ජේසුස් සමිඳාණන් වහන්සේගේ බෞතීස්ම ස්නාපනය

ජේසුස් සමිඳාණන් වහන්සේගේ බෞතීස්ම ස්නාපනය
Photo by Cristian Palmer / Unsplash

ජේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ ස්වයං එළිදරව් වීම සමරන නත්තල් සමයේ අවසානය සනිටුවහන් වන්නේ අප ස්වාමීන් වහන්සේගේ බෞතීස්ම ස්නාපන මංගල්‍යයෙනි. නත්තල් දිනයේදී අප සැමරූ ආකාරයට ජේසුස් වහන්සේ උපත ලැබුවේ ගව මඩුවක් තුළය - ( ශු.ලූක් 02:07 ).එසේම ගව මඩුව තුළ දිව්‍ය බිළිඳාණන් සමඟ මරිය තුමිය මෙන්ම ජුසේ තුමාද සිටියෝය - ( ශු.ලූක් 02:16 ).නමුත් ශාස්ත්‍රවන්තයන් දිව්‍ය බිළිදාණන්ව බැහැදැකීමට පැමිණෙන විට, එතැන ගව මඩුවක් හෝ ජුසේ තුමෙකු සිටියේ නැත.ඒ වෙනුවට ඔහුන්ට හමුවූයේ ගෙයක් තුළ දිව්‍ය බිළිදාණන් සමඟ සිටින මරියතුමියව පමණයි - ( ශු.මතෙව් 02:11 ).එසේම හෙරොද් රජුට ශාස්ත්‍රවන්තයන් විසින් පවසා තිබූ ආකාරයට ඔහුන් බැහැදැකීමට ගොස් ඇත්තේ වයස අවුරුදු 02 ක් පමණ වූ දරුවෙකුවය - ( ශු.මතෙව් 02:16 ).මේ සියල්ල සමාලෝචනය කිරීමේදී පැහැදිලි වන්නේ ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම සිදුවී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපතෙන් වසර දෙකකට පමණ පසුව බවයි.කෙසේ හෝ ජේසුස් වහන්සේගේ උපත සිහි කරනු ලබන නත්තල් දින අප සමරනු ලැබුවේ දිව්‍ය බිළිදාණන් ඊශ්‍රායෙල් ජාතියට හෙළිදරව් වීමයි.මක්නිසාදයත් ජේසුස් වහන්සේගේ උපත සිදුවූ විට එය ප්‍රථමයෙන්ම අනාවරණය කරන ලද්දේ ජුදා ප්‍රදේශ වල එඬේරුන් වෙතයි - ( ශූ.ලූක් 02:08-20 ).එලෙසම දිව්‍ය බිළිදාණන් පෙරදිගින් පැමිණි විජාතික ශාස්ත්‍රවන්තයින්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යයේදී අප සමරනු ලැබුවේ දිව්‍ය බිළිදාණන් විජාතික අප වෙත හෙළිදරව් වීමයි - ( ශු.මතෙව් 02:01-12 ).

එසේම අද දින ජේසුස් වහන්සේගේ බෞතීස්ම ස්නාපනය මංගල්‍යයේදී සිහිපත් කරනුයේ සමිදාණන් වහන්සේ, තම පව් ගැන පසුතැවිලි වන පව්කාරයන් වෙත හෙළිදරව් වීමයි.යෙසායා දිවැසිවරයා විසින් දිවැස් වැකියේ පවසා තිබූ පරිදි දෙවියන් වහන්සේට ප්‍රියවූ, දෙවියන් වහන්සේගේ තෝරාගත් තැනැත්තා, තැළුණු බට දණ්ඩක් කඩා දමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත - ( යෙසායා 42:03 ).එබැවින් පාපයෙන් තැලී පොඩිවී ක්‍රම ක්‍රමයෙන් විනාශය කරා යමින් සිටින පව්කාරයන් හට මෙය ආනන්දජනක පුවතකි.මෙම අනාවැකිය සැබෑවක් බවට පත් කරමින් එදා තම පව් වලට මනස්ථාප වෙමින්, ස්නාවක ජොහන් තුමා අතින් බෞතීස්ම ස්නාපනය ලබමින් සිටි පව්කාරයින් වෙතට ( ශු.මාක් 01: 04-05 ), ජේසුස් වහන්සේ දියෙන් ගොඩට නැගෙත්ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරවියෙකුගේ ස්වරූපයෙන් උන්වහන්සේ පිට බැස එමින්, "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්නව සිටිමි"යි ස්වර්ගයෙන් නික්මුණු හඬක් මඟින් හෙළිදරව් විය - ( ශු.මාක් 01:09-11 ). එලෙසම ශුද්ධවූ සුවිශේෂකවරු සතර දෙනාම විසින් විස්තර කර ඇති මෙම සිදුවීම, ශුද්ධවූ ත්‍රිත්වය එකවිටම ප්‍රසිද්ධියේ හෙළිදරව් වූ පළමු මොහොත ලෙසද සැළකිය හැකිය.ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ වන්නේද උන්වහන්සේගේ බෞතීස්ම ස්නාපනයෙනි.

