සිරිලක කිතුදම් රැකගත් අප සුදුවරයාණෝ

සිරිලක කිතුදම් රැකගත් අප සුදුවරයාණෝ


“කිසිවෙකුට තම ජීවිත කාලය තුළ කළ නොහැකි වූ කිසිවක් තම මරණ මොහොතේදී ද කළ නොහැකි ය.” – ශු.ජුසේ වාස් මුනිතුමා

ශ්‍රී ලංකාවට කිතු දහම වඩාත් ස්ථාවර ලෙස පැමිණියේ පෘතුග්‍රීසීන්ගේ පැමිණිමත් සමග බැව් අප කව්රුත් දන්නා කාරණාවකි. නමුත් ඉන් පසුව ලංකාවට පැමිණි කතෝලික විරෝධී ලන්දේසීන් නිසාවෙන් කිතුනු ජනතාව දැඩි ලෙස පීඩනයට පත්විය. එකල ඒ නිවී යමින් තිබූ ලක්දිව කිතු පහන නිවී යා නොදී, නැවත දල්වා එකළු කරන්නට දෙවිඳුන් තෝරාගත්තේ ජුසේ වාස් පියතුමාවයි. එතුමා ඉන්දියාවේ ඉපිද හැදී වැඩි එරට පූජාත්වරය ලැබූ පියතුමෙකි. එදා එතුමා මෙරට ට නොපැමිණියේ නම් අද අප කතෝලිකයන් නොවන්නට පවා ඉඩ තිබුණි. එතරම් මහඟු සේවයක් ඉටු කළ ජුසේවාස් පිතුමාගේ ධර්මදූත සේවයේ සුවිශේෂී ප්‍රාතිහාර්යාත්මක සිදුවීම් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

සිදුවීම 01

දෙවන විමලධර්මසූරිය රාජ සමයේ මහනුවරට දැඩි නියඟයක් විය. රජු විසින් විවිධ ආගමික නියෝජිතයන් ලවා සෙත් ශාන්ති ද, ආගමික වතාවත් ද කරවමින් වැසි ඇති කිරීමට උත්සාහ කළ නමුත් ඒ සියල්ල අසාර්ථක විය. මිනිස්සුන්ට පමණක් නොව සතා සිව්පාවාට, මහපොලොවට පවා එය දුෂ්කර දුර්භීක්ෂ සමයක් විය. මේ අවධියේදී ජුසේවාස් පියතුමාගේ භක්තිය පිළිඹඳව දැනගත් රජු උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා වැසි ලබා දෙන මෙන් දෙවිඳුන් ඉදිරියේ මැදහත් වන ලෙස. උන්වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන වත්මන් දළදා මාලිගයේ මහමළුවේ එලිමහන් කුඩා අල්තා‍රයක් සකස් ක‍ර ඒ අසල දණින් වැටී දෙවිඳුන් යදින්නට උනා. මෙන්න, හිටි හැටියෙම මහ වැස්සක්! වැහි වළාවක් අසලකවත් නොතිබූ නිසා ජනතාව මවිතියට පත්වුනා. මුලු උඩටරටටම එදා වැසි වැටුනත්, එකම එක තැනක් විතරක් වැස්සෙන් නොතෙමී තිබුනා. ඒනම්, කුරුසියක් දෙස බලාගෙන ජුසේ වාස් පියතුමා යාච්ඤාවේ නිරතවෙමින් සිටි ස්ථානයයි.
ප්‍රාතිහාර්යයක් නේද?? ඔව් නිසැකයෙන්ම.

සිදුවීම 02

ලන්දේසි සෙබළු කතෝලික දෙව් මැඳුරු කඩා බිඳ දමමින්ද, කතෝලික පියතුමන්ලා රටින් පිටුවහල් කරමින්ද, කතෝලික දහම අදහන්නන් හිරභාරයට ගනිමින් ද පීඩා කළෝය. එම නිසා ජුසේ වාස් පියතුමා ජනතාවට දේව ප්‍රසාද නිධාන ලබා දීමට, රහසිගතව නිවෙස් වල දිව්‍ය පූජා පැවැත්වීය. දිනක් මේ පිළිබඳව ලන්දේසි සෙබළුන්ට ඔත්තුවක් ලැබී නිවසක් වටලන ලදී. සෙනඟ වහා පළාගිය අතර, ජුසේ වාස් පියතුමාද තම භාණ්ඩ රැගෙන පිටත් විය.

