මොන සාන්තුවරයද බලවත්ම?

මොන සාන්තුවරයද බලවත්ම?

ආදරණීය කතෝලික සහ කතෝලික නොවන සියලුම Fb පාඨකයන් වෙත විශේශ හේතුවක් මුල් කොට ගෙන සිත් තැවුලෙන් ලියන ලිපියකි.

ඊට හේතුව වන්නේ, ලොව බලගතුම සාන්තුවරයා අන්තෝනි මුනිතුමන් යන අදහසක් උපදවන පෝස්ට් සමහර කතෝලික පිටුවලින් හා මිනිසුන් සමාජගත කර ඇත, එය අප සමහරක් කතෝලික සහ අන්‍යාගමික මිනිසුන් Share කර ඇත. මේ ක්‍රියාව නිසා කතෝලික ජනයා අතර හා අන්‍යාගමිකයන් අතර සීඝ්‍රයෙන් මේ මතය පැතිරි තිබීම දකින්නට ලැබෙයි. එමෙන්ම මෙය සමහරුන් පිලිගැනීම ඔවුන්ගේ Comment මඟින් තහවුරු වෙයි. මෙය ඉතාමත් බරපතල ප්‍රශ්නයකි.

කතෝලිකයන් 100 දෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇසුවොත් අන්තෝනි මුනිතුමාද බලවත්? නැතිනම් ජුසේවාස් පියතුමාද? යනුවෙන්, ඔවුන්ගෙන් 50 කට වඩා වැඩි ප්‍රමාණයක් පිලිතුරු දෙන්නේ අන්තෝනි මුණිතුමා බලවත් යනුවෙනි.

මෙන්න මේ පිලිතුර තුල විශාල ප්‍රශ්නයක් ඇත. මෙය ඉතා පැහැදිලිව හා නිරවුල්ව විසඳා ගත යුතුය. නැතිනම් එය දෙවියන්වහන්සේට විරුද්ධව කරන පාපයක් වීමට ඉඩ ඇත. එමෙන්ම අන්‍යාගමිකයන්ටද කතෝලික සභාව ගැන ගැටලුකාරී ප්‍රශ්නයන් උද්ගත කරවනු ඇත.

සාන්තුවරයන් යනු ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අනුව ජීවත්වී උන්වහන්සේව අනුගමනය කර, ස්වර්ග රාජ්‍යය දිනා ගත්, දෙවියන්වහන්සේගේ මහිමාලංකාරය අත්දුටු, දෙවියවන්වහන්සේ සමඟ ස්වර්ගයේ එකට සිටින ශුද්ධවරයන් වේ.

අපගේ ගැලවුම්කරුවාණන් වන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ලොවට බිහිකල කන්‍යමරියවහන්සේ සමඟ මෙම ශුද්ධවරයන්ද පොළොවේ අප වෙනුවෙන් ස්වර්ගයේ සිට සර්වබලධාරී දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වී අපගේ ඉල්ලීම් දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව දෙවියවන්වහන්සේ තුලින් ඉශ්ඨ කර දෙනු ලබයි.

මේ අනුව මෙම ශුද්ධවරයන්ගේ මැදිහත්කම තුලින් අපගේ ඉල්ලීම් ඉටු කර දෙනු ලබන්නේ අහස පොළොව මැවූ සර්වබලධාරී ජීවමාන දෙවියන්වහන්සේයි.

උන්වහන්සේ සෑම මොහොතකම අප සමඟ සිටින ජීවමාන දෙවියන්වහන්සෙයි. අපගේ ජීවීතය තුල සිදුවන සියලුම ප්‍රාතිහාර්‍යයන් එම ජීවමාන දෙවියන්වහන්සේ විසින් ඉටු කර දෙනු ලබයි.

එසේ නම්, අන්තෝනි මුනිතුමන් බලවත් වූයේ කෙසේද?
50 කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තෝනි මුනිතුමන් බලවත් යනුවෙන් පවසන්නේ ඇයි?
සමාජ මාධ්‍ය තුල ලොව බලගතුම සාන්තුවරයා අන්තෝනි මුනිතුමා කියා පෝස්ට් ශෙයාර් කරන්නෙ ඇයි?

සවන් ඇත්තෝ සවන් දෙත්වා!

අන්තෝනි මුනිතුමාව හඳුන්වන්නේ ලෝකයේ සාන්තුවරයා මිස ලොව බලගතු සාන්තුවරයා යනුවෙන් නොවේ. ලෝකයේ සාන්තුවරයා කීමට හේතුව නම් උන්වහන්සේගේ මැදිහත්කම තුලින් ලොව පුරා ප්‍රාතිහාර්‍ය සිදුවන බැවිනි.

සාන්තුවරුන් කරනුයේ එකම ක්‍රියාවකි, ඒ ජීවමාන සර්වබලධාරී දෙවියන්වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වීමයි.

Fb කිතුණු පාඨකයනි, සමාජ මාධ්‍ය තුල ඔබ Share කරන එක පෝස්ට් එකක් මඟින් විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වීමට ඉඩ ඇත, එය විශාල වශයෙන් බාධාවක් වන්නේ අපගේ ගැලවීමේ මාර්ගයටයි. එම නිසා සෑම මොහොතේදීම සිහි නුවණ ඇතුව ක්‍රියා කරන්න.

ඔබගේ ජීවිතයේ ශුද්ධවරයන්ගේ මැදිහත්කම තුලින් ඔබට ලැබී ඇති සියලුම දේ වෙනුවෙන් දෙවියන්වහන්සේට ප්‍රශංසාවත්, මහිමයත්, නමස්කාරයත් ලබා දී, එම ශුද්ධවරයන්ට ඔබගේ ස්තූතිය ලබා දෙන්න.

එම ශුද්ධවරයන්ව ආදර්ශයට ගෙන ඔවුන් මෙන් ජීවත් වී, ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න.

ජේසු පිහිටයි

✍️ අශේන් අරවින්ද