රූපවන්දනාව සහ සාන්තුවර බැතිය

රූපවන්දනාව සහ සාන්තුවර බැතිය
Photo by K. Mitch Hodge / Unsplash

👉කතෝලික විශ්වාසය තුළ මහත් සේ අභියෝගයට ලක්වන කාරණාවන් 2 ක් වන්නේ රූපවන්දනාව සහ සාන්තුවර බැතියයි.

👉පුරාණ ගිවිසුම තුළ රූප සාදාගැනීමට අවසර නොතිබු බව මුලධර්මවාදීන්ගේ ඉගැන්වීමයි.නමුත් ජෙරුසලම් දේව මාළිගය තුළ පවා රූප සාදා තිබු බව මෝවුහු නොදැන සිටීම අපගේ විමතියට හේතුවේ.

18 මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.

19 ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබීමට ඇතුළතින් මාලිගාව තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළ කෙළේ ය.

20 ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.

23 ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.

24 එක කෙරුබ්වරයෙකුගේ රූපයක එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් ය. කෙරුබ්වරයාගේ රූපයේ අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් ය; එක් පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා මීටර් හතරයි දශම හතරකි.

32 ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.

35 ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.

36 ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.

( 1 රාජාවලිය 6:18-36 )

👉නමුත් පුරාණ ගිවිසුම තුළ දෙවියන් වහන්සේ සංකේතවත් කෙරෙන රූප සාදා ගැනීමට අවසර නොතිබිණ.මන්දයත් පුරාණ ගිවිසුම තුළ දෙවියන් වහන්සේගේ මණුෂ්‍ය රූපාකාරය කිසිවෙකු දැක නොතිබිණ. මන්දයත් මෝසෙස් තුමන් පවා දෙවියන් වහන්සේ දුටුවේ ගිනිගෙන නොදැවෙන පදුරක් ආකාරයටය.

15 ''එබැවින් ඔබ හැම සුපරීක්ෂාකාරී ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ ගිනි මැද සිට හොරෙබ් කන්ද මුදුනේ දී ඔබ හැම ඇමතූ විට ඔබ කිසි රූපාකාරයක් නුදුටුවහු ය.

16 එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්,

17 මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්,

18 පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය.

ද්විතීය නීති සංග්‍රහය 4 : 15-18

👉නමුත් නව ගිවිසුම තුළ පුරාණ ගිවිසුම තුළ සැගව තිබු සියල්ල එළිදරව් වී ඇත.

17 ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය.

( කොලොස්සි 2 : 17 )

👉සැබෑ වු ජීවමාන දෙවියන් වහන්සේ මිනිසත් බව ගනිමින් අප අතර වැඩවිසූසේක. ( ජොහාන් 1:14 ) අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ සැබෑ වු ස්වරූපය ක්‍රිස්තුන් වහන්සේය.

15 ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.

(කොලොස්සි 1 : 15)

👉අපෝස්තුළුවරුන්ගේ මුල් කිතුණු සභාව උන්වහන්සේ දුටුසේක.උන්වහන්සේගේ වචන ශ්‍රවණය කළ සේක.උන්වහන්සේ ස්පර්ශ කළ සේක.එසේ ඔවුන් විසින් තමන් දුටු දෙයට සාක්ෂි දරා ඇත.

1 මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු.

2 මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක, ඒ ගැන සාක්ෂි දරමින්, පියාණන් වහන්සේ සමඟ වැඩවිසූ, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු.

3 අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය. අප එසේ කරන්නේ, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමඟ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණිස ය.

4 තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.

(1ජොහන් 1 : 1-4)

👉එසේ නම් ජොහාන් අපෝස්තුළු තුමන් පවසන පරිදි අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව විසින් තමන් දුටු දෙයට සාක්ෂි දරමින් සැබෑ වු දෙවියන්ද සැබෑවු මණුෂ්‍යයාද වූ ක්‍රිස්තුන් වහන්සේගේ නිරූපක සාදා ගැනීම කිසිම ආකාරයකින් ශුද්ධ ලියවිල්ල ට පටහැනි කාරාණාවක් නොවේ.

👉නමුත් අප ඒවා තබාගෙන සිටින්නේ වන්දනා නමස්කාර කිරීමට නොව එම නිරූපක තුළින් නිරූපණය වන ක්‍රිස්තුන් වහන්සේට ගෞරවය සහ භක්ති ආදරය පුද කිරීමටත් අප මතු ලබන  සදාතන ජීවනයේ පෙරමංසළකුණු ලෙසට   පමණක්ම වන බව සිහියේ තබා ගැනීම වැදගත්වේ.

👉පුරාණ ගිවිසුම තුළ ගැලවීම ලැබු ආත්මයන් එනම් ආදී පීතෘ වරුන්ගේ ආත්මයන් පවා රැදී සිටියේ හේදිසිය තුළ ය.

39 මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ.

40 එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.

( හෙබ්‍රෙව් 11 : 39, 40 )

👉නමුත් ක්‍රිස්තුන් වහන්සේගේ පුනර්ජීවනයත් සමගින් ගැලවීමේ ක්‍රියාවලිය නව ගිවිසුම තුළ සම්පූර්ණත්වයට පත්වේ.ඉන්පසුව එම පුරාණ ගිවිසුම තුළ ගැලවීම ලැබූ ආත්මයන් ස්වර්ග රාජ්‍ය දිනා ගත්තේය.

52 සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.

53 උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ.

(  මතෙව් 27 : 52, 53 )

මෙහි ශුද්ධ නුවර වන්නේ ස්වර්ගයයි. ( එළිදරව්ව 21 :2 )

👉එම ආත්මයන් සියල්ල දැන් දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණන් වු ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ සේවය කරමින් සිටී. අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවද දිව්‍ය යාගය තුළින් හවුල් වන්නේ මෙම ස්වර්ගීක යාගයටම වීම විශේෂත්වයකි.

8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.

( එළිදරව්ව 5 : 8 )

👉මෙහි බැටළු පෝතකයාණන් තුළින් එම යාගය තුළ පිදෙන ක්‍රිස්තුස් වහන්සේ සංකේතවත් කෙරේ. ජොහාන් තුමන් විසින් ක්‍රිස්තුස් වහන්සේ හට රූපමය සංකේතයක් ලබාදීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. දෙවියන් වහන්සේ සහ මණුෂ්‍යයා අතර එකම මැදහත්කරුවාණන් හෙවත් සියලු දෙනාගේ මිදීමේ මිලය වන්නේ උන්වහන්සේය. ( 1 තිමොති 2:5 ) මේ නිසා මෙම උතුම් වු යාගයට දේව වන්දනාව තුළ කේන්ද්‍රස්ථානය හිමිවේ.මෙහිදී සැදැහැවතුන්ගේ යාච්ඤාවන් සදහා මැදහත්භාවය ලබාදෙන්නේ පුරාණ ගිවිසුමේ සහ නව ගිවිසුමේ ස්වර්ගීක දේව ජනතාව වු කුල දෙටුවන් විසිනි.

සතුට යනු කතෝලිකයකු වීමයි!

සාහිත පෙරේරා