ලන්දේසි සෙබළු :- දැන් මොහොතකට පෙර මේ නිවසේ නේද රහසිගතව කතෝලික දේව මෙහෙයන් පැවැත්වූයේ? මෙහි සිටි පූජකතුමා කොහිද?

නිවසේ සිටි මනා රූප සොබාවකින් යුත් කාන්තාවක් :- උන්වහන්සේ ඔබ ඉදිරියෙන්මයි මගට බැස නික්ම ගියේ…

සෙබළු :- කෙලෙසද අප මෙතරම් සුපරික්ශාකාරී වුවත් අපට නොපෙනී ඔහු පළා ගියේ ??

(අන්දමන්දව, වටපිටාව සෝදිසි කරයි)

පියතුමාගේ හෝඩුවවක්වත් සොයාගත නොහැකිව නැවත පැමිණි සෙබලුන්ට නිවෙස තුල සිටි කාන්තාව වෙනුවට දේවමාතා පිලිරුවක් හමුවෙයි.
ප්‍රාතිහාර්යයක් නේද?? ඔව් නිසැකයෙන්ම.

සිදුවීම 03

දිනක් ජුසේවාස් පියතුමා තම සගයන් සමග ධර්මය ප්‍රචාරය කරමින් යන විට කුලප්පු වූ අලියෙකු සිටින කැලයක් මැදින් යන්නට වෙනවා.

ගැමියෙකු :- තනි අලියා කුලප්පු වෙලා උන්වහන්සේ යන මඟමයි සිටියේ .

තවත් අයෙකු :- දෙවියන්ටම ඔප්පුවෙච්චාවෙ! මතක් වෙනකොටත් ඇඟ හීතල වෙලා යනවා. උන්වහන්සේට නම් ඒ ගැන වගේ වගක්වත් නැතිව ඉටි පන්දමකුත් දල්වගෙන සන්සුන්ව උන්නා.

ගැමියා :- උන්වහන්සේට තිබුනු බල මහිමය නිසා නොවැ. කුලප්පු වුණ ඇතා එතුමගේ නියෝගෙන් හීලෑ  උන අපූරුව. හරියට කලක් තිස්සෙ ඇඳින්නා වාගෙයි දණ නැමුවෙ එතුමාට.
ප්‍රාතිහාර්යයක් නේද?? ඔව් නිසැකයෙන්ම.

මේ එතුමාගේ ප්‍රාතිහාර්යයන් වලින් ඉතාමත්ම අල්පයකි.

යාපනය සිල්ලාලෙයි ග්‍රාමයෙන් සිය ධර්මදූත මෙහෙවර ඇරඹූ ජුසේ වාස් පියතුමා ලක්දිව පුරා හිස් දෙපතුලින් ඇවිදිමින් කතෝලිකයින්ගේ භක්තිය රැක ගත්තා. එතුමා ඇදුම් අතර සඟවා තබාගත් කුරුසියක් පෙන්වා කතෝලිකයන් හදුනාගත් බව පොත පතෙහි සඳහන් වේ. කුසට අහර පවා නොමැතිව, දිවා රෑ නොතකා තම සගයින් සමඟ මෙහෙවරේ යෙදුනි.. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් හා එක්ව සිංහල හා දෙමළ කිතුනු සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් ඉටුකළේය. එතුමන් මහනුවර වසූරිය වසංගතය පැතිරුන සමයේ ජාති, ආගම්, කුල භේද නොසලකා රෝගීන්ට ඇප උපස්ථාන කළේය. මෙවන් වූ අමිල සේවාවන් රැසක් ඉටුකල ජුසේ වාස් පියතුමා වර්ශ 1711 ජනවාරි 16 වන දින මහනුවරදී ස්වර්ගස්ථ විය. උන්වහන්සේව වර්ෂ 1995 දී ශු.දෙවන ජුවාම් පාවුළු පාප්තුමා විසින් භාග්‍යවරයට ඔසවනු ලැබූ අතර 2015 ජනවාරි මස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් ශුද්ධවරයට ඔසවනු ලැබීය. ජනවාරි 16 වනදා එතුමාගේ මංගල්‍යය ලක් කිතුනු සභාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

වන්දනීය වූ පූජනීය වූ..
ජුසේ වාස් ධම්ම දූත පුදැදුරාණනේ..
ධීර වීර වූ ඔබේ දහම් සේවයේ අනුහසින්..
මෙ ලක්බිම අපේ එළිය වේ…

– මිශෙල් ප්‍රනාන්දු
දෙවන වසර, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය