දේව මාතා දර්ශනයන්

දේව මාතා දර්ශනයන්

👉දැනට සිදුව ඇති දේව මාතා දර්ශනයන් සංඛ්‍යාව 300 කට අධිකය.නමුත් මේවායින් දැනට සභා අනුමැතිය හිමිව ඇත්තේ 12 කට පමණකි. ඒ අතර,

♦️1-ක්‍රි:ව 1214 දී දේව මාතාවන් ස්පාඤ්ඤයේ ශුද්ධ වු දොමිනික් තුමන්ට දර්ශනය  වීම.
♦️2-ක්‍රි:ව 1531 දී මෙක්සිකෝවේ ජුවාන් ඩීගෝ හට දර්ශනය වීම.
♦️3- ක්‍රි:ව 1830 දී ප්‍රංශයේ කැතරින් තුමියට දර්ශනය වීම.
♦️4- ක්‍රි:ව 1858 දී ප්‍රංශයේ ලූර්දු නුවර බර්නදෙත් දැරියට දර්ශණය වීම.
♦️5- ක්‍රි:ව 1917 දී පෘතුගාලයේ ලුසී, ජසින්තා, ප්‍රැන්සිස්කෝ යන දරු තිදෙනාට දර්ශනය වීම ප්‍රධාන වෙයි.

👉 පුරාණ ගිවිසුම තුළ "ස්ත්‍රිය"වු ඒව ගේ අකීකරුකම කරණකොට ගෙන "ජන්ම පාපය" මේ ලෝකයට පැමිණියේය.( උත් 3:15 ) නමුත් නව ගිවිසුම තුළ "ස්ත්‍රිය" හෙවත් නව ඒව  වු දේව මාතාවන්ගේ ( ජොහාන් 2:4,19:26 ) කීකරුකම ( ලුක් 1:38 ) කරණකොට ගෙන  ලොව "ගැලවුම්කරුවාණන්" වු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට ජනිත විය.මිනිසා පාපයට නැඹුරු වු බොහෝ අවස්ථාවන් හීදී මෙතුමිය විවිධ දර්ශනයන් මගින් මිනිසාව නැවතත් තම පුතණුවන් වෙත ලං කරවන්නට එතුමිය කානා නුවරදී මෙන්ම තමන්ගේ "මැදහත්කාරීත්වය" වර්තමානයේද ලබා දෙනු ලබයි.

📕 5 උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, 'මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ'යි කී හ.
( ජොහාන් 2:5 )

👉 ඒ සදහා දේව මාතා දර්ශනයන් කදිම උදාහරණයකි.බොහෝ මුලධර්මවාදින්ගේ මතයක් වන්නේ එම දර්ශනයන් සාතන්ගේ ක්‍රියාවක් වන බවය.නමුත් අපි මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ එම දර්ශනයන් තුළින් දේව මාතාවන් ඉල්ලා සිටි කරුණු පිළිබදවය.

👉 ක්‍රි:ව 1208 දී ස්පාඤ්ඤයේ දී දේව මාතාවන් සාන්ත දොමිනික් ගුස්මාන් තුමන් හට දර්ශන වෙමින් ශුද්ධ වු ජපමාලය ලබාදෙන ලදී.ශුද්ධවු ජපමාලය යනු ක්‍රිස්තු කේන්ද්‍රීය වු යාච්ඤාවකි.එනම් අපි මෙහිදී දේව මාතාවන් සමගින් එකතුව ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීම සහ පාස්කු අභිරහස සිහිපත් කරමු.දේව වචනයේ දාසිය වු ඇය විසින් ( ලුක් 1:38 ) නව ගිවිසුම තුළ ගැලවීමේ ක්‍රියාවලිය සිහිපත් කෙරෙන ශුද්ධ වු ජපමාලය සාන්ත දොමිනික් තුමන් වෙත ප්‍රදානය කෙරිණි.එය ප්‍රදානය කරන ලද්දේද ශුද්ධ වු ත්‍රීත්වයට එරෙහිව පැමිණි "ඇල්බෙන්ජෙන්සියානු" වේද භේදය පරාජයට පත් කරලීම සදහාය.නව ගිවිසුම තුළ "ශුද්ධ වු ත්‍රීත්වය" එලිදරව් වු මුල්ම තැනැත්තිය වන දේව මාතාවන්,

📕35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ''ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.
( ලුක් 1:35 )

විසින් "ශුද්ධ වු ත්‍රීත්වයට" එරෙහිව පැමිණි වේද භේදය පරාජයට පත් කිරීම සදහා ශුද්ධ වු ජපමාලය ප්‍රදානය කිරීම කිසිසේත් සාතන්ගේ ක්‍රියාවක් විය නොහැකිය.