පව් වලට මනස්ථාපනය වී බෞතීස්ම ස්නාපනය ලබා ගැනීම ආරම්භ වූයේ ස්නාවක ජොහන් තුමාගෙන් නොවේ.එය අපගේ පාපොච්චාරණයට සමාන චාරිත්‍රයක් ලෙසින් ජුදෙව්වන් අතර සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක විය.ක්‍රි.ව.70 දී දේවමාළිගාවේ විනාශය සිදුවන තුරු අධ්‍යාත්මික පවිත්‍ර කිරීමේ මාධ්‍යයක් ලෙස එනම්, අධ්‍යාත්මික අපිරිසිදුකම සහ පාපය ඉවත් කිරීම සඳහා ජුදෙව් ජනයා "මික්වේ" ( Mikveh ) නමින් විශේෂ තටාකයක් ( ජල එකතුවක් ) භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් විය. සබත් දවසට පෙර පිරිමින් සතිපතා මෙහි ස්නානය කළ අතර කාන්තාවන් මාස්පතා එය සිදු කළහ.එසේම යමෙකු ජුදෙව් ආගමට පිවිසීමට පෙරද මෙම ස්නානය කිරීම සිදුකරන ලදී.ඕතඩොක්ස් ජුදෙව්වන් තවමත් මෙම චාරිත්‍රය පවත්වති.ජේසුස් වහන්සේ මෙම අඛණ්ඩ චාරිත්‍රය අපගේ ඇදහිල්ලේ ජීවිතය ආරම්භ කරන එකම, නිශ්චිත ක්‍රියාවක් බවට පරිවර්තනය කළේය - ( ශු.මතෙව් 28:19 ).

පව් රහිත දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් වහන්සේ පව්කාරයන් සඳහා වූ “පසුතැවිල්ලේ බෞතීස්ම ස්නාපනය” ලැබුවේ ඇයි? මෙය අප සැමට පැන නැඟිය හැකි ගැටළුවකි.ජේසුස් වහන්සේ පව් රහිත වුවද ( 01 ජොහන් 03:05 ) යෙසායා දිවැසිවරයා පවසා ඇති පරිදි උන්වහන්සේ "දෙවියන් වහන්සේගේ දුක් විඳින සේවකයාය" ( The Suffering Servant ). උන්වහන්සේ තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසාය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය.එතුමන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත... එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔහුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේය... මෙසේ වන්නේ එතුමන් වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි - ( යෙසායා 53:05;09;12 ). අපේ පව් උදෙසා මැදහත් වීම සඳහා ජේසුස් වහන්සේ තමන් වහන්සේව පව්කරුවන් සමඟ ගණන් ගැනීමට ඉඩ හැරියේය.පව්කරුවන් සඳහා වූ බෞතීස්ම ස්නාපනය උන්වහන්සේ ලබා ගත්තේ එබැවිනි.ජේසුස් වහන්සේ මෙය තමන් වහන්සේගේම මුවින් ප්‍රත්‍යක්ෂ කර ඇත: "මම මෙය ඔබට කියමි, 'උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබීයැ'යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන්පත් විය යුතුය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේමයැ"යි වදාළ සේක - ( ශු.ලූක් 22:37 ).ක්‍රිස්තුන් වහන්සේගේ මෙම දුක් විඳීමේ ආදර්ශය ගැන ශුද්ධවූ පේදුරු තුමා මෙලෙස පවසයි: මන්ද, යමෙක් දෙවියන් වහන්සේ අබිමුවෙහි සිටින බව සිතාගෙන, අසාධාරණ ලෙස දුක් පීඩා විඳින්නේ නම් එය ප්‍රශංසනීය දෙයකි.ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි... උන්වහන්සේ කිසි පවක් නොකළ සේක.කවදාවත් බොරුවක්ද නොවදාළ සේක... උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක.ඔබ සුව කරනු ලැබුවේ උන්වහන්සේගේ තුවාළ නිසාය - ( 01 පේදුරු 02:19-20;22;24 ).ජේසුස් වහන්සේගේ මෙම උදාරත්වය නිසාම අපටද උන්වහන්සේගේ දේව දරුකම උරුම විය: පවුලේ සියලු දරුවන්ට එකම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේම උන්වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක.එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට, දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත්ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිසය... ඔබ සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය... මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි ( හෙබ්‍රෙව් 02:14-15, ගලාති 03:26, ගලාති 04:07 ).මේ නිසා එදා මෙසියස් වහන්සේගේ උදාව එනම්, දේව රාජ්‍යය ආසන්නයැ'යි කියමින් ජොහන් අතින් බෞතීස්ම ස්නාපනය ලැබූ අය මෙන් අපද ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිය යුතුය - ( ගලාති 03:27 ).එබැවින් එදා ජේසුස් වහන්සේ කරණකොටගෙන ස්වර්ගයෙන් නික්මුණු, "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්නව සිටිමි"යි යන හඩ හුදෙක් නික්මුනේ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පමණක් නොව, උන්වහන්සේ මෙන් සැරසී සිටින අප සැම වෙතය: දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍යය පාපී බව හා සම වීමට සැලසූ සේක.එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිසය - ( 02 කොරින්ති 05:21 ).

