යාම යැදුම

යාම යැදුම

‘යාම යැදුම’ යනු දවසේ නිශ්චිත කාල වේලාවන්වල දී, විශේෂයෙන් ම ගීතාවලියේ තෙහෙලි ගී ඇසුරින්, සම්පූර්ණ කතෝලික සංඝය ම එක් වී රැස්වී සිදු කළ ප්‍රශංසා යාච්ඤා පිළිවෙත යි. දවසේ නිශ්චිත යාම වලදී මෙය සිදු කෙරෙන නිසා ‘යාම යැදුම’ ලෙස එය පරිවර්ථනය කර ඇත. තවද දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසු ඉංග්‍රීසි සභාවෙන් මෙය හැදින්වෙන්නේ LITURGY OF THE HOURS යනුවෙනි. මෙයින් ගම්‍ය වන්නේ ද ඉහත අර්ථයයි. දෙවන වතිකාන සම්මන්ත්‍රණයට පෙර වතිකානුවේ දී මෙය හඳුන්වනු ලැබුවේ THE DIVINE OFFICE යනුවෙනි. විශේෂයෙන් පූජක හා පැවිදි පක්ෂයට මෙම යැදුම් පිළිවෙත සිඳු කිරීම අනිවාර්යය වූ බැවින් මෙම නම තුළින් එම ණය යුක්තිය ගම්‍ය වේ. ඒ අනුව ඇතැම් අවස්ථාවේදී යාම යැදුම සඳහා සිංහල භාෂාව තුළ ‘දේව රාජකාරිය’, ‘නිල යැදුම’, ‘නිල දේව ප්‍රශංසාව’ වැනි වචන භාවිත විය. එහෙත් දෙවන වතිකාන සම්මන්ත්‍රණ සභාවේ දර්ශනය තුළ වර්ථමානයේ එය ‘යාම යැදුම’ ලෙස නම් කර ඇත.

යාම යැදුමේ ප්‍රධාන පරමාර්ථය දේව ප්‍රශංසාව තුළින් දවස මුළුමනින් ම ශුද්ධවත් කිරීම යි. සියලු කාලය අයිති වන්නේ දෙවියන් වහන්සේට ය. එබැවින් කතෝලික අපගේ ඇදහිල්ලට අනුව කිසිදු කාලයක් සුභ හෝ අසුභ  ලෙස විග්‍රහ නො කෙරේ. තවද දෙවියන් වහන්සේ කාලයට අධිපති තැනැන්වහන්සේ වන බැවින් එම කාලය ඔවුන් වහන්සේ ප්‍රශංසා කිරීම තුළින් ශුද්ධවත් කිරීම සිදුවේ. දවසක කාලය ශුද්ධවත් කිරීම සඳහා දිව්‍ය පූජාව සිදු කිරීමත්, යාම යැදුමට සහභාගී වීමත් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන ජනවන්දනා පිළිවෙත් වේ.

‘යාම යැදුම’ අලුත් යැදුම් ක්‍රමයක් නොවේ. එය ජුදා සම්ප්‍රධාය තුළින් කිතුණු අපට උරුම වූ ඉපැරණි, සාම්ප්‍රදායික බයිබලීය යැදුමකි. ජුදා ජනතාව විශේෂයෙන් සිනගෝගවල කළ යැදුම්වල දී ගීතාවලියේ ගී භාවිත කළෝ ය. ප්‍රශංසා කිරීම නොහොත් බෙරකා, සම්ප්‍රදාය ඔවුන්ගේ අති සුවිශේෂ යැදුම් ක්‍රමයකි. දෙවියන් වහන්සේට විශ්වාස පක්ෂ ජුදයෙකු සාමාන්‍යයෙන් එක් දිනක් තුළ ප්‍රශංසා කිරීම් (බෙරකොත්) සියයක් පමණ කියන බව පැවසේ.

ස්පාඤ්ඤ ජතික පැවැදි කාන්තාවක් වූ එජේරියා නැමැත්තිය ජෙරුසලමේ පැවති ජනවන්දනා පිළිවෙත් පිළිබද ලියන ලද තම දිනපොතෙහි අඩංගු කරුණු වලින් පැහැදිලි වන්නේ මුල් යුගයේ යාම යැදුම මුළු සංඝයේම යැදුමක් බවයි.

