බයිබලීය නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව නොහොත් නිර්මල මරියතුමිය

බයිබලීය නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව නොහොත් නිර්මල මරියතුමිය
Photo by sterlinglanier Lanier / Unsplash

🕳️ හැදින්වීම :-

🔴 ඔබ දන්නවාද? ශුද්ධවූ බයිබලයේ පුරාණ ගිවිසුමේ සඳහන් වන කවර වර්ගයක හෝ පුද්ගලයෙක්,දෙයක් හෝ සිදුවීමක් වනාහි නව ගිවිසුමේ සඳහන් වන යම් දෙයක මතු පූර්වාදර්ශයකි. මහා දේවධර්මවේදී හිප්පොහි ශුද්ධවූ අගොස්තීනූ මුනිඳුන් මෙලෙස පවසයි.එනම්;
"පුරාණ ගිවිසුම වනාහි සැඟවුණු නවතාවයකි.නමුත් නව ගිවිසුම වනාහි පුරාණ එළිදරව්වකි." - ( Catechizing of the Uninstructed 4:8 )

බයිබලීය සංකේතවාදය පිළිබඳ මෙම අදහස අලුත් දෙයක් නොවේ.මුල් කිතුනු සභාවේ සාමාජිකයන් පවා පූරාණ ගිවිසුම හා නව ගිවිසුම අතර ඇති මෙම අපූරු සමාන්තරකරණය ඉතා හොඳින් වටහා ගත්හ.

(01) උදා:- ශුද්ධවූ පේදුරු තුමා විසින් නෝවාගේ ජල ගැල්ම ක්‍රිස්තියානි බෞතීස්මය සඳහා මූලිකාදර්ශයක් ලෙස හඳුන්වා ඇත.එනම්;

"ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර,දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති.ඒ නැවට ඇතුළු වූ,ස්වල්ප දෙනෙක්,එනම්,අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝය.මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනයයි.එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව,ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක්ය." - ( 01 පේදුරු 03:20-21 )

(02) උදා:- පුරාණ ගිවිසුමේ සඳහන් වන චර්මඡේදනය ක්‍රිස්තියානි බව්තීස්මය පුරෝකථනය කළ බව ශුද්ධවූ පාවුල් තුමා පැහැදිලි කර ඇත.එනම්;

"උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහුය.ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එයයි. මන්ද,බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන්වහන්සේ සමඟ වළලනු ලැබ,උන්වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහුය." - ( කොලොස්සි 02:11-12 )

(03) උදා:- මෝසස් තුමා විසින් පාලුකරයේදී ලෝකඩ සර්පයෙකු සාදා,එසවීම මඟින් මිනිසුන් සුව කිරීම, තමන් වහන්සේව කුරුසය මත ඇණ-ගසා එසවීමට පූර්වාදර්ශයක් බව ජේසුස් වහන්සේ විසින් පවසා ඇත.එනම්;

"පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද,උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස,ඔසවනු ලබන්නට ඕනෑය.” - ( ශුද්ධවූ ජොහාන් 03:14-16 )

(04) උදා:- ඊශ්‍රායෙල් ජනතාවගේ පාස්කු බැටළුවා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීම පුරෝකථනය කරන බවට ශුද්ධවූ පාවුලු තුමා විසින් සඳහන් කර ඇත.එනම්;

"ඔබ හැම අතින්ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න.එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහුය.ඔබ දැනටම එසේ බව මම දනිමි,එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි." - ( 01 කොරින්ති 05:07 )

🕳️ පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව :-

දෙවි සමිඳාණන් වහන්සේ මනුෂ්‍යයාට අධික ලෙස ප්‍රේම කළ සේක.එබැවින් මනුෂ්‍යයා සමඟ වඩාත් සමීප ලෙස වාසය කිරීමට උන්වහන්සේ කටයුතු කළේය.නමුත් උන්වහන්සේ මේ සඳහා තෝරාගත්තේ ඉතාමත් සුවිශේෂී ක්‍රමයකි.එනම්;

"ඔවුන්ගේ එඬේරුන්ගේ,විශේෂයෙන්ම දාවිත් රජතුමා හා දිවැසිවරුන්ගේ මඟපෙන්වීම යටතේ,දේව ජනතාවගේ යාච්ඤාව සරුසාර වූයේ,දෙවි සමිඳාණන් වහන්සේගේ මෙලොව වැඩසිටීම සංකේතවත් කළ ගිවිසුම් දාගැබ හා දේව මන්දිරයේ සෙවණේ සිටය." - ( කතෝලික සභා ධර්මෝපදේශය 2594 )

දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේට වාසය කිරීම සඳහා ශුද්ධාසනයක් හා මණ්ඩපයක්ද,ගිවිසුම් කරඬුව ඇතුළු එහි අනෙකුත් උපකරණද සෑදීමට මෝසස් හට නියම කරන ලදී.එනම්;

"තවද,නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුය.මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපයද එහි සියලු උපකරණද සෑදිය යුතුය.තවද,ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග,සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතුය." - ( නික්මයාම 25:08-10 )

🔴 ඊශ්‍රායෙල් ජනතාව විසින් මණ්ඩපයේ,සම්මුඛ මණ්ඩපය සාදා, දෙවියන් වහන්සේගේ නියමය පරිදි  ගිවිසුම් කරඬුව එහි තැම්පත් කළෝය.මණ්ඩපය කැප කළ පසු,ගිවිසුම් කරඬුව තැන්පත් කර ඇති සම්මුඛ මණ්ඩපය වළාකුලකින් වසාගත්තේය.එනම්;

"එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේය.මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේය.වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්,සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය.ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට,ඔවුන් පිටත්ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණය. එහෙත්,වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ.මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත,දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළද රාත්‍රි කාලයේ දී ගින්නද දෘශ්‍යමාන විය." - ( නික්මයාම 40:34-38 )

දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම (වැඩ සිටීම) හා මහිමය නිරූපණය කිරීම සඳහා ඉහත සඳහන් ආකාරයට "වලාකුළ" නමැති රූපකාත්මක පදය බයිබලයේ බහුලව භාවිතා වේ.එනම්;

"වළාකුළ හා ආලෝකය - ශුද්ධාත්මයාණන් ප්‍රකාශ වීමේදී,මේ අනුරුවන් එකට දක්නට ලබයි.පැරණි ගිවිසුමේ දේව දර්ශන වලදී වරෙක සැඟවෙන,වරෙක දීප්තිමත් වන වළාකුල ජීවමාන හා ගැළවීමදායක දෙවිඳුන් ප්‍රකාශ කළේ,සීනයි කඳු මතදීද, මෝසස් සමඟද සම්මුඛ මණ්ඩපයේදීද,කාන්තර ගමනේදීද, සලමොන් රජු සමඟ දේව මාලිගය කැප කිරීමේදීද, ඔවුන් වහන්සේගේ උත්තරීතර මහිමය මුවා කරමිනි. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයාණන් තුළ මෙම පුද්ගලයන් පූර්ණත්වයට පමුණුවති.ජේසුස් වහන්සේ පිළිසිඳගෙන,එතුමන් බිහි කිරීමට හැකි වන ලෙස ශුද්ධාත්මයාණන් විසින් මරියතුමිය වසාගන්නා ලදී.කන්ද මත අන්‍යයරූප විලාශ වීමේදි ශුද්ධාත්මයාණෝ වළාකුලක් වෙසින් පැමිණ ජේසුස් වහන්සේ,මෝසස්,එළියාද,පේදුරු, ජාකොබ්,ජොහාන්ද වසා ගනිති.තවද,'මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය.ඔවුට සවන් දෙන්නැ'යි වළාකුලෙන් හඬක් නික්මිණි.ස්වර්ගාරෝහණයේදී,වළාකුලක් විසින් ජේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් වෙතින් රැගෙන ගොස්,කාලය අවසානයේදී මනුෂ්‍යය පුත්‍රයාණන්ගේ මහිමාන්විත පැමිණීම එළිදරව් කරනු ලබයි." - ( කතෝලික සභා ධර්මෝපදේශය 697 )

🕳️ නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව :-

🔴 පුරාණ ගිවිසුමේදී දෙවියන් වහන්සේගේ වැඩ සිටීම හා මහිමය නිරූපණය කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේ වළාකුලක ආකාරයෙන් පැමිණ සම්මුඛ මණ්ඩපයේ තැම්පත් කර තිබූ ගිවිසුම් කරඬුව වසාගත්තා සේ,නව ගිවිසුමේදී ශුද්ධාත්මයාණන් වහන්සේ මරියාවන්ව වසා ගනිමින් දෙවියන් වහන්සේගේ වැඩ සිටීම හා මහිමය නිරූපණය කළේය.එනම්;

"දේව දූතයා ඈට උත්තර දෙමින්,”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවයද ඔබ වසාගන්නේය.එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක." - ( ශුද්ධවූ ලූක් 01:35-36 )

නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව මරියතුමියයි. පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව හා ඒහා බැඳුණු වත් පිළිවෙත් නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව නොහොත් මරියතුමිය සඳහා පූර්වාදර්ශයකි.ජේසුස් වහන්සේ "භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය" නොහොත් මානව සන්නතියෙන්වත්,කායික සබඳතාවෙන්වත්,මිනිස් පියෙකුගෙන්වත් නොවන ලෙසට ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් වසාගත් "මරියතුමියගේ ගර්භය නම්වූ මණ්ඩපය" මැදින් වැඩිය සේක.එනම්;

"මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි.එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි.මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණය.එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට,උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ,මිනිස් අතින් නොසෑදූ,එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක.උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව,තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක." - ( හෙබ්‍රෙව් 09:09-13 )

🕳️ නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව හා පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව අතර ඇති සමාන්තරකරණය :-

🔴 එක් දිනක් පිලිස්තිවරු හා ඊශ්‍රායෙල්වරු අතර ඇතිවූ සටනකින් ඊශ්‍රායෙල්වරු පරාජය පත්විය.එහිදී ඊශ්‍රායෙල්වරුන්ගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරු විසින් පැහැරගෙන ගියහ.ගිවිසුම් කරඬුව තම රාජ්‍යයේ තබා ගැනීමට සිදුවීම නිසා පිලිස්තිවරුන්ට විවිධ පීඩාවන් වලට මුහුණ දීමට සිදුවිය (01 සාමුවෙල් 05:01-12).මේ නිසා පිලිස්තිවරුන් විසින් ගිවිසුම් කරඬුව නැවත ඊශ්‍රායෙල්වරුන් වෙතට භාරදීමට කටයුතු කරන ලදී (01 සාමුවෙල් 06:01-21). දාවිත් රජු විසින් ගිවිසුම් කරඬුව නැවත රැගෙන එන විට විශේෂ සිදුවීමක් සිදුවිය.එනම්;

"ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්,උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේය.එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි.දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහිදී ඔහුට පහර දුන් සේක.ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේය.සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්,දාවිත් ශෝකයට පත්වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේය.ඒ නාමය අද දක්වා පවතී.ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව,”සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේය." - ( 02 සාමුවෙල් 06:06-10 )

නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමියද එළිසබෙත් තුමියව බැහැදැකීමට ගියවිට,පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව ස්පර්ශ කළ නිසා මරණයට පත්වූ උශ්ශා දැක දාවිත් රජු කියූ වචන වන,"සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ" යන්න එළිසබෙත් තුමිය විසින්ද නව ගිවිසුමේ ගිවිසුම් කරඬුව වන මරියතුමිය දුටුවිට පැවසුවේය.එනම්;
"මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද?" - ( ශුද්ධවූ ලූක් 01:43 )

🔴 උශ්ශාට එල්ලවූ දේව උදහස දුටු දාවිත් රජු දෙවියන් වහන්සේට බියවී පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව තම සියොන් නුවරට රැගෙන ඒමට බියවී,එය ජුදා කඳුකරයේ තිබූ ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේය.එනම්;

"එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැතිව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය." - (02 සාමුවෙල් 06:10).
නව ගිවිසුමේ ගිවිසුම් කරඬුව වන මරියතුමියද,එළිසබෙත් තුමියව බැහැදැකීමට ගියේය.එළිසබෙත් තුමියගේ නිවස පිහිටි වර්තමාන "අයින් කෙරෙම්" (Ein Kerem) ජුදා කදුකර ප්‍රදේශය සහ ඕබෙද්-ඒදොම්ගේ නිවස පිහිටි වර්තමාන "අබු ගොෂ්" (Abu Ghosh) ජුදා කදුකර ප්‍රදේශය අතර ඇත්තේ ඇවිද යා හැකි තරම් කෙටි දුර පරතරයක් පමණි.එවිට එදා පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව මෙන්ම,අද නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමියද පැමිණ ඇත්තේ එකම ස්ථානයකටය.එනම්;

"දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහුව ගොස්,සෙකරියස්ගේ ගෙට ඇතුළුවී,එලිසබෙත් හට ආචාර කළාය." - ( ශුද්ධවූ ලූක් 01:39 )

🔴 පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසේ මාස තුනක් රඳවා තබා තිබූ අතර, දෙවියන් වහන්සේ විසින් ඕබෙද්-ඒදොම්ගේ නිවසට ආශිර්වාදය කරන ලදී.එනම්;
"සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්,ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක." - ( 02 සලමොන් 06: 11-12 )

නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමියද එළිසබෙත් තුමියගේ නිවසේ මාස තුනක් නවාතැන් ගත් අතර දෙවියන් වහන්සේ විසින් වඳ යැයි කී එළිසබෙත් හට දරු සම්පත් ලබාදෙමින් (ශුද්ධවූ ලූක් 01:13) එළිසබෙත්ගේ නිවසට ආශිර්වාද කර තිබුණි.එනම්;

"මරියතුමී,එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියාය." - ( ශුද්ධවූ ලූක් 01:56 )

🔴 පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව ඉදිරියෙහි දාවිත් රජු මහා හඬින් ඔල්වරසන් දුන්නේය.එනම්;
"මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්,හොරණෑ ශබ්දයත් ඇතිව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ." - ( 02 සාමුවෙල්  06:15 )
නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමිය ඉදිරියෙහිද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වූ එළිසබෙත් තුමිය මහ හඬින් කෑ ගැසීය.එනම්;

"මහ හඬින් උදන් අනමින්,”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දීය.ඔබ කුස ඔත් දරු ඵලයද ආශීර්වාද ලද්දේය." - ( ශුද්ධවූ ලූක් 01:42 )

🔴 දාවිත් රජු විසින් ශුද්ධවූ පූජක වස්ත්‍ර හැඳගෙන පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නැටුවේය.එනම්;
"දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය." - ( 02 සාමුවෙල් 06:14 )

නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමියගේ ආචාර බස් ඇසූ කළ,එළිසබෙත් තුමියගේ කුසෙහි සිටි ආරෝන්ගේ පූජක පෙළපතින් එන ස්නාවක ජොහන් තුමාද ඉපිලුණේය.එනම්;
"මක්නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගතවූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය." - ( ශුද්ධවූ ලූක් 01:44 )

🔴 පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව තුළ දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනය කොටා තිබූ ගල්පුවරුද, පාලුකරයේ කුසගින්නෙන් සිටි ඊශ්‍රායෙල් ජනතාවට ස්වර්ගයෙන් ලැබුනු මන්නා භෝජනයද,ආරෝන්ගේ පූජක පෙළපතේ සැරයැටිද තැම්පත් කර තිබුණි.එනම්;
"එහි රන්මුවා ධූම පූජාසනයද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුවද තිබුණේය.ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුනද ආරොන්ගේ දලු ලෑ සැරයටියද ගිවිසුමේ ශිලාලේඛනද විය." - ( හෙබ්‍රෙව් 09:04 )

නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමියගේ කුසෙහිද පිළිසිඳගෙන තිබුණේ ස්වර්ගයෙන් දෙන ලද දිව්‍යය භෝජනයයි;මාංශ ගතවූ දේව වචනයයි;සියලූම පූජකයන් අතරින් උත්තම පූජකයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේයි.එනම්;

"එවිට,‘ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය’යි උන් වහන්සේ වදාළ බැවින්,ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්,”මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේද? අප මොහුගේ මවද පියාද අඳුනන්නේ
නැද්ද? ‘මම ස්වර්ගයෙන් බැස්සෙමි’යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ”යි කීහ." - ( ශුද්ධවූ ජොහාන් 06:41 )

"ධර්මයාණෝ මාංසගතව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන්ද සත්‍යයෙන්ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය,එනම්,පියාණන් වහන්සේ කෙරෙන්වූ එකම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය,අපි දුටිමු." - ( ශුද්ධවූ ජොහාන් 01:14 )

"අප කියන ප්‍රධාන දෙය නම්,එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බවය.උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන්ගෙන,මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක." - ( හෙබ්‍රෙව් 08:01-02 )

🔴 සලමොන් රජු විසින් දාවිත් රජුගේ නුවර වන සියොන් පුරයේ සිට නැවත පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව ජෙරුසලමේ දේව මාලිගාව වෙතට ගෙනාවේය.එනම්;
"එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය
තැබූහ.පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි.වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය.සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.එවිට සලමොන් කතා කොට මෙසේ කීවේය,