තම දේවසේවය ආරම්භ කිරීමට ජේසුස් වහන්සේ අවුරුදු තිහක් වනතෙක් බලා සිටියේ ඇයි? මෙයද බොහෝ දෙනාට ඇති ගැටළුවකි.එකළ බොහෝ ජුදෙව්වරු අතර මිත්‍යා මතයක්ද තිබිණි.එනම් ජුදෙව්වරු දෙවියන් වහන්සේගේ තෝරාගත් සෙනඟ බැවින්, තමන් ශුද්ධ බවත්, එබැවින් පසුතැවිලි වී බෞතීස්ම ස්නාපනය ලබා ගැනීම තමන්ට වුවමනා නොවන බවත්, එය හුදෙක් විජාතිකයන් සඳහා පමණක් බවත්ය.ඒ බව ස්නාවක ජොහන් තුමාගේ ඇතැම් ප්‍රකාශ වලින් මනාව විද්‍යාමාන වේ: එහෙත්, බෞතීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔහුන්ට කතා කොට, "පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පළා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක්ද? එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න.'ආබ්‍රහම් අපගේ පියාණෝ ය'යි කියාගන්නට නොසිතන්න.ඒ මන්ද, මේ ගල් වලින් වුවද ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැයි මම ඔබට කියමි - ( ශු.මතෙව් 03:07-09 ).නමුත් දේව රාජ්‍යය ආසන්න බැවින් ඒ සඳහා පසුතැවිලි වී බෞතීස්ම ස්නාපනය ලබා ගත යුතු බවට ස්නාවක ජොහන් තුමාගේ ඉගැන්වීම් නිසා බොහෝ ජුදෙව්වරු අවුරුදු සිය ගණනකට පමණ පසුව තම පව් උදෙසා මනස්ථාපනය වීමට පටන් ගත්තේය.තමන් "දෙවියන් වහන්සේගේ දුක් විඳින සේවකයා" බව පසුතැවිලි වන පව්කාරයන් හට ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ජේසුස් වහන්සේට මීට වඩා හොඳ අවස්ථාවක් නම් තවත් නොතිබෙන්නට ඇත.

