ජේසුස් වහන්සේ ස්තාපිත කළ කතෝලික සභාව රූප වන්දනාව කරනවද?

ජේසුස් වහන්සේ ස්තාපිත කළ කතෝලික සභාව රූප වන්දනාව කරනවද?
Photo by Clay Banks / Unsplash

එක්තරා සුප්‍රකට ක්‍රිස්තියානි දේශකයෙක්ගේ පිළිම වන්දනාව ගැන දේශනා කරමින් කතෝලික බයිබලයේ ඇති බව කියන රූප වන්දනාව ගැන කොටසක් උපුටා දක්වන ආකාරය වීඩියෝ එකක් දැක මේ සටහන ලියමි. එම වීඩියෝවේ එතුමා කියන්නේ තමන් අතර නැති කෙනෙක් ඉන්නවා යයි සිතන්නට පිළිම සාදන බවයි. එසේ නම් හිට්ලර්ගේ, යක්ෂයන්ගේ,  බහිරවයන්ගේ, මකරුන්ගේ ද පිළිම සාදති.  ඒ පිළිම සාදන්නේ එවැන්නකට ද යයි මට ආ පැනයයි. ජීවතුන් අතර සිටින ජනාධිපති අගමැති වරුන්ගේ පින්තුර ද මිනිස්සු ආයතන වල එල්ලති. එනම් පිළිම සාදන හේතු ගොඩක් ඇත.

කෙනෙක්  ගෞරවයක,කෙනෙක් මතකයක් ලෙස තවත් කෙනක් නිරූපණයක් ලෙසත් පිළිම රූප සාදති. වැදගත් වන්නේ පිළිම සැදීම නොසදීම නොව එම පුද්ගලයාගේ හදවතේ තිබෙන අරමුණ බව මුලින්ම මතක් කරමි. ඔබ අතරෙන් කුඩාම කෙනෙකු වෙත දක්වන කරුණාව මට කළා සේ සලකන බව ජේසුස් වහන්සේ වදාළ ඇත. එනම් කරන දේට වඩා වැදගත් වන්නේ හදවතේ අරමුණයි.  මෙම පිටුවේ ඇඩ්මින් වන මම පැවිද්දෙක් හෝ දේව ධර්ම විශේෂඥයෙක් හෝ නොවන බව මුලින්ම සඳහන් කරන්නේ මගේ මේ සටහන ඔබ අතර සිටින තවත් එක කුතුහලයෙන් පෙලෙන තරුණ කිතුනු භක්තිකයෙක්ගේ පුද්ගලික අදහස මිස දේව ධර්ම ඉගැන්වීමක් ලෙස ඔබ නොගත යුතු නිසාවෙනි. රෙපරමාදු බයිබලයේත් කිතුනු බයිබලයේත් රූප වන්දනාව නොකළ යුතු බවට ඕනෑ තරම් සාධක සටහන් ඇත. එහි කිසිදු තර්කයක් නැත. නමුත් මේ පිළිබඳව මට හිතෙන දේවල් කාරණා තුනකට ලඝු කරන්නම්.

1. පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේගේ මුහුණ  දැක කෙනෙකුට ජීවත් විය නොහැකි බව මෝසස් තුමා වරක් උන්වහන්සේ දකින්න්නට ඉල්ලු අවස්ථාවේ උන්වහන්සේ පැවසූ බව ඔබ කියවා ඇතියි. එබැවින් පැරණි ගිවිසුම තුල කෙනෙකු පිළිමයක් හැදුවා නම් ඒ නිසැකවම දෙවියන් වහන්සේ නොවන කෙනෙකුගේමය. ඒ හැර දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ රූපයක් නොසාදන්නයි කිසි විටක කිවා යයි මම දැක නැත. මෝසෙස් විසින් ගෙන ආ ගිවිසුම් ගල් කරඬුවක තැන්පත් කර තබන්නට උන්වහන්සේ එපා යයි කිවේ නැත. එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ වචනය ගෞරව පූර්වකව තැබීම ගැන උරණ නොවී ය. උන්වහන්සේ දකින්නට මිනිසෙකුට නොහැකි නිසා උන්වහන්සේගේ රූපයක් තනනවාට උන්වහන්සේ අකමැති බවට කිසිවෙකුට තර්ක කළ නොහැක.