”සමිඳුනි, ඔබ අහස් තලයෙහි සූර්යයා තැබූ සේක;
එහෙත්, විසීමට අඳුරු වලාකුළු තෝරාගත් සේක.මම ඔබ උදෙසා වාසභවනයක්, ඔබට සදා විසීමට තැනක් ඉදි කෙළෙමි." - ( 01 රාජාවලිය 08:01,06,10-13 )

සලමොන් රජු විසින් දෙවියන් වහන්සේට සදහටම වාසය කිරීම සඳහා ඉදිකරන ලද ජෙරුසලමේ දේව මාලිගාවට නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමිය විසින් තම පුත්‍රයා වන ජේසුස් වහන්සේවද ගෙන ආවේය.එවිට ජේසුස් වහන්සේද නව ගිවිසුමේ ගිවිසුම් කරඬුව වන මරියතුමියගෙන් මෙලෙස ඇසුවේය.එනම්;

"දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූහ.උන් වහන්සේගේ මෑණියෝ,”පුතා,කුමක් නිසා අපට මෙ‍සේ කෙළෙහිද? බලන්න,ඔබේ පියාද මමද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කීහ.එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්,”ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක.එහෙත්,උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නොවීය." - ( ශුද්ධවූ ලූක් 02:48-51 )

🔴 එලෙසම නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමිය ඉදිරියෙහි එළිසබෙත් තුමිය සුබ පැතුම් එක් කිරීම සඳහා යෙදාගෙන තිබූ මුල් ග්‍රීක පිටපතේ සදහන් වචනය වනාහි පුරාණ ගිවිසුමේ,ගිවිසුම් කරඬුව කේන්ද්‍රකරගත් පූජා පිළිවෙත් වලදී භාවිත කරනු ලබන පූජනීය හා දුර්ලභ ග්‍රීක වචනයක් වේ.( Word Biblical Commentary, 67 )

🔴 ක්‍රි.පූ.597-586 ත් අතරදී,බබිලෝනීය අධිරාජ්‍යයා විසින් ඊශ්‍රායෙලය යටත් කරගත් අතර,ජෙරුසලමේ දේවමාළිගාවේ තැම්පත් කර තිබූ බව කියන, පුරාණ ගිවිසුමේ,ගිවිසුම් පෙට්ටිය ඉතිහාසයෙන් අතුරුදහන් විය.එය විනාශ වී තිබේද? නැතහොත් කවුරුන් හෝ සඟවාගෙන සිටීද? යන්න කිසිවෙකු දන්නේ නැත. ජේසුස් වහන්සේගේ කාලය වනවිටත් පුරාණ ගිවිසුමේ,ගිවිසුම් පෙට්ටිය ශතවර්ෂ ගණනාවක් තිස්සේ,එනම් අවුරුදු 600 ක් පමණ තිස්සේ කිසිවෙකුත් නැවත දැක නැත.මේ අතරතුර ශුද්ධවූ ජොහන් අපෝස්තුළුතුමා විසින් "පැට්මොස්" දූපතේදී (Island of Patmos) පළමුවන සියවසේ වාසය කළ ඕනෑම ජුදෙව්වෙකුව කම්පනයට පත් කළ හැකි දෙයක් ලියුවේය.එනම්, ගිවිසුම් කරඬුව තමා විසින් නැවත දුටු බවයි.එනම්;

"එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය.උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේය.එවිට විදුලි කෙටීම්ද ශබ්දද ගිගුරුම්ද භූමිකම්පාවක්ද,මහ ගල් වර්ෂාවක් ද විය." - ( එළිදරව්ව 11:19 )

ශුද්ධවූ ජොහන් තුමා විසින් මෙම එළිදරව්ව ලියන විට 11 සහ 12 යන පරිච්ඡේද අතර භේදයක් නොතිබුණි.එය අඛණ්ඩ කථාන්තරයකි. පරිච්ඡේද වශයෙන් මෙම වෘත්තාන්තය බෙදී ගියේ ක්‍රි.ව.12 සියවසේදීය.එබැවින් පුරාණ ගිවිසුමේ, ගිවිසුම් කරඬුව ගැන සඳහන් කළ වහාම ශුද්ධවූ ජොහාන් තුමා විසින් නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන මරියතුමිය ගැනද පවසයි.එනම්;

"තවද අහසෙහි පුදුම ලකුණක් විය.එනම්,සූර්යයා පැළඳගෙන,පාද යට සඳ මඬලද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක්ද ඇති ස්ත්‍රියකි." - ( එළිදරව්ව 12:01 )

ඇතැමුන් විසින් මෙහි නිරූපිත "ස්ත්‍රීය" මරියා නොව,"ශුද්ධවූ සභාව" හෝ "ඊශ්‍රායෙල් ජාතිය" වන බවද පවසයි.නමුත් අප පවසන්නේ මෙයට බහු අර්ථයක් ඇති බවයි.එනම් එම "ස්ත්‍රීය" මගින් මරියතුමිය, ශුද්ධවූ සභාව, නව ඒව මෙන්ම ඊශ්‍රායෙල් ජාතියද නිරූපණය වන බවයි.

🔴 මුල් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ද මරියතුමිය වනාහි නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව වන බවට පැහැදිලිවම තේරුම්ගෙන ඇත.එනම්;

(01) උදා:- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශුද්ධවූ අතනාසියස් මුනිතුමා (ක්‍රි.ව.296–ක්‍රි.ව.373) දෙවන සියවසේ සිටි මිථ්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයේ ප්‍රධාන ආරක්ෂකයා විය.උන්වහන්සේ විසින් මෙලෙස ලියා ඇත.එනම්;

"ආ! උතුම් කන්‍යාව,සැබවින්ම වෙනත් සෑම මහිමයකටම වඩා ඔබ මහිමාන්විතය. වචණයානන් වහන්සේගේ මහිමාන්විත වාසස්ථානය වන ඔබගේ මහිමයට සමාන වන්නේ කවරෙක්ද? ආ! උතුම් කන්‍යාවිය,මම ඔබව සියලු මැවිලි අතරින් සැසඳිය යුත්තේ කාටද? ආ! ගිවිසුම් පෙට්ටිය,රත්තරන් වෙනුවට නිර්මලකමෙන් සැරසී සිටින ඔබ සැමට වඩා උතුම් ය! සැබෑම මන්නා භෝජනය,එනම් දේවත්වය වාසය කරන මාංසය අඩංගු රන් භාජනය සොයාගත හැකි කරඬුව ඔබයි." - ( Homily of the Papyrus of Turin )

02) උදා:- ආශ්චර්යමත් සේවකයා නොහොත් ශුද්ධවූ ග්‍රෙගරි මුනිතුමා (ක්‍රි.ව.213–ක්‍රි.ව.270) මෙලෙස පවසයි.එනම්;

"දාවිත්ගේ ආනුභාව ලත් වීණාවෙන් අපට උගන්වා ඇති තනු නිර්මාණය කර මෙසේ පවසමු.එනම්,'ආ! සමිඳුනි,ශුද්ධාසනයේ ඇති ඔබේ කරඩුව වන වාසස්ථානය තුළට නැඟී සිටින්න.'ශුද්ධවූ කන්‍යාභාවය සත්තකින්ම ගිවිසුම් කරඬුවකි. ඇතුළතින් සහ පිටතින් සම්පූර්ණයෙන්ම රන් වලින් නිර්මිත ගිවිසුම් කරඬුවට ස්වර්ගීය භාණ්ඩාගාරයේ ඇති සෑම වස්තුවක්ම ලැබී ඇත." - ( Homily on the Annunciation to the Holy Virgin Mary )

🔴 මුල් කිතුනු සභාවේ මෙන්ම කතෝලික සභාවේ ඉගැන්වීමද,මරියතුමිය වනාහි නව ගිවිසුමේ,ගිවිසුම් කරඬුව බවයි.

"... දෙවියන් වහන්සේ තම වාසස්ථානය කර ගැනීමට තෝරා ගත්තාවූ මරියතුමිය, පුද්ගලයෙකු ලෙස ජෙරුසලමේ දියණියයි;ගිවිසුම් දාගැබයි; දෙවියන් වහන්සේගේ මහිමාලංකාරය පවතින ස්ථානයයි. එතුමිය මනුෂ්‍යයන් මැද දෙවියන් වහන්සේගේ වාසස්ථානයයි ..." - ( කතෝලික සභා ධර්මෝපදේශය 2676 ).


✍️ කිතුනු අපේ දේවධර්ම දිනපොත