ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ , මරියතුමියට "ස්ත්‍රීය" කියා ඇමතුවේ ඇයි ?

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ , මරියතුමියට "ස්ත්‍රීය" කියා ඇමතුවේ ඇයි ?
Photo by Ashwini Chaudhary(Monty) / Unsplash

ජොහාන් සුබාරංචිය දෙස බැලීමේදී මරිය තුමිය පිළිබඳ හමුවන විශේෂ අවස්ථා දෙකකි. ඒ දෙකෙහිම ජේසුස් වහන්සේ තම මෑණියන් අමතනුයේ "ස්ත්‍රීය" යනුවෙනි. ජොහාන් සුබාරංචි කතුවරයා මෙවන් යෙදුමක් යොදා ඇත්තේ කුමක් නිසාද ?

එකී අවස්ථා දෙක නම් ජේසුස් වහන්සේගෙ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේදී එනම් කානා හී විවාහ මංගල්‍යය අවස්ථාවේ (ජොහාන් 2/1-12) හා උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය අවසානයේ දී එනම් කුරුසියේ සිටියදීය.(ජොහාන් 19/25-27)

කානාහී විවාහය පිළිබඳ සිදුවීමේදී සුබාරංචි කතුවරයා මරියතුමිය උන්වහන්සේගේ මෑණියන් බව පුන පුනා පවසයි. එමගින් මව් පුතු සබැඳියාව උලුප්පා දක්වන කතුවරයා එකෙනෙහිම ස්ත්‍රීය යන වදනින් අමතනු අපට ඇසේ. මෙහි සැබෑ අරුත වටහා ගැනීමට නම් අපි මෙය උත්පත්ති පොතේ හමුවන ස්ත්‍රීය හා සම්බන්ධ කළ යුතුය. පළමු මිනිසාට මවාදුන් සහකාරිය "ස්ත්‍රීය" නම් විය.

ජේසුස් වහන්සේ එතුමියට ස්ත්‍රීය යනුවෙන් අමතමින් ගැළවීමේ කාර්තව්‍යයේ එතුමියගේ භූමිකාව සිහිපත් කරවන සේක. එතුමියද එකී ඇරයුම මනාව වටහා ගත් බව "මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද කරන්න" යනුවෙන් සේවකයින්ට පැවසූ වදනින් සනාථ වේ.

පුරාණ මැවිල්ලේ සිටි ස්ත්‍රීය නම් ඒව ය. නව මැවිල්ලේ ස්ත්‍රීය නම් මරියතුමියයි. (නව ඒව ) ජේසුස් වහන්සේ ඒ මොහොතේ එතුමියට පවසන්නේ උන්වහන්සේගේ "මොහොත" තවමත් පැමිණ නොමැති බවයි. ජොහාන් ට අනුව උන්වහන්සේගේ මොහොත යනු දුක්විදීම, මරණය හා උත්ථානයයි. ජොහාන් තුමා නැවත වරක් මරියතුමියව අප හමුවේ ඉදිරිපත් කරන්නේ මේ මොහොත උදාවූ විටයි. එනම් කුරුසිය පාමුල එතුමිය සිටින බැව් පෙන්වමිනි.

සමදර්ශක කතුවරු උන්වහන්සේ පසුපස ආ අය දුරින් සිටිබව පවසද්දී ජොහාන් කතුවරයා උන්වහන්සේගේ මෑණියන් කුරුසිය ළග සිටි බව දක්වයි. එදා කානාහී දුන් පණිවිඩය එනම් එතුමිය උන්වහන්සේගේ ගැළවීමේ ක්‍රියාවලියේ සහයිකාව වන බව කුරුසිය මත සිට නැවත තහවුරු කෙරේ. මව්-පුතු සබැඳියාව ඉක්මවා ගිය විශ්වාසයේ හා ප්‍රේමයේ දැඩි බැදියාවකින් එතුමිය හා ජේසුස් වහන්සේ බැදී ඇත. ජොහාන්ට අනුව එතුමිය කුරුසිය මත යාගය  හුදු නරඹන්නියක් නොව ඊට ක්‍රියාකාරීව සහභාගි වන්නියකි.

ජොහාන් සුබාරංචියේ "මෙන්න" යන යෙදුම අනාවරණයේ යෙදුමකි. මෙන්න ඔබේ මෑණියෝ යනුවෙන් පවසමින් උන්වහන්සේ හගවන්නේ උන්වහන්සේගේ සිදුරුවූ සිරි ඇලයෙන් බිහිවූ නව සභාවේ මාතාව වන්නේ මේ මෑණියන් බවයි.

(පාඩම් සටහන් ඇසුරිනි )

- මාධව ජයකොඩි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව