මොරටුව කොරලවැල්ල දේවස්ථානයේ ස්ථාපිත ශුද්ධවූ මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ ඉපැරණි ප්‍රතිහාර්යයාත්මක ප්‍රතිමාව

මොරටුව කොරලවැල්ල දේවස්ථානයේ ස්ථාපිත ශුද්ධවූ මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ ඉපැරණි ප්‍රතිහාර්යයාත්මක ප්‍රතිමාව

මූර්තිමය නිරූපණයන්ට අනුව 19 වන සියවසේ අවසාන භාගයට එනම් ක්‍රි.ව.1860 – ක්‍රි.ව.1899 කාල පරාසය තුලදී නෙලන ලදැයි අනුමාන කල හැකි  කොරලවැල්ල දේවස්ථානයේ පෙරහැර ප්‍රතිමාව වන ශුද්ධවූ මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ මෙම අලංකාර දැවමුවා ප්‍රතිමාව ලක්දිව මූර්ති ශිල්පියෙකුගේ දෑතින් නිර්මාණය වූවායයි පැවසිය හැක. ප්‍රතිමාව නෙලන ලද මූර්ති ශිල්පියා ඉතා දක්ෂ මූර්ති ශිල්පියෙකු බැව් ප්‍රතිමාව දෙස බලන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මෙම ප්‍රතිමාව කිසිඳු විශේෂිත මූර්ති ශෛලියක් යොදාගෙන නිර්මාණය කර නොමැති අතර පොදු සාමාන්‍ය මූර්ති ලක්ෂන විද්‍යාමාන වන අයුරින් නිර්මාණය කර ඇති හෙයින් Popular Style මූර්ති  (ඉතාලි : Stile Popolare) කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස වර්ගීකරණය කල හැක. ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම පසුකාලීනව වෙනස් කර වර්ණාලේප කර ඇති හෙයින් මුල් වර්ණයන් පිලිබඳ යමක් පැවසීමට අපහසුය.

මොරටුවට අයත් ග්‍රාමයන් සියල්ලෙහිම ආරක්ෂක මුනිවරයාණන් වන සාන්ත මිඛායෙල් අග්‍රදූත තුමන්ට කැපවූ කොරලවැල්ල  දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දින එනම් සැප්තැම්බර් මස 29 වන දින ග්‍රාමය වටා පෙරහැර සඳහා මෙම අත්‍යාලංකාර ප්‍රතිමාව යොදා ගනු ලබන අතර ප්‍රාතිහාර්යය පාන්නාවූ බලගතු ප්‍රතිමාවක් ලෙස කිතුනු නොකිතුනු සැමගේ ගෞරවයට, බය භක්තියට පාත්‍ර වන්නාවූ ප්‍රතිමාවකි. එසේම කොරලවැල්ල ග්‍රාමයේ කිතුනු නොකිතුනු ධීවර ජනතාව තමන්ගේ ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන මාළු දැල් ප්‍රතිමා රථය ගමන් කරන නව ගාළුපාර පුරා එලමින් තමන්ගේ ධීවර කටයුතු ආශීර්වාද කරදෙන ලෙස අග්‍රදූතයාණන්ගේ මධ්‍යස්ථ පිහිට අයැදීම ඉතා විශේෂිත සිදුවීමකි. දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයට දකුණුපස කොටසේ මණ්ඩපයක ප්‍රතිමාව ස්ථාපනය කර ඇත.

එසේම දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දින වලදී රැස්ව සිටින සැදැහැවතුන් වෙත ඔසොවා පෙන්වීම සඳහා යොදාගනු ලබන සාන්ත මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ කුඩා ප්‍රතිමාව ඉපැරණි ප්‍රතිමාවක් බවට මතයක් පවතී. ප්‍රතිමා නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන මූර්තිමය නිරූපණයන්, එක් එක් රටට ආවේණික අභාෂයන්, මූර්ති ශෛලීන් සහ නිර්මාණය සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍යයන් අනුව බලන කල මෙම ප්‍රතිමාව ඉපැරණිය යන මතය සම්පුර්ණයෙන්ම සාවද්‍ය මතයක් බැව් ප්‍රකාශ කල යුතුමය. මෙම ප්‍රතිමාව කෘතීම Resin (ඝන බවට හැරවිය හැකි මැලියම් වර්ග| කෘතීම දුම්මල) හෝ POLVERE di MARMO (කිරිගරුඬ කුඩු) මැලියම් සමඟ මිශ්‍ර කර අච්චු යොදාගෙන සාදන ලද ප්‍රතිමාවක් බැව් පෙනේ. ඉතාමත් මෑත කාලීන ප්‍රතිමාවක් වන මෙම ප්‍රතිමාව බොහෝවිට ඉතාලියේ සිට රැගෙන එන ලද ප්‍රතිමාවක් විය හැක. වර්තමානයේදී ඉතා සුලභ ප්‍රතිමා අච්චුවක් වන මෙම ප්‍රතිමාව නිර්මාණය සඳහා යොදාගෙන ඇති අච්චුව මඟින් නිර්මාණය කරන ලද ප්‍රතිමා ඉතාලිය තුල යූරෝ 65ක් වැනි මුදලකට (රු.15,000.00) මිලදී ගත හැක. ඒ අනුව මෙම කුඩා ප්‍රතිමාව ඉතාමත් මෑත කාලයේදී දේවස්ථානයේ ස්ථාපනය කරන ලද ප්‍රතිමාවක් බැව් පෙනේ.

"දෙවිඳුන් හා සමාන කවරෙක්ද ?  ශුද්ධවූ මිඛායෙල් අග්‍රදූතතුමනි, සියළු නපුරෙන් අප ආරක්ෂා කල මැනව."

සඟලොවේ අග්‍රදූත මිඛායෙල් විරුවනේ - නපුරගේ විෂ දලේ සිඳ දමා
ඔබෙ දරුකැල රැකගනු මැන යෙහෙන් සැමදිනේ

දහම්කිරණ විදා මොරටුපුරේ - පාපී අඳුරු වහල් බවින් මිදී
වඩාලන්න කිතුනු බැතිය හදේ - සහය වන්න විකුමන් පා ඔබේ

වැටී සිටින දනන් විපත් වලේ - ගොඩගෙන යලි දෙවිඳු වෙතට සගේ
යකුන් බලය සුන්කර මේ ලොවේ - දිනා දෙන්න මරණ සටන අපේ

සැකසුම : යොහාන් රොද්‍රිගෝ / නිමන්ත සිල්වා

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව