මිශ්‍ර විවාහා වෙන්න පුලුවන්ද?

මිශ්‍ර විවාහා වෙන්න පුලුවන්ද?

ඉතින් ඔයා විවාහය බලාපොරොත්තුවෙන් හිටිය කතෝලිකයෙක්. ඔයාට මුණ ගැහෙනවා කාරුණික, ලස්සන, බුද්ධිමත් කෙනෙක්ව. ඒත් එක දෙයක් පරහට හිටිනවා. එයා කතෝලිකයෙක් නෙමෙයි. ඉතින් ඔයා මොකක්ද කරන්නේ? සභාව මොකක්ද කියන්නේ?

සභාව මේ වගේ අවස්ථාවක ආදරය ගැන බොහොම ටිකයි කියලා තියෙන්නේ. ඒත් විවාහය ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඉතින් සභාව මොකක්ද කියන්නේ විවාහය ගැන සහ මිශ්‍ර විවාහ ගැන? මේකට උත්තරය දැනගත්තට පස්සේ අපි බලමු ඔය ලව් එක නැති කරගන්නවද? නැත්තං ඔයාගේ කතෝලික ඇදහිල්ල විශ්වාස නොකරන කෙනෙක්ව බඳිනවද කියලා.

කතෝලික සභා ධර්මෝපදේශයේ (Catechism of Catholic Church - CCC) කියලා තියෙනවා, විවාහය යනු, "සම්පූර්ණ ජීවිත කාලයේ හවුල්කාරීත්වය සඳහා මිනිසෙකු සහ ගැහැණියක අතර ඇති කරගන්නා ගිවිසුමක්... කාලාත්‍රයාගේ යහපතට, දරුවන් බිහිකිරීමට සහ ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට... අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ විසින් ගෞරවාදරයට පත් කරන ලද සක්‍රමේන්තුවකි. (CCC 1601)

මේ අනුව, ප්‍රථමයෙන්, විවාහය කියන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් අතර වෙන සම්බන්ධතාවයක්. සමලිංගික සහ බහු-විවාහය මේ යටතට ගණන් ගන්නෑ. ඒවා පාපයන්. (උත්පත්ති 2:21-24, ද්විතීය නීති සංග්‍රහය 17:17, 1 රාජාවලිය 11:3 සහ CCC 1605)

දෙවෙනුව, සියළුම විවාහ, විවාහය තුළ සිදුවන සියළුම ලිංගික ක්‍රියා, දරුවන් ලබා ගැනීම සඳහා පමණක් විය යුතුයි. කිසියම් ආකාරයක ඕනෑම කෘත්‍රිම ප්‍රතිසංරෝධක ක්‍රියාවක් බරපතල පාපයක් -- ඒ කියන්නේ පිළිසිඳගැනීමට බාධා වන ක්‍රම, හෝමෝන ක්‍රම, වඳකරණය සහ ශුක්‍රාණු පිටවීමට පෙර පිටතට ගැනීමේ ක්‍රමය වගේ ක්‍රම. (උත්පත්ති 38:8-10, CCC 2370)

තෙවෙනුව, විවාහය ජීවිතාන්තය දක්වාම තියෙනවා. දික්කසාදය කතෝලික විවාහය තුල නෑ මොකද දෙවියන් වහන්සේ ඒකට අවසර දීලා නෑ. (මතෙව් 19:6-9) නමුත් වෙන්වීමට හැකියාවක් තියෙනවා බරපතල කාරණාවලදී. එනම්, හිංසනය, මුල පටන් විවාහය අවලංගු එකක් නම් නැතහොත් සාර්ථකව ලිංගික ක්‍රියාවේ යෙදීමට අපොහොසත්නම් වගේ කාරණාවලදී. ඒත් වලංගු විවාහයක් මරණයෙන් හැර කෙලවර වෙන්නේ නෑ. .

අවසාන වශයෙන්, කතෝලික සභාවේ බෞතීස්මය ලබපු දෙදෙනෙකු අතර විවාහය ජීවිතාන්තය දක්වාම ගෙන යන පොරොන්දුවක් වන අතර එය ජේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ මනාලිය වූ ශුද්ධවු සභාව නියෝජනය කරයි. (එපීස 5)

ඉතින් ඔයාට මිශ්‍ර විවාහයක් කරගන්න පුළුවන්ද? උත්තරය ඔව්. ඒත් දෙපාර්ශවයම ඉටු කල යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මේ කරුණු තියෙන්නේ දෙපාර්ශවයටම විවාහයට ඇතුළුවෙන්න කලින් දැනගැනීම සඳහා.