👉 දේව මාතාවන්ගේ දර්ශනයන් අතර තවත් සුවිශේෂි දර්ශනයක් වන්නේ ක්‍රි:ව 1858 පෙබරවාරි මස 11 වන දිනයේදී ප්‍රංශයේ ලුර්දු නුවරදී ශුද්ධ වු බර්නදෙත් තුමියට දර්ශනය වීමයි.එහිදී දේව මාතාවන් "ජන්ම පාපයෙන්" නිර්දෝශී තැනැත්තිය වන බව ඇය විසින්ම ප්‍රකාශ කරනු ලැබුවාය.දේව මාතාවන්ගේ සුවිශේෂි කැදවීමට ඇදහිල්ලේ සහ නිදහස් පිළිතුරක් ලබා දීම සදහා ( ලුක් 1:38 ) ඇය හට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පුර්ණ වු උපතක් ලබා දීමට අවශ්‍ය විය.

📕 4 ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
( එපීස 1:4 )

👉 එය වඩාත් තහවුරු වන්නේ ග්‍රාබියෙල් දේව දූතයා විසින් ඇය වෙත පැමිණ "වරප්‍රසාදයෙන් පුර්ණ වු තැනැත්තිය" ලෙසට ආචාර කිරීමත් සමගිනි.

📕 "විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ.ස්වාමින් වහන්සේ ඔබ සමගය."
( ලුක් 1:28 )

👉 ක්‍රි:ව 1854 දී 9 වන පියුස් සුදතුම් පියාණන් විසින් (INEFFABILLIS DEUS ) නැමැති අපෝස්තලික වය්‍යවස්ථාව මගින් දේව මාතාවන්ගේ නිර්මල පිලිසිදීම සභාව විසින් පිලිගත යුතු නිල "වේද සත්‍යතාවයක්" බවට ප්‍රකාශයට පත් කරන ලදී.ශුද්ධෝත්තම පියතුමන්ගේ වේද සත්‍යතාවය පිළිබද ප්‍රකාශය දේව මාතාවන් විසින්ම සිව් වසරකට පසුව තහවුරු කරනු ලැබීම ශුද්ධෝත්තම පියතුමන්ගේ "නොවරදින සුළු භාවය" සභා ඉතිහාසය තුළ තහවුරු වු අවස්ථාවක් ලෙසටද පෙන්වා දිය හැකිය.

📕 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක.
( මතෙව් 16:19 )

👉 එමෙන්ම දර්ශන ලාභී බර්නදෙත් තුමිය පසු කාලිනව ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරමින් කන්‍යා සොහොයුරියක් වීමත් ඇයගේ ශරීරය අදටත් නොදිරා පැවතීමත් නිසා මෙය කිසිසේත් සාතන්ගේ ක්‍රියාවක් විය නොහැකිය.අදටත් ලුර්දුවේ ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් දේව මාතාවන්ගේ යාච්ඤා "මැදහත්භාවය" තුළ සිදුවන ප්‍රාථිහාර්‍ය ලුර්දු වේ සංචාරය කරන ඕනෑම පුද්ගලයෙකු හට නැරඹීමට හැකිය.

දේව මාතා දර්ශනයන් අතර වඩාත් සුවිශේෂී දර්ශනයක් ලෙසට පාතිමා දර්ශනය හදුන්වා දිය හැකිය.එනම් ක්‍රි:ව 1917 මැයි 13 වන දින සිට 6 වතාවක් අඛණ්ඩව සෑම මසකම 13 වන දින පෘතුගාලයේ ලුසී,ජසින්තා සහ ප්‍රැන්සිස්කෝ යන දරුවන් තිදෙනාට දර්ශනය වීමයි.
මෙම දර්ශනය මගින් දේව මාතාවන් විශේෂයෙන්,

👉 "ශුද්ධකාගිනිස්ථානය තුළ දුක් විදින ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසට ඉල්ලා සිටින ලදී.

📕 12 මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,
📕 13 ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
📕 14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.
📕 15 යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.
( 1 කොරින්ති 3:12-15 )

👉 එමෙන්ම පව් කරුවන්ගේ සිත් හැරීම වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් ඔවුන් වෙනුවෙන් ශුද්ධ වු ජපමාලය ඔප්පු කරන ලෙසත් මෙතුමිය විසින් ඉල්ලා සිටියාය.

👉 මාටින් ලුතර්ගේ මිත්‍යාවට හසුව ශුද්ධ වු සභාව හැර ගොස් සිටි ලක්ෂ ගණනක වු දේව ජනතාව නැවතත් ශුද්ධ වු සභාව වෙත රැගෙන ඒමට මෙම දර්ශනය ඉවහල් විය.මෙහි ඔක්තෝබර් 13 වන දින සිදු වු අවසාන දර්ශනය 70000 කට අධික පිරිසකට දර්ශනය වීම එවකට පෘතුගාලයේ පුවත් පත් වල පවා ප්‍රධාන සිරස්තලයක් විය.

