මරියතුමියගේ නිර්මලව පිළිසිදීමේ මංගල්‍යය ( දෙසැම්බර් 8 )

මරියතුමියගේ නිර්මලව පිළිසිදීමේ මංගල්‍යය ( දෙසැම්බර් 8 )
Photo by Europeana / Unsplash

✝️ බොහෝ කතෝලිකයෝ පවා සිතා සිටින්නේ මරියතුමිය නිර්මල ලෙස පිළිසිදීම යනු ජේසුස් වහන්සේ මරියතුමියගේ කුසතුළ ජන්ම පාපය රහිතව පිළිසිදගත් අවස්ථාව බවයි.නමුත් මින් අදහස් වන්නේ මරියතුමිය ශුද්ධ වු ආනා මුනිතුමියගේ කුස තුළ ජන්ම පාපය රහිතව නිර්මලව පිළිසිදගත් අවස්ථාවයි.

එසේ වීමට පදනම කුමක්ද?

✝️ මේ ලෝකයට පාපයට පැමිණියේ අප ආදි මව්පියන්ගේ පාපය නිසාය.එහිදී ඒ සදහා මුලිකත්වය ගනු ලැබුවේ ඒව විසිනි.සාතන්ගේ බසට හසුවු ඒව තහනම් ගහේ ගෙඩි කඩා කමින් තම සැමියාටද එයින් කොටසක් දුන්නාය.( උත්පත්ති 3:6 ) එම පාපයෙන් සමස්ථ ලෝකයම මුදවා ගැනීම සදහා "ගැලවුම්කරුවෙකු" එවීමට දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වු සේක. ( උත්:3:15 ) එම පොරොන්දුවට අනුව"තා"හෙවත් සාතන්ගේ හිස පොඩි කරනු ලබන්නේ"ඔහු" හෙවත් ක්‍රිස්තුන් වහන්සේ  විසිනි. එසේම එහි "ස්ත්‍රිය"සහ "ඇගේ වංශය" යනු මරියතුමියයි.නමුත්" ප්‍රොතෙස්තන්තවාදීන්"  පවසන්නේ මෙයින් ගමය්‍ය වන්නේ මානව වංශය වන බවයි. නමුත් බයිබලය තුළ "ද්විත්ව  අර්ථ" පද රාශියක් ඇත. උදාහරණ ලෙස හිස් සත රෝමයේ කදු සත ලෙසටත් තවත් විටක රජවරු සත ලෙසටත් පෙන්වා දෙයි. ( එළිදරව්ව 17:9 ) තවද දේව මාළිගය ජෙරුසෙලම් දේව මාළිගය ලෙසටත් තවත් විටක ක්‍රිස්තු ශරීරය ලෙසටත් විස්තර කර ඇත. ( ජොහන් 2:21 ) එසේම ක්‍රිස්තුන් වහන්සේ අත්තිවාරමය.( 1 කොරින්ති 3:11 ) එසේම අපෝස්තුළුවරුන්ද අත්තිවාරමය.

( එපීස 2:20 ) ඒ අනුව උත්පත්ති 3:15 ස්ත්‍රිය යන පදයටද ද්ව්ත්ව අර්ථයක් ඇත. විටක එය මානව වංශය ලෙසත් තවත් විටක "සහය ගැලවුම්කාරිය" වු මරියතුමියවත් සංකේතවත් කරයි. ජේසුස් වහන්සේ විසින් තමන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භයේදී සහ අවසානයේදි මරියතුමියට"ස්ත්‍රිය" ලෙස ආමන්ත්‍රණය කළ සේක.ආදම්ට"සහය වන්නිය" ලෙසට( උත්:2:18) දෙවියන් වහන්සේ විසින් ඒව මවා වදාල සේක. එසේම ජේසුස් වහන්සේගේ පළමු මැවීමේ කාර්‍යයේ "සහයවන්නිය" වුයේ මරියතුමියයි.( ජොහන් 2:5 ) එහිදී ජේසුස් වහන්සේ විසින් ඇය ආමන්ත්‍රණය කරනු ලැබුවේද "ස්ත්‍රිය"ලෙසටයි.එසේම කපාල කදු මුදුනේදී ජේසුස් වහන්සේ විසින් යක්ෂයාගේ හිස පොඩිකරන විටදී මරියතුමියද ඒ අසලින්ම සිටියාය.ඒ අවස්ථාවේදීද මරියතුමියව ජේසුස් වහන්සේ විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ "ස්ත්‍රිය" ලෙසටය.( ජොහන් 2:26 ) එසේම කානා නුවරදී ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කල මොහොත ( ජොහන් 2:4 ) වන්නේද මුළු විශ්වයටම "ගැළවීම" උදා කළ කල්වාරි යාගයයි. මේ නිසා ජොහන් සුභාරංචිය තුළ "ස්ත්‍රිය" හෙවත් නව ඒව වශයෙන් එතුමියව සනාථ කොට ඇත. එසේම උත් 3:15 සදහන් ඇගේ වංශය යනු ඒවගෙන් ඇරඹි මානව වංශය විය නොහැකිය.මන්දයත් ඒ වනවිටත් ඒව පාපයේ වහල්කරියකි. මේ නිසා උත්පත්ති 3:15 ට අනුව ජේසුස් වහන්සේ "නව ආදම්"  ( රෝම 5:15 )වනවිට නව ඒව වන්නේ මරියතුමියයි. ජේසුස් වහන්සේගේ වංශාවලිය තුළින් මෙය වඩාත් පැහැදිලිවෙයි.

📕16 ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
( මතෙව් 1:16 )

✝️ එසේම පුරාණ ආදම් සහ පුරාණ ඒව ජන්ම පාපයෙන් නිදහස්ය.මේ නිසා නව ආදම් වු ක්‍රිස්තුන් වහන්සේ මෙන්ම "නව ඒව" වු මරියතුමියද ජන්ම පාප කිළුටෙන් නිදහස් ය. මරියතුමිය නව ඒව වන බව දෙවන සියවස තුළ සභා පියවරුන් වන ශුද්ධ වු ජස්ටින් තුමන් මෙන්ම ඉරනේයුස් තුමන් විසින්ද සනාථ කොට ඇත.

තවද ඕ තුමිය "දේව වචනයේ දාසිය" වන බැවින් ( ලුක් 1:38 ) සමස්ථ කර්ම පාප කිළුටෙන්ද නිදහස් වන බව සභාවේ ඉගැන්වීමයි.මරියතුමිය ජන්ම පාපයෙන් නිර්දෝශීවීම වේද සතය්‍යතාවයක් බවට ක්‍රි:ව 1854 දී 9 වන පියුස් පාප්තුමන් විසින් නොවරදින සුළු ලෙස( මතෙව් 16:18-19 ) තමන්ගේ (Ineffabilis Deus ) ලේඛනය මගින් සනාථ කොට ඇත.

✝️ ග්‍රාබියෙල් දේවදුතයා විසින් මරියතුමිය ආමන්ත්‍රණය කරන ලද්දේද "වරප්‍රසාදයෙන් පුර්ණ වන්තිය" ලෙසටය.( ලුක් 1:28 ) එනම් නව ගිවිසුම තුළ ග්‍රීක වය්‍යවහාරය අනුව "kaire" නැමැති වචනයේ perfect passive participle වචනය වන "kekaritomene" යන්නය.මෙම වචනය ග්‍රීක භාෂාව තුළ නාම විශේෂණකි.p.p.p යනු අතීතයේ සම්පුර්ණ කරන ලද ක්‍රියාවකි.ඒ නිසා ඇය ශුද්ධ වු ආනා තුමියගේ කුස තුළ පිළිසිදුනු මොහොතේ සිටම ජන්ම පාපයෙන් නිර්දෝෂී වුවාය.

✝️සතුට යනු කතෝලිකයකු වීමයි! 🙏
✍️සාහිත පෙරේරා