ජේසුස් වහන්සේ හා කතෝලික සභාව

ජේසුස් වහන්සේ හා කතෝලික සභාව

නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පේදුරුතුමන් මත සිය සභාව ගොඩනැගූ සේක.

"මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය."
(ශුද්ධවර මතෙව් 16 : 18)

පළමු පාප්තුමා ලෙස පේදුරු තුමන්ගේ නායකත්වයෙන් ගොඩනැගුණු, අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන එකම ශු. සභාව, ශු. කතෝලික සභාව වේ. එනම්, ජේසුස් වහන්සේ මිනිස්බව ගත් දේව පුත්‍රයාණෝය. ඔවුන් වහන්සේ මෙලොවට පැමිණ දෙවියන්වහන්සේ ගැන කියා දුන් සේක. ඔවුන් වහන්සේ ඉකුත්වූ ඉක්බිතිද ඒ කාර්‍යය ලෝකාන්තය දක්වා ඉටු කරන පිණිස ශ්‍රාවක පිරිසක් පත්කර සභාවක් පිහිටුවා වදාල සේක. එම සභාව කතෝලික සභාව වන්නේය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලිය විශ්වීය ක්‍රියාවලියකි, උන්වහන්සේ ගැලවීම උරුමකර දුන්නේ විශ්වයේ සකල මනුශ්‍ය වර්ගායටය, එමෙන්ම "Catholicas" යන ග්‍රීක වචනයේ අර්ථය වන්නේද විශ්වීයත්වය ( සාධාරණත්වය ) යන්නයි. එවකට විශ්වය පුරා පැතිරී තිබූ නියම කිතුණු අනුගාමිකන්ගේ " සත්‍ය සභාව " හදුනාගැනීම සඳහා ඔවුන් විසින් මෙම වචනය භාවිතා කරන ලදියි.

මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
( ක්‍රියා 9 : 31)

කතෝලික වූ අපි එකම දෙවිකෙනෙකු සිටින බව විශ්වාස කරමු. උන්වහන්සේ සර්වබලසම්න්නය, සදාකාලිකය, සර්වඥානය, නොවෙනස් වන සුලුය. පියාණන්ද, පුත්‍රයාණන්ද, ශුද්ධාත්මයාණන් යන ත්‍රිත්වයාණන් වහන්සේලා එම දෙවිදාණෝය.

''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
(ශුද්ධවර ජොහන් 3 : 16)

කතෝලිකයන් වන අප දන්නා ප්‍රධාන කරුණ නම්, ශු. ත්‍රිත්වයේ දෙවන තැනැන්වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප ගලවා ගැනීම පිණිස මිනිස්බව ගෙන මෙලොවට වැඩිය බවයි. උන්වහන්සේගේ පැමිණීමේ අරමුණ වූයේ - මිනිසා කල පාපයට වන්දි ගෙවීමත්, ආරම්භයේදී මිනිසා හා දෙවියන්වහන්සේ අතර බිඳ වැටුනු සම්බන්දතාවය යලි ස්ථාපිත කර මිනිසාට ස්වර්ග දොරටුව යලි විවෘත කර දීමත්ය. මේ සියල්ලෙන් දෙවියන්වහන්සේ මිනිසාට කොතරම් ප්‍රේම කල සේක්ද යන්න මැනවින් ප්‍රකාශිත වන්නේය.

සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ. ( එපීස 1 : 23 )

දෙවියන්වහන්සේ සියල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර, උන්වහන්සේගේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කල සේක. සභාවේ දූතික සේවාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍රීය විශ්වීය පැවැත්මකට හෙවත්, කතෝලිකත්වයට සාක්ශි දැරීමය.

ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳිනුයේ මේ ලෝකය තුල ප්‍රේමයේ අරගලයක් දියත් කිරීමටය, ප්‍රේමයේ වෙනසක් ඇති කරලීම සඳහා උන්වහන්සේ මෙලොව මනුශ්‍යෙකු ලෙස උපත ලබා අපගේ පවු වෙනුවෙන් ජීවිතය පූජා කලේය.

උන්වහන්සේ ස්ථාපිත කලේ එකම සභාවක් ය, නොහොත් සභාවන් නොවේය. එබැවින් ජේසුස් වහන්සේගේ නාමයෙන් මිනිසුන් මුලා කරන බැටළු හම පොරවාගත් වෘකයෙනි!

ඔබෙන් අසන්නට ඇත්තේ! ක්‍රිස්තුස් වහන්සේට පීඩා කරන්නේ මන්ද යනුවෙනි?

සභාවන් සාදා මිනිසුන් මුලා කිරීම, ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කරන පාපයක් ලෙස දැක්විය හැකිය. මන්ද, සාවුලු සභාවට පීඩා කල විට, සැබවින්ම ඔහු පීඩා කලේ ක්‍රිස්තුස් වහන්සේටය.
එමෙන්ම, මිනිසුන් මුලා කර සත්‍ය මාර්ගයෙන් ඈත් කිරීමද ක්‍රිස්තුස් වහන්සේට පීඩා කිරීමක්ය.

එම සභාවන් වල සිටින මිනිසුන්ගෙන් අසන්නට ඇත්තේ! එපීස 6:14 පදයේ සඳහන් සත්‍ය නමැති පටිය ඔබ බැද සිටිනවද යන්නයි?

සැබවින්ම ඇත්තේ එකම ආත්මයාණන් වහන්සේය,
එකම ඉගැන්වීමක් ය, එම ඉගැන්වීම ඇත්තේ එකම ශු. සභාව තුලය, එම සභාව කතෝලික සභාව වන්නේය.

මුලා නොවෙන්න, ඔබ මුලා කිරීමට කිසිම කෙනෙකුට ඉඩ නොදෙන්න

ජේසු පිහිටයි!

✍️ අශේන් අරවින්ද