පළමුවෙන්, කතෝලික නොවන ඒත් කිතුනුවෙක් ලෙස බෞතීස්ම වුණ කෙනෙක් එක්ක වෙන විවාහ තමයි මිශ්‍ර විවාහයක් වෙන්නේ. ඒ කිව්වේ ඔයා මෙතෝදිස්ත, රෙපරමාදු වගේ සභාවක කෙනෙක් එක්ක විවාහ වෙනවනම්. බෞතීස්ම නොවූ අන්‍යාගමිකයෙක්, ඒ කියන්නේ බෞද්ධ,මුස්ලිම්, හින්දු ආගමිකයෙක් එක්ක විවාහ වෙනවා නම් ඒක විෂම විවාහයක්. ඒත් ලංකාවේ කතෝලික-කතෝලික නොවන හැම විවාහයක්ම මිශ්‍ර විවාහ ලෙසයි ප්‍රසිද්ධ. මේ දෙවිදියම කතෝලිකයා අයත් වෙන පදවිය බාර රදගුරුතුමාගේ විශේෂ අවසරයක් නොමැතිව සිදුවෙනවානම් එය අවලංගු විවාහයක්. (කතෝලික සභා නීතිය 1124) මේක ලබාගැනීම හිතන තරම් අමාරු නෑ. ඒත් ඔයා මේක විවාහ ගිවිසගැනීමට කලින් මීසම් භාර පියතුමා ලවා ඉල්ලුම් කරන්න ඕනේ.

දෙවෙනුව, ඔයා බඳින්න ඕනේ පල්ලියේ, ඒ කියන්නේ පල්ලියේ ආශිර්වාදය සහිතව. ඒ කියන්නේ මේ කතෝලික් මීසමක් තුල කතෝලික පියතුමෙකු ඉදිරිපිට, කතෝලික වට්පිලිවෙත් අනුව සිදුවිය යුතුයි. එසේ නැතිනම් රදගුරුතුමාගේ අවසරය සමඟ වෙනත් තැනක, වෙනත් පූජකයෙකු ඉදිරිපිට, වෙනත් ආගමික වත්පිලිවෙත් අනුව සිදුකල යුතුයි. ඒවගේම ආගම් දෙකේ වත්පිළිවෙත් එකම විවාහයක් තුළ සිදුකිරීම තහනම්. (සභා නීතිය 1127)

තෙවනුව, දෙපාර්ශවය සූදානම් වෙන්න ඕනේ මියයන තුරා එකිනෙකාට ආදරේ කරන් (දික්කසාදයක් නෑ), දෙවියන් වහන්සේගේ තෑග්ගක් ලෙස ලැබෙන දරුවන් භාර ගන්නත්, ඔවුන්ව සභාව තුළට ගෙන ඒමටත්. (වෙන විකල්ප නෑ) විවාහ වන යුවලක් මේවා කතෝලික විවාහයක් තුළදී නම් පොරොන්දුවෙනවා. නමුත් මේවා වැදගත් වෙන්නේ මිශ්‍ර විවාහයෙයි. මොකද සමහර අන්‍යාගම් සහ අනෙකුත් ක්‍රිස්තියානි සභාවල දික්කසාදයට අවසර තියෙනවා. ඒ නිසා විවාහ වෙන යුවල මේ දේවල් ගැන මුලින්ම අවබෝධයක් ගත්තට පස්සෙයි බඳින්න ඕනේ.

මිශ්‍ර විවාහයකදී, සභාවෙන් කතෝලිකයාගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා එයා, එයාගේ තියෙන උපරිම ශක්තියෙන් දරුවන්ව කතෝලිකයෝ ලෙස හදාවඩා ගන්නා බවටත්, ඒ බව අන්‍යාගමිකයාට දැනුවත් කරන බවටත්. (කතෝලික සභා නීතිය 1125)

