කතෝලික පියතුමකු වන්නේ කොහොමද?

කතෝලික පියතුමකු වන්නේ කොහොමද?
Photo by Father James / Unsplash

🔶🔸මෙහිදී  කතා කරන්න බලාපොරොත්තු වන්නේ පදවි පූජකයකු වෙන ආකාරයයි. විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කරගෙනයි. ශ්‍රී ලංකාව තුළ රදගුරු පදවි 12 ක් පවතිනවා. මේ සෑම පදවියකටම අයත් ඒ ඒ පදවියේ වැඩ කටයුතු කරන පූජකවරු සිටිනවා.

🔶🔸 මුලින්ම කියන්න ඕනා, බොහෝ විට කතෝලික පියතුමකු වීමට ආශාව ඇතිවන්නේ දිව්‍ය පූජාවට උදව් වීමෙනුයි. මොකද, මේ පූජා සහයක දරුවන් සෑම විටම දිව්‍ය පූජාවට සහභාගි වෙමින්, ඒ මෙහෙයට හවුල් වන නිසා.

🔶🔸 මෙම ආශාව ඇතිවීමෙන් පසු, ඇත්තටම තමාට කතෝලික පියතුමකු වීමට අවශ්‍යයම දැයි දෙමව්පියන් ගේ සහ මීසම් සේවක පියතුමා ගේ උදව් ඇතිව දැන ගත යුතුයි. මේ සඳහා හොඳ යාච්ඤාශීලි ජීවිතයක් ද ගත කළ යුතු වෙනවා.

🔶🔸 මෙසේ ඔබ, ඔබේ ස්ව කැමැත්තෙන් තීරණය කිරීමෙන් පසු, ඔබ වයස අවුරුදු 14 හෝ ඊට වැඩිනම් මීසම් සේව්ක පියතුමා සමඟ කතා කර ඔහුගේ මාර්ගයෙන් පුංචි දෙව්සත්හලට ඇතුලත් වීමට අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්.

🔶🔸 අයදුම් පත යොමු කිරීමෙන් දින කිහිපයකින් පසු ඔබට සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් ලැබෙන අතර මෙම සම්මුඛ් පරීක්ෂණය අදියර කිහිපයකින් සමන්විත වෙනවා.

🔸පදවියේ රදගුරුතුමාව හමුවීම
🔸කුඩා දෙව්සත්හලේ අදියුරුපියතුමාව හමුවීම
🔸ලිඛිත පරීක්ෂණය
🔸වෛද්‍ය පරීක්ෂණය

🔶🔸ඔබ මෙම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූයේ නම් ඔබට කුඩා දෙව්සත්හලට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා.

🔶🔸ඔබට ලබාදෙන දිනයක, අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන ඔබේ දෙමව්පියන් සමඟ කුඩා දෙව්සත්හලට පැමිණීමට සිදුවෙනවා. මෙතැන් පටන් ඔබේ නිවස වගේම පාසල බවට පත්වන්නේ මෙම කුඩා දෙව්සත්හලයි.

🔶🔸මම, මෙහි පාසල බවට ද පත්වෙනවා කිව්වේ, මෙම කුඩා දෙව්සත්හල තුළ 9 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනීමට කටයුතු සළසා ඇති බැවිනි. මෙසේ අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ සඳහා ඉගෙන ගන්නා අතර, කතෝලික දහම පිළිබඳව මූලික ඉගැන්වීම් ද, ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව ද ඉගැන්වෙනවා. (දේව කැදවීම් අඩු  රදගුරු පදවි වල දෙව්සත්හල තුළම පාසල නොමැති අතර, එම පදවි දෙව්සත්හල් දරුවන් අසල පාසල් වලට ගොස් අධ්‍යාපනය ලබනවා.)

🔶🔸මෙම කුඩා දෙව්සත්හල තුළ ආගමීක (අධ්‍යාත්මික) සහ අධ්‍යාපනික දැනුමට අමතරව විශය බාහිර ක්‍රියාකාරකම් ද, ක්‍රීඩා කටයුතු සඳහා ද අවස්ථාව ලැබෙනවා. මෙසේ ගායනය, වාදනය ඉගෙන ගැනීමට ද, තමාගේ හැකියාව පෙන්වීමට ගායන, වාදන, කථික, රචනා තරඟ ද, තමාගේ ක්‍රීඩා කුසලතා සඳහා වාර්ශීක ක්‍රීඩා උත්සවයද ඔබට ලැබෙන අවස්ථාවන් වෙනවා.

🔶🔸කුඩා දෙව්සත්හලේ දී උ/පෙළ සමත්වන ඔබට, කතෝලික පූජකයකු වීමට ඉදිරියට යාමට තවත් විභාගයකට මුහුණදෙන්න සිදුවෙනවා. මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වාචිකව සහ ලිඛිතව පැවැත්වෙන ජාතික දෙව්සත්හලට ඇතුලත්වීමේ විභාගයයි (National Seminary Entrance Examination/ NSE Exam). මෙම විභාගයෙන් සමත්වන අයට කලුතර පිහිටි අතරමැදි/ ප්‍රාරම්භක දෙව්සත්හල ට ඇතුලත් වීමට අවස්ථාව ලැබෙනවා. අනෙක් රදගුරු පදවි වලින් ද පැමිණෙන මෙම දෙව්සත්හලේ ප්‍රධාන තේමාව වන්නේ යාච්ඤාව සහ වැඩ කිරීමයි (Pray and Work). කලු ගඟ අසල දර්ශනීය ස්ථානයක පිහිටි මෙම දෙව්සත්හලේ යාච්ඤාවට යෝග්‍ය පරිසරයක් තිබෙනවා. දෙව්සත්හල සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සෑම කෙනෙකුගේම වගකීමක් වෙනවා.

