පාප් වහන්සේට ලිපියක් යැවු සිංහල රජතුමා

පාප් වහන්සේට ලිපියක් යැවු සිංහල රජතුමා

ක්‍රි.ව. 1551 බුවනෙකබාහු රජු මරණයට පත්වීමෙන් කෝට්ටේ රජකම පැවැරුනේ ඔහුගේ මුණුබුරා වන ධර්මපාල කුමරා වෙතයි. ඔහු බාලවයස්කරුවකු වූ හෙයින් ඔහුගේ පියා වූ වීදිය බණ්ඩාර ප්‍රතිරාජයා ලෙස තබාගෙන කෝට්ටේ රජ කළේය.

මේ වන විට කෝට්ටේ රජකම පැහැර ගැනීම තමන්ගේ එකම අභිලාෂය කොටගෙන සිටි සීතාවක මායාදුන්නේ මෙන්ම ඔහුගේ පුත් පළමු රාජසිංහ ද නොවිසිල්ලෙන් පෙලෙන්නට වූහ. දිනෙන් දින උග්‍ර ලෙස කෝට්ටේ රාජධානිය වෙත පහර එල්ල කිරීම හේතුවෙන් එය විනාශ වී ගියේය.

අවසානයේ දී පෘතුගීසි හමුදාව අසරණ වූහ. ධර්මපාල රජ කෝට්ටේ රැඳී සිටියදී ආරක්ෂාව සපයා දීම අසීරු කටයුත්තක් බව දන්වා පෘතුගීසිහු එතුමන් කොළඹට ගෙන ගියෝය. මෙය එක් අතකින් ඔවුනට වාසියක් විය. මෙතැන් සිට ධර්මපාල රජු ඔවුන්ගේ බල රැහැනට ගොදුරු වූයේය. තමන්ගෙ ස්වාධීනත්වය බොහෝදුරට අහෝසි වී අවසානයේ තමාගේ රාජධානිය කොළඹ කොටුවට සීමා වී ඇතැයි රජතුමාම කීය.

කෙසේ වෙතත් මේ වනතුරුද ධර්මපාල තම බුදු දහම අත්හළේ නැත. තම සීයා වූ බුවනෙකබාහු මෙන් හෙතෙම ද සම්ප්‍රදායි පැරණි දහමෙහි රැඳී සිටියේය. මීට එක් හේතුවක් වූයේ තම පැරණි ආගම මාරු කිරීම ජනතාව අතරේ අතර අප්‍රසාදයට පත් වීමට හේතුවක් වනු ඇතැයි ඔහු සිතූ නිසාය. එසේම මේ අප්‍රසාදය මායාදුන්නේට සහ රාජසිංහට විශාල වාසියක් ගෙන දීමට හේතුවක් වනු ඇතැයි ද සිතූ නිසාය.

මෙසේ තිබියදී ක්‍රිස්තු වර්ෂ 1556 පමණ මුහුදුබඩ විසු කරාව කුලයට අයත් විශාල පිරිසක් කිතු දහම වැළඳ ගත් පුවත අනාවරණය විය. මෙය අසු දාහක පමණ පිරිසක් යැයි වාර්තා වී තිබේ.  තම රට වැසියන් විශාල සංඛ්‍යාවක් මෙසේ කිතු දහම වැළඳ ගැනීම රජුටද කිතු දහම වැළඳ ගැනීම සඳහා ශක්තියක් විය. මෙයින් දිරිගැන්වීම් හෝ වෙන කිසිදු හේතුවක් නිසා හෝ ධර්මපාල රජතුමා ද ක්‍රිස්තු වර්ෂ 1557 දී දොන් ජුවාම් යන නමින් කිතු දහම වැළඳ ගත්තේය.

ඇත්ත වශයෙන්ම ජනතාව කුපිත කරවන්න මායාදුන්නේ මෙය ආයුධයක් කර ගත්තේය. වැඩිදුරටත් කිතු දහම වැළඳ ගත් ධර්මපාල රජතුමා වැරදි උපදෙස් මත කළ සමහර ක්‍රියා රටේ බෞද්ධ ජනතාවගේ සිත් රිදීමට ද අප්‍රසාදයට ද හේතු වූයේ ය. පියවරෙන් පියවර තම රාජ්‍ය බලය පිරිහෙන්නට විය. අවසානයේදී තමාගේ රාජධානිය කොළඹ කොටුවට සීමා වී ඇතැයි හෙතෙම කීය. මෙයට වඩාත්ම හේතු වූයේ මායාදුන්නේ සහ රාජසිංහ පෘතුගීසි ප්‍රහාර එල්ල කොට කෝට්ටේ රාජධානියෙන් විශාල කොටසක් තම බලයට නතු කර ගැනීමයි.

මෙසේ පරාජයට පත්වෙමින් සිටි පෘතුගීසි හේවායෝ තත්ත්වය තවදුරටත් තත්ත්වය තවදුරටත් උග්‍ර කළහ. මේ වන විට බොහෝ දුරට තම බලය මුහුදුබඩ බලකොටු වලට පමණක් සීමා වී සිටි මේ පිරිස ජනතාව හමුවේ ත්‍රස්ත ලෙසත් දාමරික ලෙසත් හැසිරෙන්නට වූහ. මොවුන්ගේ අඥානකම නිසා අන්‍යාගමික පුදබිම් පවා ඔහු කෙළෙසුහ. මෙවැනි ක්‍රියාදාමයක ප්‍රථිඵල අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ සියල්ල අතර රජතුමාද රෑකඩ පාලකයකු බවට පත් වී ඉමහත් නින්දිත තත්ත්වයකට වැටුණි. පෘතුගීසි සොල්දාදුවන් පවා එතුමන් නොසලකා හැරිය බව වාර්තා වේ.

