HIV/AIDS සහ ශුද්ධවූ කතෝලික සභාව

HIV/AIDS සහ ශුද්ධවූ කතෝලික සභාව
Photo by Kristine Wook / Unsplash

ඔබ දන්නවාද සමාජය විසින් කොන්කර දමා තිබූ ලෝකයේ HIV ආසාධිතයන්ට මුලින්ම ප්‍රතිකාර කිරීමට පටන් ගත්තේ (වර්ශ 1980 වේ මුල්භාගය පමණ වනවිට)  කතෝලික සභාව විසින් බව? එසේම HIV වෛරසයට නව ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම උදෙසා සිදු කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර සහ HIV ආසාධිතයන්ට අවශ්‍යය ප්‍රතිකාර ලබාදෙන ලොව විශාලතම සහ ප්‍රධානතම සංවිධානය කතෝලික සභාවයි.වර්තමානය වනවිටත් මුලු ලෝකයේම HIV ආසාධිතයන්ට ප්‍රතිකාර ලබාදීම අතින් 25% කට වඩා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේද කතෝලික සභාවයි.කතෝලික සභාව සතුව මේ වනවිට HIV ප්‍රතිකාර මධ්‍යස්ථාන 117,000 පමණ පවතියි.ඒ අතරින් HIV ආසාධිතයන්ව රැකබලා ගැනීම සඳහා නිවාස 9000 ක්ද, බෙහෙත් ශාලා 18000 ක්ද, විශේෂ රෝහල් 5000 ක්ද පමණ කතෝලික සභාව විසින් පවත්වාගෙන යනු ලබන්නීය.

එසේම ඇමෙරිකානු එක්සත් ජනපදයේ HIV ආසාධිතයන්ට අවශ්‍යය සේවය ලබාදීම වෙනුවෙන් කතෝලික සභාව විසින් දුරකථන අංකයක් පවා හදුන්වා දී ඇත.1980 දී ඕස්ට්‍රේලියාවට HIV වෛරසය ඇතුළු වූ විට දයාවේ දූතිකාවන්ගේ නිකායේ කන්‍යා සොහොයුරියන් විසින් සිඩ්නි හි ශාන්ත වින්සෙන්ති රෝහල තුළ HIV ආසාධිතයන්ට මුලින්ම ප්‍රතිකාර කිරීමට පටන් ගත් අතර අද එම රෝහල ලෝකයේ HIV වෛරසයට එරෙහිව ප්‍රතිකාර සොයාගැනීම සඳහා පර්යේෂණ මෙහෙයවන ප්‍රධානතම ආයතනයක් බවට පත්වී ඇත.වර්ශ 2002 දී අප්‍රිකානු ජේසු නිකායික පියවරුන් විසින් ඒඩ්ස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා අප්‍රිකාවේ සහ මැඩගස්කරය තුළ පුළුල් ජාලයක් ස්ථාපිත කළ අතර එමඟින් අප්‍රිකානු මහද්වීපය තුළ ඒඩ්ස් රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, එය වළක්වා ගැනීමට කටයුතු කිරීම හා ඊට ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබයි.එසේම ඒඩ්ස් රෝගය අප්‍රිකාවෙන් තුරන් කිරීම ජේසු නිකාය විසින් තමන්ගේ එඬේරික පුමුඛතාවයක් බවට පත් කරගෙන තිබේ.එසේම අප්‍රිකාවේ ශාන්ත එගිඩියෝ කතෝලික සංවිධානය ඒඩ්ස් රෝගය ලෝකයෙන් තුරන් කිරීම සම්බන්ධව ගෝලීය නායකත්වයක් සපයයි.මෙම සංවිධානයේ ඒඩ්ස් සහ මන්දපෝෂණයට එරෙහිව ඖෂධ සම්පත් වැඩිදියුණු කිරීමේ වැඩසටහන (DREAM Program) ලෝකයේ HIV/AIDS ප්‍රතිකාර සඳහා වඩාත්ම අධ්‍යයනය කරන ලද ප්‍රවේශයන්ගෙන් එකකි, දළ වශයෙන් පර්යේෂණ පත්‍රිකා 100 කින් පමණ එහි කාර්යක්ෂමතාවය සනාථ කර තිබේ."DREAM" සෑම තරාතිරමකම සෞඛ්‍ය අධ්‍යාපනය අවධාරණය කරන අතරම මන්දපෝෂණය, ක්ෂය රෝගය, මැලේරියාව සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ප්‍රතිකාර සමඟ ඉහළ ක්‍රියාකාරී ප්‍රතිවෛරස් ප්‍රතිකාර (HAART) ඒකාබද්ධ කරමින් පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන 2002 මාර්තු මාසයේදී මොසැම්බික් රාජ්‍යයෙන් ආරම්භ කරන ලද අතර එය මේ වනවිට මුළු මහාද්වීපය පුරාම විසිරුණු සෞඛ්‍ය මධ්‍යස්ථානවල ව්‍යාප්ත වී ඇත.

