ශුද්ධ වූ ජපමාලයේ ඉතිහාසය

ශුද්ධ වූ ජපමාලයේ ඉතිහාසය

👉ශු.ජපමාලය.... දේව මාතාවන්ගේ යාච්ඥාව!👈බොහෝ දෙනෙකු ජපමාලය හඳුනන නමුන් එය කොහෙන් කොහොම කතෝලික සභාව තුලට පැමිනියාද යන්න නොදනී. කතෝලික උරුමය සොයා යන අපගේ මෙම වෑයම ජපමාලයේ ඉතිහාසය පිලිබඳව ඔබ දැනුවත් කිරීමය.ඉතා දීර්ඝ ඉතිහාසයක් අපි කොටසෙන් කොටස ඔබ හමුවෙ තැබීමට උත්සහ දරමු.මින් ඉදිරියට ජපමාලය ගැන ඔබෙන් විමසන ඕනෑමකෙනෙකුට පිලිතුරු දීමට ඔබට හැකිවනු ඇත.නමුත් ප්‍රධානම දෙය නම් ඔබ මතුවට ජපමාලයට බොහෝ සේ ආදරය කරනු ඇත.

✝️ශු.ජපමාලයේ ඉතිහාසය.✝️

👉මුලපිරීම.:-

යුද්ධයක් !!! ශු.බයිබලයේ පලමු පොතේ සිට අවසන් පොත දක්වාම  නොනවත්වා පවතින යුද්ධයක් ගැන සඳහන් කරයි. ඒ යුද්ධය අපට ඇසට පෙනෙන යුද්ධයකට වඩා බොහෝ සේ දරුනුය.මන්ද ඒ යුද්ධය පවතින්නේ වෙනකක් සඳහා නොව ඔබේත් මගේත් ආත්මය සඳහාය.

✝️" තා සහ ස්ත්‍රීය අතරද තගේ වංශය හා ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නෙමි.ඔහු තගේ හිස පොඩි කරන්නේය; තෝද ඔහුගේ විලුඹ දශ්ට කරන්නෙහිය.( උත්පත්ති 3:15)"✝️
✝️"තවද අහසෙහි පුදුම ලකුනණක් විය. එනම්, සූර්යයා පැලඳගෙන,පාද යට සඳ මඩලද හිස මත තාරකා දොලසකින් යුත් කිරුළක්ද ඇති ස්ත්‍රීයකි.....තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය.මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව සටන් කලහ.මකරාද තමන්ගේ දූතයන් පිරිවරාසටන් කොට පරාජය විය.(එලිදරව්ව 12:1-8)"✝️

🔘ඔබේත් මගේත් ආත්මය මේ තරම් වටින්නේ ඇයි?⁉️️මන්ද අප දෙවියන් වහන්සේගේ දරුවන් වන නිසාත් උන් වහන්සේගේ සමාන කමට මවා ඇති නිසාත්ය.මේ සටනට අපිත් මැදිහත් වන්නේ අපට නිදහස් කැමැත්ත නම් තිලිණය ස්වාමින් වහන්සේ විසින් උරුම කර දී ඇති නිසාය.මෙම සටනේදී අප විසින් එක් පාර්ශවයක් තෝරා ගත යුතුය.පසෙකින් 👼👼👼දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ ස්වර්ගීක දූත සේනාංකයය👼👼👼.අනිත් පසින් 😈😈😈සාතන් හා උගේ සහචර සේනාවය😈😈😈.මෙම සටනින් පසුව දේව දරුවන් වන අපට සදාකාලික පියානන්ගේ ගෘහය හෝ සදාකාලික විලාපය උරුම වනු ඇත.

🔘මිනිසාට කිසිවිටක සාතන් සහ උගේ සහචරයන් සමග තම තනි ශක්තියෙන් සටන් කල නොහැකිය.මන්ද සාතන් යනු දෙවියන්වහන්සේගේම බලවත් නිර්මානයක් වන බැවිනි.පොලවට හෙලීමට පෙර සාතන් ස්වර්ගයේ ප්‍රබලම දේව දූතයෙක්ව සිටියේය.
සාතන් මිනිසා පොලව පය තැබූ මොහොතේම ඔහුව පාපයට පොලඹවා ගත්තේ, දෙවියන් වහන්සේ හා මිනිසා අතර ඇති බැදීම පලුදු කරමින් මෙන්ම මරණයද උරුම කර දෙමිනි.

🔘ඒ මරණය උරුම වූ දිනදීම දෙවියන් වහන්සේගේ මිනිසාට ඇති මහත් ❤දයාව❤ නිසා නැවත උන් වහන්සේ හා මිනිසාගේ බැදීම යථා තත්වයට පත් කරන්නට සැලසුමක් සූදානම් කලේය.ඒ සැලසුම හරහා මිනිසාට සාතන්ට එරෙහිව සටන් කරන්නට බලවත් ආයුධයක් ලබා දෙනු ඇත. මිනිසා මින් මතුවට සාතන්ට පහර දෙනු ඇත.ඌගෙන් පහර කෑ අය ගලවා ගනු ඇත.💪දෙවිදුන්ගේ පාර්ශවයේ නපුරාට එරෙහිව සටන් කරන බලවත් සේනාධිපතියන් වනු ඇත💪.

ආයුධය!!

👉ඕනෑම යුද්ධයක් ජයග්‍රහනය කිරීමට බලවත් ආයුධයක් අවශ්‍ය වේ💪.දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් තෝරාගනේ දෙමුහත් අසිපතකි. එය තනන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ❤ පාරිශුද්ධ අභිරහස් මඟිනි❤ .ජේසුස් වහන්සේගේ උත්පත්තිය මරණය හා නැවත නැගිටීම යන අභිරහස් මඟින් මෙම බලවත් අසිපත  මුවහත්  වී ඇත .එය ආත්මයන් යක්ශයාගේ යදම් වලින් මුදවාලනු ඇත.

👉අප පාරිශුද්ධ දේවමාතාවන් වහන්සේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙයි ප්‍රධානතම කාර්ය භාර්යක් සිදු කරයි.සාතන්ගේ උඬගුව නිසා බෙදා වෙන් කල ස්වර්ගීක - මානූෂීක සම්බන්ධතාවය  ඕ තුමී බැහැපත් කම තුල දේව කැමැත්තට නතු වෙමින් නැවත ස්ථාපිත කල සේක.දේව මෑණියන් නොසිටින්නට පෙර කී බලවත් අසිපත තනන්නට පාරිශුද්ධ අභිරහස් පොලෝ තලයට පහල නොවනු ඇත.සැබැවින්ම ඇය  දිව්‍ය ගැලවුම්කරුවානන්ගේ මව සේම ඇය  නව ඒවයි, ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පසකින් අසුන්ගෙන සිටින පරලෝක රාජේශ්වරියයි,  ස්වර්ගීක රාජිනියයි.ඇයගේ පූර්ණ අභිලාෂය වන්නේ දෙවියන්වහන්සේට සේවය කිරීමත් ජේසුස් වහන්සේ වෙතට මිනිසුන් යොමු කිරීමත්ය.

👉සාතන් මේ සියල්ල හොඳින්  දනී.ඌ දේවමාතාවන් වහන්සේවත් ඇගේ සළු සෙවනේ සිටින දේව දරුවන්වත් එක සේ පිලිකුල් කරයි.ඌ අවස්ථාව පැමිනෙන තෙක් බොහෝ ඉවසීමෙන් බලා සිටී

✝️"සිහිසන් ඇතිව අවදිව ඉන්න.ඔබගේ විරුද්ධකාරයා වන යක්ශයා, ගොරවන සිංහයකු මෙන් කවරකු ගිලගනිම්දෝ හෝ යි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.(1පේදුරු5:8)✝️

👉දේව මාතාවන්ට හා ඇගේ දරුවන්ට එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කරන්නට දිව්‍ය කම්මල්කරු සියවස් ගනනාවක් තිස්සේ එම බලවත් අසිපත පදම්කර ,වාත්තු කරමින් සිටියේය.සියවස් ගනනාවක් ගතවුවද එම අසිපත වරක් සාදා නිම වූ පසු සදාකාලික අදුර පරාජය කරන්නට විය.සාතන් මෙම අසිපත විනාශ කරන්නට ඉතිහාසයේ සිට වෙර දැරීය.

👉කලින් කලට යුගයෙන් යුගයට මෙම ආධ්‍යාත්මීක අසිපත ප්‍රතික්ෂේප වීම් වලටත් ,අසිපත පිළිබඳ ලිපි ලේඛණ ගිනිගැනීම් වලටත්, බොහෝ කාලයක් තිස්සේ පොලව යට සැගවී සිටීමටත් ,විශේශයෙන් කතෝලික සභාවෙන් වරක් ප්‍රතික්ශේප වීමට පවා ලක් විය.

👉නමුත් එම අසිපත යක්ශයාට විනාශ කල නොහැකි විය.එම අසිපත මරියාවන්ගේ අසිපතය.ස්වර්ගීක සේනාවන්ගේ රාජිනියගේ  ආයුධයය.

👉👉එය නමින් ශු.ජපමාලයයි.👈👈

👉අයුධය එකලස් කිරීම👈

🔘අප කතිකාව මෙසේ දිග හැරෙන විට අසිපතක් නිර්මානය වන ආකරය දැනගැනීම වැදගත්‍ වේ වේ යැයි සිතමි. උදාහරණයක් ලෙස ලෝකඩ වලින් සාදන අසිපත් ලෝකඩ උනු කර අච්චුවලට දමා තනන අතර , යකඩින් සාදන අසිපත් යකඩය ගිනියම් කර එයට පහර දී තැලීමෙන් නිර්මානය කරයි.

🔘මෙම ආධ්‍යාත්මක අසිපත සෑදීම සඳහා  දිව්‍ය කම්මල්කරු මෙම ආකාර දෙකම උපයෝගී කරගනී.අසිපතෙහෙයි අච්චුව සඳහා උන්වහන්සේ යොදාගන්නේ විනාශ කල නොහැකි❤ "දේව වචනයයි"❤.

🔘එම අච්චුවට පිරවීමට යන ප්‍රධාන මූලද්‍රව්‍ය  වන්නේ ✌️නමෝ මරිය හා පරමණ්ඩල යාඥාවයි✌️. එම මූලික අංගයන් සම්පූර්න කිරීමට දෙවියන් වහන්සේ ජපමාලයේ පූර්වගාමී කලමනා කිහිපයක් එකතු කරගනී.එනම් වර්තමාන ජපමාලය දැන් ඇති ආකරයෙන් නිම වීමට අතීතයේ සභාව තුල පැවති, නමුත් ඒ වන විට  එකිනෙකට සම්බන්ධව නොවූ අංගයන් ස්වාමින් වහන්සේ යොදා ගනී.ඒවා ප්‍රධාන කොටස් හතරකි.

1.නමෝ මරිය යාච්ඥාව - Hail Mary
2.පරමණ්ඩල යාච්ඥාව  - Our Father
3.යාච්ඥා පබළු - prayer beads
4. දේවමෑනියන්ට යාතිකා - The Marian Psalter

1️. නමෝ මරිය යාච්ඥාව - Hail Mary Prayer

දෙවියන් වහන්සේට මුල සිටම මේ ආයුධය මරියාවන්ගේ අසිපත වීමට අවශ්‍යව තිබුනේ ඕ තුමී හා ඇගේ දරුවන්ට එරෙහිව සාතන් යුධ වැදීමට බලාසිටි හෙයිනි.එහෙයින් උන්වහන්සේ අසිපත නිර්මානය කිරීමට අච්චුවට මුලින්ම  වත්කරනු ලබන්නේ ගාබ්‍රියෙල් අග්‍රදේවදූතයාගේ මංගලම් කීමයි.

✝️"විපුල ප්‍රසාද ලත් උත්තමිය ඔබට මංගල වේ;සමිඳානන් වහන්සේ ඔබ සමඟය(ලූක් 1:28)"✝️
මෙය වනාහී ජීවිත ගලවන දිව්‍ය අභිරහස් වල ප්‍රථමයයි.අසිපතෙහි ප්‍රථම මූලද්‍රව්‍යයයි.අනෙකුත් අභිරහස් මින් පසුව පිලිවෙලින් පැමිනෙනු ඇත.එලෙස ලෝකයට  ගැලවීම ජනිත වූයේ දේවමාතාවන් තුලින්ය.

පළමු සියවසේ සිට දේවමාතාවන්ට කතෝලික සභාව විසින් ගෞරවාදරය දැක්වූ ආකාර දෙකක් විය.එනම් ගාබ්‍රියෙල් දේවදූතයා විසින් ප්‍රකාශ කල මංගලම් කීම (Angelic salutation ) හා එළිසෙබෙත් තුමිය විසින් ප්‍රකාශ කල සුභාරංචිය ප්‍රකාශ කිරීමයි( Evamgalical Salutation ).
එළිසෙබෙත් තුමියගේ ප්‍රකාශය - ✝️" ඔබ වනිතාවන් අතරින් අතිශයින් ආශිර්වාද ලද්දීය ඔබ කුස ඔත් දරුඵලයද ආශිර්වාද ලද්දේය.(ලූක් 1:48)✝️

6 වන සියවස තෙක් මෙම යාච්ඥා දෙක එකට සම්බන්ධ නොවී තිබිනි.6 වෙනි සියවසේදී මෙම යාච්ඥා දෙක එකතු කර ආගමන කාලයේ අවසන් ඉරුදින කෙරෙන  පිදීමේ යච්ඥාවක් ලෙස භාවිතා කලේය.

" නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය.ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දේය."

මෙලෙස දේව වචනයෙන් අසිපතෙහි ආරම්භක කොටස නිමැවුනි. එවකට නමෝ මරිය ලෙස ප්‍රකට වූයේ මෙම යාච්ඥාවයි.11 වෙනි සියවස දක්වා දේවමාතා වහන්සේට ප්‍රසංශා කිරීමට හා ගෞරව කිරීමට යොදා ගැනින.එකල යාච්ඥාවේ ප්‍රධාන අරමුන වූයේ අතරමැදි  බාවය නොවන අතර විශේශයෙන් මනස්ථාපනය වෙන අවස්තා වලදී ඕ තුමී ගේ ආශිර්වාදය ඉල්ලා යාච්ඥා කලෝය.ඇය වැඩ සිටින තැන ශුද්ධාත්මයානන් වැඩවසන බැවින් ඔවුන් ඇයට නොකඩවා යාච්ඥා කලෝය.

2. පරමණ්ඩල යාච්ඥාව - Our Father Prayer

👉"නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියෙනී ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය .ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය".👈

පසු ගිය කොටසේ කතා කල පරිදි  11 වන සියවස වන විට මේ ආකරයෙන් නමෝ මරිය යාච්ඥාව නිම වී තිබිනි. නමුත් දිව්‍ය අසිපතෙහි ප්‍රධානම මූලද්‍රව්‍යක් වන බලගතු පරමණ්ඩල  යාච්ඥාව එසේ නොවීය.එම යච්ඥාව දේව පුත්‍රයානන් විසින්ම උන්වහන්සේගේ වචනයෙන් උගන්වා වදාල සේක(මතෙව් 6:9-13 ; ලූක් 11:2-4).

පරමණ්ඩල යාච්ඥාව( Our Father Prayer) එවකට 👉පැටනොස්ටර් ( paternoster) කියා හැඳින්විය.පරමණ්ඩල යාච්ඥාව දේව පුත්‍රයා පොලවේ පය ගැසූ සමයේ සිට මිනිසුන්ගේ හදවත් වලට සමීපව සිටියේය.එකල වූවන් එම යාච්ඥාවෙන් දෙවියන් වහන්සේ ඇමතීමට පුරුදු වී සිටියෝය.

❗"ස්වර්ගයේ වැඩසිටින යාච්ඥාව තරම් දෙවියන් වහන්සේගේ තේජස වෙත අප යොමු කරවන වෙනත් භාශාවක් නොමැත." – 13 වන ලියෝ පාප් වහන්සේ.❗

13 වන සියවසට ප්‍රථම පරමණ්ඩල යාච්ඥාවත් නමෝ මරිය යාච්ඥාවත් සමාන්තරව සභාව තුල පැවති අතර භක්ති අභ්‍යාසයක් ලෙස යාච්ඥා දෙක එකට එකතු වී නොතිබිනි.නමුත් 13 වෙනි සියවසෙන් මතු පැමිනෙන්නට තිබෙන යක්ශයාගේ යුද්ධයට සූදානම් වීමටදිව්‍ය කම්මල්කරුවානෝ මෙම යාච්ඥා දෙක එකතු කරමින්  ආධ්‍යාත්මීක අසිපත නිර්මානය කලේය.

මෙලෙස එක්වූ යාච්ඥා දෙක මගින් දෙවියන් වහන්සේගේ පනිවිඩය වූ 💥දේවදූත මංගලම් කීමත්, 💥ශුද්ධාත්මයානන්ගෙන් පූර්ණ වූ එළිසෙබෙත් තුමියගේ අනාවරනයත් , 💥ජේසුස් වහන්සේගේ මුවින් නික්මුනු දෙවියන් වහන්සේට පියානනී කියා ආමන්ත්‍රණය කරන යාච්ඥාවත් එක්ව, ත්‍රීත්වීක ඒක දෙවිඳුන්ගේ මෙම බලවත් ආයුධය කෙරෙහි සහභාගීකම සනිටුහන්  කරයි. ශු.බයිබලයේ දෙවිඳුන්ගේ වචනයේ බලය මෙසේ සඳහන් කරයි.

✝️" දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය; ක්‍රියාශීලීය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුනුය ;ආත්මය ප්‍රාන වායුවෙන්ද ,සන්ධි ඇට මිදුලු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය; සිතේ සිතුවිලිද අරමුනුද විමසන්නේය.(හෙබ්‍රව් 4:12).✝️

දැන් ආයුධය අධ්‍යාත්මීකව නිර්මානය වී අවසන්ව ඇත.නමුත් එය දේව මාතාවන්ගේ දරුවන්ගේ අතෙහි රැන්දවීමට එයට යම් භෞතික ස්වභාවයක් , හැඩයක් එක්කල යුතුය.දෙවියන් වහන්සේට එය සඳහා කදිම අදහසක් තිබිනි.

3. යාච්ඥා පබළු - Prayer Beads

❗❗සභා ආරම්භයේ සිට "සිහින් රැහැනක" රැඳවූ "යාච්ඥා පබළු" භාවිතය සභාව තුල තිබූ බව ඔබ දන්නවාද?❗❗
කලින් කොටස් වල පැහැදිලි කල පරිදි දිව්‍ය කම්මල්කරු කිතුනු සභා ඉතිහාසය තුල ක්‍රමක්‍ ක්‍රමයෙන් එවකට සභාව තුල තිබූ මූලද්‍රව්‍ය යොදාගනිමින් උන්වහන්සේගේ රාජ්‍යයේ කිරුළ පලන් උත්තමාවියගේ ආයුධය තනමින් සිටියේය

උන්වහන්සේ අධ්‍යාත්මිකව ආයුධය පදම් කර අවසන් වූ පසු සඟ කුමරියගේ දරුවන් අතට එම ආයුධය පත් කිරීමට භෞතික ස්වරූපය තෝරාගත්තේය.ඒ යාච්ඥා පබළුයි.

