බිලිඳුන්ව වම් අතෙහි දරා සිටී. ඉතාමත් ශෝභමාන වූ මුව කමල හා කාන්තිමත් වූ දෙනයන ප්‍රතිමාවේ ගෞරවාන්විත භාවය වැඩි කරයි. දේව මාතාවන්ගේ පාදස්ථ මණ්ඩලයෙහි යට දේව දූතයන් පස් දෙනෙකු සහ සාගර රැලි තුනක්ද දැක්වේ. මෙම ප්‍රතිමාව මගින් දේව මාතාවන්ගේ අපිරිමිත රාජකීය ස්වභාවයක් පෙන්නුම් කරයි.

මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව සෑ සබැඳි ඓතිහාසික වතගොත මෙසේ සඳහන් කරන්නට කැමැත්තෙමි. යුරෝපීය ඉතිහාසඥයින්ට අනුව මෙම ප්‍රතිමාව 17 වන සියවසේ මුල් අවධිය නියෝජනය කරනු ලැබූ පෘතුගීසි ජාතික මූර්ති ශිල්පීන් විසින් මෙය නිර්මාණය කරන්නට අති බව සැලකෙයි. ඒ නමුත් මෙම ප්‍රතිමාව අප මව්බිමට ලැබුණේ කාගෙන්ද? කුමන රටකින්ද? යන්න අදටත් අභිරහසක්ව පවතී. ක්‍රි.ව. 1505 වසරේ පෘතුගීසින් ලංකාවට පැමිණීමෙන් පසුව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරන විටද මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව ලංකාවේ තිබූ බවට තොරතුරු පවතී.

මෙම ප්‍රතිමාව හා සබැඳි ජනවහරේ එන කතාවක් අනුව මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව ඈත අතීතයේ වැලිගම ග්‍රාමයෙන් ධීවර කටයුතු සඳහා මහා මුහුද වෙත නික්මුණු පිරිසකට මහා සාගරයේදී විශාල ලී පෙට්ටගමක් හමුවී ඇත. වටිනා වස්තූන් එහි නිදන් කර තැබෙනු ඇතැයි ඔවුන් තුල වූ සිතිවිලි නිසාම ඔවුන් මෙම පෙට්ටගම ඉතාම සුරක්ෂිතව ගොඩබිමට ගෙනවිත් විවෘත කර ඇති අතර එහිදී ඔවුනට දැකගත හැකි වූයේ දේව මාතාවන්ගේ සහ ජේසු බිළිඳුන්ගේ අලංකාර වූ ප්‍රතිමාවය. එම ධීවරයින් පිරිස සතුව තිබූ මෙම ප්‍රතිමාව පසු කලෙක එවකට මාතුරෙයි ග්‍රාමයේ දේව සේවයේ යෙදුන පුජාප්‍රසාදීන් වහන්සේට භාර කර ඇත. “ජයලත් අප ස්වාමිදූ” නමිත් විරුදාවලි ලත් ආශ්චර්ය ප්‍රතිමාව පළමු වරට සාගර රළ මතින් රුහුණු පුරවරයට පැමිණීම මෙය බව සැලකේ.

පසුකලෙක මාතුරෙයි (වර්තමයේ මාතර) ග්‍රාමයේ සීග්‍රයෙන් පැතිර ගිය දරුණු කොළරා වසංගතය දිනෙන් දින උග්‍ර තත්වයට පැමිණීමේදී මේ ප්‍රතිමාව ඉදිරියේ බැතිමතුන් යාච්ඤා කරන්නටත්, ප්‍රතිමාව මාතුරෙයි ග්‍රාමය වටා පෙරහැරින් වැඩමවා දෙව් මවුන්ගේ මැදිහත් පිහිට ලබන්නටත් වුහ. එයින් දින කිහිපයකට පසුව කොළරා වසංගතය පහ වී ප්‍රදේශයේ සනීපාරක්ෂාව තහවුරු වූ බව කියැවේ. එවක් පටන් දකුණු ලක පෙළහර පාන දේව මාතාව වටා බැතිමතුන් විශ්වාසයෙන් රොක් වූ බව නොරහසකි.

පසුකාලීනව දුර්වර්ණ වීම හේතුවෙන් ප්‍රතිමාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍යතාවක් මතු විය. මේ පිළිබඳව එවකට මාතර ප්‍රදේශයේ සේවය කළ ගරු. බියනාට් (ජේ.නි) පියතුමන් එවකට ගාල්ල රදගුරු තුමන්ට දන්වා එතුමන්ගේ මගපෙන්වීම තුල ප්‍රතිමාව 1911 වසරේ ජුනි මස 02 වන දින බෙල්ජියමේ ජිහෙන්ට් හි සියස් නම් මූර්ති ශිල්පියා වෙත යවා ඇත. ඔහු ඉතා ආරක්ෂාකාරීව ප්‍රතිමාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ප්‍රතිමාව ලංකාව වෙත යැවීමට ‘බීච්’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවට භාර දෙන ලදී. එම නෞකාවේ ගමනාන්තය වූ ලංකාව වෙත ඒමේදී නෞකාව කුණාටුවකට අසු වීම හේතුවෙන් එහි වූ භාණ්ඩ රැසක් මුහුදුබත් විය. කුණාටුවෙන් අබලන් තත්වයට පත් වූ මෙම නෞකාව එංගලන්තයේ මිඩ්ල්ස්බරෝ නුවර වරායට සේන්දු විය. කුණාටුවට අසුවූ බීච් නෞකාව තව දුරටත් යාත්‍රා කිරීමට නොහැකි වුයෙන් එම නෞකාවේ ඉතිරව තිබූ භාණ්ඩ ගමනාන්තය දක්වා රැගෙන යාමට ‘මිනිකෝයි’ නමැති නෞකාව යොදා ගන්නා ලදී. මිනිකෝයි නෞකාවද ගමන අතර මගදී අනතුරකට ලක් වූයෙන් එහි වූ භාණ්ඩ මුහුදට දැමීමට නාවිකයන්ට සිදු වුණි. නෞකාව කොළඹ වරායට පැමිණියද ‘මාතර ජයලත් අප සුවාමිදූ’ ප්‍රතිමාව සහිත මංජුසාව එහි නොතිබිණි. බැතිමත් සැමගේ යාච්ඤාවන් මධ්‍යයේ දේව මාතා ප්‍රතිමාව සොයා බෙල්ජියමට පණිවුඩ යැවීය. මේ අතරතුර එංගලන්තයේ පුද්ගලයෙකු සතුව ප්‍රතිමාව සුරක්ෂිතව අති බව දැනගැනීමට ලැබුණු අතර ඔහු අදේවවාදී පුද්ගලයෙකු වුයෙන් ප්‍රතිමාව ලබා දීමට අකමැති විය. පසුව විශාල මුදලකට ප්‍රතිමාව හුවමාරු කර ගැනීමට එකඟ විය. නමුත් ඔහුගේ ඉල්ලීම අනුව ලංසු තැබීම සිදු නොවීම නිසා ඔහු අධික කොපයට පත් වී ප්‍රතිමාවේ මුහුණට මිටි පහර කිහිපයක් ගසා එය පලුදු කර විසි කර දමා ඇත. පසුව ප්‍රතිමාව සොයා ගැනීමෙන් අනතුරුව බෙල්ජියමේ පෙර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ශිල්පියා වෙතටම යොමු කර එහි මුල් තත්වය ලෙසම ප්‍රතිමාව සකස් කර දී ඇත. ක්‍රි.ව. 1912 වසරේ ඔක්තෝබර් 15 දින ‘ඇන්ටිවර්ප්’ වරායේ සිට ‘උකමාර්ක්’ නමැති නෞකාව ප්‍රතිමාව සහිතව කොළඹ වරාය බලා පිටත් විය. 1912 වසරේ නොවැම්බර් මස 12 වන දින මාතර දෙව් විමනේ මංගල සීනු නාදය හා බැතිමතුන්ගේ සතුටු ගෝෂා හා මැද මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව නැවතත් සුපුරුදු නිවහන වූ මාතර සිද්ධස්ථානය වෙත වැඩම විය. ඒ මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව දෙවැනි වරට මහා සමුදුරේ රල තරණය කිරීමයි.

2004 වසරේ ශ්‍රී ලංකාව බියකරු අනතුරකට මුහුණපෑමට සිදුවිය. ඒ සුනාමි ව්‍යසනයයි. 2004 වසරේ ක්‍රිස්තෝත්පත්ති මංගල්‍යට පසු දින එනම් දෙසැම්බර් 26 වන දින මහා සමුදුරේ ජල කඳ මහා පොලව වෙත ඇදී අවුත් අප පෙම්බර රුහුණු මෑණියන්ගේ ප්‍රතිමාවද රැගෙන මහා මුහුදට යන්නට විය. මාතර ජයලත් අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ පුවත කනවැටුණු සියල්ලන්ම ප්‍රතිමාව නිරුපද්‍රිතව ලබා දෙන ලෙස නොකඩවා දෙවිඳුන් යදින්නට වූහ. එලෙසම 2004 වසරේ දෙසැම්බර් 29 වන දින මාතර දේවස්ථානය අසළ වත්තක තිබී ප්‍රතිමාව නිරුපද්‍රිතව හමු වූයේ තෙවැනි වරටත් සාගර ජලය තරණය කිරීමෙන් අනතුරුවය.
මෙලෙස ශ්‍රී ලංකාවේ රුහුණු පුර ආශ්චර්ය පාන මාතර ජයලත් අප ස්වාමිදූ කෙරෙහි විශ්වාස කරමින් ඕතුමියගේ මාතෘක ආදරය, සෙනෙහස සොයා ආගම් බේදයකින් තොරව වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඇදී එයි...

ජය බෙර වනමින් ජය ගී ගයමින්
ඔබේ සුර මහිමය බල පතුරා
රුහුණෙහි මව් ඔබ නම හැම මුවකම
පණගන්වමු සිරි බර හෙළයේ.

සටහන- කේ. සඳුන් මධුරංග ප්‍රනාන්දු.