2. දෙවියන් වහන්සේම උන්වහන්සේගේ පුත්‍රයා ලෙස (තුන්දෙනා වහන්සේලා තුල වැඩසිටින එකම දෙවියන් වහන්සේ) මනුෂ්‍ය ස්වරූපයට ආ පසු උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව සමඟ තිබු ගිවිසුම වෙනුවට සමස්ත ජනතාව සමඟ නව ගිවිසුමක් පිහිටවූ සේක. එබැවින් අපි ඉශ්රායෙල් ජාතිකයන් නොවන නිසාත් උන්වහන්සේ නව ගිවිසුමක් පිහිටුවා නව ආඥා පනවා ඇති පසුබිමක පුරාණයේ ජනතාව ඒ ඒ කාලානුරූපව පිහිටවූ ඇතැම් නීති රීති ගැන අප වද වියයුතු ද? මන්ද දෙවි සමිදාණන් වහන්සේම වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය නම් තමන් වහන්ස්ගේ රූපයක් කිසි කලෙක නොසාදන ලෙස අණ කිරීමට ඕනැ තරම් අවස්ථාව තිබිණි. නමුත් සුවඳ ද්‍රව්‍යන්ගෙන් තම පාද දෝවනය කරන ස්ත්‍රියකට බාධා නොකරන්නැයි, ඇය විශ්වාසයෙන් ගෞරවයෙන් කරන දේට ඉඩ දෙන්නැයි ජේසුස් වහන්සේ වරක වදාළා ඇත. එබැවින් උන්වහන්සේ වන්දනා කිරීම සඳහා විශ්වාසිකයන් කරන්නා වූ යමක් කෙරෙහි පැරණි ගිවිසුමේදී අප දකිනා ලෙස දරදඬු ලෙස ජේසුස් වහන්සේ කටයුතු කර නැත. මෝසසේගේ ආඥා වචනයටම සිදු කරද්දී උන්වහන්සේ දේශනා කළේ එසේ නොකොට ආදරයෙන් දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිය ඇති කරගන්න ලෙසයි. එබැවින් අපිට නව ගිවිසුමක් තිබේ.

3. මිනිසාගේ ඉතිහාසය පුරා චිත්‍ර පිළිම වලට සංස්කෘතික වටිනාකමක් ඇත. තමන් වහන්ස්ගේ පිළිම නොහදන්න යයි ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ද නැත. එවැනි තත්වයක් තුල සාන්තුවරයන්ගේ දේව දුතයන්ගේ පිළිම සාදා ඇත්තේ වන්දනා කිරීමට නොව ඔවුන්ව සිහි කිරීමට ඔවුන්ට අප වෙනුවෙන් මැදිහත් වන ලෙස අයැදීමට ද විය හැක. අනෙක් අතට ප්‍රතිමා සහ පිළිම ආශ්‍රිතව හාස්කම් සිදුවූ අවස්ථා ද අප අත්දැක ඇත. පිළිම සැදීම ගැන ජේසුස් වහන්සේ  ප්‍රසන්න නොවේ නම් එම ප්‍රාතිහාර්ය සිදු වන්නේ මන්ද? අපි අහසේ පොළොවේ කිසිවක් වන්දනා නොකරන්නැයි ඇති ශුද්ධ වාක්‍ය අන්තවාදී ලෙස සලකන්නට ගියහොත් මෝසස්ගේ ගිවිසුම් කරඬුව ද මිහිමත දෙයින් සැදුවකි. ශුද්ධ වූ කුරුසිය ද  එවැන්නකි. සබත් දවස ගැන ජේසුස් වහන්සේ දී ඇති ආදර්ශය නම් නීති රීති වත්පිළිවෙත් අන්තවාදීව නොගත යුතු බවයි. මේ මගේ අදහසයි. ක්‍රිස්තියානි විශ්වාසිකයන් ලෙස තද හිත් ඇතිව තර්ක නොකර ඔබේ අදහස ද මා සමඟ බෙදගත්තාට වරදක් නැත. කෙසේ වෙතත් ඔබ ගුරු කොටගත යුත්තේ ශුද්ධවූ බයිබලයත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රමුඛ ශුද්ධවූ සභාවත් ය. මගේ අදහසත් නිකමට කල්පනා කරන්නට ගත්තාට වරදක් නැත.