කතෝලික සභාව ඔයාට කතෝලික නොවන කෙනෙක් බඳින්න දෙන්නේ, ඔයාලා දෙන්නාම ඉහත කරුණුවලට කැමතිනම් විතරයි. සභාවෙන් මිශ්‍ර විවාහ ඉවසන නමුත් දිරිමත් කරන්නේ නෑ. කතෝලික විශ්වකෝෂයට අනුව, සභාව මේ සම්බන්ධතාවලට කොළ එලිය පත්තු කරන්නෑ, සභාවෙන් කරන්නේ මේවා නොසලකා හරින එක බරපතල වැරදිවලට යොමු වීම වැලැක්වීමට. 1869දී විශ්වාසය ප්‍රචාරය කිරීමේ සභාව ප්‍රකාශ කර සිටියේ මෙම යුවල වලංගු විවාහයක් සඳහා වූ කොන්දේසි සියල්ල සම්පුර්ණ කර සිටියත්, මෙවැනි විවාහවල බරපතල ගැටලු පිළිබඳව විශ්වාසිකයින්ව දැනුවත් කල යුතු බවයි. කතෝලික සභා නීතියේ 1125 නීතිය අනුව කතෝලික කාලාත්‍රයා විසින් "විශ්වාසය අත්හැර දැමීමට අදාල අනතුරු ඉවත් කිරීමට සුදානම්ව සිටිය යුතුයි." මෙය තදබල ප්‍රකාශයක්. ඒත් ඒකේ තේරුමක් තියෙනවා. ඔයා අන්‍යාගමිකයෙක් එක්ක තදින් ආදරයේ බැදිලා නම්, ඔයා ඇදහිල්ල අතෑරලා දාන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාගේ ළමයිනුත් ඒකම කරනවා. 2015 Pew Study දත්තවලට අනුව වැඩිවියට පත්වූ පසු මිශ්‍ර විවාහයක දරුවෝ, කතෝලික විවාහයක දරුවන්ට වඩා වැඩියෙන් කතෝලික සභාව අතෑරලා යන්න ඉඩ තියෙනවා.

මිශ්‍ර විවාහය අවසරයක් තියෙනවානම්, අන්‍යාගමිකයෙක්ට ආදරේ කරන්න බැරිද? පුළුවන්. ඒත් ඔයා අන්‍යාගමිකයෙක්ට ආදරෙයිනම් එයා දවසක කතෝලික වෙලා ඔයාව කසාද බඳීවි කියලා ප්‍රාර්ථනා කරන්න. සීරියස් සම්බන්ධයකට යන්න කලින්, එයාව බඳින එක ගැන හිතන්න. එයා බඳින්න තරම් වටින කෙනෙක්නම්, එයා ඔයාව බඳීද කියලා විශ්වාසනම් ආදරේ කරන්න. ඒත් මෑතක මට අහන්න ලැබුණු සිදුවීම් ගොඩක අන්‍යාගමිකයෙක්ට ආදරේ කරපු කතෝලික කෙල්ලෝ හුඟ දෙනෙකුට වුණේ තමන්ගේ පිරිසිදුකම එයාට දීලා, ආගම් භේදය නමින් වෙන් වෙලා දුක් වෙන්න. කතෝලික කොල්ලොන්ටත් වුණේ තමන්ගේ ධනය සේරම වියදම් කලාට පස්සේ කතෝලිකයෙක්ට ගෙදරින් කැමති නෑ කියලා අහගෙන පැත්තට වෙන්න. ඒ අතරේ පොරොන්දු රැක්ක අයත් ඉන්නවා මම දැක්කා. ඒ නිසා කරන දෙයක් අවබෝධයකින් කරන්න.

ඔයා අන්‍යාගමිකයෙක් බඳින්න අකමැතිනම්, ඔයාගේ සම්බන්ධය අවසන් වේවී හෝ ඔයා අන්‍යාගමිකයෙක් වෙලා නවතීවි. එහෙමත් නැත්තං ඔයාගේ බලකිරීමක් නැතුව, එයා කතෝලිකයෙක් වෙලා දෙවියන් වහන්සේ සහ ඔයාගේ ආදරේ අත්දකීවී.

මම දන්න හුඟක් විවාහක යුවල් ඉන්නවා. ඒ යුවලේ අන්‍යාගමිකයා ආදරේ කරන කාලේදිම ජේසුගේ ආදරේ කතෝලිකයා තුලින් අත්දැකලා විවාහයේදී.කතෝලික වෙනවා. නැතිනම් තමන්ගේ ආගම අදහන ගමන් කතෝලිකයාටත් තමන්ගේ ආගම අදහන්න උදව් කරනවා.

උපුටාගැනීම ~ මහෝපදේශය පිටුවෙන්