නිදහස් අරගලයට කිතුණු දායකත්වය

නිදහස් අරගලයට කිතුණු දායකත්වය

අද පෙබරවාරි 4 වැනිදා. ශ්‍රී ලංකික අප අද 73 වැනි නිදහස සමරන දිනයයි. අද  නිදහස් අරගලයට දායක වූ බොහෝ වීරයන් පිලිබද කතා කරන දිනයක්. අද ජේසුනි ළංවෙන්න පිටුව තුළින් ඔබ වෙත ගෙන එන්නේ නිදහස් අරගලයට කතෝලික / කිතුනු ප්‍රජාව දැක්වූ දායකත්වය පිලිබදවත් , නිදහසින් පසු යුගයේ කතෝලික ප්‍රජාව මුහුණ දුන් ගැටලු පිලිබදවත් වේ. ඉතින් මේ ලිපිය අවසානය තෙක් කියවන්න ඔබ සැමට සුහද සිතින් ඇරයුම් කරනවා.

එහෙනම් අපි අපේ මාතෘකාව පටන් ගමු. ශ්‍රී ලංකාව තුළ නිදහස් අරගලය වෙනුවෙන් ලේ,දහඩිය ,ජීවිත පූජා කළ විරුවන්ට ප්‍රථමයෙන් අපි හිස නමා ආචාර කරන්නෙමු. එය එසේ කරද්දි අපේ රටේ නිදහස වෙනුවෙන් දායක වූ , අනුපමේය සේවයක් ඉටු කළ කතෝලික / කිතුනු වීරයන් පිරිසක් ද සිටින බව ඇතැම්විට සමහරෙක් නොදන්නවා ඇති. ඒ මන්ද එම වීරයන්ට ලැබිය යුතු තැන කොතැනකවත් නොලැබී ඇති නිසාවෙනි. ඒ බව පක්ෂග්‍රාහී නොවී මධ්‍යස්ථව නිදහස් අරගලය පිලිබද හදාරන ඕනෑම අයකුට පෙනී යන තිත්ත ඇත්තකි.

නිදහස් අරගලය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට කතෝලික / කිතුනු අප පොලබවනු ලැබූ පෙලඹුම් සාධකය නම් 1915 දී ඇති වූ එක් අවාසනාවන්ත සිදුවීමකි. එනම් සිංහල බෞද්ධයන්ට දඩාවතේ යන බල්ලන් සේ සලකමින්  වෙඩි තැබීමට බ්‍රිතාන්‍ය කිරීටය අණ කිරීමයි. මෙම අශිෂ්ට , කුරිරු , මනුෂ්‍යත්වය හෙලා දකින දැඩි නීති හමුවේ මෙරට කතෝලිකයන් බ්‍රිතාන්‍ය කිරීයට විරුද්ධව පෙරට පැමිණීමට එඩිතර විය. මේ සිදුවීම පිලිබද සාධාරණ විභාගයක් කිරීමට රාජකීය කොමිසමක් පත් කරන ලෙස බැතිමත් කතෝලිකයකු වූ නීතීඥ එඩ්මන්ඩ් ජෝසප් සමරවික්‍රම මහතා බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉල්ලා සිටියේය. මේ අතර ඔහු සමග එක්වෙමින් නිදහස් අරගලයට නායකත්වය දීමට තවත් බැතිමත් කතෝලික පිරිසක් එක්විය. එම වීර කිතුනුවන් අතර,

* එම්.ඒ.අරුල් ආනන්ද

* කෑගල්ලේ එඩ්වින් විජේරත්න

*ජෝන් එම්. සෙනෙවිරත්න (කතෝලික ඉතිහාසකරැවෙක්)

*එඩ්මන්ඩ් තිමෝති ද සිල්වා (ප්‍රිවි කවුන්සිලයේ එකම ශ්‍රී ලාංකික සාමාජිකයා)

* සර් ජේම්ස් පීරිස්

* ජේම්ස් ද සිල්වා විජේරත්න

* ඊ.ඩබ්ලිව්.පෙරේරා

* ආචාර්ය එස්.සී.ද.එස්.විජේරත්න

* සී.ජේ.සී ද සිල්වා

* ආචාර්ය ලයනල් ද ෆොන්සේකා

* ලයනල් ද සිල්වා

* ඩබ්ලිව්.ඩබ්ලිව්.ජෝසප් ප්‍රනාන්දු යන අය පෙරමුණ ගත් අතර අනෙකුත් සමස්ත කිතුනු ජනතාව ඊට සහය පල කලේය.

