ප්‍රොතෙස්තන්ත්‍ර විප්ලවය දේව මැදහත්භාවය මත සිදු වුවක්ද?

ප්‍රොතෙස්තන්ත්‍ර විප්ලවය දේව මැදහත්භාවය මත සිදු වුවක්ද?

♦️ මාටින් ලුතර් වනාහී ජර්මන් ජාතික දේවධර්මවේදියකි. මොහු ක්‍රිස්තු වර්ෂ 1507 දී කතෝලික පුජකයෙකු බවට පත්විය.එක් අවස්ථාවකදී රෝමයේ සංචාරයක නිරත වු ලුතර් දුටුවේ සභාවේ නායකයන්ගේ අක්‍රමිකතාවයන් ය.මෙහිදී ප්‍රධාන වශයෙන්ම මුදලට "පුර්ණ ඵල විකිණීම" පිළිබදව මොහු විසින් දැඩි ලෙස විරුද්ධ විය.ක්‍රි:ව 1517 ඔක්තෝබර් මස 17 වන දින කරුණු 95 කින් යුත් ලියවිල්ලක් ඉදිරිපත් කරමින් ශතවර්ෂ 15 ක් අඛණ්ඩව පවත්වා ගෙන ආ "ක්‍රිස්තියානි විශ්වාසය" මොහු විසින් අභියෝගයට ලක් කරන ලදී.මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා දසවන ලියෝ පාප්වහන්සේ විසින් මෙතුමන්ට ආරාධනා කර සිටියේය.නමුත් මොහු විසින් මෙම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන ලදී.මේ නිසා දසවන ලියෝ පාප්වහන්සේ විසින් ලුතර් නම් පුජකයා කතෝලික සභාවෙන් නෙරපා හැරියේය.මොහුගේ ඉල්ලීම් අතර සාධනීය කරුණු  කිහිපයක්ද තිබු බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුව ඇත.

➡️ 1- පුර්ණ ඵල මුදලට විකිණීම.
➡️ 2- ස්වදේශීය භාෂාවෙන් දිව්‍ය යාගය පැවැත්විය යුතුය යන්න.

♦️ නමුත් ලුතර්ගේ ඉගැන්වීම් අතර සාවද්‍ය ඉගැන්වීම් රාශියක් පැවතිණ.ඉන් කිහිපයක් පමණක් මෙහි සදහන් කරමු.

👉 1- ක්‍රිස්තියානි විශ්වාසයේ මුදුන් මල්කඩ බදු වු පුපය සහ මිදිරස දිව්‍ය රහස් කිරීමේදී එහි "භාවර්ථය" වෙනස් නොවන බව ලුතර් විසින් ප්‍රකාශ කරන ලදී.

📕 19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ''ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ''යි වදාළ සේක.
📕 20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ''මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
( ලුක් 22:19-20 )

♦️ මෙහි සිහිකිරීම යන්නට යෙදෙන ග්‍රීක වචනය වන්නේ "අනම්නේනිස්" යන්නය.එහි නිවැරදි අර්ථය වන්නේ අතීත අත්දැකීමක් ජීවමාන කර සක්‍රීය කිරීම සදහා එය වර්තමානයට ගෙන ඒමය.මෙය සිංහල භාෂාවේදී"පරිස්මරණය" ලෙසට හදුන්වනු ලබයි.

👉 2- ගැලවීම සදහා "ඇදහිල්ල සහ විශ්වාසය" පමණක් ප්‍රමාණවත් බව ලුතර් විසින් ප්‍රකාශ කරන ලදී.නමුත් ඒ සදහා යහපත් ක්‍රියාවන්ද අවශ්‍ය වන බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලි ලෙසම අන්තර්ගතව ඇත.

📕 14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද?
📕 15 යම් සහෝදරයකු හො‍් සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී,
📕 16 ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: ''ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ''යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද?
📕 17 ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
( ජාකොබ් 2 : 14-17 )

👉 3-ගැලවීම සදහා අවශ්‍ය වන සියල්ලම ශුද්ධ ලියවිල්ල තුළම පමණක් අඩංගු වන බව පවසමින් ලුතර් විසින් ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන ලදී.

♦️නමුත් ශුද්ධ ලියවිල්ල පවා බිහිවුයේ ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළිනි.මන්ද ප්‍රථමයෙන් රචනා වු මාක් සුභාරංචිය රචනා වන්නේ ක්‍රි:ව 64-66 දී පමණය.එතෙක් සභාව තුළ පැවතියේ අපෝස්තුළුවරුන්ගේ වාචික ඉගැන්වීම් මත පදනම් වු ශුද්ධ ජීවන සභා සම්ප්‍රදායයි.

📕 15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
( 2 තෙසලානික 2:15 )

📕 13 අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.
(2 කොරින්ති 1 : 13)

👉 4- ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ශු.පේදුරු තුමන්ව තමන්ගේ සභාවේ එඩේරික නායකත්වය සදහා පත්කරමින් ස්ථාපිත කරන ලද සභා නායකත්වය ප්‍රතික්ෂේප කරමින් "ශුද්ධෝත්තම පියතුමන්ගේ නායකත්වය" මොහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

📕 18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
📕 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක.
( මතෙව් 16:18-19 )

👉 5- ශුද්ධ ලියවිල්ල තුළ සමහර ග්‍රන්ථ දේවානුභාවය තුළ ලියවී නොමැත.මෙහිදී ජේසුස් වහන්සේ විසින් මෙන්ම අපෝස්තුළුවරුන් විසින්ද භාවිතා කරන ලද පුරාණ ගිවිසුමෙහි ග්‍රීක පිටපත හෙවත් සෙප්ටුවාජීන්ත පිටපතෙහි ඇතුළත් ද්ව්තීය සම්මත ග්‍රන්ථ මොහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.එමෙන්ම නව ගිවිසුම තුළ අන්තර්ගතව ඇති 2 පේදුරු, 2,3 ජොහාන් ලිපි, හේබ්‍ර්ව් ලිපිය එළිදරව්ව සහ ජාකොබ් ලිපිය වැනි ග්‍රන්ථ වල දේවානුභාවය පිළිබදවද මාටින් ලුතර් එකග නොවු බව මුලධර්මවාදීන් නොදනිති.

♦️ ද්ව්තීය සම්මත ග්‍රන්ථ වල දේවානුභාවය සනාථ කිරීම.

➡️ 1- නව ගිවිසුම ලියු කතුවරුන් විසින් පුරාණ ගිවිසුමෙන් උපුටා ගත් පාඨයන් 350 න් 300 ක් පමණ උපුටා ගෙන ඇත්තේ සෙප්ටුවාජීන්ත පිටපතෙනි..ඉන් 18 ක් ද්ව්තීය සම්මත ග්‍රන්ථ වලින් උපුටා ගෙන ඇත.

♦️ උදා : මාක් 12:23 උපුටා ගෙන ඇත්තේ තෝබිත් 6:14 සහ 1 පේදුරු 1 :5-7 උපුටාගෙන ඇත්තේ ජුදිත් 8:25 න් ය.

➡️ 2- ක්‍රි:ව 393 දී හිප්පෝ මන්ත්‍රණ සභාව,ක්‍රි:ව 397 සහ 419 දී කාර්තේජ් මන්ත්‍රණ සභාව සහ ක්‍රි:ව 401 දී ඉනසන්ට් ශුද්දෝත්තම පියතුමන් විසින්ද ද්ව්තීය සම්මත ග්‍රන්ථ වල දේවානුභාවය පිළිබදව සනාථ කොට ඇත.

👉 6- ස්වර්ගය හෝ නිරය විනා ශුද්ධකාග්නිස්තානය නැමැති ස්ථානයක් නොමැත.

♦️ ශුද්ධකාග්නිස්තානය යනු අපගේ සුළු පාපයන් මරණින් පසුව පවිත්‍ර කරනු ලබන ස්ථානයයි.

📕 11 මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.
📕 12 මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,
📕 13 ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
📕 14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.
📕 15 යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.
( 1 කොරින්ති 3 : 11-15 )

👉 ඊශ්‍රායෙල් ජනතාව ගැලවීමේ ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවන් හීදී සැබෑවු එකම දෙවියන් වහන්සේගෙන් ඈත්ව මිත්‍යා දෙවිවරුන් පසුපස ගියහ.
මේ සදහා පුරාණ ගිවිසුම තුළ උදාහරණ ඕනෑ තරම් දක්නට ලැබේ.ඊශ්‍රායෙල් ජනතාව ඊජීප්තු දේශයේ වහල්භාවයෙන් මිදී පොරොන්දු දේශය කරා එන ගමනේදී එවැනි අවස්ථා කිහිපයක්ම දක්නට ලැබේ.

📕 8 මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, 'ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න' කිය කියා සිටිති''යි වදාළ සේක.
( නික්මයාම 32 : 8 )

📕 5 සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, ''මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ''යි පැවසූ හ.
( ගණන් කථාව 21 : 5 )

👉 නමුත් ගැලවීමේ ඉතිහාසය තුළ කිසිම අවස්ථාවකදීවත් ඊශ්‍රායෙල් ජාතිකයන්ගේ මුරණ්ඩුභාවය හෝ අකීකරුභාවය නිසා දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ජාතිය අතහැර වෙනත් ජාතියක් තෝරා පත්කර ගත්තේ නැත.මෝසෙස් සහ විවිධ දිවැසිවරුන්ගේ මාර්ගයෙන් ඔවුන්ව නැවතත් දෙවියන් වහන්සේ වෙත හරවා ගත්තේය.ශුද්ධවු සභාව තුළ අඛණ්ඩ අවුරුදු 2000 කට ආසන්න වු ඉතිහාසයක් ඇත.එම ඉතිහාසය තුළ මණුෂ්‍ය  දුර්වලත්වය සභාව තුළ පිළිඹිබු වු අවස්ථාවන් නැතුවා නොවේ.එවැනි අවස්ථාවන් හීදී ආදී සභා පියවරුන්,විවිධ පුද්ගලයන්ගේ මාර්ගයෙන් දෙවියන් වහන්සේ විසින් සභාව නැවතත් නිවැරදි මාවත වෙත රැගෙන එන ලදී. ශු.ජෝන් ක්‍රිස්තෝත්තම් මුනිතුමන්,ශු.බර්නාඩ් මුනිතුමන්, අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමන් මේ සදහා උදාහරණ කිහිපයක් පමණි.මොවුන් සියළුදෙනාම අද සභාව ශුද්ධවන්තයන් ලෙසට සලකනු ලබයි.එසේ නම් මාටින් ලුතර් විසින් සිදුකලයුතුව තිබුනේද සභා නායකයන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් සභාව නිවැරදි මාවතට යොමුකිරීම නොවේද?පුරාණ ගිවිසුම තුළ ඊශ්‍රායල් ජනතාව සමග දෙවියන් වහන්සේ විසින් ඇති කරගත් ගිවිසුම නව ගිවිසුම තූළ ක්‍රිස්තුන් වහන්සේගේ මනාලිය වු ( එළිදරව්ව 21:2 ) ශුද්ධ වු සභාව සමග ඉදිරියටම ගමන් කරයි.

👉 මාටින් ලුතර්ගේ සමකාලිනයන් වුද ලුතර්ගේ අනුගාමිකයන් වුද ජෝන් කැල්වින්,උල් රිච් ස්වින්ග්ලි අතර පවා දේවධර්මය පිළිබදව එකගත්වයක් තිබුනේ නැත.උල් රිච් විසින් ක්‍රි:ව 1529 දී ලුතර් මුණ ගැසී ඔහු සමග එකගතාවයකට
පැමිණීමට උත්සහකලද එයද සාර්ථක නොවු අතර ඔවුන් දෙදෙනාද භේද විය. ක්‍රිස්තුන් වහන්සේ විසින් සභාව පිහිටවුයේ සභාව ඒකත්වයක්ව පවතින ලෙසටයි.

📕 23 මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.
( ජොහන් 17 : 23 )

👉 එමෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින්ද සෑම විටම ඇතිවන්නේ සභා ඒකත්වය සහ එක්සත්භාවයයි.පෙන්තකෝස්ත දිනයේදී  අපෝස්තුළුවරුන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා දුන් අන්‍යභාෂා දීමනාවෙන් දේශනා කරන විටදී සියළු රටවල ජුදා ජාතිකයන් හට තම තමන්ගේම භාශා වලින් එම දේශනා ශ්‍රවණය වීමට සැලැස්වීම ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ඇතිවන එක්සත්භාවය සදහා තවත් එක් විශිෂ්ට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.මන්ද සියළුදෙනාටම එම  අවස්ථාවේදී එකම අණාවරණයක් ප්‍රකාශ වීම මගින් ශුද්ධ වු සභාවේ ඒකත්වය සහ එක්සත්භාවය ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ විද්‍යාමාන විය.

📕 7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ''බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?
📕 8 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? ( ක්‍රියා 2:7-8 )

👉එමෙන්ම ශුද්ධ වු පාවුළු තුමන් විසින්ද ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් සභාව තුළ ඇතිවන එක්සත්භාවය පිළිබදව විස්තර කරයි.

📕 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම,සමගිකමේ බැම්මෙන් පවත්වා ගන්නට උත්සහ කරන්න.( එපීස 4:3 )

👉 සභාව තුළ කිසියම් අවස්ථාවකදී භේදයක් ඇති වන්නේ නම් එය ඇතිවන්නේ සභා ඒකත්වයට සහ එක්සත්භාවයට විරුද්ධ ක්‍රියා කරන සාතන්ගෙනි.එසේ භේදයක් ඇතිවුයේ නම් එය සභාව තුළම විසදාගත යුතුය.මුල් සභාව තුළ පවා චර්මජේදනය පිළිබදව මත ගැටුමේදී එය සභාව තුළම සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම මේ සදහා හොදම උදාහරණයයි.( ක්‍රියා 15 ) මේ නිසා මාටින් ලුතර් පවා ඒ අවස්ථාවේදී දේවධර්මය විකෘති නොකොට සභා නායකයන්ගේ අඩුපාඩු පෙන්වා දුන්නේ නම් සභාව තුළ මෙවැනි බෙදීමක් හටගන්නේ නැත.මාටින් ලුතර් විප්ලවය නිසා සභාව කැඩී ගොස් අද වන විට කුඩා සභාවන් 40000 කට වැඩි ප්‍රමාණයක් බිහි වී ඇත.මෙම සභාවන් සියල්ලේම ඉගැන්වීම් එකිනෙකට වෙනස්‍ ය.මෙම සභාවන් විසින් මාටින් ලුතර් විසින් පිළිගනුලැබු මරියතුමියගේ දේවමාතෘත්වය, එතුමියගේ සදා කන්‍යාභාවය, සාන්තුවර බැතිය,ළදරු බෞතීස්මය වැනි කරුණු පිළිනොගැනීමද විමතියට කරුණකි.නමුත් කතෝලික සභාව පමණක් එකම විශ්වාසය සහ එකම ඉගැන්වීමක් මත අදටත් ජීවමානව පවතින්නේ "ශුද්ධාත්මයාණන් වහන්සේ" අඛණ්ඩව "ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය" මත වැඩ සිටිමින් සභාව තුළ ක්‍රියාකාරී වන නිසා ය.( ජොහාන් 16:13 ) මාටින් ලුතර් විප්ලවයට පෙර පැවතියේ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව,නෙස්ටෝරියන්වරු, සහ ග්‍රීක ඔතඩෝක්ස් සභාව පමණි.මාටින් ලුතර් නම් පුජකයාට නිරාගත වීමට සිදුවුයේද ඔහු විසින් දේවධර්මය විකෘති කරමින් සභාව භේද කොට  ශුද්ධාත්මයාණන් වහන්සේට විරුද්ධව කරන ලද බරපතල පාපය නිසාය.

මේ බව ක්‍රි:ව 1883 දී දර්ශනලාභී මාරියා සොෆ්‍රිනා කන්‍යා සොහොයුරිය සාක්ෂි දරා ඇත.නිරයේ දුක් විදින මාටින් ලුතර්ගේ දර්ශනය එතුමියට අණාවරණය විය.ශුද්ධවු සභාව කවර ආකාරයේ බාධාවන් පැමිණියද අඛණ්ඩව අවුරුදු 2000 කට ආසන්න කාලයක් මුළුල්ලේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලෝකය තුළ ඉදිරියටම ගමන් කරයි. එසේ වන්නේ එම සභාව ක්‍රිස්තුන් වහන්සේ විසින්ම පේදුරු තුමන් එඩේරික නායකත්වයට පත්කරමින් ක්‍රි:ව33 දී පිහිටවනු ලැබු එකම සභාව වන බැවිනි.එබැවින් ඔබ අයත් විය යුත්තේ මණුෂ්‍ය නිර්මාණයක් මත බිහි වු සභාවකටද එසේත් නැතිනම් ක්‍රිස්තුන් වහන්සේ විසින්ම පිහිටවනු ලැබු අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවටද යන්න ඔබ විසින්ම තීරණය කල යුතු සතය්‍යතාවයක් වන්නේය.

සතුට යනු කතෝලිකයකු වීමයි!
✍️ සාහිත පෙරේරා