හතරවන සියවසේ ආගමික නිදහස ලැබීමත් ඉන් අනතුරුව තාපස නිකායන්ගේ වර්ධනයන් නිසා යාම යැදුමේ විශාල වෙනස්කම් සිදු විය. පදවි වල රදගුරුතුමන්ලාගේ නායකත්වයෙන් පදවි සහ මීසම් දෙව්මැදුරු තුළ කිතුණු සංඝ විසින් යදින ලද යාම යැදුම් ‘ආසන දෙව්මැදුරු යාම යැදුම’ ලෙස ද, තාපසාරාමවල හුදකලා වූ තාපස සංඝ යදින ලද යාම යැදුම් ‘තාපසාරාම යාම යැදුම’ ලෙස ද හඳුන්වනු ලැබේ. කතෝලික සභාවේ වර්ධනයත් සමඟ පසුකාලීනව ඇතිවූ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් පසුකලෙක ජනතාවගෙන් මෙම ඉතාමත් වැදගත් යැදුම් සම්ප්‍රධාය ගිලිහී ගොස් එය පූජක පැවිදි අයගේ යුතුකමක් ලෙස පමණක් නටබුන් විය. මෙය ඉතා දුක්ඛිත තත්ත්වයක් බව පැවසිය යුතුය.

ඉතිහාසහ හදාරණ විට සඳහන් කළ යුතුම වන අනෙක් කරුණ වන්නේ, පැවිදි නිකායන් තුළ යාම යැදුම සරල බව අහෝසි වී එය අති සංකීර්ණ ව්‍යුහයක් ඇති යැදුමක් බවට පත්වූ වගයි. තවද යැදිය යුතු යාම සංඛ්‍යාව දැරිය නොහැකි තත්ත්වකට වැඩිවීමද, මෙහිලා සඳහන් කළ යුතුය.

අහිමි වූ යාම යැදුම වෙනුවට ගිහියන් වෙත වෙනත් යැදුම් හඳුන්වාදෙන ලදී. එනම්, මාංශගතවීමේ අභිරහස සිහිපත් කරන ‘තුන්කාල ආරාධනාව’ සහ ඇතැමුන් පවසන පරිදි ‘ශුද්ධවූ ජපමාලයයි’ අපගේ දෙව්මැදුරුවල හිමිදිරි උදයේ, මධ්‍යහ්නයේ සහ හිරු බසින යාමයේ සීනු නාද කිරීම ඇරඹුණේ යාම යැදුම වෙනුවට ගිහියන්ට ආදේශ වූ තුන්කාල ආරාධනාව කිව යුතු යාම සිහිපත් කිරීමට ය.

මෙලෙස ගිහියෝ අතිශයින් දියාරු වූ ක්‍රමයකට යාම යැදුමට සම්බන්ධ වූහ. එහෙත් බොහෝ අය, අද පවා තමන් එළෙස සහභාගීවන්නේ යාම යැදුමේ දියාරු ක්‍රමයකට බව නොදන්නෝය. මෙයින් අදහස් කරන්නේ තුන්කාල ආරාධනාව කීම අනවශ්‍ය බව නොවේ එය ඉතා වැදගත් යැදුමකි. එහෙත් එය දේව ජනතාවගේම පොදු යැදුම වන යාම යැදුම හා සම්බන්ධ බව දැනුවත්වීම ඉතා වැදගත්ය.

දෙවන වතිකාන කතිකාවතේ ජනවන්දනා සංශෝධන තුළින් සිදු කෙරුණේ අති සංකීර්ණ යාම යැදුම් ව්‍යුහය සරල කිරීමත්, එතෙක් පූජක පැවිදි අයට සීමාවී තිබූ යාම යැදුම නැවතත් දේව ජනතාවගේ ම ප්‍රධානතම ජනවන්දනා යැදුම බවට පත් කිරීමත් ය. එහෙත් අභාග්‍යයකට මෙන් යාම යැදුම තවමත් ප්‍රායෝගිකව පූජක පැවිදි අයට සීමා වී ඇති අතර ගිහි ජනතාව අතරේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ කිසිවක් නොදනිති.

සාමාන්‍යයෙන් පූජක පැවිදි උදවිය භාවිත කරන සම්පූර්ණ යාම යැදුම් සංග්‍රහය කොටස් තුනකින් සමන්විත වන අතර ඒවා ජනවන්දනා වකවානු අනුව බෙදා වෙන්කර ඇත. පූජාත්වරය සහ තේවාචාර්ය ධූරය ලද සියල්ලෝ උදා යාම යැදුමට පෙර ශුද්ධ ලියැවිල්ලෙන් සහ සභා සම්ප්‍රධායේ ඉතා වැදගත් ලියැවිලි අඩංගු ‘ශුද්ධ ලියැවිලි ණය යුක්තිය’ (OFFICE OF READINGS) නම් යාම යැදුම් කොටස් වලින් යැදිය යුතුය. තවද යාම යැදුම් සංග්‍රහයේ යැදුම් සති හතරක ව්‍යුහයක් තුළ ඉදිරිපත් කෙරේ. උදය සහ සවස යාම යැදුම් වලට අමතරව රාත්‍රී යැදුම් ද, දිවා යැදුම් ද, අඩංගු ය.