⚔️ නිදහස් අරගලයට කතෝලිකයන් දැක්වූ දායකත්වයෙන් බිදක් ..... ⚔️

(1) මෙරට විජාතික ආණ්ඩුකාරවරයාට විරුද්ධව පිළියෙල කරන ලද පෙත්සම තම පාවහනේ සගවාගෙන බ්‍රිතාන්‍යයට ගෙන යන ලද්දේ ඊ.ඩබ්.පෙරේරා නම් ක්‍රිස්තු භක්තිකයායි.

(2) 1915 සිංහල - මුස්ලිම් කෝලහාලය අවස්ථාවේ යුක්තිය සැමට ඉටු කිරීම සදහා කෑගලු කොමිසම ලබාගන්නට පුරෝගාමීව කටයුතු කලේ කතෝලිකයකු වූ ඇල්බට් ඒ.වික්‍රමසිංහ මහතාය.

(3) ලංකා ජාතික සංගමයේ දෙවන සැසිවාරයේදී " ශ්‍රී ලංකාව ස්වෙවරී රාජ්‍යයක් බවට පත් කල යුතුය " යන යෝජනාව ජේ.ආර්.ජයවර්ධන මහතා ඉදිරිපත් කරද්දී එම යෝජනාව ස්ථිර කලේ බැතිමත් කතෝලිකයකු වූ ජේ.ඒ.එල්.කුරේ මහතායි.

(4)ශ්‍රීමත් ජේම්ස් පීරිස් නැමති කතෝලිකයා බ්‍රිතාන්‍ය රජයට විරෝධය පල කරමින්  පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක මුලසුන දැරීය.

නමුත් නිදහසින් පසු යුගය මෙරට කිතුනුවන්ට අභියෝගාත්මක එකක් විය. ඊට හේතු වූ ප්‍රධානතම හේතු  කිහිපයක් පමණක් පහත දැක්වේ.

(1) කතෝලික අධ්‍යාපනය හා පාසල් රජයට පවරා ගැනීම.

(2) කතෝලිකයන්ට පදනම් විරහිත චෝදනා හා විවේචන එල්ල වීම.

(3) පැවිදිවරුන්ගේ වීසා අවලංගු කිරීම.

(4) පැවිදි සොයුරියන් රජයේ රෝහල් සේවයෙන් ඉවත් කිරීම.

(5) ජනවාර්ගික ගැටලුවේදී කිතුනු සාම ක්‍රියාදාමයට චෝදනා එල්ල වීම.

(6) බෙදීගිය කිතුනු ආගමික ව්‍යාපාර සිදු කරන ඇතැම් ක්‍රියා කතෝලිකයන් පිට පැවරීම.

(7) කතෝලික සභාව දේශීයකරණය සදහා දැරූ ප්‍රයන්ත ව්වේචනයට ලක් කිරීම.

ඉහත කරුණු සියල්ල මධ්‍යස්ථව සලකා බලන විව එහි ඇති සත්‍යතාවයත් , එහි ඇති තිත්ත ඇත්තත් වැටහෙනු  ඇත.

ඒ කෙසේ වුවත් ක්‍රිස්තුන්වහන්සේ අනුගමනය කරන ජනතාවක් ලෙස , උන්වහන්සේගේ ප්‍රේමය තුළ ජීවිත්වෙමින් සැමට ආදරය ,සැමට සමාව දෙමින් සැබෑ මිතුරුකමක් පෙරදැරිව මෙරට අන්‍යාගමික හා අන්‍ය ජාතීන් සමග ශක්තිමත්වඉදිරියට යන්නටත් ක්‍රිස්තු වටිනාකම් අප ජීවිත තුලින්.පිලිබිඹු කරන්නටත් අපට හැකිවී තිබේ. ඉතින් බහු වාර්ගික හා බහු ආගමික සමාජයක සියල්ලන් සමග මිත්‍රත්වයෙන් කටයුතු කරමින් සමිදු ප්‍රේමය ලොවට බෙදන්නට 73 වැනි නිදහස් දින සැමරුම සමරන අද දින අපි හැම කෙනෙක්ම ඉටා ගනිමු.

ඔබ සැමට ජේසු පිහිටයි ❤️

-ශෙහාන් රශ්මික -

© ජේසුනි ළංවෙන්න - Jesuni Lanwenna