මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගීවරු

මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගීවරු

කිතු දහම පෘතුගීසීන් මෙරටට ගෙනවිත් බලහත්කාරයෙන් අප කරේ පැටෙව් වගක් ඇතැමුන් කියන විට මන්නාරමේ මේ සිදුවීම ඔහුගේ මුසාව බිඳ දැමීමට කදිම සාධකයකි. මෙහි ජනතාව පූජාප්‍රසාදිතුමකු කැදවාගෙන එතුමනට සවන්දී දහම් වැළඳ ගත්හ.

ක්‍රි.ව. 1519 යාපනය සිංහාසනය සංකිලි නැමැත්තෙකු විසින් පැහැර ගන්නා ලදී. චෙකරාස සේකරන් ලෙස නම යොදා ගත් මොහු නිත්‍යානුකූලව පත් වී සිටි රජු මරාදමා රජකම පවරා ගත්තේය. එසේම රජතුමාට පක්ෂපාතී ව සිටි පිරිස ද මරා දැමුවේය. මේ හේතුවෙන් රජකමට උරුමකරුව සිටි රජ කුමරා ඉන්දියාවට පැණ ගියේය. ඔහු එහි ගියේ තම රාජ්‍යය දිනා ගැනීමට පෘතුගීසීන්ගේ සහාය ලබා ගැනීම පිණිසයි.

යාපනය අවට පිහිටි නොගැඹුරු මුහුදු වැලිවැටියේ රැඳෙන සියලු නැව් තමනට අයත් වන බව යාපනයේ රජවරුන්ගෙන් පිළිගත් සම්ප්‍රදායක් විය. මේ අනුව අවට මුහුදු වැල්ලෙ රැඳුණු නැව් බොහොමයක් සංකිලි පැහැර ගත්තේය. මේ හේතුන් නිසා ක්‍රි.ව. 1543 දී පෘතුගීසී මාටින් අල්ෆොන්සෝ ද සුසා විශාල නැව් හමුදාවක් ද කිරුළ අයත් කුමරුන්ද සමග පැමිණ සංකිලි පෘතුගාල රජුට බදු ගෙවන වැඩවසම් පාලකයෙකු බවට පත් කළේය. සංකිලි එම ගිවිසුම නොසලකා හැරියේය.

මේ කාලය තුළ යාපනයට අයත් මන්නාරමේ සිටි ජනතාව ඉන්දියාවේ සිටි ප්‍රැන්සිස් සාවියර් තුමන් (පසුව මුනිවරයාණන්) ගැනත් උන්වහන්සේගේ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යයන් ගැනත් අසා උන් වහන්සේට එහි පැමිණෙන ලෙස ආරාධනා කළහ. එහෙත් කාර්යබහුල නිසා පැමිණීම එතුමනට අපහසු වූ බැවින් ඒ නමින් ම තම ජේසු නිකායේ වෙනත් ප්‍රැන්සිස් සාවියර් පියතුමකු එහි එවන ලදි.

මෙතුමන් මන්නාරමේ දූපතට පැමිණ ගෙන ගිය දහම් දූත කාර්‍ය ඉතා සාර්ථක විය. එතුමනට සවන් දුන් 800ක් පමණ ජනතාවක් කිතු දහම වැළඳ ගත්හ. මෙය දැනගත් සැනකින් සංකිලි රජ බිය පත් විය. හේ හින්දු භක්තිකයෙකි. කිතු දහම වැළඳ ගැනීමෙන් ගෝවේ සිටි පෘතුගීසිනට තම රටේ ජනතාව පක්ෂපාති වේද යන බිය ඔහුගේ සිත තුළ රජ කරන්නට විය. බියෙන් සහ වියරුවෙන් සිටිය සංකිලි රජතුමා විශාල හමුදාවක් මන්නාරමට යවා එම කිතු බැතිමතුන් සියලු දෙනාටම තමන් වැළඳගත් නව දහම ප්‍රතික්ෂේප කරන ලෙස අණ කළේය නැතහොත් මරණ දණ්ඩනය ලබන ලෙස නියම කළේය.

මෙම නව කතෝලික සැබෑවක් වූ මේ තර්ජනයට මුහුණ දුන්හ. ඇතැමුන් කැලෑ වැදී තම ජීවිතත් විශ්වාසයක් බේරා ගත් අතර හයසීයක් පමණ දෙනා ජීවිත ජීවිත බේරා ගත නොහැකිව විශ්වාසය සඳහා දිවි පිදූහ. ශුද්ධවු ප්‍රැන්සිස් තුමා මේ ගැන ඉන්දියාවේ සිටි පෘතුගීසි පාලකයින්ට දැනවූ නමුත් ඔවුන් දැක්වුවේ අලස ප්‍රතිචාරයකි. එතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි තැන රජුට දඬුවම් කිරීම සඳහා නාවික භට පිරිසක් එවු නමුත් එහි එකම ප්‍රතිඵලය වූයේ වටිනා බඩු රැසක් සහිත මුහුදු වැල්ලේ රැඳී තිබුණු පෘතුගීසි නෞකාවක් බේරා ගැනීම පමණයි. වැඩි කලක් ගතවන්නට පෙර යාපනේ පොදු ජනතාවත් සංකිලි සංකිලිට එරෙහිව නැගිට සිටියහ.