මෙය අප සාකච්චාවේ තුන් වන පූර්වගාමී මූලද්‍රව්‍ය වන අතර 13 සියවස දක්වා මෙම මූලද්‍රව්‍ය තුන කතෝලික සභාවේ වෙන වෙනම එකිනෙකට සම්බන්ධ නොවී පැවතීය.දැන් අපි සභා මුල් කාලයේ යාච්ඥා පබළු පැවති ආකාරය ගැන විමසා බලමු.

🌟ක්‍රිස්තියානි ඉතිහාසයට අනුව යාච්ඥාව සඳහා යාච්ඥා පබළු භාවිතය තුන්වන සියවස දක්වා ඈතට දිව යයි. එවකට පබළු හෝ ඊට කුඩා ගල් කැට ඔවුන් භාවිතා කර ඇති අතර දිනකට කරනු ලබන යාච්ඥා  ගනන් කිරීම සඳහා පැරැන්නන් මෙය භාවිතා කලහ.තවත් විටක ඔවුහු පශ්චත්තාප වීම සඳහා නියම කර ඇති යාච්ඥා වාර ගනන් කිරීම සඳහාද  මෙම පබළු යොදාගෙන ඇත.

⛑️ උදාහරණ ලෙස හතරවන සියවසේදී තෙබෙස් හි පාවුළු නම් පැවිද්දෙක් ඊජිප්තුවේ ජීවත්ව සිට ඇත.ඔහු දිනකට පසුතැවීමේ යාච්ඥා 300ක් කියා ඇති අතර ඒ යාච්ඥා ගනන් කරගැනීම සඳහා කුඩා ගල් කැට භාවිතා කර ඇත.

මේ ආකාරයෙන් කුඩා ගල් විශාල ප්‍රමානයක් ලඟ තබාගෙන යාච්ඥා කිරීමට වඩා රැහැනක රැන්ඳවූ යාච්ඥා පබළු මගින් යාච්ඥා කිරීම පහසු බව පැරැන්ණෝ තේරුම් ගන්නට ඇත.පසුව ක්‍රමක් ක්‍රමයෙන් යාච්ඥා කිරීම සඳහා පබළුරැහැන්  (cord of prayer beads) ඔවුන් භාවිතයට ඔවුන් හැඩ ගැසුනහ.

⛑️බයිබල් විශාරදයෙක් වන ශු.ජෙරොම් මුනිතුමා (ක්‍රි.ව 347-420) යාච්ඥා කිරීම සඳහා පබළු රැහැන් පබළු රැහැන් භාවිතා කර ඇති බවට සාක්ශි ඇත.

මෙලෙස කුඩා පබළු භාවිතා කර ඔවුන් කල යාච්ඥා මොනවාදැයි දැන ගැනීමට කුතුහලයක් ඔබට ඇතුවාට සැක නැත.13 වන සියවස දක්වා මේ ආකාරයට පබළු යොදාගෙන බහුලව කල යාච්ඥාව වන්නේ පරමණ්ඩල යාච්ඥාවයි( Lords Prayer).කලින් ලිපියේදී පරමණ්ඩල යාච්ඥාව පැටනොස්ටර්( paternoster ) ලෙස එවකට හැදින්වූ බව අපි සඳහන් කලෙමු.

එලෙසම මෙම පබළු, පැටනොස්ටර් පබළු (paternoster beads) ලෙස එවකට හැදින්වීය.මධ්‍යකාලීන යුගයේත් (15 සියවසේ) මෙලෙස පැටනොස්ටර් පබළු මන්ස්ථාපිත යාච්ඥා හා විවිධ භක්ති අභ්‍යාස කිරීමටත් යොදාගෙන ඇත.

⛑️අට වන සියවසේ ඇතැම් යාච්ඥා පොත් වල  සමහර පාපයන් වලට මනස්ථාපනය සඳහා පැටනොස්ටර් යාච්ඥා 50 උච්චාරනය කලයුතු බවට නියම කර ඇත.

⛑️ක්‍රි.ව 1096 දී ප්‍රංශයේ ක්ලූනී හි විසූ තාපසවරුන් අතර,  තමන්ගේ සහෝදර තාපසයෙක් මියගිය විට පැටනොස්ටර් යාච්ඥා 50ක් පැවසීම සිරිතක්ව තිබිනි.

⛑️ක්‍රි.ව 1128 දී ටෙම්ප්ලර් නයිට්වරු (Knigt Templar) හට, ඔවුන් විසින් කරන්නාවූ පොදු යාච්ඥාවට සහභාගි වීමට නොහැකි වූ විට, දඬුවම් සඳහා පැටනොස්ටර් යාච්ඥා 57ක් කීමට නියමව තිබිබ්නි.තවද ඔවුන්ගේ සහෝදර සෙබලෙකුගේ අභාවයකින් පසුව, දිනකට පැටනොස්ටර් යාච්ඥා 150 බැගින් සතියක් පුරාවට එම සහෝදර  සෙබලාගේ ආත්මය වෙනුවෙන් යාච්ඥා කිරීමට නියමව තිබිනි.

තවද පූජකයන් හා තාපසවරුන්ට අමතරව එවකට ප්‍රසිද්ධ පුද්ගලයන්ද පබළු රැහැන් භාවිත කල බවට සාක්ශි ඇත.ඉන් සමහරක් තමන්ගේ අභාවයේදී එම පබළු රැහැන් තමා සමඟ භූමදානය කරන ලෙසටද ඉල්ලා ඇත.

💥එංගලන්තයේ කොවෙන්ට්‍රි හී ගොඩීවා ආර්‍යාව (ක්‍රි.ව 990-1067)  භක්තිමත් කාන්තාවක් වන අතර ඇය  දුප්පතුන්ගේ කර මත පැටවන අධික බදු බරට විරුද්ධව හඬ නැගූ කාන්තාවක් විය. ඇය නිරුවත්ව අශ්වයකු  පිට යමින් කල එකල රජයට කල විරුද්ධතාවය නිසා බොහෝ සේ ප්‍රසිද්ධියට පත් වූවාය.ඇයගේ අවසන් කැමැත්ත වූයේ තමන් විසින් යාචඥාව සඳහා භාවිතා  කරමින් සිටි පබළු රැහැන, තම මරනින් පසු දේවමාතාවන්ගේ සුරුවම පාමුලුන් තබන ලෙසටය. ගොඩීවා ආර්‍යාව පැටනොස්ටර්  පබළු  භාවිතා කර නමෝ මරිය යාච්ඥාව කී බවට ඉතිහාසඥයන් මත පල කර ඇත.

💥ශාර්ලෙමන් අධිරාජ්‍යයාගේ ඥාතියෙකු වූ සා.රොසාලියා මුනිතුමිය (ක්‍රි.ව 1160) සතුව කුරුසයක් කෙලවරට සම්බන්ඳ වූ පබළු රැහැනක් තිබූ බවට සාක්ශි ඇත.ඇගේ අවසන් කැමැත්ත වූයේ ඇය සම්ඟ ඇගේ පබළු රැහැනද භූමදානය කරන ලෙසයි.

💥මධ්‍යකාලීන යුගයේ පලවන කුරුස යුද්ධය(1096 – 1099) නිරූපණය කරන චිත්‍ර වල පූජකයන් හා තාපස වරුන් තම ආගමික ඇදුමෙහි ඉඟ පටියෙහි පබළු රැහැන් පැලඳගෙන සිටින බව පෙන්නුම් කරයි. තවද එම කාලයේ කුරුස යුද්ධයට සම්බන්ධ නොවූ පූජක හා ගිහියන් අතරද මෙලෙස පැටනොස්ටර් රැහැන පැලඳීම  විලාසිතාවක්ව පැවතිනි. එවකටත් මෙය ජපමාලය ලෙස නම් නොකර තිබුනත් එම පැටනොස්ටර් රැහැන  ඉඟ පටියේ පැලද සිටීම සෙබලෙකු තම අසිපත ඉනෙහි රඳවා තබාගැනීම සිහිගන්වයි.මෙමඟින් මතුවට පැමිනෙන්නට යන බලවත් අසිපතක් ගැන දිව්‍ය කම්මල්කරු  පුංචි ඉඟියක්😉 අපට ලබා දෙයි.

මෙලෙස දෙවියන් වහන්සේ දිව්‍ය අසිපතට  භෞතික ස්වභාවක් ලබා දුන් අතර තව ඉතිරිව ඇත්තේ පැටනොස්ටර් පබළු ✌️ දේව මාතාවන්ගේ (Marian beads ) පබළු✌️   බවට පත්  කිරීම පමනි.එවිට මෙය ඉබේම මරියාවන්ගේ අසිපත බවට පත් වනු ඇත.එයට හොඳම කාලය වූයේ 12 වන සියවස හා 13 සියවසේ මුල් භාගයයි.ඒ එවකට දේවමෑනියන්ට යාතිකා ( The Marian Psalter ) ලෙස භක්ති අභ්‍යාසයක් ආරම්භ වූ හෙයිනි.

4. දේව මෑණියන්ට යාතිකා - The Marian Psalter

පුරාණයේ ශු.සභාවේ Breviary නමින් පූජනීය යාච්ඥා ක්‍රමයක් පැවතීය.වර්තමානයේ එය ❗"යාම යැදුම "❗ලෙස හඳුන්වයි .එම යැදුම සඳහා මූලාශ්‍ර වූයේ එකල කතෝලික සභාවේ තිබු පැවිදි සම්ප්‍රදායකි.එම සම්ප්‍රදායට අනුව එකල විසූ තාපස වරු පුරාණ ගිවිසුමේ ගීතාවලියේ ගීතිකා 150ම 😯 දිනපතා යාච්ඥා කර යුතුව තිබිනි.

එකල ශු.ලියැවිල්ල ලතින් භාශාවෙන් ලියා තිබුන බැවින් ආරාම වල සිටින තාපස වරුන්ට ලතින් භාශාව පිලිබඳ හසල දැනුමක් තිබිය යුතු විය.යථාර්ථයක් වශයෙන් ගත් කල එවකට වැඩිමනක් තාපසවරුන් එතරම් ගැඹුරට අධ්‍යාපනයක්  ලද්දවුන් නොවීය👎.එම නිසා ඒ බොහෝ දෙනෙක්ට  දිනපතා යාච්ඥා වලට සහභාගී වීමට නොහැකි වූයේ ලතින් භාශාව නොදැනීම හේතුවෙනි😞 .

එම නිසා නව වන සියවසේදී (විශේශයෙන් අයර්ලන්තයේ  )පූජ්‍ය නොවන තාපසවරුන්ට හා ගිහියන්ට ,ගීතාවලියේ යාච්ඥා 150 වෙනුවට  paternoster (පරමණ්ඩල යාච්ඥා)  150 ක් උච්චාරනය කිරීමට නියමව තබිනි😏.11වන  සියවස වන විට මෙම ආදේශක ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වූ අතර Breviary යාච්ඥාවට සහභාගී වීමට කැමති, නමුත් කියවීමේ දැනුම නැති සියලු දෙනා පරමණ්ඩල(paternoster ) 150  උච්චාරනය කිරීමෙන් breviary යාච්ඥාය  සහභාගී වීමට හැකි විය.

සත්‍ය වශයෙන් පැටනොස්ටර් පබළු වල සමෘද්ධිමත් කාලය ඇරඹෙන්නේ 11වන සියවසේදීය.ඒ මන්දයත් පූජ්‍ය පක්ශය මෙන්ම ගිහි මිනිසුන්ද ගීතාවලියේ යාච්ඥා 150 වෙනුවට පරමණ්ඩල 150ක් කීමට පෙළඹ වී තිබූ හෙයිනි.එවකට බොහෝ දෙනා අතර පබළු 150කින් යුතු රැහැනක් තමා සන්තකයේ තිබිනි.ඒඅතර ඔවුන් එය තම ඉඟ පටියේ රඳවා ගැනීමට උත්සුක වූහ.

නොබෝ කාලෙකින් පබළු 150ක් රැහැනක රඳවා ගැනීමට වඩා පබළු 50ක් රන්දවා එය තුන් වරක් උච්චාරනය කිරීම පහසු බව වැටහිනි.

💥මෙම පැටනොස්ටර් රැහැන කොයි තරම් ප්‍රසිද්ධ වීද යත් 12 වන සියවසේදී එංගලන්තයේ පැටනොස්ටර් වීදිය ලෙස වෙනම වීදියක් තිබූ අතර එහි පැටනොස්ටර් රැහැන් නිශ්පාදනය කෙරිනි.

💥 ක්‍රි.ව 1268 දී ප්‍රංශයේ පැටනොස්ටර් රැහැන් සාදන සමූහයන්  4ක් වූ අතර ඒ සමහර රැහැන් දෙකෙරවල විවෘතවද (දෙකෙලවර එකිනෙකට සම්බන්ධ නොවී) සමහරක් දෙකෙලවර  සම්බන්ධ කර වෘතාකාරවද නිශ්පාදනය කෙරිනි.

මෙලෙස 12 වන සියවසේදී පැටනොස්ටර් රැහැන ප්‍රසිද්ධයට පත් වන විට මීට සමගාමීව දේව මාතාවන්ට කරන භක්ති අභ්‍යාසයක් වන  නමෝ මරිය යාච්ඥාවද ප්‍රසිද්ධියට පත් විය(වර්තමාන නමෝ මරිය යාච්ඥාවේ ප්‍රථම අර්ධය).එවකට  සැදැහැවත් ජනතාව නමෝ මරිය 50කින් යුත් යාච්ඥාවක් ( 50 Hail Mary Prayers) දේවමාතා භක්තිය සඳහා උච්චාරනය කර අතර ඔවුන් එය👉 CHAPLET👈 (ඔටුන්න) කියා හැදින්වීය.

මෙලෙස මරිය බැතිය  ප්‍රසිද්ධයට පත් වීමට හේතු පාදක වූයේ 12 වන සියවසේ වූ " පැවිදි ප්‍රතිසංස්කරණ ව්‍යාපාර(Monastic  Reform Movement )" කිහිපයක් නිසාවෙනි.එහි සිස්ටේසියානු (Cisterican monks) තාපස වරුන් වන ක්ලෙයාවෝ හි ශු.බර්නාඩ් මුනිතුමා(  St.Bernard of clairvaux 1090-1153),ස්ටෙලා හි අයිසැක් තුමා ( Bl.Issac of Stella 1100-1170) යන දෙදෙනා පුරාණ ගිවිසුමේ wisdom literature(👉ජෝබ්,ගීතාවලිය ,හිතෝපදේශ,ධර්ම දේශකයා, සලමොන්ගේ ප්‍රඥාව,සිරාක්👈)  පොත් මරියාවන්ගේ කෝනයෙන් අර්ථ නිරූපණය කිරීම එකල  මරිය බැතියට මහත් පිවුවහලක් විය.

ප්‍රේම ගී හී මරියාවන් සුන්දරත්වයේ පරවියා( Dove of Beauty ) ලෙස තේරුම් ගැනුනු අතර හිතෝපදේශය පොතේ ඥාන පාත්‍රය ලෙසත්(seat of wisdom) ගනන් ගනු ලැබිනි. පරිච්ඡේද 150න් යුත් ගීතාවලිය   මරියාවන්ගේ මානයෙන් නමෝමරිය 150ක් ලෙස  උච්චාරණය කිරීමට පටන් ගත්තේ මින් පසුවය.එම නිසා brivary  යාච්ඥා ක්‍රමය පදනම් කරගෙන මුලින් ඇරඹි පරමණ්ඩල යාච්ඥා 150ක් උච්චාරනය කිරීමේ භක්ති අභ්‍යාසය  , නමෝ මරිය යාච්ඥා 150ක් උච්චාරනය කිරීම දක්වා විකාශනය විය.

💥ක්‍රි.ව 1140විසූ අයිබර්ට් නැමති පැවිදි පුද්ගලයෙක් නමෝ මරිය 150 ක් උච්චාරණය කිරීමේ භක්ති අභ්‍යාසයක් සම්බන්ධව ඉතිහාසයේ සටහනක් ඇත. එතුමා පලමු නමෝ මරිය 100 දනගසාගෙනද අවසන් නමෝ මරිය 50 මුනින්තලා වැටී උච්චාරනය කල බව සදහන්ය .

මෙවැනි ගෞරව දැක්වීමක් දුටු එකල තාපසවරුන් brivary (පරමණ්ඩල 150) යාච්ඥාවට අමතරව පැටනොස්ටර් රැහැනම භාවිතා කරමින්  ඊට සමගාමී නමෝ මරිය 150කින් යුත් දේවමාතා යාතිකා( Marian Psalter ) අභ්‍යාසයක් හදුන්වා දුන්හ.කෙටි කාලයක් තුල මෙම නමෝ මරිය 150 කොටස් 10කට වෙන් කිරීම සඳහා එයට පරමණ්ඩල යාච්ඥා 15ක් එක් කෙරිනි.මෙලෙස බෙදා වෙන් කල එක්  නමෝ මරිය  10ක් Decade(කොන්ත පන්තියක්) ලෙස නම් කලේය.

මෙලෙස දේවමාතා යාතිකා (marian psalter )සදහා පූර්ණ අයිතිය සිස්ටේසියානුවන්ට හිමි විය.මේ සමයේම සිටි කාතුසියානු( Carthucian) තාපසවරුද මෙවැනිම ආකාරයේ සම්ප්‍රදායක් අනුගමනය කලහ(කාතුසියානු නිකාය ආරම්භ කලේ ක්‍රි .ව් 1084 කොලෝඟ්හි ශු.බෲනෝ මුනි තුමන් විසිනි).මෙලෙස  ප්‍රසිද්ධ  නිකායන් දෙකේම භක්ති අභ්‍යාසයක් ලෙස දේවමාතා යාතිකා පැවතුනද ජේසුස් වහන්සේගේ අභිරහස් මෙයට ඇතුලත් කර නොතිබිනි.එම නිසා එම යාතිකා හුදෙක් දේව මෑනියන්ගෙන් මැදිහත් බාවය ඉල්ලා කල යාච්ඥා නොවන අතර ඕ තුමී පසසනු පිනිස උච්චාරනය කල යාච්ඥා විය.

මෙලෙස සභාව තුල විවිධ භක්ති අභ්‍යාසයන් හටගද්දී  දිව්‍ය කම්මල්කරු ජපමාලය සඳහා මූලාකෘතිය ලෙස යොදා ගන්නට තීරනය කරන්නේ මෙම දේවමාතා යාතිකාවෙහි තිබූ භෞතික ස්වභාවයයි.දැන් ඔබට  මෙහි නමෝ මරිය,පරමණ්ඩල යාච්ඥාව සහ යාච්ඥා පබළු යන සියල්ල අන්තර්ගතව ඇති බවත් මෙයට දිව්‍ය අභිරහස් එක් කිරීමෙන් ජපමාලය නිර්මානය වන බවත් දැක ගත හැකි වනු ඇත.😯😯😯😯😯

දැන් 12 වන සියවස ඇරඹෙන මොහොතයි.මෙකල ශු.සභාවට මහත් තර්ජනයක් එල්ල කරමින් සාතන් කතෝලික සභාවට එරෙහිව කරන යුද්ධයක් අරඹයි.මේ යුද්ධය සඳහා සූදානම් කල ආයුධය දෙවියන් වහන්සේ දේවමාතාවන්ගේ සුරතෙහි තබන අතර ඕ තුමී දැනටත් ඇය වෙනුවෙන් සටන් කරන  ඒ නයිට් වරයාව තෝරාගෙන තිබිනි.ඔහු නමින් "දොමිනික් ගුස්මාන්" විය.

ඇල්බජෙන්සියානු වාදය හා දෙවියන්ගේ බල්ලන්.

13 වන සියවස ආරම්භයේ ඇල්බිජෙන්සියානූ වාදය නම් මිත්‍යාදෘශ්ටික වාදයක් නිසා ශු.සභාවට එරෙහිව ප්‍රබල බලපෑමක් එල්ල විය.මෙම වාදය දකුනුදිග ප්‍රංශයේ ඇල්බි නම් නගරය මූලික කරගත් කන්ඩායමකින් ආරම්භ විය(👉 එම නිසා එය ඇල්බිජෙන්සියානූ වාදය ලෙස හඳුන්වයි👈).

ඔවුන්ගේ ඉගැන්වීම වූයේ අධ්‍යාත්මීක දේවල්( spiritual realities ) පමනක්  යහපත් බවත් ද්‍රව්‍යමය හෙවත් භෞතික දේවල් ( Material realities ) සියල්ල අයහපත් බවය.ඔවුන්ගේ ඉගැන්වීමට අනුව සෑම පුද්ගලයකුගේම ආත්මය අයහපත් ශරීරයකින් සිරගත වී ඇත.එම නිසා ඔවුන්ට ගැලවීම ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් කල යුත්තේ මෙම අයහපත් මාංශීක ශරීරයෙන් ආත්මය නිදහස් කිරීමය.සරලවම කිවහොත් මිය යෑමය.

කතෝලික සබාවට මෙය කෙලින්ම බලපෑම් ඇති කලේ ජේසුස් වහන්සේගේ මාංශගතවීම ,දුක් විඳීම හා මරණය ඔවුන්ගේ ඉහැන්වීමට අනුව අයහපත් දෙයක් වූ බැවිනි .එම නිසා ඔවුන් කතෝලික සභාවට විරුද්ධව සටන් වැදුන අතර ඔවුන්ගේ අනුගාමිකයන් පිරිස වේගයෙන් වැඩි වන්නට විය.ඔවුන් සමග විවාදයට යන අයවලුන් ඝාතනය කිරීමට පවා ඔවුන් පසුබට නොවීය.

මෙම කාලය දිව්‍ය කම්මල්කරු විසින් දේවමෑනියන්ගේ යාතිකාව ( Marian Psalter ) ජපමාලය බවට හැරවීමේ කාලය ලෙස යොදා ගත්තේය.දේවමාතවන් විසින්  මෙම මෙහෙයුම සඳහා එවකට  පූජකයකුව සිටි ශු.දොමිනික් ගුස්මාන් මුනිතුමව තෝරාගෙන තිබිනි.ඉතා චතුර ලෙස දේශනාවන් කිරීමට මෙතුමා උපන් හපන්කම් දැක්වීය.එතුමා එකල මෙම ඇල්බිජෙන්සියානූ වාදය ගැන බොහොම කනස්සල්ලෙන් මිනිසුන්ව සත්‍ය කරා නැවත ගෙන ඒමේ උත්සහයක නිරත වෙමින් සිටියේය.

🐕 ක්‍රි.ව 1170 දී දොමිනික් තුමා උපත ලබන අවස්තාවේදී එතුමාගේ මෑනියන් වූ භාග්‍යවත් ජුආනා ඩී ඈසා ( Bl.Juana De Aza) තුමියට අමුතු සිහිනයක් දර්ශනය විය.

🐕 ඒ ගිනි පන්දමක් කටින් රැගත් බල්ලෙකු තම කුසයෙන් එලියට පැන ලෝකය වටා ගිනි අවුලවමින් දුවන ආකාරයයි.

🐕 ඇයට ඒ දර්ශනය නොතේරුන නමුත්   ලැබුනු අනාවැකිය ප්‍රත්‍යක්ෂ කරමින් දොමිනික් තුමා අනුගාමී කරගත් පිරිස දෙවියන්ගේ බල්ලන් මෙන් ලොව පුරා  ඉවකරමින් ජේසුස් වහන්සේගේ ආදරයෙන් ජ්වලිත වී දේව වචනයෙන්  මිත්‍යාදෘශ්ටිකයින් දඩයම් කිරීමේ මෙහෙයුම  සිදු කරනු ලැබීය.

🐕 පසුකාලීනව දොමිනික් තුමාගේ අනුගාමිකයන් දොමිනිකානුවන් ලෙස හැදින්විනි.ලතින් භාශාවෙන් දොමිනිකානු යනු දෙවියන්ගේ බල්ලන් යන අර්ථයයි."Domini = God's"  /  "Canes = Dogs"

🐕 මේ සියල්ල ඵල දැරීමට ප්‍රථම දොමිනික් තුමාට වැදගත් පාඩමක් ඉගෙන ගැනීමට තිබිනි.ලොව පුරා සංචාරය කරමින් දේව වචනය ප්‍රචලිත කරන නිකායක මූලාරම්භකයා වශයෙන් හා දිව්‍ය අසිපතෙහි මුල් හිමිකරුවා වශයෙන් මෙතුමා ප්‍රථමයෙන් සුන්දර නමෝ මරිය යාච්ඥාව  මිත්‍යාදෘශ්ටිකයන් මැඩලීම සඳහා යොදාගන්නා ආකාරය දැන ගත යුතු විය. එම පාඩම පරලෝක දූත සේනාවන්හී රාජිනිය  වූ දේව මාතාවන්ම ඔහුට කියා දුනි.

දේවමාතාවන් විසින් ආයුධය ශු.දොමිනික් තුමාට බාර දීම.

දේව ධර්මය පිලිබඳ හසල දැනුමක් තිබූ   ශු.දොමිනික් තුමාට උපතින්ම චතුර වාග් හරඹයට තලෙන්තු ලැබී තිබිනි.එම නිසා  ඇල්බිජෙන්සියානූ වාදයට එරෙහිව දේශනා කිරීමට එතුමා අදිටන් කරගත්තේය✊. එහෙත් නොසිතූ පරිදි එතුමාගේ දේශනාවලට මිනිසුන් කන් නොදුන්හ.ඔවුන්ගේ සිත් නොහැරුනු අතර දොමිනික් තුමා මහත් කලකිරීමකට පත් විය.😕

ක්‍රි.ව1208දී දොමිනික් තුමා  ප්‍රංශයේ  ප්‍රවුලී නම් කැලයට යන්නේ නිහඬ යාච්ඥාවෙහි යෙදෙමින් ඇල්බිජෙන්සියානූ වන් පරාජය කිරීමට ස්වර්ගයෙන් තමන්ට සහය ඉල්ලන්නටය.එතුමා නොකඩවා නිරාහාරශීලය රකිමින් , මනස්තාපන යාච්ඥාවේ යෙදෙමින් ස්වර්ගයට කන්නලව් කලේය.තුන් වන දිනයේදී එතුමාට පිලිතුරක් ලැබිනි.

පුරාවෘතයන්ට අනුව දේවමාතාවන් වහන්සේ ශු.දොමිනික් තුමාට දර්ශනය විය.දොමිනික් තුමා දරන වෑයම ස්වර්ගයට ඉතා ප්‍රසන්න බවත් නමුත් මෙම මිත්‍යාදෘශ්ටිකයන් පරාජයට නම් ඇගේ දේවමාතා යාතිකාව උච්චාරණය කරන ලෙසටත් දැන්වීය.

🌹🌹"ඔබේ ශ්‍රමය වැය කර මෙතරම් සුළු ප්‍රමාණයක ප්‍රතිඵලයක් ලබාගැනීම පුදුමයක් නොවේ. මන්ද ඔබ බීජ වපුරා ඇත්තේ නිසරු පසක ය. එහෙත් තවමත් දේව වරප්‍රසාදයේ පින්නෙන් පොලව සේදී නොමැත. දෙවියන් වහන්සේ පොළෝ තලය අලුත් කරන විට, දේවදූත ආචාරයේ(Angelic Salutation ) සාරවත් වැස්ස ඔබ වැපිරූ බීජ මත පතිත වන සේක.එබැවින් මාගේ පුත්‍රයානන්ගේ අභිරහස් මෙනෙහි කරමින් මාගේ යාතිකාව( Marian Psalter ) උච්චාරනය කරන්න."🌹🌹

මෙලෙස දේවමාතාවන් විසින් ජපමාලය ලොවට හඳුන්වාදුන් මොහොතේ අහසෙහි විශාල ගිනි බෝලයක් හා දේව දූතයන් තුන් දෙනෙකු දර්ශනය වූ බව පුරාවෘත වලට අනුව සඳහන් වේ. මේ අවස්ථාව වන විටත් ජපමාලය   හඳුන්වන්නේ දේවමාතා යාතිකාව යනුවෙනි(මේ කාලයේදීත් වර්තමාන නමෝ මරිය යාච්ඥාවේ  මුල් කොටස පමනක් උච්චාරනය කරන බව සිහි තබා ගන්න.)

දොමිනික් තුමාට දේවමාතා යාතිකාව උච්චාරනය කරන්නට අණ කල කාලයේ පවා විවිධ කණ්ඩායම් ඒ වන විටත් දේවමාතා යාතිකා උච්චාරනයේ යෙදෙමින් සිටියෝය.නමුත් දේවමාතවන් වහන්සේ දොමිනික් තුමාගෙන් ඉල්ලුවේ ජේසුස්වහන්සේගේ දිව්‍ය අභිරහස් මෙනෙහි කරමින් ජපමාලය(දේවමාතා යාතිකාව ) 👉"දේශනා"👈 කරන ලෙසටය.තවද ඕ තුමී දේවමාතා යාතිකාවේ නමෝ මරිය 150 නමෝ මරිය කොටස් 10 ක් බැගින් වෙන් කර ඒ එක් කාණ්ඩයකට(Decade = කොන්ත පන්තියකට) එක් අභිරහස බැගින් මෙනෙහි කිරීමට අණ කලාය.එම අභිරහස් ජේසුස් වහන්සේගේ උපත, දුක් විඳීම හා මරණය  හා විජයග්‍රාහී උත්තානය පිලිබඳ අභිරහස් විය.

දේවමාතාවන් වහන්සේ පොරොන්දු වූ පරිදි දිව්‍ය අභිරහස් සහිත දේවමාතා යාතිකාවෙන් බොහෝ දෙනෙකුගේ සිත් නැවත සභාව වෙත හරවා ගැනීමට සමත් විය. විශේෂයෙන් දොමිනික් තුමා විසින් සිදු කරන ලද  හාස්කමක් සඳහන් නොකරම බැරිය.

දිනක් ඇල්බිජෙන්සියානූ දේවදේවධර්මවාදීන්ට අභියෝග කරන දොමිනික් තුමා පවසන්නේ,
🔥🔥🔥ගිනි මැලයක් අවුලුවා එම ගින්නට  තම දේවධර්ම පොත් දමන ලෙසටය.🔥🔥�

දෙපාර්ශවයේම අය තමන්ගේ දේවධාර්මික පොත් එකින් එක ගින්නට හෙලිය යුතු අතර ගිනි ගෙන විනාස වන්නාවූ අයගේ ධර්මය මිත්‍යාවක් බවත්  එසේ ගිනි නොගෙන තිබෙන්නාවූ පොත් සත්‍ය ධර්මයේ පොත් බවත් ප්‍රකාශ කලේය.එම අභියෝගය බාරගත් ඇල්බිජෙන්සියානූ වන්ගේ සියලුම පොත් දැවී අලු වී ගිය අතර දොමිනික් තුමාගේ දේවධාර්මික පොත් හාස්කමකින්  ගිනි නොඇවිලී තිබුනේය.

මෙසේ ශු.දොමිනික් තුමාගේ මව දුටු අනාවැකි සිහිනය ඔප්පු වෙමින් තිබිනි.ශු.දොමිනික් තුමා ලෝකය පුරා ඇති දේව ධාර්මික දෝෂ ගිනි තබමින් ලෝකය පුරා සිය ධර්මදූතික සේවාව කරමින් සිටියේය.

ශු.ජපමාල හා  මුරෙට් හී සටන

☘️ක්‍රි.ව 1213 සැප්තැම්බර් මස 12 වන දින ශු.ජපමාලයේ ප්‍රථම ජයග්‍රහනය වාර්ථා විය.එය සඳහා පූජකයකු ලෙස ශු.දොමිනික් මුනිතුමාගේ ප්‍රබල මැදිහත්වීමක් සිදු විය.

☘️ප්‍රංශය අල්ලා ගැනීමේ මූලික පියවරක් ලෙස ඇල්බිජෙන්සියානූවන් ප්‍රංශයේ දකුනු දිග කුඩා නගරයක් වන මුරෙට් නගරය ඔවුන්ගේ ප්‍රධාන බලකොටුව බවට පත්  කරගෙන සිටියෝය.එවකට සිටි තුන්වන ඉනසන්ට් පාප් වහන්සේ මොවුන්ගේ ක්‍රියා කලාපය හා ඔවුන්ගේ ව්‍යාප්තිය ගැන දැඩි අවධානයෙන් පසු විය.

☘️මෙම ඇල්බිජෙන්සියානූවන්ගේ  මිත්‍යාදෘශ්ටිකත්වය හා ප්‍රංශයට විය හැකි බලපෑම හදුනාගත් පාප් වහන්සේ ඔවුන්ගේ තර්ජනය එකවර අවසන් කිරිම සඳහා කුරුස හමුදාවක් නිර්මානය කිරීමට සෙවීය. කවුන්ට් සීමොන් ඩී මොන්ෆෝර්ට් නම් වංශවත් පුද්ගලයකු මූලික වී පාප් වහන්සේගේ ආශිර්වාදය ඇතිව දොමිනික් තුමා සමඟ දකුනුදිග ප්‍රංශයෙන් කතෝලිකයන්ගේ හමුදාවක් රැස් කර ගත්හ.ඒ පිරිස 1500 ක් පමන වූ අතර අවාසනාවට උතුරුදිග ප්‍රංශයෙන් බලපොරොත්තු වූ පරිදි කිසිඳු සහයෝගයක් නොලැබිනි.

☘️නමුත් 30000ක පමන පිරිස් බල ඇණියක් සහිත ඇල්බිජෙන්සියානූවන් මෙහෙයූවේ  දකුනුදිග  ප්‍රංශයේ විසූ ටෝලූස් හි රේමන්ඩ් හා ඇරගොන් හි පේඩ්‍රෝ යන වංශවතුන් විසිනි.ඔවුන්ගේ සිටි පිරිස් බලයෙන් ඔලු උදුම්මවා ගත් ඔවුන් බලපොරොත්තු වූයේ කතෝලිකයන්ගේ ඒ කුඩා බල ඇණිය නිමේශයකින් දුහුවිලි බවට පත් කිරීමටය.

☘️සටනට පෙරදින රාත්‍රිය ඇල්බජෙන්සියානුවන් ගත කලේ මුද්‍රීක පානයෙන් මුසපත් වෙමින් හා ස්ත්‍රීන් සමඟ අනාචාරයේ හැසිරීමෙනුත්ය.

🍁නමුත් කතෝලික බල ඇණිය මුලු රාත්‍රිය පුරාම දොමිනික් තුමා සමඟ  ජපමාලය උච්චාරනය කරමින් සිටියෝය.අලුයම   දිව්‍ය පූජාව පූජාව සමරා ✝️දිව්‍යසත්ප්‍රාද වහන්සේ✝️ ලබා ගත්හ.බොහෝ මිනිසුන් පූජාවෙන් අනතුරුව පාපොච්චාරණය සක්‍රමේන්තුව ලබා ගත්හ.

☘️අලුයමදීම කතෝලික බල ඇණිය සටනට පිවිසියේ පෙර දින මධුවිතෙන් මත්ව සිටියොවුන් ව්‍යාකූල කරමිනි.ඔවුන් සටනට යද්දී දොමිනික් තුමා මුරට් නගරයේ තිබූ ශු.ජැක්(St.Jacques) තුමාගේ දේවස්ථානයට ගියේ සටන වෙනුවෙන් මැදිහත් වන ලෙසට ස්වර්ගයට කන්නලවු කිරීමටය.

☘️සීමොන් ඩී මොන්ෆෝර්ට් ප්‍රමුඛ බල ඇණිය ඇල්බිජෙන්සියානූ වන්ට වට කර එකවර පහර දුන්නේ ඔවුන්ට සංවිධානගත වීමට කිසිඳු ඉඩක් ලබා නොදෙමිනි.30000 :1500 ක් යුධ වැද ජයග්‍රහනය කිරීම සිහිනයක් වුවද දේවමාතාවන්ගේ මැදහත්කමින් එය සඵල කර ගැනීමට කතෝලික බල ඇණිය සමත් විය.

☘️ ඒ සමයේ විසූ සාහිත්‍යධරයන් එම සටන  විස්තර කරන්නේ ඇල්බිජෙන්සියානූ වන් පොරවෙන් පහර කෑ ගස් බිම වැටෙන්නාක් මෙන් සී සීකඩව බිම පතිත ලෙසය.මේ ආකාරයෙන් ඇල්බිජෙන්සියානූවන්ගේ මිත්‍යාදෘශ්ටික සේනාව පරාජය විය.නැවත කුඩා කන්ඩායම් මතු වූ නමුත් පෙර තරම් සෙනගක් ඔවුන්ට එක් නොවූහ.තවද දොමිනිකානුවන් රැවටීමට ලක් වූ අනෙක්  අය සොයා යමින් නැවත සත්‍ය විශ්වාසයට ඔවුන් ගෙන ආහ.

☘️මෙසේ සීමොන් ඩී මොන්ෆෝර්ට් හා දකුනුදිග ප්‍රංශ වැසියන් එකතුව දොමිනික් තුමා යාච්ඥා කල ස්ථානයේ(ශු.ජැක්(St.Jacques) තුමාගේ දේවස්ථානයේ) ශු.ජපමාලයට කැප කල කුඩා දේවස්ථානයක්ද(chapel ) ගොඩනැගූහ.එම කුඩා දේවස්ථානයේ මෙම ජයග්‍රහනය සිහිවීම පිනිස ඔවුන් අලංකාර චිත්‍රයක් නිර්මානය කලේය.

☘️එහි  මැද දේවමාතාවන් වහන්සේත් ,එක පසෙකින් එක අතකින් කුරුසයක් රැගෙන අනිත් අතින් දේවමාතාවන්ගෙන් ජපමාලය ලබාගන්නා දොමිනික් තුමාත්, අනිත් පසින් දේවමාතාවන් අභිමුව දණ ගසා සිටින සීමොන් ඩී මොන්ෆෝර්ට් හා ටොලොස්හී ෆල්ක් රදගුරු තුමාත් දැක්වෙන නිර්මානයකි.අවාසනාවට ප්‍රංශ විප්ලවය සමයේ මෙම සිතුවම් විනාශ වුවත් ඒ ආකාරයේ සිතුවමක් තිබූ බවට පැහැදිලි සාක්ශි පොත පතෙහි සඳහන්ව ඇත.