තවද මංගල්‍යය අවස්ථාවන් සඳහා විශේෂිත යාම යැදුම් නිර්මාණය කර ඇතුළත් කර තිබේ. ඒ අනුව සාමාන්‍යය යාම යැදුම් සංග්‍රහයක අන්තර්ගතය විශාල වේ.

තවද යාම යැදුම් සිඳු කළ යුතු පිළිවෙල තරමක් සංකීර්ණ ය. යාම යැදුම් සංග්‍රහය සම්පාදනය වී ඇති ක්‍රමය තුළ එය නිසි ලෙස භාවිත කරන්නට නොදන්නා තැනැත්තා පිටු පෙරලීම් අතර අතරමං වීම පුදුමයට කරුණක් නොවේ. යාම යැදුම සිඳු කරන දිනය, යාමය, එය මංගල්‍යය දිනයක් ද, මහා මංගල්‍යයක් ද, සුළු මංගල්‍යයක් ද, එදින අයත්වන ජනවන්දනා වකවානුව කුමක් ද, යනාදී බොහෝ කරුණු මත යදින තෙහෙලි ගී කොටස් වර්ගීකරණයකට භාජනය වීම මීට හේතුව යි. සැකෙවින් පවසන්නේ නම් පූජකවරය ලැබූ අය භාවිත කරන යාම යැදුම් සංග්‍රහය නිවැරදිව හසුරුවන්නට නම් තරමක් හෝ ‘ශිල්ප’ දැන ගත යුතුය.

ඉරුදින වල චක්‍රය කුමන වසරකට අයත් දැයි දැන ගැනීමට පහසු ම ක්‍රමය ජනවන්දනා වසරේ උපදෙස් අඩංගු ‘වසරේ ජනවන්දනා නියමය’ (ORDO) පොත බැලීම ය. එහි සෑම ඉරුදිනකම ඊට අදාළ යාම යැදුම් සතිය සඳහන් කර තිබේ. නිදසුනක් ලෙස 2023 සැප්තැම්බර් 3 වන ඉරිදා දිනය සාමාන්‍ය සමයේ විසි දෙවන ඉරුදිනයි. එම සතියේ යාම යැදුම 2 වන සතියයි.
ත්‍රිත්ව ස්තෝත්‍රයට පසු ඇතැම් සාධුකාරවල ආලේලුයියා ගායනා කිරීම රදා පවතින්නේ ජනවන්දනා වකවානුව මත ය. චතාරික සමයේ දී ආලේලූයියා ගායනා කරනු නොලැබේ. සෑම තෙහෙලි ගීයකටම සහ ශුද්ධ ලියවිලි ගීයකටම පෙර සහ පසු කියැවෙන තේමා වදන තෝරා ගන්නේ ද, ජනවන්දනා වකවානුව අනුවය.

ජුදා සිරිතට අනුව මංගල්‍යයක් ඇරඹෙන්නේ මංගල්‍යය දිනයට පෙර දින සවස හිරු බැසීමත් සමඟය. අපගේ දෙව්මැදුරුවල මංගල්‍යය දිනට පෙර දින සන්ධ්‍යාවේ සන්ධ්‍යා මෙහෙය නොහොත් ‘වෙස්පර්ස්’ පවත්වන්නේ ඒ නිසාය. වෙස්පර්ස් යනු සන්ධ්‍යා යාම යැදුමයි. එහෙත් අද බොහෝ දේවස්ථානවල වෙස්පර්ස් යනුයෙන් පවත්වනු ලබන්නේ වෙනමම යැදුම් පිළිවෙතකි. බොහෝ විට එය ගායනා කණ්ඩායම විසින් හුදකලාව ඉදිරිපත් කරන වින්දනාත්මක බවින් අනූන, එසේම යැදුමක් ලෙස අත්දැකීමට උගහට, සංගීත සංදර්ශනයක අවාසනාවන්ත තත්ත්වට පත්ව ඇත.