බව්තීස්ම ස්නාපනය මගින් අපි දෙවියන් වහන්සේගේ දරුකමට හදාගත් පුතුන් හා ජේසුස් වහන්සේගේ සහෝදර සහෝදරියන් මෙන්ම උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් හා ස්වර්ග රාජ්‍යයේ උරුමක්කාරයන්ද, ශුද්ධාත්මයාණන් වහන්සේගේ මන්දිරද බවට පත්වෙමු.තවද අපි සභාව නමැති ​​ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වී ක්‍රිස්තුස් වහන්සේගේ පූජක තන්ත්‍රයට හවුල්කරුවන් බවට පත් වෙමු.එබැවින්, බව්තීස්ම ස්නාපනය යනු සමස්ත කිතුනු ජීවිතයේ පදනමයි, ආත්මයේ ජීවනයට සහ අනෙකුත් සක්‍රමේන්තු වලටද ප්‍රවේශය ලබා දෙන දොරටුවයි.අපගේ බොහෝ දෙනෙකු දේවස්ථානයේ දොරටුව අසළ ඇති ආශිර්වාද කරන ලද ශුද්ධවූ ජලය අපගේ දකුණු අතේ ඇඟිලි අතර තවරා ගනිමින් දේවස්ථානය තුළට ඇතුළු වෙති.ඒ මන්ද?

මක්නිසාදයත් මෙම ආශීර්වාද කරන ලද ශුද්ධවූ ජලය අපගේ බව්තීස්ම ස්නාපනය අපට සිහිගන්වයි. ඒ නිසා අප මෙම ආශිර්වාද කරන ලද ශුද්ධ ජලය ස්පර්ශ කරන සෑම විටම මා දෙවියන් වහන්සේගේ දරුවෙක් යැයි සිහි කළ යුතුය; ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී කුරුසියෙන් මා මුදාගෙන ඇති බව සිහි කළ යුතුය; මාව දෙවියන් වහන්සේගේ පවුලේ සාමාජිකයෙක් ලෙස පිළිගෙන ඇති බව සිහි කළ යුතුය; අජ බාලකයාණන්ගේ අමිල රුධිරයෙන් මාව සෝදා, සමාව දී, පවිත්‍ර කර පිරිසිදු කර ඇති බව සිහි කළ යුතුය; අප විසින් ගෙවිය යුතු නමුත් අපට කොහෙත්ම ගෙවා නිම කළ නොහැකි මිළයකින්, දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ හරහා අපව නිදහස් කරගෙන ඇති බවට සිහි කළ යුතුය.අපගේ බෞතීස්ම ස්නාපනය ලබාගත් දිනයේදී ශුද්ධවූ II වැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් විස්තර කරන පරිදි, "නපුරට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ තුළවූ ශක්තිය සංකේතවත් වන කැටචුමෙන් තෙල්වලින් අපව අභිෂේක කරනු ලැබීය.ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව තුළින් අභ්‍යන්තර පවිත්‍රතාවයේ සඵලදායී සංකේතයක් වන ආශීර්වාදිත ජලය අප කෙරෙහි වත් කළේය.

පියාණන් වහන්සේගෙන් අභිෂේක ලත් ජේසුස් වහන්සේගේ ස්වරූපය තුළ අප මෙලෙස විශුද්ධ වූ බව පෙන්වීමට ක්‍රිස්ම් සමඟ අපව අභිෂේක කරනු ලැබීය.පාස්චල් ඉටිපන්දමේ උපකාරයෙන් දල්වා ගත් ඉටිපන්දම, ඇදහිල්ලේ ආලෝකයේ සංකේතයක් වූ අතර එය අපගේ දෙමව්පියන් සහ ඥාන මාපියන් විසින් ආත්මයාණන් වහන්සේගේ ජීවමාන වරප්‍රසාදයද සමඟ නිරතුරුවම ආරක්ෂා කර පෝෂණය ඇත". එලෙසම අද දිනය අපගේ බෞතීස්ම ස්නාපන පොරොන්දු අළුත් කර, අපගේ දිවිය ශුද්ධවූ ත්‍රිත්වයට කැපකර, බෞතීස්ම ස්නාපනය තුළ අපට ලැබී ඇති දේව වරප්‍රසාද සිහි කර, “සාතන් සහ ඌගේ සියලු හිස් පොරොන්දු ප්‍රතික්ෂේප කිරීම” සඳහා වූ දිනයකි.අපගේ බෞතීස්ම ස්නාපන පොරොන්දු වලට අපව විශ්වාසවන්ත කරවන ලෙසට අද අපි අපගේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු.එසේම ප්‍රේමයේ, දයාවේ, සේවයේ හා සමාව දීමේ ක්‍රිස්තියානි ජීවිතයක් තුළින් උන්වහන්සේගේ සුභාරංචිය බෙදාහැරීමේ ධූත මෙහෙවරට අපව පංගුකාරයෙකු කර ගැනීම ගැන අපි උන්වහන්සේට තුති පුදමු.

කිතුනු අපේ දේවධර්ම දිනපොත