👉 තවද මෙහිදී දේව මාතාවන් විසින් ශුද්ධෝත්තම පියතුමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසටද ඉල්ලා සිටින ලදී. ක්‍රි:ව 1981 මැයි මස 13 වන දින ඉස්ලාම් අන්තවාදියකු වු අලි අග්කා විසින් දෙවන ජුවාම් පාවුළු මුනිතුමන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද අවස්ථාවේදී ජුවාම් පාවුළු මුනිතුමන් බිම වැටෙන්නට නොදී දේව මාතාවන් විසින් ආරක්ෂා කිරීම පාතිමා පලමු දර්ශනය සිදුවු මැයි මස 13 වන දින සිදුවීම නිසා ජුවාම් පාවුළු මුනිතුමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙය පාතිමා දර්ශනයේ අණාවරණයක් බවයි.අලි අග්කා හට ජුවාම් පාවුළු මුනිතුමන් විසින් සමාව ලබා දීමත් සමගින් ක්‍රිස්තු ප්‍රේමය අත්දකින ලද ඔහු විසින් කතෝලික දහම වැලදගැනීමත් මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.කිසියම් පුද්ගලයෙකු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීම කිසිසේත් සාතන්ගේ ක්‍රියාවක් විය නොහැකිය.දර්ශන ලාභීන් වු ජසින්තා සහ ප්‍රැන්සිස්කෝ දේව මාතාවන් ප්‍රකාශ කළ පරිද්දෙන්ම ඉක්මනින්ම ස්වර්ගස්ථ වු අතර ලුසී කන්‍යා සොහොයුරියක් වෙමින් ක්‍රිස්තු ප්‍රේමයට සාක්ෂි දැරීම සාතන්ගේ ක්‍රියාවක් වන්නේ කෙසේද යන්න විමසා සිටිය යුතු කරුණකි.

👉 නව ගිවිසුම තුළ "ස්ත්‍රිය" හෙවත් "නව ඒව" වන "දේව මාතාවන්" සහ සාතන්ගේ හිස පොඩිකරන ලද ක්‍රිස්තුන් වහන්සේ සමගින් සාතන් සැම විටම බද්ධ වෛරයකින් පසු වෙයි.

📕 15 තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි.
ඔහු තගේ හිස පොඩි කරන්නේ ය;
තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.''
( උත්පත්ති 3:15 )

මේ නිසාවෙන් "දේව මාතා දර්ශනයන්" තුළින් කල්වාරි කදු මුදුනේදී සාතන්ගේ හිස පොඩි කරන ලද "දේව පුත්‍රයාණන්" වු ජේසුස් වහන්සේ මහිමතාවයට පත්කරලීම සදහා සාතන් විසින් කිසි විටකත් උත්සුක නොවන බව නිරවුල් මනසක් ඇති ඕනෑම පුද්ගලයෙකු හට වැටහිය යුතුය.

👉 මේ නිසා දහ නව සියවසේදී බිහි වු බොහෝ මුලධර්මවාදී කණ්ඩායම් විසින් දේව මාතාවන්ටත් එතුමියගේ දර්ශනයන්ටත් අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම පිළිබදව අප විසින් කලබල විය යුතු නැත.මන්ද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධීරය විද්‍යාත්මකව සනාථ කොට තිබෙන "දිව්‍ය සත්ප්‍රසාද" ප්‍රාථිහාර්‍යන් පවා ඔවුන් විසින් සලකන්නේ "සාතන්ගේ ක්‍රියාවක්" ලෙසටයි.

👉 මේ නිසා අප විසින් සිදු කල යුතු වන්නේ "ක්‍රිස්තුන් වහන්සේ" විසින් කල්වාරි කදු මුදුනේදී තමන්ව මරණයට පත් කරන ලද පුද්ගලයන් හට සමාව ලබා දුන් ආකාරයටත්,

📕 34 ජේසුස් වහන්සේ කතා කොට, ''පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති''යි වදාළ සේක.
( ලුක් 23:24 )

"දේව මාතාවන්" පාතිමාවේදී ඉල්ලා සිටි ආකාරයටත්  මෙවැනි "පව්කරුවන්ගේ සිත් හැරීම" වෙනුවෙන් යාච්ඤා කිරීම පමණකි.

සතුට යනු කතෝලිකයකු වීමයි!
✍️සාහිත පෙරේරා