අවසානයේ දී ධර්මපාල රජු ජීවත් වූයේ පෘතුගාලයෙන් ලද විශ්‍රාම වැටුපක ආධාරයෙන් ය. එතුමා පහක් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කළේ මෙසේ සිටියදී ය.

ක්‍රි.ව. 1574 ජනවාරි 26 යන දාතමින් රජතුමා ලියා යැව්වේ 13 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ අද දක්වා භාවිතා වන ලෝක දින දර්ශනය පිළියෙල කළ බව රහසක් නොවේ. එසේම ජුසේ වාස් පියතුමා ඉන්දියාවේ ආරම්භ කළ ඔරතෝරියාන නිකාය මුල් වශයෙන් රෝමයේ පිහිටා අනුමත කළේද උන්වහන්සේ ය.

ධර්මපාල රජතුමාගේ ලිපිය පෘතුගීසි බසින් ලියන ලදැයි විශ්වාස කෙරේ. එය ආරම්භ වී ඇත්තේ මෙසේය. "දොන් ජුවාම්, දේවාශිර්වාදයෙන් ලංකාවේ රජ" යනුවෙනි. මෙම ලිපිය අවසානකොට ලියා ඇති පරිදි සන්දේශය රැගෙන ගොස් ඇත්තේ ග්‍රීක ජාතිකයෙකි. "මෙම ලිපිය රැගෙන එන්නේ විදේශියකු, ග්‍රීකයකු නිසා ඔබවහන්සේ ඉදිරියේ මාගේ ආයාචනය සහ චෝදනා ඉදිරිපත් කරනු වස් අවස්ථාවක් කර ගනිමි. " එහි සඳහන්ව ඇත. ලිපියේ වැඩියක්ම වුයේ පෘතුගීසින් පිළිබඳ විවේචනයකි.

ඔහුන්ගේ ක්‍රියාදාමය නිසා තමන් අසරණ වී ඇතැයිද රාජධානිය මෙන්ම ම තත්ත්වයද පහත වැටී ඇති බවද තමා ජනතාවගෙන් ඈත් කර ඇති බවද විස්තර කරන රජතුමා මේ සියල්ල පෘතුගීසින්ගේ වරද නිසා බව එහි සඳහන් කරයි.

ධර්මපාල රජතුමාගේ ලිපිය පාප් වහන්සේ අතට පත් වුවත් එය සිදුවුයේ වසර හතරහමාරකට පසුවයි. පාප් වහන්සේ ක්ෂනිකව් පිළිතුර සපයා ඇත්තේ ක්‍රි.ව. 1578 ජුලි මස පළමුවැනි දින යන දාතමින්‍ ය. පාප් වහන්සේගේ ලිපිය ආරම්භ වන්නේ මෙසේය. "අපගේ හිතාදර පුත්‍ර, උතුම් ජුවාම් සේලායේ (ලංකාවේ) රජතුමෙනි, සෙනෙහෙවත් පුත්‍රය, ශ්‍රීමත් උතුමාණෙනි, නිරෝගි බවද දේවාශිර්වාදය ද පතමින්....." යනුවෙන් ය.

තමන් පෘතුගාලයේ රජුට මේ ගැන වහාම දන්වන බව එම ලිපියේ සඳහන් වන්නේය. ඒ අනුව 1578 ජුලි 2 වැනිදාම පාප් වහන්සේගේ පෘතුගාලයට ලියා යවා ඇත. රජතුමා දන්වා ඇති කරුණු විමසා බලා ඒ අනුව රජතුමාට සහන සලසන ලෙස ලිපියෙන් නිර්දේශකොට ඇත.

කෙසේ වෙතත් එම ලිපියෙන් පළක් වුයේ නැත. එයට හේතු වුයේ පෘතුගාලයේ ම ඇති වු දේශපාලන අර්බුදයයි. මෙම ලිපිය යවා මසක් පසුවන්නට පෙර පෘතුගාලයේ එවකට රජ කළ සෙබස්තියන් රජතුමන් ඝාතනය කරන ලදි. මොරොක්කෝවේ ඇති වු අල්කසාර්- කෙබීර් යුද ගැටුමේදි රජතුමා මෙන්ම ඔහුගේ හමුදාව ද විනාශ කර දැමිණි. මෙය සිදුවුයේ ක්‍රි.ව. 1578 අගෝස්තු මස 04 වැනි දාය.

මෙතැන් සිට පෙර පෘතුගාලය රජ කළ තෙවැනි පුවාම් රජුගේ සහෝදර හෙන්රි දෙවසරක කාලයක් රජ කළ අතර (1578 සිට 1580 දක්වා) ඔහුද මිය ගියේය. මෙතැන් සිට සය වසරක් තුළ පෘතුගාලය ස්පාඤ්ඤයට යටත් වී පැවැතියේය.

ක්‍රි.ව. 1597 ධර්මපාල රජතුමා පරලෝ සැපත් විය. ඒ අනුව ලංකාවේ මුහුදුබඩ පළාත්වල ප්‍රථම යුරෝපීය අධිරාජයා සැටියට පත්වුයේ ස්පාඤ්ඤයේ දෙවැනි නොහොත් පෘතුගාලයේ පළමු පිලිප් රජතුමාය.

(මෙම ලිපිය සඳහා අතිගරු ඩබ්ලිව්.එල්.ඒ.දෝන් පීටර් හිමිපාණන් ගේ ග්‍රන්ථ ඇසුරින් දත්ත ලබාගත් බව ස්තුති පුර්වකව සඳහන් කරමි.)

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම - 2013 ජුනි 09 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