චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය ඉවරයි, දවස් ගණන් කරද්දි ඉරිදා ගණන් කරන් නෑ යනුවෙන් දුර්මත බොහෝයි. එම ගැටළු වලට පිළිතුරු සැපයීම මෙහි අරමුණයි.

ඒ සඳහා අප මෙහිදී යොදාගනු ලබන්නේ මේ අවුරුද්දේ දිනයි.

2026 චතාරික කාලයේ ආරම්භය
අළු බදාදා - පෙබරවාරි 18 (ගුරු අඟහරුවාදා වන පෙබරවාරි 17 වනදා ඉර බැස්මෙන්)

2026 චතාරික කාලයේ අවසානය
මහා බ්‍රහස්පතින්දා - අප්‍රේල් 02 (මහා බ්‍රහස්පතින්දා වන අප්‍රේල් 02 ඉර බැස්මෙන්)

මේ අනුව චතාරික කාලයේ මුළු දින ගණන
දින 44 යි

(බොහෝ දෙනා මෙය ඇදහිය නොහැකි දෙයක් ලෙස සලකති. එහෙත් ගෙදර දින දර්ශනය ගෙන, අළු බදාදා 1, බ්‍රහස්පතින්දා 2, සිකුරාදා 3... ආදී වශයෙන් ගැන බැලුවහොත්, ඉතා පහසුවෙන් මෙම දින 44 ලබාගත හැකිය)

2026 චතාරික කාලයට අයත් ඉරුදිනයන්
6 කි.

පෙබරවාරි 22 - චතාරික සමයේ පළමු ඉරුදින
මාර්තු 01 - චතාරික සමයේ දෙවන ඉරුදින
මාර්තු 08 - චතාරික සමයේ තුන්වන ඉරුදින
මාර්තු 15 - චතාරික සමයේ හතරවන ඉරුදින
මාර්තු 22 - චතාරික සමයේ පස්වන ඉරුදින
මාර්තු 29 - දුක්ඛෝත්සව ඉරුදින (ගොබ් ඉරුදින)

(චතාරික සමයේ ඉරුදිනයන් චතාරික සමයට අයත් වන්නේ නැහැ යැයි තවත් දුර්මතයක් පවතී. උදාහාරණයක් ලෙස ගතහොත්, චතාරික සමයේ හතරවන ඉරුදින චතාරික සමයට අයත් නොවේ නම් එය අයත් වන්නේ නත්තල් සමයටදැයි අප ඇසිය යුතුය)

2026 චතාරික කාලයට අයත් ඉරුදිනයන් නොවන මංගලෝත්සව දිනයන් පොදුවේ දෙකකි
මාර්තු 19 වන බ්‍රහස්පතින්දා - මරියාවන්ගේ පති වන සාන්ත ජුසේ මුනිඳුන්ගේ මංගලෝත්සවය
මාර්තු 25 වන බදාදා - කිතු උපත දැනුම් දීමේ මංගලෝත්සවය

(මීට අමතරව ප්‍රාදේශීය මංගලෝත්සව Local Solemnities තිබිය හැකිය)

පාස්කු මංගල්යයට සූදානම් වීමේ උපවාස දින ගණන
40 කි

පාස්කු මංගල්යයට සූදානම් වීමේ උපවාසයේ කොටස් දෙක
චතාරික උපවාසය + පාස්කු උපවාසය

පාස්කු උපවාසයට අයත් දින ගණන
2 කි

මහා සිකුරාදා හා පාස්කු සෙනසුරාදා (ආලේලුයියා සෙනසුරාදා)

චතාරික උපවාසයට අයත් දින ගණන
38 කි

(මෙය ඇත්තෙන්ම උපරිම උපවාස දින ගණනයි. එහෙත් ප්‍රායෝගිකව මෙම 38 තවත් අඩුවේ)

චතාරික කාලයට අයත් උපවාස දිනයන් ගණන ප්‍රායෝගිකව

චතාරික කාලයේ දින ගණන - උපවාස නොකරන දින ගණන
= චතාරික කාලයේ දින ගණන - (ඉරුදිනයන් + මංගලෝත්සව දිනයන්)
= 44 – (6 + 2)
= 36

(මංගලෝත්සව දිනයන් ගණන 2 ලෙස ගෙන ඇතත්, ඉහත දක්වා ඇති පරිදි, සමහර ප්‍රාදේශීය මංගලෝත්සව තිබෙන බැවින්, මෙම ගණන තව අඩුවීමට හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ විට දවස් 36 ම උපවාස දිනයන් වේ)

මේ අනුව පාස්කු උපවාසයේ ප්‍රායෝගික දින ගණන

= චතාරික උපවාස (ප්‍රායෝගික) දින ගණන + පාස්කු උපවාස දින ගණන
= 36 + 2
= 38

Read more