යාම යැදුම් අවස්ථාවල දී සුවඳ දුම් භාවිතය පිළිබඳව වර්ථමානයේ පැටලැවිළි සහගත තත්ත්වයක් දක්නට ඇත. යාම යැදුම තුළ සුවඳ දුම් භාවිත වන්නේ නව ගිවිසුමෙන් උපුටාගෙන තිබෙන සෙකරියස්ගේ ප්‍රශංසා ගීතය, මරියාවන්ගේ උදාන ගීය සහ සිමියොන්ගේ ගීය අවස්ථාවල සහ සන්ධ්‍යා යාම යැදුමෙන් පසුව පැවැත්වෙන දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය අවස්ථාවේදී පමණි. ඇතැම් දේවස්ථානවල සන්ධ්‍යා මෙහෙයන් වලදී ආරම්භයේදී සුවිශේෂ ප්‍රකාශනයට පෙර ද, සුවද දුම් පුදකරනු පෙනේ. මෙය වැරදිය. ඊට හේතු වන්නේ මෙම පිළිවෙතේ තෙහෙලි ගීතිකා සහ ශුද්ධ ලියවිලි ගීතිකව මෙසියස් වහන්සේගේ පැමිණීමේ පෙර නිමිත්තක් ලෙස සැලකෙන බැවිනි. සාමාන්‍ය දේව වාක්‍ය පිළිවෙතකදී මෙන්ම ඒ අවස්ථාවේදී ජනතාව සිට ගන්නේ ද, එබැවිනි.
දේවස්ථානවල මංගල්‍යයන් අරඹයා පවත්වනු ලබන සැදෑ යාම යැදුම සිඳු කිරීමේදී සභා මූලාශ්‍ර තුළ ලබා දෙන උපදෙස් පිළිපැදීම වඩා වැදගත් වේ.

මංගලෝත්සවයේ පළමු සැදෑ යාම යැදුම වන හෙයින් ද, එම මෙහෙය අවසානයේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරන හෙයින් ද, අල්තාරය මත පහන් හයක් දල්වා තිබිය යුතුය. එළෙසම සන්ධ්‍යා මෙහෙය ආරම්භයේ සිටම පහන් දල්වා තිබිය යුතුය. යම් විටෙක පදවිය භාර රදගුරුතුමා මුලසුන හොබවන විට පහන් හතක් තැබිය යුතුය. (GENERAL INSTRCTION OF THE ROMAN MISSAL 117)

යාම යැදුම ආරම්භයේදී අනෙකුත් පියතුමන්ලා අල්තාරය  අභියසට පැමිණ ඊට නමස්කාර කර, තමුන්ගේ ආසනවලට යති. ප්‍රධාන පියතුමා අල්තාරය අභියසට පැමිණ නමස්කාර කොට සිපාචාර කර තම ආසනය වෙත ගමන් කරයි. (CEREMONIAL OF BISHOP 196)

යාම යැදුමේ දේව වචනය වෙනුවට සුවිශේෂය තෝරා ගැනීම යෝග්‍ය නොවේ. සම්ප්‍රදානුකූලව මේ සඳහා සුවිශේෂය තෝරා ගැනීම අත්හැර දමා ඇත. (GENERAL INSTRCTION OF THE LITURGY OF HOURS  158)

සුභාරංචි ශුද්ධ ලියවිලි ගී එනම්, සෙකරියස්ගේ උදාන ගීය, මරියාවන්ගේ උදාන ගීය, සිමියොන්ගේ උදාන ගීය  දිව්‍ය පූජාවේ සුවිශේෂයට සවන්දෙනාක් මෙන් ගෞරව සම්පන්නව සිඳු කළ යුතුය. (GENERAL INSTRCTION OF THE LITURGY OF HOURS 138)

මරිය උදාන ගීය ගයන අවස්ථාවේදී ප්‍රධාන පියතුමා අල්තාරයට සහ කුරුසියට දුම් පුදයි. ඉන්පසු තේවාචාරිතමෙක හෝ පූජා සහයකයෙක් ප්‍රධාන පියතුමාට දුම් අල්ලා ජනතාවට ද දුම් ඇල්ලීම සිදු කරයි.(CEREMONIAL OF BISHOP 96)

සැදෑ යාම යැදුම අවසානයේ සියලුම පියතුමන්ලා අල්තාරය අභියසට පැමිණ අල්තාරයට නමස්කාර කොට අවසාන පෙරහැරට සම්බන්ධ වන අතර ප්‍රධාන පියතුමා, අල්තාරය වෙත පැමිණ සිපාචාර කර අල්තාරය අභියසට පැමිණ නමස්කාර කර පෙරහැරට සම්බන්ධ විය යුතුය.  (CEREMONIAL OF BISHOP 208)

ආශ්‍රිත මූලාශ්‍ර:
CEREMONIAL OF BISHOP
THE ROMAN MISSAL
GENERAL INSTRCTION OF ROMAN MISSAL
GENERAL INSTRCTION OF THE LITURGY OF HOURS
දෙවන වතිකාන සමුළු නිර්දේශ
යාම යැදුම

✍️ රශ්මික උදාර