☘️මුරට් හී සටනෙන් පසුවත් දොමිනික් තුමාගේ අනුගාමිකයන් ප්‍රංශය පුරා සැරි සරමින් මිත්‍යාදෘශ්ටිකයන්ට එරෙහිව දේශනා කලහ .🍁වෙරෝනා හී ශු.පේදුරු තුමා එවැන්නෙකි .🍁එතුමාගේ හිසෙහි කොටසක්  ඇල්බිජෙන්සියානූවන් විසින් සාහසික ලෙස  කපා දැමීම හේතුවෙන් සත්‍ය විශ්වාසය කෙරෙහි ප්‍රාණ පරිත්‍යාගී විය.කැරවාජියෝ නම් චිත්‍ර ශිල්පියාගේ "The Madonna of the Rosary " චිත්‍රයේ  දකුනුපස දේවමාතාවන්ගේ හා ජේසු බිලිදාගේ දකුනු පස සිටගෙන සිටින දොමිනිකානු පූජකවරයා මෙම වෙරෝනාහී ශු.පේදුරු තුමාය.ඔහුගේ හිසෙහි ඇති තුවාලය පැහැදිලි ලෙස චිත්‍රයට නහා ඇත.

"රෝසරි"(Rosary) යන නාමය

🍁ශු.දොමිනික් තුමා ජීවත්ව සිටි කාලයේ මෙන්ම උන් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුවද දේවමාතාවන් විසින් ලබාදුන් ජපමාලය,කතෝලික සභාව තුල  මරියාවන්ගේ යාතිකාව ලෙසම හැඳින්විනි.ඒ මන්දයත් ජපමාලයේ( දේවමාතා යාතිකාවේ) භෞතික ස්වරූපය හෙවත් ⚡පැටනොස්ටර් පබළු⚡ වල ස්වරූපය වෙනස් නොවී එලෙසම තිබූ බැවිනි.

🍁දේවමාතාවන් විසින් එය(දේවමාතා යාතිකාව) ජේසුස් වහන්සේගේ අභිරහස් මුසුකොට නව මානයකට ගෙන ගියත් ,මුල් කාලයේදී ජපමාලය(අභිරහස් මුසු වූ දේවමාතා යාතිකාව) දොමිනික් තුමාගේ සමකාලීනයන් අතර වැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැත.

🍁ඉතිහාසයට අනුව "රෝසරි" නාමය පැවත එන්නේ 13 වන සියවස හෙවත් ශු.දොමිනික් තුමාගේ කාලයට පෙර සිටය.ලතින් වචනයක් වන රොසාරියම්"rosarium" යන වචනය🌷 රෝස පාත්තිය,🌷රෝස මල් වඩම,🌷රෝස මල් කළඹ හැඳින්වීමට යොදාගෙන තිබිනි.

🍁නමුත් දේවමාතා යාතිකාව රෝසරි නමින් පටබැඳීම ආරම්භ වූයේ දොමිනික් තුමාගේ කාලයෙන් පසුවය.මැයි මාසය ජපමාල මාසය ලෙස නම් කොට දේවමාතාවන්ට භක්ත්‍යාදරය දැක්වීම ආරම්භ වූයේ 13 සියවසන් පසුවය.ස්පාඤ්ඤයේ දසවන අල්පෝන්සු රජතුමා දොමිනික් තුමාගේ ක්‍රියාකලාපයන් ප්‍රසංශා  කරමින් හා  එතුමා අනුගමනය කරමින් මැයි මාසයේදී දේවමාතාවන්ගේ  ප්‍රතිමාවකට රෝසමල් ඔටුන්නක්   පළඳනු ලැබීම සිදුකලේය.

🍁ශු.දොමිනික් තුමා එකල දේවමාතා යාතිකාව( ජපමාලය) රෝසරි(rosary)ලෙස හැදින්වූ බව 13 වන සියවසේ විසූ  ඇබොට් එංගල්ටර්න් යන ලේඛකයාගේ " psalter of the blessed virgin mary " යන කෘතියේ පෙන්වා දෙයි.එම කෘතියේ දේවමාතාවන්ට යාච්ඥා කරන සෑම නමෝ මරිය 150 කම ආරම්භයේදී "Ave ,Rose" හෙවත් "😘 නමෝ රෝස කුසුමෙනි😘" ලෙස  ආරම්භ කල බවට සඳහන් වේ.

🍁දොමිනිකානු සමයෙහි තවත් වැදගත් සිද්දියක් සිදුවිය.එනම් සර්වයිටීස් (Servites) නම් සමකාලීන නිකායකින් " වික්ශෝප මාතාවන්ගේ ජපමාලය("seven sorrows of mary") නමින් ජපමාලයක් හඳුන්වා දෙන ලදී.දේවමාතාවන් විසින් ඔවුන්ට දර්ශනයකින් එම ජපමාලය දේවමාතා යාතිකාව වෙනුවට උච්චාරනය කරන ලෙස පවසා තිබිනි.සිත්ගන්නාසුලු කාරණාවක් වන්නේ ප්‍රාණපරිත්‍යාගී දොමිනිකානුවෙකු වන වෙරෝනාවේ ශු.පේදුරු මුනි තුමා සර්වයිටීස් නිකායේ අධ්‍යක්ශක කෙනෙකු ලෙසද සේවයෙහි නිරත වී ඇත.සර්වයිටීස් නිකායට පාප් තුමාගේ අනුමැතිය ලබා ගැනීමට මහත් දායකත්වයක් ලබා දුන් වෙරෝනාවේ ශු.පේදුරු මුනිතුමාව එම නිකායේ දෙවෙනි ආරම්භකයා ලෙසද හඳුන්වනු ලැබීය.

☘️☘️☘️සියවස් ගණනකට පසු මෙලොව පහල වූ විශිෂ්ඨතම සාන්තුවරයකු වන  ශු.මැක්සිමිලන් කෝල්බේ මුනිතුමා දේවමාතා යාතිකාව, රෝසරි(ජපමාලය)  නමට පත් වූ ආකාරය මෙසේ පහදා දී ඇත.☘️☘️☘️

📢"ආරම්භයේදී ජපමාලය(රෝසරි ) දේවමාතා යාතිකාව ලෙස හඳුන්වා දී ඇත්තේ දාවිත් රජතුමා විසින් රචිත  ගීතාවලියේ ගීතිකා 150 ට සමගාමීව යන නමෝමරිය 150ක් ලෙස උච්චාරනය කල නිසායි .දේවමාතා යාතිකාව රෝසරි නමට හැරවීම සඳහා පහත සිදුවීම මූලික උනා.

📢වර්ෂ 1422 දී ඉතා භක්තිමත් ෆ්‍රැන්සිස්කානු නිකායික තරුන ආධුනික තාපසවරයෙක්ට සිදු වූ සිද්දියක් .එම තරුනයා තාපසාරාමයට එකතු වීමට ප්‍රථම ගිහියෙකුව සිටින කාලයේ ,සෑමදාම දේවමාතාවන්ගේ පිලිරුවකට රෝස මලක් බැගින් තබමින් තම ගෞරවාදරය පෙන්වීමට පුරුදු වී සිටියා.නමුත් තාපසාරාමයට ඇතුලු වූ පසු ඔහුට එම පුරුද්ද දිගටම කරගෙනයාමට බාධා ඇති උනා.විශේශයෙන් ආරාමය තුල තිබූ කාර්‍යබහුලත්වය නිසා ඔහුට රෝස මලක් පිදීම මග හැරී ගියා. එය ඔහුගේ හිතට මහත් පීඩාවක් ගෙනදෙන්නක් උනා.දිනක් ඔහු දුකින් කල්පනා කරමින් සිටියදී දේවමාතාවන් වහන්සේ ඔහුට දර්ශනය වූවා.⚡⚡⚡⚡"භක්තිමත්ව මාගේ යාතිකාව උච්චාරණය කර ලස්සනම මල් වලින් මා අලංකාරකරන්න." ⚡⚡⚡⚡ලෙස ඕ තුමී පැවසුවා .ඕ තුමී එසේ පැවසූ පසු මෙම තරුණයා ජපමාලය උච්චාරණය කරන්න ගත්තා.ඔහු එක් නමෝ මරියක් අවසන් වනවාත් සමඟම දේව මාතාවන් ඔහුගේ මුවින් නික්මුන එක් රෝසමලක්🌷  අතට ගත්තා.මෙලෙස සෑම නමෝ මරියකටම එක් රෝස මල බැගින් ඔහුගේ මුවින් රැගෙන ඕ තුමී ඇයට ඒ රෝස මල් මාලාවක් ගොතා ගත්තා.සෑම පරමණ්ඩල යාච්ඥාවකටම ප්‍රබෝධමත් ලිලී මලක් ඇය ගොතනු ලැබුවා.මේ ආකාරයට දේවමාතා යාතිකාවට රෝසරි(ජපමාලය) ලෙස නම් පට බැදුනා."

🍁1422 වූ මෙම දර්ශනය නිසා ෆ්‍රැන්සිස්කානුවන් එය " ෆ්‍රැන්සිස්කන් ක්‍රවුන් රෝසරි " ලෙස හැදින්විය.ඉහත දර්ශනයෙන් පසුව සියලු දේවමාතා යාතිකා රෝසරි( ජපමාලය ) නමින් හැඳින්වනු ලැබුවේ එය උච්චාරණය කරන සෑම අවස්ථාවකම දේව මාතාවන්ට අධ්‍යාත්මික රෝස කුසුමක් ඔප්පු කරන බව දේවමාතාවන්ම පෙන්වා දුන් හෙයිනි.

3 වන ලියෝ පාප් වහන්සේ වරක් මෙසේ ප්‍රකාශ කලේය:

📢" ජේසුස් වහන්සේගේ අභිරහස් තුලින් ගැලවීම අත් කරගනු සඳහා දේවාත්මානුභාවයෙන් හා දෙවියන් වහන්සේගේ උදවුවෙන් ශු.දොමිනික් තුමා  මගින් අප මේ ලබා ගත් දේව මාතා  භක්ති අභ්‍යාසය රෝසරි(ජපමාලය ) ලෙස හඳුන්වයි.අප ජපමාලයේ දේවදූත ආචාරයේ ඇගේ ප්‍රියතම කොටස වන " ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියෙනී " උච්චාරනය කරන සෑම අවස්ථාවකදීම ඇයට ප්‍රසංශාවත් ඉතා සුගන්ධවත් රෝස කුසුමක් පිලිගන්වනු ලබයි."📢

14 වන සියවසේ ආරම්භය -  කළු මරණය හා කසකරුවන්ගේ නිකාය.

🍀ශු.කතෝලික සභාවට එරෙහිව "සාතන්" ඇල්බිජෙන්සියානූ වාදය පෙරටු කරගෙන සටන් වැදි ආකරයත් , ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අභිරහස් වලින් මුවහත් වූ "මරියසිපතින්" සර්පයාගේ හිස සිඳලූ ආකාරයත් පිලිබඳව අපි පෙර ලිපි වලින් සටහන් තැබුවෙමු. නමුත් යක්ශයා එතරම් ලෙහෙසියෙන් පරාජය බාරගන්නේ නැත.ඌ සුදුසු අවස්ථාවක් පැමිනෙන තෙක් බලා සිටී( 1 පේදුරු5:8).ඌ නැවත පැමිනෙන විට පෙර වැරදි නිවැරදි කරගෙන ,බලවත් අදිටනින් යුතුව පැමිනෙනු ඇත.

🔥14 වන සියවස ආරම්භය කතෝලික සභාවට එතරම් සතුටුදායක නොවීය.13 වන සියවසට වඩා 14 වන සියවසේ අභියෝග රැසකට මුහුන දීමට කතෝලිකයන්ට සිදු විය. ⚡වසංගත රෝග , ⚡දේවධර්මවාදී මතභේදයන්, ⚡සභාව සම්බන්ධ දේශපාලන නාටක වැනි සියලු දේවලට මුහුණ දීමට සභාවට  සිදුවිය.විශේශයෙන් ජපමාලයේ උපත සිදුවූ ප්‍රංශයට 1315-1322 යන කාලවල ප්‍රබල කාළගුනික විපර්‍යාස🌪️🌧️ ,වසංගත💀 හා සාගින්නෙන් බල්පෑම් ඇති විය.විවිධ වසංගත තත්වයන් හා කාලගුණ විපර්‍යාස වලට 14 වන සියවසේ මැද භාගය වන තෙක් දකුනුදිග ප්‍රංශයේ ජනයාට මුහුණදීමට සිදුවිය.මරණ භීතිකාවෙන් හා ආතතියෙන් මිනිසුන් පෙලුනු මේ කාලයේ ශු.ජපමාලය ඔවුන්ගේ මනසින් සම්පූර්නයෙන් මෙන් අමතක වී ගියේය.නමුත් එය ආරම්භයක් පමනක්ම විය.

☠️☠️   කළු මරණය   ☠️☠️

🔥ක්‍රි.ව.1347  න් පටන් ගෙන 1351 දක්වා අවුරුදු 4ක කාලයක් මෙම කළු මරණය හෙවත් කළු වසංගතය යුරෝපය පිරා ගම් දනවු  සිසාරා පැවතිනි.මීයන් විශේශයක් හරහා පැතිරුනු මෙම රෝගය මීයන්ගේ මලපහ,මීයන්ගේ සපාකෑම් වලට ලක්වීමෙන් මිනිසුන් අතර සමාජගත විය.එකවර මතුවූ මෙවැනි වසංගත තත්වයකට මින් පෙර මුහුන නුදුන් ඔවුන්ගේ ගිහියාගේ සිට පැවිද්දන් පවා ව්‍යාකූලත්වයට පත් විය.

🔥මෙම වසංගතය කෙතරම් දරුණු වීද යත් යුරෝපයෙන් 1/3ක් 😮මරණයට පත් විය😮.ඉතිහාස දත්ත වලට අනුව එම ප්‍රමානය මිලියන 25ක් පමණ විය.එම කාලයේ බොහෝ පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන් තමන්ගේ සෙනඟ අමතක කර දමමින් වෛද්‍ය පහසුකම් ඇති ප්‍රධාන නගර වලට පලා ගියහ.

🔥පැවිද්දන්ගේ මේ පලා යෑම ගිහියන්ගේ කනස්සල්ලටත්, දෙවියන් කෙරෙහි තිබූ විශ්වාසය හීන වීමටත් බලපෑවේය.නමුත් ඉතා අතලොස්සක් පූජකයන් ගම්වල නතර වෙමින් ගිලනුන්ට උපස්ථාන කරමින් ඔවුන් අතර විසීය.නමුත් එම පූජකයන්ද කලු මරණය හේතුවෙන් මියගියහ.

☠️☠️ කසකරුවන්ගේ නිකාය ☠️☠️

🔥මෙසමයෙහි ෆ්ලැජලන්ට්ස්( Flagellants) නම් මිත්‍යාදෘශ්ටික විකාරරූපී නිකායක් බිහිවිය. ෆ්ලැජලන්ට්වරු විශ්වාස කලේ මෙම වසංගතය දෙවියන්ගෙන් ලද දඬුවමක් ⚖️ ලෙසය.එම නිසා තමන්ගේ පවු වල විපාක ලෙස  හා මනස්ථාපනය වීම පෙන්වීමට ඔවුන් කස වලින් තමන්ගේ සිරුරු තලා ගනිමින්  පෙලපාලියක් මෙන් වීදි පුරා සැරිසැරුවෝය.
සමහර අවස්ථාවල ඇතැම් අය තුවාල නිසා සිදුවූ අධික රුධීර වහනයෙන්ම ජීවිතක්ෂයට පත් වූහ.

🔥එකල බොහෝ ජනයා ඔවුන් අනුගමනය කරමින් එම නිකායට එක් වූහ.ඔවුන් මෙලෙස බරපතල දඬුවම් ක්‍රමය හා තමන්ට හානි කරගැනීම ප්‍රවර්ධනය කරා පමනක් නොව කතෝලික සභාවේ ඉගැන්වීම් වලටද බලපෑම් ඇතිකරන්නට විය.

🔥ඔවුන්ගේ ඉගැන්වීම අනුව ඔවුන් හෙලන මෙම රුධීරය පූජනීය වූ අතර මිනිසුන්ගේ පාප සෝදා හැරීමේ බලයද තිබිනි.ඔවුන් මෙලෙස කසවලින් තම සිරුරු තලා ගනිමින් වීදි වල පෙලපාලි යද්දී ඔවුන්ගේ මේ රුධීරය ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරයට සමාන බවත් එයින් පව්කරුවන් ගලවා ගැනීමට හැකි බවත් නිවේදනය කරමින් ගමන් කලහ.

🔥එමෙන්ම මෙම නිකාය 1349 දී 6 වන ක්ලෙමන්ට් පාප් තුමා විසින් හෙලා දැක්වීමටද ලක් වුනි.නමුත් එම නිකාය දිගින් දිගටම ක්‍රියාත්මක වූවා මෙන්ම බොහෝ ජනකායක් එවෙතට ඇදි ආවේය.

🔥මෙලෙස මෙම මරණයන්, ව්‍යාකූලතාවයන්, නොසන්සුන්තාවයන් මැද ශු.ජපමාල භක්තියට විනාශකාරී බලපෑමක් ඇතිවිය.එම නිසාම දෙවියන්වහන්සේද ජපමාලය ආරක්ශා කරගැනීමේ ක්‍රමෝපායක් ලෙස එය  සඟවා තැබීමට උත්සුක වන්නට ඇත.නමුත් දෙවියන් වහන්සේගේ අරමුන වූයේ මිනිසුන්ගෙන් ජපමාලය අමතක කරවීම නොවන බව අප මතක තබාගත යුතුය.

🔥මේ වසංගත සමයෙහි ජපමාලය යාච්ඥා කරනවාට වඩා මිනිසුන්ගේ අවධානය යොමු වූයේ  වසංගතයෙන් බේරී පලා යෑමටය.මෙලෙස ජපමාලයට ඇති උනන්දුව අඩුවීමත් සමඟ ජපමාලය සම්බන්ධ ඓතිහාසික ලිපිගොනු ආරක්ශාකර ගැනීම යන කාරණා වලට ඇති සැලකිල්ලද ක්‍රමයෙන් අඩුවීගෙන ගියේය.ජපමාලය පිලිබඳ ඓතිහාසික වටිනාකමක් ඇති විශාල ලිපිගොනු ප්‍රමානයක් මෙම කළු මරණ සමයෙහි විනාශ වී ගියේ මෙම රෝගය මර්ධනය කිරීමට ගොඩනැගිලි පවා ගිනි තබන්නට සිදුවූ බැවිනි.

🍀මෙලෙස ජපමාලය පරිහානියට පත් වෙමින් තිබෙන කාලයක පවා දිව්‍යකම්මල්කරු දේවමාතාවන්ගේ මිහිරි "නමෝමරියට"  නවතාවයක් එක් කරමින් පවු සමාව සඳහා මැදිහත්වීම එකතු කරමින් සිටියේය.

උපුටාගැනීම කතෝලික උරුමය පිටුව මගින්