ඔවුන් ගෝවේ සිටි පෘතුගීසි විසුරේ ප්‍රතිරාජ වෙත දූත පිරිසක් යවමින් යාපන රාජාසනය සිංහල රජ තුමකු පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය. යාපනය මින්පෙර කෝට්ටේ රාජධානියේ කොටසක් වූ හෙයින් යළිත් එසේ පිහිටුවන ලෙස ඔහු ඉල්ලූහ. (S.G. Perera S.J - History Of Ceylon, The Portuguese and Dutch Periods, p.28). පෘතුගීසි ආණ්ඩුකාරයා මෙය කරන්නට කැමැත්තෙන් සිටියේ වඩාත්ම අසරණ කතෝලිකයන් ඝාතනය කළ රජුට දඩුවම් නොකිරීමේ වරදට ඔහු චෝදනා ලැබිය හැකිය යන බියෙනි. එහෙත් මේ අතරතුර ගෝවේ නගරය තුළ වසූරි වසංගතය පැතිර ගියේය. මෙයින් එහි සිටි සිංහල රජ කුමරුන් දෙදෙනා ම මිය ගියෝය.

මෙය සිදු වූයේ ක්‍රි.ව. 1546 ජනවාරි මස දී ය. මේ අනුව සිංහල රජකු යාපනයේ සිංහාසනයට පත් කිරීමේ සැලසුම අහෝසි කරන්නට සිදුවිය. ඒ වෙනුවට යාපනේ කිරුළ හිමි කුමරාම සිංහාසනාරූඪ කිරීම සඳහා ප්‍රයත්නයක් දරන ලදී. මේ සාර්ථක කරගැනීම පිණිස මහනුවර රජතුමන්ගේ ආධාරයට අන්ඩ්‍රේ ද සව්සා නමැති නිලධාරියෙකුද එවු බවට වාර්තා වේ. කෙසේ හෝ කාර්‍ය සාර්ථක නොවීය. මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ බුවනෙකබාහු මායාදුන්නේ අතර ගැටුමට මහනුවර වික්‍රමබාහු රජතුමා ද ඇඳී සිටීමයි. මෙම ප්‍රාදේශීය ගැටුම් තව තවත් උග්‍රවී ක්‍රමයෙන් අප රට පිරිහෙන්නටත් පසුව විදේශිකයින් අතට පත් වන්නටත් මග සැලසුණු බවද අද රහසක් නොවේ.

කිතු දහම පෘතුගීසීන් මෙරටට ගෙනවිත් බලහත්කාරයෙන් අපේ කරේ පැටවු වගක් ඇතැමුන් කියන විට මන්නාරමේ මේ සිදුවීම ඔවුන්ගේ මුසාව බිඳ දැමීමට කදිම සාධකයකි. මෙහි ජනතාව පූජාප්‍රසාදී තුමකු කැඳවාගෙන එතුමට ද සවන් දී දහම් වැලඳගත්හ. පැහැදිලි අවබෝධයෙන් හා ස්වෙච්ඡාවෙන් ද යුතුව වැළඳගත් එම දහම සඳහා මෙම කතෝලිකයෝ දිවි පිදූහ.

සංකිලි මෙන්ම ක්‍රි.ව. 1658 - 1796 අතර මන්නාරම පලාත පාලනය කළ ඕලන්දයෝද මෙහි කතෝලිකයන්ට දරුණු ලෙස පීඩා කළෝය. එහෙත් ඒ සියල්ල මැද ඔවුන් තම දහම රැකගෙන ජුසේවාස් පියතුමාගෙන් යළි පුනර්ජීවයක් ලදහ.

ප්‍රාණපරිත්‍යාගීවරුන්ගේ රුධිරය කිතු දහමේ බීජ යැයි කියනු ලැබේ. එය සැබෑ කරමින් අද මන්නාරම විශාල කතෝලික සැදැහැවතුන් සංඛ්‍යාවක් සිටින පළාතකි. ක්‍රි.ව. 1981 දි එය රදගුරු වසමක් බවට පත්වී එහි පළමු රදගුරු වශයෙන් අති උතුම් තෝමස් සෞන්ද්‍රනායගම් හිමිපාණෝ ක්‍රිස්තු වර්ෂ 1981 ජූලි මස 20 වැනි දින දින ජපමාල මඩු මාතා සිද්ධස්ථානයේ දී රාජගුරු අභිෂේක ලදහ.

📜ස්වර්ගස්ථ විශ්‍රාමික අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ විසිනි
උපුටා ගැනිම : ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