ඒඩ්ස් රෝගයේ සම්ප්‍රාප්තියත්  සමඟ සමාජයේ ඇතිවූ කලබලයට කතෝලික පල්ලිය විසින් මුලින්ම ප්‍රතිචාර දැක්වූ නමුත් වැඩි කල් නොගොස් ඒඩ්ස් රෝගීන් සඳහා ක්‍රියාකාරීව දේවසේවය ලබාදීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පටන් ගත්තාය.1980 මුල් ගණන් වලදී ඒඩ්ස් රෝගීන්ට ක්‍රියාකාරීව දේව සේවය ලබාදීම සඳහා ගිහි පැවිදි කාර්යමණ්ඩලයන් පවා බඳවා ගැනීමට කතෝලික සභාව විසින් කටයුතු කර තිබුණි.එසේම ශාන්ත ඇලෝසියස් ගොන්සාගා මුනිතුමාව ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙස නම් කිරීමටද ශුද්ධවූ සභාව පියවර ගත්තාය.ඒඩ්ස් රෝගීන්ව කොන් කිරීම නවතාලීමේ අරමුණින් වර්ශ 1987 දී ඒඩ්ස් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ නගරයක් වූ සැන් ෆ්‍රැන්සිස්කෝහි සංචාරයකදී, ශුද්ධවූ II වැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහි කැස්ත්‍රෝ දිස්ත්‍රික්කයේ මිෂන් ඩොලෝරස් හිදී ඒඩ්ස් රෝගීන්ව ප්‍රසිද්ධියේ ශාරීරිකව සිප වැළඳ ගත්තේය.උන්වහන්සේ විසින් සිප වැළඳ ගත් අය අතර රුධිර පාරවිලයනයකින් ඒඩ්ස් රෝගයට ගොදුරුවූ කුඩා සිව් හැවිරිදි පිරිමි ළමයෙකුද විය.එසේම ප්‍රැන්සිස් පාප්වහන්සේ බුවනෝස් අයර්ස් හි අගරදගුරු ලෙස සිටියදී මහ බ්‍රහස්පතින්දා දිනෙක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ඒඩ්ස් රෝගීන් 12 දෙනෙකුගේ පාද සෝදා සිපගැනීමද අමතක නොවන සිදුවීමකි.

ප්‍රධාන වශයෙන් කතෝලික සභාවේ දායකත්වය මත වර්තමානය වනවිට HIV සඳහා භාවිත වන ප්‍රතිකාර ක්‍රම ඉතාමත් දියුණු මට්ටමක පැමිණ ඇත.HIV නිට්ඨාවටම සුව කළ නොහැකි වුවද නියමිත පරිදි ප්‍රතිකාර ලබා ගන්නේ නම් එය තවදුරටත් මාරාන්තික නොවේ.එසේම අපට අපගේ සමාජය HIV වලින් ආරක්ෂා කළ හැකි එකම ක්‍රමය වන්නේ HIV ආසාධිතයන්ව කොන් කිරීම නවතා දැමීමය. කතෝලික සභාව ඒ සඳහා මුල සිටම කටයුතු කර තිබේ.එබැවින් කතෝලික අපගේ වගකීම වන්නේද එම ආදර්ශය අනුගමනය කිරීමයි.HIV ආසාධිතයන්ව කොන් කිරීම මඟින් ඔහුන් ප්‍රතිකාර වලට යොමු වීමට ඇති ඉඩකඩ ඇහිරේ.එවිට HIV සමාජයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇත.එබැවින් 2025 දී ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගය සදහටම තුරන් කිරීමට නම් HIV ආසාධිතයන්ට අප අපගේ ප්‍රේමය, රැකවරණය හා පිළිගැනීම ලබාදීම ප්‍රථමයෙන්ම කළ යුතු ප්‍රමුඛතාවන්ය පවතියි.

කිතුනු අපේ දේවධර්ම දිනපොත