🔶🔸කලුතර දෙව්සත්හලේ තිබෙන  අංගයන් අතර ප්‍රධාන වගේම සිත්ගන්නා අංගයක් වන්නේ කඳවුරු යෑමයි. සතියක පමණ කාලයක් මෙම කඳවුරු භූමියේ සිටින්න වෙනවා. කඳවුරට යන ගමනේ පටන් නැවත එනතුරු සියළු දෙයම පරීක්ෂණයට භාජනය වෙන අතර ඒ සැම අංගයකින්ම තම කණ්ඩායමට ලකුණු රැස් කරගන්න පුළුවන්. බොහෝ විට මේ සෑම අංගයක්ම කණ්ඩායමටම පොදු වෙනවා. මේවා අතර කිලෝමීටර 15ක් 20ක් පමණ කඳවුරු භූමියට පැමිණීම, කූඩාරම් සෑදීම, කෑම ඉවීම, නොයෙක් ක්‍රීඩා අංග ප්‍රධාන තැනක් ගන්නවා.

🔶🔸වසරක පමණ කාලයක් කලුතර ගත කරන්නට සිදුවන අතර, ඉන්පසු පූජක පුහුණු දිවියේ අවසාන අදියර කිහිපය සඳහා නුවර, අම්පිටිය ලංකා අප ස්වාමි දූ ජාතික දෙව්සත්හල කරා යන්නට සිදුවනවා.

🔶🔸 අම්පිටියේ මුල් වසර දෙක ගෙවෙන්නේ දර්ශන විද්‍යාව ඉගෙන ගැනීමට සඳහායි. (දැන් මෙය වසර 3ක් දක්වා දීර්ඝ කර ඇත.) ඉන්පසුව දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ගෙවෙන්නේ දේව ධර්මය හැදෑරීමටයි.

🔶🔸 මෙම දෙව්සත්හලේ ද විශය බාහිර ක්‍රියාකාරකම් සඳහා තැනක් ලබා දෙනවා. ඒ අතර වාර්ශීක ක්‍රීඩා උත්සවය, සංස්කෘතික උළෙල සහ ඊට සමගාමි තරඟ, නාට්‍ය තරඟ ප්‍රධාන තැනක් ගන්නවා.

🔶🔸දෙව්සත්හල් ජීවිතයේ අවසාන වසර හතර ආරම්භයේ දී, එනම් දේව ධර්මය පළමු වසරේ දී සියළුම සහෝදරතුමන්ලාට දෙව්සත්හලේ පවත්වන විශේෂ දේව මෙහෙයක දී නිල වශයෙන් ලෝගුව පැළඳීමට අවසර ලැබෙනවා. එසේම මෙම දේව ධර්මය හදාරන සහෝදරතුමන්ලා නත්තලට සහ පාස්කුවට විවිධ මීසම් වල පියතුමන්ලා ගේ සහයට යන අතර අම්පිටියේ සිටින කොළඹ පදවියේ සහෝදරවරුන් අගෝස්තු නිවාඩුවේදී පදවිය සතු වත්තක වැඩවලට සහය වීමට ද යනවා.

අධ්‍යාත්මික, අධ්‍යාපනික, සමාජීය සහ ධර්මදූත පුහුණුවකින් පසු එනම් සතර වන වසර දේවධර්මය අවසන් කිරීමෙන් පසු තම කැඳවීම පිළිබඳව ස්ථීර තීරණයකට එළඹීමෙන් පසු තේවාචාර්‍යවරය ලැබෙන අතර, ඉන්පසු එම තේවාචාර්‍යවරුන් මීසම් හී සේවයට යවනු ලබනවා.

🔶🔸මෙසේ මීසම් වල සේවය කිරීමෙන් ද අත්දැකීම් ලබාගන්නා තේවාචාර්‍යවරුන්ට තම තමුන් ගේ පදවි වලදී, තමන්ගේ රදගුරුතුමා අතින් මෙතරම් කාලයක් බලාපොරොත්තුවෙන් සිටි, මෙතරම් කාලයක් පුහුණුවීම් ලැබූ පූජක වරම් ලැබෙනවා. බොහෝ විට මෙම පූජාත්වර දේව මෙහෙය පදවියේ ආසන දෙව්මැදුරේ දී යි පවත්වනු ලබන්නේ. මෙසේ පූජක වරම් ලැබූ නවක පියතුමා පසුදින තම ගමේ දේවස්ථානයේ දී තමාගේ කුළුඳුල් දිව්‍ය යාගය පවත්වනවා.

ස්තූතියි
සටහන :- ගරු.ගිහාන් ප්‍රියශාන්ත පියතුමා
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව