ඈ නම් මරියා ය.. ඇය දෙවියන්වහන්සේගේ මෑණියන්ය!

ඈ නම් මරියා ය.. ඇය දෙවියන්වහන්සේගේ මෑණියන්ය!
Photo by Europeana / Unsplash

ප්‍රොතෙස්තනත මූලධර්මවාදීන් මරියතුමිය ගැන කතා කරනා විට නගනා එක් තර්කයක් වන්නේ ඇය සාමාන්‍ය ගැහැනියක් බවත්, දෙවියන්වහන්සේගේ මෑණියන් ලෙස ඈ හඳුන්වාදීම වැරදි බවත්. කෙසේ වූවත් ඔවුන්ට මග හැරුනු හෝ ඔවුන් නොදන්නා කරුණ වන්නේ මරිය තුමිය දෙවියන්වහන්සේගේ මෑනියන් බව ඔවුන් දිවැසිවරයක් හෝ වීරවරයෙක් ගනයේ පිලිගෙන වචනයෙන් වන්දනාමාන කරනා ප්‍රොතෙස්තන්තවේදීන්ගේ පියා ලෙස සලකන මාටින් ලූතර් නම් හිටපු රෝමානු කතෝලික පූජකයා විසින් පවා ප්‍රොතෙස්තන්තවේදියකු ලෙස තමාගේ දේශනා වලදී සඳහන් කර තිබෙන බවයි.

මරිය තුමියගේ උපත සමරන දින, ඇයගේ ස්වර්ගාරෝපණ මංගල්ලය සිදුකරනා දින මාටින් ලූතර් විසින් මරියාවන් හඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ මාතාවන් කියායි! එමෙන්ම ස්වර්ගාරෝපණය මංගල්ල්‍ය සමරන දිනදී ඔහුගේ දේශනාවේදී මරියාවන් සැබවින්ම ස්වර්ගාරෝපණය වූවාද නැද්ද, එතුමිය ආබ්‍රහම්, ඊසාක් හා ජාකෝබ් මෙන් මරණයට පත් නොවී ජීවත්ව සිටිනවා යන්න බයිබලය තුල පැහැදිලිව සඳහන් වන්නා මෙන් පැහැදිලිව සඳහන් නොවන නිසා ඒ ගැන තවදුරටත් කතා කිරීමෙන් වැලකී සිටිය යුතු බව පවසා ඒ පිලිබඳ වැඩිදුර යමක් නොපවසා හරිනවා මිස අද කාලයේ ප්‍රොතෙස්තන්ත යැයි කියා ගන්නා අය මෙන් මරිය මෑණියන්ව අපහාසයට ලක් කොට පහත් කොට කතා කිරීමක් කරන්නේ නෑ.

මාටින් ලූතර් විසින් මනුශ්‍ය දූෂණ නිසා අබලන් වී තිබුනු කතෝලික සභාව යම්කිසි සභා ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම හරහා එය මුලින් තිබුනු තත්වයට ගැනීම අරභයා ඔහුගේ සටන ආරම්භ කලද - යම්කිසි අඳුරු බලවේගයක් හරහා කතෝලික සභාව දෙකඩ කොට අසමගි කොට වෙන් කරදැමීමත්, කන්‍යා සොහොයුරියකව සිටි කාන්තාවක් විවාහ පත් කරගෙන නව සභාවක් ආරම්භ කිරීමට ගත් පියවර වසර 500 කටත් අඩු කාලයකදී ඔහු කිසි ලෙසකින් නොසිතූ ආකාරයේ දූෂිත - මුදල් සහ සල්ලාල කම පසුපස යන බොරු දිවැසිවරුන්ගෙන් පිරි කොට්ඨාශයකට නායකත්වය දීමක් වේ යැයි ඔහු සිහිනයකින් හෝ දැන සිටියා නම් ඔහු කල බොහෝ දේ වෙනස් ආරකට කරනු ඇතැයි මාගේ හැඟීමයි.

රෝම අධිරාජ්‍යයේ ඒකාධිකාරී රාජකීය බලය තුල යටහත් පහත් බැටලුවකු වූ ක්‍රිස්තුස්වහන්සේ විසින් පේදුරු මූලික කොට ගොඩනැගූ කතෝලික සභාව දූෂණය වී දෙවියන්වහන්සේගේ සැබෑ මාර්ගයෙන් ඉවතට ගිය බව ඉතිහාසඥ‍යින් ඇතුලු කතෝලික සභාව පවා පිලිගන්නා කරුණක් වන අතර තර්කය පවතින්නේ ප්‍රොතෙස්තන්ත වරුන් දරුණු ලෙස මවා පෙන්වන තරමටම දූෂිතද නැතිනම් ඊට අඩු මට්ටමකද යන්න පමණයි. කෙසේ වෙතත් ක්‍රිස්තුස්වහන්සේ විසින්ම පිහිටවන ලද ශුද්ධවූ සභාවේ දූෂණය අඩු හෝ වැඩි වශයෙන් හෝ නොතිබිය යුතු බැවින් දූෂණයේ තරම සාධාරණීකරනය කිරීමට කිසිවෙකුට නොහැකි බව අවිවාදාත්මකයි.

කතෝලික සභාව දෙවියන්වහන්සේගේ පුත් ක්‍රිස්තුස්වහන්සේ විසින් ආරම්භ කල සභාව ලෙස පැවතියද මිදි වත්තේ සමහර සේවකයන්ගේ දුෂ්ඨකම නිසා දූෂ්‍ය වී තිබූ බව සාන්ත ෆ්‍රැන්සිස් තුමා පවා දුටු අතර යටහත් පහත්ව සිට, පාප්තුමා සහ කාදිනල්වරුන් ඉදිරියේ සිදුකල දේශනයක් හරහා ඒ සියල්ලන්ගේ සිත් ශුද්ධාත්මයාණන් මගින් වෙනස් කොට සැබෑ පරිවර්තනයක් හරහා මුල් තත්වයට පත් කලේ මාටින් ලූතර්ට වසර 300කට පමණ පෙර යන්න මාටින් ලූතර් දැනගෙන සිටියද අමතක කිරීම මාන්නය නිසා සිදුවූවක් දැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයක්!

මාගේ ප්‍රොත්සෙතන්ත සහෝදරවරුනි, මරියතුමිය අප ගලවන්නේ වත්, මරිය තුමිය හරහා සදාතන ජීවනය ලැබෙන්නේ වත් කියා කිසි ඉගැන්වීමක් කතෝලික සභාව තුල කිසිදිනක පැවතියේ නැත. නිරාගින්නෙන් අප ගලවා ගන්නට හැකි එකම තැනැන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව සෑම කතෝලික දරුවෙක් පවා දන්නා සහ ගරු කරමින් අනුගමනය කරන්නාවූ සත්‍යතාවයක්.

එමෙන්ම එකම වන්දනාව අතීත කල්හීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් ලැබිය යුත්තේ දෙවියන්වහන්සේටම පමණක් බවද සෑම කතෝලිකයකුම දන්නා අනුගමනය කරන්නාවූ කරුනක්.

එනිසා කතෝලික විශ්වාසයේ කරුනු හරි හැටි නොදැන, නො එසේ නම් හිතාමතාම විකෘති කරමින් දෙවියන්වහන්සේගේ මෑණියන් හට අපහාස කිරීම දෙවියන්වහන්සේගේ උදහසට ලක්වන කාරණාවක් බව ඔබ තේරුම්ගතහොත් ඔබටම යහපත! එය මාටින් ලූතර් විසින්ද තේරුම් ගත් සත්‍යතාවක් බව ඔබ සොයා බලා ඉගෙනගතහොත් තවත් යහපත්!

සත්‍යට ගරු කරන්න. සත්‍ය සොයා යන්න. එයයි සැබෑ කිතුනුකම. සත්‍ය විශ්වීයයි - සෑම තැනටම පොදුයි - සත්‍ය තිබෙනා තැන ක්‍රිස්තු සභාව වචනාර්ථයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කතෝලිකයි!

ඔබට ජේසු පිහිටයි!

~ Kithunu LK